’’මාක්ස් සමග ජීවිතය” බිරිඳ ජෙනි තැබූ සටහන්


1843 ජූනි 19 වැනිදා අපේ විවාහය සිදුවිය. අපි ක්‍රයිස්නාහ්වලින් පිටත්ව, එබර්න්බර්ග් හරහා රයින් - පෆාල්ස් නගරයට ගියෙමු. යළිත් බාඩෙන් - බාඩෙන් හරහා ආපසු පැමිණියෙමු. ඉන්පසු සැප්තැම්බර් අවසානය දක්වා ක්‍රයිස්නාහ් නගරයේ නැවතී සිටියෙමු. මගේ ආදරණීය අම්මා මගේ සොහොයුරු එඞ්ගාර් සමග ටී්‍රර් නගරයට ආපසු ගියාය. කාල් සහ මම ඔක්තෝබර් මාසයේ පැරිසියට ගියෙමු. 

පැරිසියේදී කාල් සහ රුගේ ජර්මන් - ප්‍රංශ වාර්ෂික සංග්‍රහය සංස්කරණය කළ අතර එය මුද්‍රණය කොට ප්‍රකාශ කරන ලද්දේ ජූලියස් ෆ්රෝබල් විසිනි. එම සඟරාවේ ප්‍රථම කලාපය පිටවීමත් සමගම එකී ව්‍යවසාය අවසන් විය. අපි ශා. ජෙමේන්හි වනෝ මාවතෙහි පදිංචිව සිටියෙමු. ඉතා සුළු දේවල් ගැන නොයෙකුත් ඕපාදූප හා අඬදබර ඇතිවිය. 1844 මැයි 1 වැනිදා අපේ වැඩිමහල් දියණිය ජෙනි උපන්නාය. ඊට සති හයකට පසුව තැපැල් රථයෙන් ටී්‍රර් නගරය බලා ගියේ මරණාසන්නව සිටි මගේ ළදරුවාද කැටිවය. සැප්තැම්බර් මාසයේදී ජර්මන් ජාතික හෙදියක් සමග මම පැරිසියට ආපසු පැමිණියෙමු. ඒ වන විට පුංචි ජෙනීට කිරි දත් හතරක් තිබුණි.


මා නැති අතර ෆෙඞ්රික් එංගල්ස් කාල් හමුවීමට ඇවිත් තිබුණි. 1845 මුල් භාගයේ හදිසියේම අප වෙත පැමිණි පොලිස් කොමසාරිස්වරයා, ප්රුසියානු ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ගීසෝ විසින් නිකුත් කරන ලද පිටුවහල් කිරීමේ නියෝගයක් අපට පෙන්වීය. කාල් මාක්ස් පැය 24 ක් ඇතුළත පැරිසියෙන් පිටවිය යුතු යයි  එම නියෝගයේ සඳහන් විය. පැරිසියෙන් පිටවීම සඳහා මට වඩා දිගු කාලයක් තිබූ බැවින්, ඉන් ප්‍රයෝජන ගත් මම ගෘහභාණ්ඩ හා ඇඳ ඇතිරිලි වැනි දේවලින් කොටසක්ද විකුණුවෙමි. මට ඒවායින් ලැබුණේ ඉතා සුළු මුදලකි. එහෙත් මට අපේ ගමන සඳහා මුදල් සෙවීමට ඒවා විකිණීමට සිදුවිය. හෙර්වෙග් පවුල මට දවස් දෙකක් නවාතැන් දුනි. රෝගීව සිටි මම, දැඩි සීතලට මුහුණ දෙමින් පෙබරවාරි මුල කාල් සොයා බ්‍රසල්ස් නගරයට ගියෙමි. එහිදී අපි බුවාසවේශ් හෝටලයේ නවාතැන් ගතිමු. හෙයින්සෙන් හා ෆෙයිලිග්‍රාන් පළමු වරට මට මුණ ගැසුණේ මෙහිදීය. ලුවේන් දොරටුවෙන් ඔබ්බෙහි පිහිටි එලයන්ස් වීදියේ, දොස්තර බ්රියෝර්ට අයත් කුඩා ගෙයක් කුලියට ගත් අපි මැයි මාසයේදී එහි පදිංචියට ගියෙමු.
අප පදිංචි වූ විගසම වාගේ එංගල්ස්ද පැමිණියේය. වැඩිකල් නොගොස්, හෙස් ඔහුගේ බිරිඳත් සමග පැමිණියේය. සෙබස්තියන් සෙයිලර් නැමැත්තෙක්ද අපේ කුඩා ජර්මන් කවයට සම්බන්ධ විය. ඔහු ලියුම් හුවමාරු කරගැනීමේ බියුරෝවක් පිහිටුවීය. අපේ කුඩා ජර්මන් ජනපදය සතුටින් එක්වී කල් ගෙවීය. අනතුරුව ගිගොත් ඇතුළු බෙල්ජියම් ජාතිකයෝ කීප දෙනෙක් හා පෝලන්ත ජාතිකයෝ කීප දෙනෙක් ද අපට එකතු වූහ. සැන්දෑ සමයේදී අප නිතරම යාමට පුරුදුව සිටි එක්තරා සිත්කලු අවන්හලකදී නිල් කමිසයක් ඇඳ සිටි මහලු ලෙලෙවල්ව මම හඳුනා ගනිමි.


