ආණ්ඩුවේ රැඩිකල් සැත්කම්


ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර නිරන්තරව පොරොන්දු වූවක් නම් තමන්ගේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ව්‍යවසාය අනිවාර්යයෙන්ම ලාබ ලබන තැනට ගෙන එන බවයි.

විවිධ හේතු මත එම ව්‍යවසාය පාඩු ලබන විට මාලිමා දේශපාලනය ඒ මතින් ඇති වූ මහජන කෝපයේ රැල්ල පැදවූ අතර, පෙර පාලන තන්ත්‍රවල වැරැදි කළමනාකරණය, නිර්ලජ්ජිත ඥාති සංග්‍රහය සහ බදු ගෙවන්නන්ගේ රුපියල් සඳහා මෙම වැදගත් ව්‍යවසාය පතුලක් නැති වළවල් බවට පත්ව ඇති බවට චෝදනා කළහ.

ඒ අනුව පද්ධතිමය දූෂණයට එරෙහිව ඇඟිලි දිගු කළහ. ඔවුන් පොරොන්දු වූයේ හුදෙක් වෙනසක් නොව රැඩිකල් සැත්කමකි. දූෂිත ආයතන පවිත්‍ර කරනු ලැබේ, කාර්යක්ෂමතාව ඇති කරනු ලැබේ, සහ ජාතියේ රුධිරය ගලා යෑම නතර වනු ඇත. එම තියුණු සහ රැඩිකල් සටන් පාඨ බොරුවෙන් හිරි වට්ටවා සිටි ජාතියකට උත්තේජනීය කතා විය.

වසරකට පසු, එම කතා අද වන විට සම්පූර්ණයෙන්ම ඇද වැටී ඇත. සැත්කම සිදුවී නැත. ලේ ගැලීම නතර වී නැත. ඇත්ත වශයෙන්ම, රෝගියාට ඊටත් වඩා වේගයෙන් රුධිරය අහිමි වෙමින් පවතී.

ඉහළ යන අලාබවල විස්මයජනක පරස්පරතාව පිළිබඳ සැබවින්ම කැපීපෙනෙන දෙය නම්, මාලිමාව බලයට පත්වීමෙන් පසු බොහෝ ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාරවල පාඩු වැඩි වී තිබීමයි.

අලාබ ලබා තිබෙන ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය පහත එන පරිදි ය. ලංකා විදුලිය බල මණ්ඩල ය. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා සීනි සමාගම, ලංකා පොහොර සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආදී ආයතන වේ.

මේ අතර, සමස්ත රාජ්‍ය ව්‍යවසායවල 2025 පළමු අර්ධයේ ලාබය, 2024 වසරේ ලබා තිබූ රුපියල් බිලියන 280.7 සිට බිලියන 227.8 දක්වා පහත බැස තිබේ. එය බිලියන 53ක හෙවත් කෝටි 5,300ක අඩුවීමකි. මෙහි සිත්ගන්නා සුළු කාරණය වන්නේ, මේ කාලය තුළ ආයතන පාලනය කර තිබෙන්නේ මාලිමා ආණ්ඩුව විසින් වීමයි.

ආණ්ඩුවේ නිදහසට කරුණු වනු ඇත්තේ හුරු පුරුදු එකකි, එනම්, “අපට ලැබුණේ බංකොලොත් රටක්,” “ගෝලීය ආර්ථික තත්වය,” “යෝධ නැවක් හැරවීමට කාලය ගතවේ” වැනි කතාය. මෙම ප්‍රකාශවල අර්ධ සත්‍යයක් හෝ අඩංගු නැත. මන්ද 2024 කාලයේ තරම්වත් ලාබයක් ලැබීමට හෝ පාඩු අවම කර ගැනීමට 2025 වසරේ මුල් මාස 6 තුළ සමත් නොවීම මත ය.

මාලිමාව නිරන්තරව පොරොන්දු වූයේ ඔවුන්ට කාලය අවශ්‍ය වනු ඇතැයි යන පූර්ව නිගමනය මත නොවේ. ඔවුන්ගේ මතවාදය ගොඩනැගූවේ ඔවුන්ට පූර්වගාමීන්ට නොතිබූ නිපුණතාව සහ දේශපාලන අධිෂ්ඨානය ඔවුන් සතුව තිබෙන බවට වන උපකල්පනය මත ය. ඔවුන් දැන් එම යල්පැන ගිය නිදහසට හේතු කීම ඔවුන්ගේ පොරොන්දුව දැඩි ලෙස පාවාදීමකි. එයින් යෝජනා කරන්නේ ගැටලු‍ව හුදෙක් දේශපාලන වර්ණයෙන් යුතු එකක් නොව, පක්ෂ රේඛා ඉක්මවා යන පාලනයේ පද්ධතිමය අසාර්ථකත්වයක් බවයි.

