ආශා දෑසින් දකිනා සිහිනේ


 

 

ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ ගේය පද සංකල්පනාවෙන් ද දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් සහ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසය දනවයි.

මිනිස් සිතේ පැන නඟින භෞතික ආශා අප්‍රමාණය.අසීමිතය.අනන්තය.මෙකී ආශාවෝ මිනිසාගේ ජීවන ලාලසාව වඩවයි.එහෙත් කෙලෙස් ප්‍රහීණ කළ පුද්ගලයෝ සියලු ආශා මඬිමින් මොහාන්ධකාරයෙන් මිදී අාධ්‍යාත්මික සුවය වැළඳ ගනිති.ඔවුහු සැබැවින්ම ප්‍රඥාවන්තයෝය.මෙි වුකලි මොහොතක සුවදෙන චංචල ලෝකයකි.දුක සැප නිති පෙරළෙන ලෝකයේ අටලෝ දහම ප්‍රගුණ කර ජීවත් වන්නෝ ජයග්‍රහකයෝය.ඔවුහු දුක සැප,කඳුළ සුසුම සියල්ල සමසිතින් විඳදරා ගනිති.එහෙත් බොහෝ දෙනා තමන් නොලද සැප සම්පත් පිළිබඳ අසීමිත සිහින මවති.අහස් මාලිගා තනති.ජීවන යථාර්ථයට පයින් ගසා අයථාර්ථය ම වැළඳ ගනිති.මෙි නම් කුමන ඛෙිදවාචකයක් ද? යථාර්ථයට පිටුපා සැබෑ නොවන සිහින දැකීම අනාගතය අඳුරු කරගැනීමෙි පෙරනිමිති නොවෙිද?

මෙකී සිහින බිඳී ගොස් ශෝකයෙන් කෙළවර වන බව අමනෝඥයෝ නොදනිති.එබැවින් ඔවුහු තව තවත් කාල්පනික ලෝකවල අතරමං වී අයථාර්ථවත් සිහින ම දකිති.ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයෝ මෙකී අත්දැකීම වඩාත් ප්‍රබල සංකල්ප රූප,ව්‍යංග්‍යාර්ථ මගින් අනගි ගීමිණිරුවනක් බවට පත් කළහ.1965 වසරේ තිරගත වු "සාමා" චිත්‍රපටයට මෙි ගීතය ගායනා කළෝ දේවානන්ද වෛද්‍යසේකරයෝය. මෙි වනාහි ⁣නෙක ආශා සැප සම්පත් පිළිබඳ දළ ලොබලිය වඩවන ගීතයක් නොව එබඳු සැප සම්පත් ආශා පිටුපස ලුහුබඳින මිනිසාගේ ජීවන සරතැස,වේදනාව,පශ්චාත්තාපය පිළිබඳ කියැවෙන ගීතයකි.

 

ආශා දෑසින් දකිනා සිහිනේ

මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී

හද තුළ තෙරපෙනවා

 

චක්ඛු විඥානය ඇසත් දසුනත් යන දෙක පදනම් කරගෙන උපදී.මෙනයින් චක්ඛු විඥානය නාම රූප මත ගොඩනැගුණු ක්‍රියාවලියකි.අභිධර්මයට අනුව මිනිසා සතු විඥාන සයකි.චක්ඛු - ඇස,ශ්‍රෝත- කන,ඝාන - නාසය,මනෝ - මනස,ජිව්හ - දිව,කාය - සිරුර ආදී වශයෙන් යටකී විඥාන බෙදා වෙන්කර ඇත.එහෙත් මෙි සියලු විඥාන අතරින් චක්ඛු විඥානය ප්‍රබලය.චක්ඛු විඥානය ඇත්තෝ ලොව සියල්ල දකිති.ඇසට අසුවන මායිමෙි මායා දසුන් පමණක් නොව ඉන් ඔබ්බෙහි පිහිටි සියලු විසූකදස්සන ද ඔවුහු ග්‍රහණය කර ගනිති.තතු එසේ වූව ද අැස අස මානයේ දකින සියලු දසුන් සත්‍ය නොවේ.මිනිසා මෙි යථාර්ථය තේරුම් නොගන්නා තාක් කල් පසුතැවිල්ල පමණක් ඉතිරි වෙයි.මෙි ගීතයේ "ආශා දෑසින් දකිනා සිහිනේ " නමැති රූපකය රචකයා යොදාගෙන ඇත්තේ මිනිසා නොහිමි සම්පත් පිළිබඳ පවත්නා දළ ලොබලිය ධ්වනිත කිරීමට නොවෙිද?එහෙත් ඉන් දකින සුමිහිරි සුපසන් සොඳුරු සිහිනය තත්ක්ෂණයෙන් බොඳවී මැකී යයි.ඉනික්බිතිව ඉතිරි වන්නේ කුමක්ද? වියෝගය යි.වියෝගය වූකලි මිනිස් සිතෙහි ඉපැදුණු සියලු ආශා ප්‍රහර්ෂ පලා ගොස් කඳුළු මහෝඝයකට අතවැනීමයි.තතු එසේ වූව ද මිනිසා අනවරතයෙන් ම ආශා දැලේ පැටලී අවසානයේ දුක් විඳියි.

