සත්‍යයට පිටුපෑමේ ආදීනව


“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොවන අය ද මේ වැනි ප්‍රකාශ කරති. රාජපක්ෂලා ඉවර නම් එය නිවේදනය කිරීමට මේ තරම් පරිශ්‍රමයක් දරමින් ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? ජන හදවත් තුළ රාජපක්ෂලා ඉවර නැති බව ඔවුන්ගේ යටි හිත දන්නේ ද?

පක්ෂ විපක්ෂ දේශපාලකයන් පොදුවේ රාජපක්ෂලා සමග මේ තරම් ආරෝවක් හදාගෙන ඇත්තේ ඇයි? “ඔබ රජෙක්, ඔබ අපට මහ රජෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමනි” යනුවෙන් මීට වසර කීපයකට පෙර ප්‍රකාශ කළේ සවස් වරුවේ එකට ආප්ප කා පැදුරටත් නොකියා වෙනත් දේශපාලන බලවේගයක පොදු අපේක්ෂකයා වීමට ගිය හිටපු ජනාධිපතිවරයෙකි. පාස්කු ප්‍රහාරය කළේ කවුදැයි තමන් දන්නා බව කියන මොහු මාධ්‍ය හමුවට විත් නැවතත් රාජපක්ෂලාට දෙස් දෙවොල් තිබ්බේ ය. 2005 දී මහින්ද සමග ගිවිසුම්ගත වූ ජවිපෙ නායකයන් ද කතාවක් කළහොත් ඉන් සියයට 75ක් ම ඇත්තේ රාජපක්ෂලාට කරන බැණ අඬගැසීම් ය. රාජපක්ෂවරු තරම් මෙරට දේශපාලනයේ පසුගිය කාලයේ වැඩිපුරම අවලාදවලට, දෙස් දෙවොල්වලට ගොදුරු වූ අන් කිසිවකු නොමැති තරම් ය.

කයිය ගැසීම හැර රටට සමාජයට දැනෙන වැඩක් නොකළ දේශපාලකයන් රාජපක්ෂලාට මේ තරම් පහර දෙන්නේ ඇයි? ඔවුන් එසේ වීමට මේ රටට කළ විනාශය කුමක්ද? මෑතක දී ආර්ථික අර්බුදය පදනම් කරගෙන රාජපක්ෂවරුන් රට බංකොලොත් කළ බව කියමින් කරන ප්‍රකාශ නිතර ඇසේ. අධිකරණ නියෝගයකින් පවා එය තහවුරු කර ඇති බව ඔවුහු කියති. මේ සම්බන්ධ අධිකරණ නියෝගයේ එවැනි කිසිවක් නැත. එහි ඇත්තේ රටේ ආර්ථික අර්බුදය වළක්වා නොගැනීමෙන් මහජන විස්වාසය කඩ කළේය යන තීන්දුවකි. රාජපක්ෂ ආණ්ඩුව ආර්ථික අර්බුදය ඇති කළ බව එහි කියන්නේ නැත. ඇත්ත වශයෙන් ම අරගලය විසින් රාජපක්ෂ පාලනය බිඳ නොවට්ටන්නට රට බංකොලොත් වන්නේ නැත. ණය ගෙවීම සඳහා 2022 අයවැයෙන් මුදල් වෙන් කර තිබූ පසුබිමක ණය නොගෙවා අපට ඩීසල් පැට්‍රෝල් දෙන්නයැයි කීවේ අරගලයයි. ඒ තැනට මහජනයා උසිගැන්වූයේ නම් එවක සිටි තෙල් ඇමතිවරයා වූ ගම්මන්පිල ය. රටේ තෙල් සංචිත ඇත්තේ තවත් දින දෙකකට පමණක් යැයි ලෝකයේ කිසිදු රටක ඉන්ධන විෂය බාර ඇමතිවරයකු ප්‍රසිද්ධ මාධ්‍යයකට විත් කියා තිබේ ද? එහි වරද නම් රාජපක්ෂලා බාරගත යුතු වේ. හරිහමන් නියෝජ්‍ය ඇමතිකමක් හෝ කර නොතිබූ ගම්මන්පිල වැන්නකුට රටේ වැදගත්ම විෂයයක් වූ බලශක්ති ඇමති ධුරය දුන්නේ ඇයි? අප කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා යන කතාව අසා තිබේ. මේ ඊටත් එහා මෝඩකමකි. ඒ අනුව එක් පසෙකින්, රටේ තිබෙන තෙල් ද සැඟ වූ අතර තවත් අතකින් වෙනදා රුපියල් 2000ක තෙල් ගසන පාරිභෝගිකයා “ෆුල් ටෑන්ක්” ගැසුවේ ය. මේ තත්වය මතින් පිරවුම්පොළට කොතරම් තෙල් නිකුත් කළ ද ඒවා වාෂ්ප වූ අතර මිනිසුන් අතර අසහනය වැඩි වී ඒ වෙනවිටත් ඇරඹී තිබූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් විය. රට බංකොලොත් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංග විසින් ප්‍රකාශ කරනු ලබන්නේ ඒ මහා කලබගෑනිය තුළයි. එය මහා පාවාදීමකි.