මාලිමා ආණ්ඩුවේ අසාර්ථකත්වයේ හරය පවතින්නේ පාඩු ලැබීම තුළ නොව, ඒවායේ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ දී පෙනෙන දුර්වලතාව තුළ ය. ඔවුන්ගේ දහසකුත් එකක් කතා තියුණු රෝග විනිශ්චයක් ලබා දුන්නේය. දූෂණය, දේශපාලන මැදිහත්වීම් සහ මූල්‍ය විනයක් නොමැතිකම ඒවා අතර විය. එහෙත්, ඔවුන්ට ද ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව නොමැති බව පෙනී යයි.

පාඩු ලබා තිබෙන ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය ඉහළින්ම තිබේ. විදුලි බල මණ්ඩලය 2024 පළමු මාස 6 තුළ වාර්තා කළ රුපියල් බිලියන 119ක ලාබයට සාපේක්ෂව 2025 පළමු මාස 6 තුළ බිලියන 13ක ශූද්ධ පාඩුවක් වාර්තා කර තිබේ.

විදුලි ජනනය සඳහා ඉතා යහපත් කාලගුණික තත්වයක් තිබිය දී සහ සමස්ත විදුලි ජනනය පිළිවෙළින් සියයට 34 ක් සහ සියයට 23ක් පුනර්ජනනීය සහ ජල විදුලි මූලාශ්‍රවලින් ලබාගෙන තිබියදීය. එවන් තත්වයක් තුළ ගල් අඟු‍රු සහ ඩීසල් මත යැපීම බෙහෙවින් අඩු වේ. ඒ සියල්ල තිබියදීය මේ අලාබය වාර්තා කර ඇත. ඒ අනුව, මෙම පාඩුව සපුරාම අන් සාධක මත පැහැදිලි කළ නොහැකි අතර ආයතනයේ කළමනාකාරිත්වයේ දුර්වලතාවම ඊට වගකිවයුතු බව කිවයුතුය. මෙහි දී අපට සිහිපත් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක පත් වූ විගස විදුලි බල මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ විවාදාපන්න පුද්ගලයාය. විදුලිබල මණ්ඩලයට උපදේශන සේවා සපයන සමාගමකට ඍජුව සම්බන්ධ මෙම සභාපතිවරයාට අන් කිසිදු ආණ්ඩුවක් මණ්ඩලයේ ඉහළම තනතරු ලබා දී තිබුණේ නැත. ඊට ප්‍රධාන හේතුව මොහුගේ සමාගම, මණ්ඩලය සමග පවත්වන වාණිජ සබඳතා නිසා ඇති වන ලබැඳියාවන් අතර ගැටුමයි. ඒ සියල්ල නොසලකා ජනාධිපතිවරයා සභාපති ධුරය පිරිනැමීම දැඩි නීති විරෝධී පියවරක් බව අමුතුවෙන් කිව යුතු නැත.

එම සභාපතිවරයා පත් වූ ගමන් කළේ සූර්ය බලයෙන් විදුලිය නිපදවා මණ්ඩලයට අලෙවි කරන නිවාස සහ සෙසු ආයතනවලට ගෙවන මිල ගණන් බෙහෙවින් අඩු කිරීමයි. එසේ සිදු කර කර්මාන්තයක් ලෙස නැග එමින් තිබූ එම අංශය සපුරා විනාශ වන තැනට පත් කළේ ය. සූර්ය බලය නිසා ජාතික පද්ධතිය අස්ථාවර බව පෙන්වීමට ඊනියා වඳුරන් පැනීමේ නාටක පවා පෙන්වූ හැටි අපට මතක ය.

මේ සියල්ල කළේ සභාපතිවරයාගේ සහ ඔහු සමග මණ්ඩලයට විදුලිය විකුණන තාප බලාගාරවලට ව්‍යාපාරික අවශ්‍යතා සඳහා බව සුරක්ෂිතව අනුමාන කළ හැකි ය. බොහෝ විට මෙම සභාපතිවරයා විදුලිබල මණ්ඩලය සතු අනාගත සැලසුම් සහ ඒ ආශ්‍රිත සියලු‍ සංවේදී දත්ත තමන් සතු කරගන්නට ඇත. ඒ අනුව ඔවුන්ට දැන් තම ව්‍යාපාරික සැලසුම් සඳහා එම දත්ත යොදාගත හැකි ය. ඒ සියල්ල ඉටු කර ගැනීමෙන් පසු සභාපතිවරයා ඉල්ලා අස්වී ගියේ ය.

ඉහත තත්වය තුළ ජනාධිපතිවරයා, පසුගිය දා මන්නාරම් දූපතේ ඉදි කිරීමට සියලු‍ සැලසුම් ක්‍රියාත්මක කරමින් තිබූ, සුළං පෙති පවා මන්නාරමට ප්‍රවාහනය කර තිබූ ව්‍යපෘතිය අත්හිටුවා ඇත. මෙය විනාශකාරී පියවරකි. පුනර්ජනනීය විදුලිය තව තවත් ප්‍රවර්ධනය කළ යුතු අවස්ථාවක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී දූරදර්ශී ආණ්ඩුවක් මේ ලෙසින් එය අවලංගු කරයි ද?