 

ආ මඟ දෑලේ පිපි මල් කර වී

නෑ පල හට ගන්නේ

සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ

උන්මය රිදවන්නේ

 

මිහිලිය නළවමින් සොඳුරු දසුන් මවන සුවඳ කුසුම් ලොව කොතෙක් ද?මෙකී පියුම් හිස පළන්,මී බී මත් බඔරු ආශාවෙන් ඔද වැඩී නොසිටිත් ද? එහෙත් ඒ සොඳුරු රුවැති කුසුම් පරවී මුකුලිත වී ගිය කල වෙිදනාව,දුක හටගනී.මෙි වනාහි ලෞකික වස්තු සම්පත්වලට මිනිසා තුළ සහජයෙන් ම උපදින ආශාවයි,ඒවා අහිමිවීම,විනාශවීම දැකීම සිතට දුකකි. "ආ මග දෑලේ පිපි මල් කර වී" යන්න ද රමණීය කාව්‍යෝක්තියකි.මෙයින් සිහින පැතුමෙි සොඳුරු බව මෙන්ම අඳුරු බව ද කීමට ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයෝ උත්සුක වෙති.මල් කරවීම යනු කථකයාගේ පැතුම් සුන් වී ඇති බව ඇඟවීමට යොදාගත් අපූරු යෙදුමකි.එහෙත් මෙි සියලු සිහින මවමින් දකිමින් වෙහෙසට පත් වූ කථකයා අවසානයේදී නෙළාගත් ඵලයක් ද නැත.මෙි සියල්ල අරුත් සුන්,අයථාර්ථවත් සිහින පමණක් ම නොවෙිද?සිතුවිලි මීමැසි පොදි යන්න තවත් කදිම රූපකයකි.රමණීය කාව්‍යෝක්තියකි.මෙයින් කියවෙන්නේ හදවත පුරා නැගී තෙරපී පොදි ගැසෙන සිතුවිලි සේනා ගැනය.එහෙත් මෙකී මනලෝල,සුඛානන්ද,සුඛප්‍රහර්ෂ සිතුවිලි රස මංජරිය අවසානයේදී කථකයාට ඉතිරිකර ඇත්තේ ශෝකාන්ධකාරයෙන් පිරුණු ජීවිතයක් නොවෙිද?

 

තණ්හා දෑතින් පැතුමේ වරපට

ගිලිහී බිම වැටිලා

දෛවයෙ ගොනු ඇද

ජීවන ගැල ගෙන

ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි

ජීවනයට යනවා

 

තණ්හාවෙන් පිරුණු සිහිනේ පැතුම නමැති වරපට තමා අතින් ගිලහී ඇති බව කථකයා කියයි.මෙහිදී තණ්හාව හෙවත් සිහිනය දෑතයි.එහෙත් එය දෑතින් අල්ලා ඇද බැඳ තබාගැනීම කළ නොහැකිය.කථකයාගේ බලාපොරොත්තු සියල්ල සුනුවිසිනු වී ගොස් අවසන්ය.මිනිස් ජීවිතයේ ඒකාකාරී,නීරස භාවය ධ්වනිත කිරීමට රචකයා ගෙන ඇති සංයත සංයමය විශිෂ්ටය.උත්කෘෂ්ටය.ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් මෙි ගීතය සඳහා පරිහරණය කර තිබෙන ව්‍යංග්‍යාර්ථ,ධ්වනිතාර්ථ,සංකල්ප රූපාවලිය අතිශය ප්‍රලය.දෛවය නමැති ගොනුන් තෙරක් නොපෙනෙ සංසාර මාවතේ ගිරිදුර්ග තරණය කරමින් බැරි බර උසුලමින් ජීවන ගැල ඇදගෙන යන බව රචකයා කියයි.මෙනයින් ආ මග දිගේ හෙම්බත් වී හතරගාතෙන් ගාටන ජීවන ගැල මෙන් මිනිසාගේ ජීවිතය එකම තැන කැරකෙයි.සංසාර චක්‍රය එසේය.රචකයා මෙය මිනිසාගේ දෛවය ලෙස නම් කරන්නේ ඉන් මිදීමට විකල්පයක් නොමැති නිසාද?