ගෝඨාභය රාජපක්ෂ පාලනය කුමන්ත්‍රණකාරීව පෙරළා නොදමන්නට අපට රට බංකොලොත් බවට පත් නොවී රට නැවත 2015ට පෙර තිබූ ආර්ථික සමෘද්ධිය වෙත ගෙන යන්නට සියලු‍ අවස්ථා තිබුණි. ගෝඨාභය ආණ්ඩුව විසින් විශේෂයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රටේ දිගුකාලීන ආර්ථික ලෙඩ රැසකට තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමට අඩිතාලම දමා තිබුණි. හොඳම නිදසුන ඔයාමඩුව ඖෂධ කර්මාන්ත පුරයයි. දැනට රට තුළ තිබෙන ඖෂධවලින් සියයට 85ක්ම රටින් ගෙනා ඒවා ය. එහෙත් ඉහත කර්මාන්ත පුරය හරහා එම ප්‍රමාණය මුල් අදියරේ දී සියයට 50කට අඩු කිරීමට අපේක්ෂිත විය. වසරකට රටට රුපියල් බිලියන 140ක් හෙවත් කෝටි 1400ක් මේ හරහා ඉතිරි කරගත හැකි ය. එය රටේම වැට් බද්දෙන් උපයන ආදායමට වඩා වැඩි ආදායමකි. කෙසේ වෙතත්, මේ පසුගිය සතියේ අපට දැනගන්නට ලැබුණේ ඔයාමඩුව කර්මාන්ත පුරයේ ඉදිකිරීම් අඩාල වී ඇති බවයි. මෙම ව්‍යාපෘතියට ඖෂධ ජාවාරම්කරුවෝ විවිධ බාධක දැමූහ. ඉන් නොනැවතුණු ඔවුහු රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමට සැලකිය යුතු මුදලක් ද වියදම් කළහ. අප අමතක නොකළ යුතු කරුණක් නම් ආයුධ වෙළෙඳාමට පසු වැඩිම ලාභදායි වෙළෙඳාම ඖෂධ බවයි. මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් කරනු ලබන මැදිහත්වීම ප්‍රමාණවත් නැත.

මේ අතර,  රටට පිටින් ආනයනය කරන බෝග රැසක් මෙරට ම වගා කිරීමට නිසි කටයුතු කරමින් තිබුණි. කහ, වියළි මිරිස් ආදී එම ව්‍යාපෘති බෙහෙවින් සාර්ථක විය. මුලින් කහ හිඟයක් ඇති වුවද පසුව කහ අපනයනය කිරීමට පවා හැකි විය. ලංකාව කහ වැවීමට පටන් ගෙන තමිල්නාඩුවෙන් කහ ගෙන්වීම නතර කළ විට තමිල්නාඩු ගොවියෝ උද්ඝෝෂණ පවා සංවිධානය කළහ. ඒ තම කහවලට වෙළෙඳපොළ අහිමි වීමෙනි. ලංකාව ඉන්දියාවෙන් කහ ආනයනය නොකිරීමෙන් මාස දෙකක් තුළ පමණක් ඉන්දියාවට අහිමි වූ මුදල ඉන්දියානු රුපියල් කෝටි 100ක් බව වාර්තා විය. අපගේ මුදලින් එය කෝටි 400කට අසන්න මුදලකි. මිරිස්, ලූනු, බඩඉරිඟු‍ වැනි දෙයද අපටම වගා කරගත හැකි ය. 2014 වන විට අපි බඩඉරිඟු‍ ප්‍රංශයට හා තායිවානයට අපනයනය කළෙමු. එහෙත් මේ සියලු‍ ජාතික ජයග්‍රහණ දේශපාලන අරගලවලින් පරාජය කර දැම්මේ ජාතිය නැවතත් පැරණි මඩගොහොරුවටම ඇද දමමිනි.

රටක් ඉදිරියට යාමට නම් මුලින් ම එම රටේ ආර්ථික පදනමේ ව්‍යුහය වෙනස් කළ යුතු වේ. එසේ නොවන්නට අප කොතරම් කල් ගත කළ ද එකම තැනම ය. එකම දිළිඳු බව ම ය.