ඒ රටට එන විදේශ ආයෝජන නැවත පන්නා ගැනීම පැත්තෙන් පමණක් නොවේ, ඇත්ත වශයෙන්ම එම කරුණ ද බරපතළ එකකි. ඇමරිකා එක්සත් ජනපදය විසින් පසුගිය දා නිකුත් කර තිබූ වාර්තාවකින් ප්‍රකාශ කළේ ලංකාවේ ආයෝජන සිදු කරන විට පරෙස්සම්කාරි වන ලෙස ය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති අස්ථාවරත්වය සහ හණමිටි මාක්ස්වාදී ප්‍රතිපත්ති ඊට හේතු ලෙස දක්වා තිබුණි. දැන් මෙම ආයෝජනය අත්හිටුවීම හරහා ඇමරිකාවේ එම මතය සපුරා තහවුරු කර ඇත. ඒ අනුව, ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයට නව ආයෝජන ගෙන්වා ගැනීම තබා ආයෝජකයන් ලංකාව දෙස බලමින් බත්පත අනුභව කරන්නේ ද නැත.

මාලිමා - ජවිපෙ දේශපාලනය මගින් මෙරට විදුලිබල පද්ධතියට කළ හානිය අති දැවැන්ත එකකි. මේ ජවිපෙ එවක විදුලි ට්‍රාන්ස්ෆෝමර් විනාශ කිරීම ගැන නොවේ. ඊට වඩා ව්‍යුහාත්මකව මෙරට විදුලිබල පද්ධතිය අකර්මණ්‍ය කිරීමක් ගැනය. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ විදුලිබල ක්ෂේත්‍ර‌යේ සිදු කිරීමට ගිය සියලු‍ ආයෝජන ව්‍යාපෘතිවලට එරෙහිව ජනතාව කුලප්පු කරමින් සිදු කළ විරෝධතා සහ කඩකප්පල් කිරීම් ගැන හිතන්න! මහින්ද රාජපක්ෂ මේ කිසිවකට නොසැළී මුහුණ දෙමින් දශක ගණන් ප්‍රමාද වී තිබූ ව්‍යාපෘති බොහොමයක් පාහේ ක්‍රියාත්මක නොකරන්නට අපට අදත් දවසෙන් බාගයක් අඳුරේ සිටීමට සිදුවනු ඇත. ඉහළ කොත්මලේ, මොරගහකන්ද වැනි මහා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති ද තව බොහෝ මධ්‍ය පරිමාණ ඒවා ද, නොරොච්චෝල, කෙරවලපිටිය වැනි ගල් අඟු‍රු සහ තාපබල ව්‍යාපෘති ද මේවා අතර කැපීපෙනේ. මේ සියල්ල කළේ විවිධ පාර්ශවවල විරෝධතා මැද ඒවා ජාතික අවශ්‍යතා ලෙස හඳුනා ගනිමින් දේශපාලන නායකත්වය දෙමිනි.

කෙසේ වෙතත්, එක් ව්‍යපෘතියක් සඳහා සියලු‍ ගිවිසුම් සහ මූලික වැඩ නිම කර තිබුණ ද 2015 පරාජය නිසා ඉටු කරගත නොහැකි විය. ඒ සාම්පූර් ව්‍යාපෘතියයි. ජවිපෙ මීට ද විරෝධය දක්වමින් සිටි අතර ඔවුන්ගේ ද සහාය ඇතිව යහපාලන ආණ්ඩුව පැමිණි විගස කළේ දේශපාලන හයිය යොදාගෙන සාම්පූර් අවලංගු කිරීමට කටයුතු කිරීමයි. ජාතික පද්ධතියට මෙගාවෝට් 500ක් පළමු පියවරේ ද, තවත් 500ක් දෙවැනි පියවරේ ද එකතු කිරීමට සැලසුම් කර තිබූ එම ව්‍යාපෘතිය අවසන් වූයේ එසේ ය. මෙය ජාතියට අහිමි වීමෙන් වසරකට ඩොලර් බිලියනයක් අහිමි වූ බවට ගණන් බලා ඇති අතර අද වන විට පසුගිය වසර 15 තුළ අහිමි වූ මුදල ඩොලර් බිලියන 15කි. විනාශයේ තරම ඔබට සිතාගත හැකි ය.

එවන් පරිසරයකයි දැන් මේ සුළං බල ව්‍යපෘතිය පවා නතර කර ඇත්තේ. මේවා පිටුපස අනිවාර්යයෙන්ම විදුලි මාෆියාව ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති රට තුළ බිහිවීමෙන් ඔවුන්ට විදුලිබල මණ්ඩලයට විදුලිය විකුණා අධික ලාබ ගත නොහැකිය.

මේ අනුව, මාලිමා ආණ්ඩුව එක් පැත්තකින් රාජ්‍ය ව්‍යාපාර විනාශය කරා ගෙනයන අතරතුර, අනෙක් පැත්තෙන් මෙරට සංවර්ධනයේ ජීවනාලිය වන් බලශක්ති ක්ෂේත්‍රය යළි ගොඩනැගිය නොහැකි විනාශයකට ඇද දමමින් තවත් ආර්ථික අර්බුදයකට පාර කපමින් තිබෙන බව අවධාරණය කළ යුතුය.

(***)