පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්


 


 

සුකීර්තිමත් ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලගේ සුගායනීය ස්වර මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ මානව ප්‍රේමයේ දුර්දාන්ත සිතුවිල්ලකට අභියෝග කරයි.

ලෝකය තාක්ෂණයෙන් කෙතරම් දියුණු තියුණු වූව ද මිනිසා තවමත් විද්‍යාව අතහැර මිථ්‍යාව ම ලුහුබඳිමින් සිටියි.ඇතැම් මිනිස්සු වැඩවසම් සමාජයේ ගතානුගතික ,ආචීර්ණ කල්පිත හණමිටි හිසේ තබාගෙන දීන ජුගුප්සිත ජීවිත ගත කරති.මෙනයින්  යටකී වැඩවසම් ගති ලක්ෂණ නිසා වැඩියෙන් ම බැටකන්නෝ කවරහුද? ඔවුහු කාන්තවෝය.පුරුෂෝත්තමවාදය මිහිපිට පැටවුණු දා සිට ලලනාවෝ එයින් මැඬී ජීවත් වෙති.ගැහැනියගේ කන්‍යාභාවය,පති වෘත්තාව පිළිබඳ වද වෙමින් ඇතැම් පිරිමි ඇයට තාඩන පීඩන කරමින් ගර්හා කරති.එහෙත් ස්ත්‍රීයගේ පාරිශුද්ධත්වය පිළිබඳ වද වන පිරිමි කවමදාවත් තමන්ගේ අපිරිසුදු, අවිචාරවත් හැසිරීම් අනියම් බැඳුම් හා දෙබිඩි ජීවත   පිළිබඳ කතා නොකරති.අඩුම තරමෙි ඒ පිළිබඳ විනිවිද භා⁣වයෙන් යුතු ස්වයං විවෙිචනයක් ද නොකරති.මෙනයින් සලකා බලා නිර්භීත ගතිගුණ ඇති කිසියම් ස්ත්‍රියක පුරුෂයකුගෙන් මෙසේ අසන්නට පුළුවන.

"මගේ රෙද්දෙ තුත්තිරි හොයන ඔබට ඔබෙි පාරිශුද්ධත්වය පෙන්විය හැකිද?"

මෙබඳු ප්‍රශ්නයක් අසන කල ඕනෑ ම පිරිමියකු නිරුත්තර වී අසරණ විය හැකිය. 
 

මෙි ගීතයේ කථකාව තම පෙම්වතාගෙන් අසනු ලබන්නේ ද යටකී ආකාරයේ ම පැනයක් නොවෙිද? බුදුන් සමයේ විසූ විශාකා සිටුදේවිය සව්සැප සපිරි, ධනවත්, මහාභෝගවත් ලියක වූවාය.එමෙන් ම  ඇය සකල ලලනා සදාචාරයෙන් ශෝභිත වූවාය. ලොව වෙසෙන සියලු කාන්තවෝ ගණිකාවන් නොවෙති.බොහෝ කාන්තවෝ  සදාචාර බැමි නොබිඳ ජීවත් වෙති.එහෙත් බොහෝ පිරිමින් කාන්තාව දෙස නිතර බලන්නේ වපරැසිනි.ඇතැමකුට ඇය කෙළිබඩුවකි.වෙළෙඳ පන්තියේ ලියක වූව ද විශාකාවෝ දැහැමි ජීවිතයක් ගත කළෝය.විනෝදකාමී ජීවිතයක් ගත කිරීමට ඇයට ඔිනෑ තරම් අවකාශය තිබිණි. එහෙත් ඇය එසේ නොකළාය.තතු එසේ වූව ද  සැමියාගේ හෝ පෙම්වතාගේ තිරිසන්කමින් මර්දිත ලියෝ අන්ත අසරණ වූ කල සදාචාරයේ බැමි බිඳ විමුක්තිය සොයා යති. අවසානයේ එයින් බැටකන්නෝ ද ඔවුහුමය.ලිය සිතක මහිම හොඳ හැටි දැන හැඳින සුකීර්තිමත් ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන් මෙි සුදුර්ලභ ගීමිණ රචනා කර ඇත.බුලත්සිංහලයන්ගේ වෙනත් ගීතවල තිබෙන ව්‍යංග්‍යාර්ථ,සුදුර්ලභ උපමා රූපක පමණක් නොව චිත්තරූපික රමණීය කාව්‍යෝක්ති නොඅඩුව මෙි ගීතයෙන් ද දක්නට හැකිය.මෙි කථකාව ද තම ප්‍රේමය හමුවේ ස්ත්‍රී ගර්හාවට ලක් වූ අසරණ පීඩිත ලියකි.එහෙත් ඇය පෙම්වතාගෙන් තමන්ට එල්වන චෝදනාවට නිර්භයව උපක්‍රමශීලීව පිළිතුරු දෙන්නීය.