2009 දී රාජපක්ෂවරුන් විසින් ත්‍රස්තවාදය නැති කරනු ලැබීමෙන් පසු නිදහස් ලංකාව බැඳ ගැටගසා තිබූ ඒ මහා බර සැබෑ ලෙසම නිදහස් විය. එය ආර්ථිකයට කොතරම් නිදහසක් දුන්නේ ද කිවහොත්, 2005 දී මෙරට ඩොලර් බිලියන 24ක් වූ සමස්ත ආර්ථික අගය, 2024 වන විට ඩොලර් බිලියන 79ක් වී, බිලියන 55කින් පමණ වැඩි විය. අපගේ ඒක පුද්ගල ආදායම ලෝක බැංකු දත්තවලට අනුව 2005 දී ඩොලර් 1200ක් ව තිබී එය 2014 අවසන දී ඩොලර් 3835කට වැඩි විය. ණය බරතාව සියයට 95 සිට සියයට 71ට අඩු විය. අවාසනාවට එවර ද සුපුරුදු බොරුව හා දේශපාලන කුමන්ත්‍රණ ජයගත්තේ ය. රත්තරන් අශ්වයන්, විදේශ මාලිගා, හම්බන්තොට වරායේ ගල්, පොර්ට් සිටියෙන් රටේ ම කළුගල් ඉවරවීම් වැනි රටේ නැති බොරු කියමින් ජනතාව අන්දවා එම පාලනය බිඳ දැමූ අතර අප අද සිටින ආර්ථික අර්බුදය ඇති කළ ඩොලර් බිලියන 13ක එදාවේල ණය ගොන්න හා පාස්කු ප්‍රහාරයේ වේදනාව පමණක් රටට ඉතිරි කළේ ය.

රාජපක්ෂ පාලන දෙකම නිරන්තරව උත්සාහ දරා ඇත්තේ මෙරට නිදහසින් පසු එළඹි යුගයේ පෙළෙන සැබෑ ආර්ථික ප්‍රශ්නවල මූලික පදනම හඳුනාගෙන ඊට පිළියම් කිරීමය. ඒවා ව්‍යුහාත්මක (structural adjustments)  වෙනස් කම්ය. ලොව සියලු‍ දියුණු රටවල් අත්හදා බලා සාර්ථක වූ ඒවා ය. ටොපි චොකලට් දී තාවකාලිකව බඩගින්න නැති කර දිගුකාලීනව රටට ම ගෑස්ට්‍රයිටිස් හෝ දියවැඩියාව හදන ව්‍යාජ සැලසුම් ඔවුන් බැහැර කළේ එහෙයිනි. එහෙත් ජනතාව මේ ගැඹුරු සත්‍ය අවබෝධ කරගත්තේ ද?

හෙටටත් මේ රට දියුණු කිරීමට නම් අප අලි දෙන්නම් කොටි දෙන්නම් දේශපාලනය නොව, රටේ ප්‍රශ්නවල මුලට ඒවා විසඳන ක්‍රමය තෝරාගත යුතු ය. නිදසුන් ලෙස කුකුල්මස් හා බිත්තර මිල ඉහළ යන විට අප බැලිය යුත්තේ එසේ වීමේ මූල හේතුව කුමක්ද කියා ය. සැබෑ මූල හේතුව අපට බඩඉරිඟු‍ නැති වීම ය. මෙය බොහෝ දෙනා සිතන්නේවත් නැති හේතුවකි. රටේ ප්‍රශ්න සියල්ලගේ ම පාහේ මුල ඇත්තේ අප නොදන්නා එවැනි තැනකය. විසඳුම දිය යුත්තේ එතැනට ය. මේ තැනට  මෙරට ජනතාව දේශපාලන වශයෙන් අවදි විය යුතු බව අපගේ මතයයි. එය දේශපාලන බේදයකින් තොරව කළ යුතු දෙයකි. එසේ නොවන්නට පුංචි පුංචි ප්‍රශ්න අල්ලාගෙන අප කාලය කා දමන සෑම තත්පරයකම අපට රට ගොඩනැගිය හැකි අවස්ථා අහිමි වන්නේ ය.

2015 අප අහිමි කරගත් එම අවස්ථාව නැවත වරක් 2022 දී ද අරගලයක් සිදු කොට අහිමි කරගෙන ඇත. මේ බැරෑරුම් ප්‍රශ්නය අප තේරුම් ගත යුතු වේ. දෙස් විදෙස් බොහෝ දෙනා රාජපක්ෂලාට එරෙහි වන්නේ ඔවුන් මේ රටේ පාලනය දැරුවහොත් රට ගොඩදමන බව දන්නා නිසා ය. එය සාධක සහිතව පෙන්නා ඇති හෙයින් රාජපක්ෂලාට එරෙහිව තිබෙන සියලු‍ බලවේග එකතු කොට ජනතාව ඡන්දයෙන් හෝ අරගලයෙන් හෝ රැස් කොට ඔවුන් බලයෙන් පහකිරීමට මේ බලවේග නිරන්තරව කටයුතු කරති. ඇත්ත වශයෙන්ම ඉන් බලයෙන් පහ වන්නේ මෙරට පොදු ජනතාව වන අපම බව අප තේරුම් ගන්නේ කවදාද?

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