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙළා පිළිගන්වන්නම්

මෙි කථකාවගේ පෙම්වතා ඇයගේ පාරිශුද්ධත්වය පිළිබඳ ප්‍රශ්න කර ඇති බව ගීතයේ ස්ථායි කොටසින් ම පෙනේ.පෝයදාට පායන චන්ද්‍රයා පරිපූර්ණය. පාරිශුද්ධත්වයෙන් පිරුණු පූර්ණ චන්ද්‍රයා ඔබ රැගෙන එ් නම් එය මා මල්වට්ටියක අරගන්නම් යැයි ඇය පවසන්නීය.එහෙත් එය අභව්‍ය දෙයකි.කාල්පනික සිතුවිල්ලකි.කවදාවත් කළ නොහැකි කාර්යයකි.මෙහිදී ඇය තවත් අපූරු දෙයක් උත්ප්‍රාසයෙන් යුතුව  හඟවන්නීය.එනම් මුලින්ම ඔබ ඔබෙි පිරිසුදුකම ඔප්පු කරන්න.ඉන්පසු මම මගේ පාරිශුද්ධත්වය ඔබට පෙන්වන්නම් යන්නය.එපමණක් නොව එය පෙම්වතා  රැගෙන එන පුන්සඳ බහාලන පැසෙහිම තබා පිළිගන්වන බව ද ඇය කියන්නීය.මෙහිදී තරුමල් යන්නෙන් සංකේතවත් කරන්නේ ඇගේ පිවිතුරු බව හෙවත් පාරිශුද්ධත්වය යි.මෙය රචකයාගේ නිර්මාණශීලි කවීත්වය සුවිශද කරන රමණීය රූපකයකි.ඇගේ තාර්කික පිළිතුර යුක්ති සහගත නොවෙිද? මෙි පෙම්වතියගේ ඉල්ලීම ඔහුට කවදාවත් ඉෂ්ට කළ නොහැකිය.

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම් 

මෙහිදී ඇය තවත් අමුතුපහේ යෝජනාවක් කරන්නීය.ඇය පවසන්නේ  අහසේ කලාතුරකින් පායන දේදුන්න රැගෙන ආවොත් එයින් පාට පාට විසිතුරු සළුවක් වියා එය ඇඳගෙන පරසතු උයනේ ඔහු සමග ඇවිදින්ට එන බවය.එහෙත් එම ඉල්ලීම ද ඔහුට ඉෂ්ට කළ නොහැකිය.පරසතු උයන්,මදාරා මල් ඇ⁣ත්තේ මෙලොව නොව දෙව්ලොවය.මෙි සියල්ල ඇගේ  කල්පනික සිතුවිලිය.එහෙත් මෙය කෙතරම් මනරම් කවි කල්පනාවක් ද?

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙණු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මං 

බඹරු නොදුටු මල් ලොව කොයිඅත වෙත්ද? ⁣එසේ ඇත්නම් එය හිමාල වනයේ ඇතැයි කියන මන:කල්පිත විලක් වන මානසවිලෙහි ම විය යුතුය.එබඳු මලක් වෙි නම් තමන්ට නැවුම් පෙමක් වෙනුවෙන් තවදුරටත් වෙහෙසිය යුතු නොවන බවත් එම පියුමෙන් ම යළි ජන්මය ලබන බවත්  ඇය කියන්නීය.මෙහිදී රචකයා උත්සාහ කරන්නේ අභව්‍ය සංසිද්ධි මාලාවකින් පුරුෂෝත්තමවාදී සමාජයේ වැඩවසම් චින්තනය ට කනේ පහරක් එල්ල කිරීමට නොවෙිද? වැඩවසම් චින්තනයෙන් මිදී පිරිමියා තමන්ගේ ගතසිත තැවරුණු කැතකුණු සෝදා හැරගන්නා තෙක් ම නිසිනියම ප්‍රේමය පමණක් නොව උත්තරීතර ස්ත්‍රී - පුරුෂ සබැඳියාව ද මිහිමත පහළ නොවෙි.