ගිම්හානයේදී එංගල්ස්, කාල් සමග එකතුව ජර්මන් දර්ශනවාදයේ විවේචනය නමැති පොත ලිවීය. විශාල කෘතියක් වූ එම පොත වෙස්ට්ෆේලියා හිදී ප්‍රකාශයට පත්කරනු ලැබීමට නියමිත විය.


වසන්තයේදී පළමු වරට අප හමුවීමට පැමිණි ජෝසෆ් වේයිදමේයර් ටික කලක් අපේ අමුත්තා වශයෙන් අප සමග නැවතී සිටියේය. අප්‍රේල් මස මගේ ආදරණීය අම්මා ඇගේ විශ්වාසවත් සේවිකාව මගේ සහායට බ්‍රසල්ස් නුවරට එව්වාය. දාහතර මසක් වයසැති සිඟිති ජෙනී ද රැගෙන මම ඇයත් සමග නැවත වරක් මගේ දයාබර මව වෙත ගියෙමි. ඇය සමග සති හයක් ගත කළ මම ලෝරා ඉපදීමට සති දෙකකට පෙර අපේ කුඩා ජනපදයට ආපසු ආවෙමි. සැප්තැම්බර් 26 වැනිදා ලෝරා උපන්නාය. රැකියාවක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් බ්‍රසල්ස් නගරයට පැමිණි මගේ සොහොයුරු එඞ්ගර් ශීත සමය ගත කළේ අපේ නිවසෙහිය. ඔහු සේයිලර්ගේ ප්‍රවෘත්ති බියුරෝවට බැඳුනි. පසුව 1846 වසන්තයේදී අපේ හිතවත් විල්හෙල්ම් වොල්ග් ද එම බියුරෝවට බැඳුනි. පුවත්පත් නීති කඩ කිරීම නිසා ඔහුට වසර 4ක සිරදඬුවමක් ලැබේ. සිලේසියාවේ බළකොටුවක සිටියදී පැනගිය හෙයින් “බන්ධනාගාර වොල්ෆ්” යන නමින් හැඳින් විණි. ඔහු අප වෙත පැමිණි දින සිට ඇතිවූ සමීප මිත්‍රත්වය අවසන් වූයේ 1864 මැයි මාසයේදී අපේ ආදරණීය ලුපුස් (විල්හෙල්ම් වොල්ෆ්) මියගිය පසුවය.


මේ අතර විප්ලවයේ කුණාටු සහිත වලාකුළු වැඩි වැඩියෙන් රොක් වන්නට විය. බෙල්ජියම් ක්ෂිතිජයෙහිද අඳුරු පටල පැන නැගිණි. රජය අන් හැමටම වඩා බිය වූයේ කම්කරුවන්ට හා පොදු ජනතාවගේ සමාජමය හැඟීම්වලටය. පොලිසිය, යුද හමුදාව සහ පුරවැසි ආරක්ෂක හමුදා ආදී හැම දෙයක්ම ඔවුන්ට එරෙහිව සටන් කිරීමට සීරුවෙන් තබන ලදී, එවිට ජර්මන් කම්කරුවෝ තමන්ට ද අවි ගැනීමට වේලාව පැමිණ ඇති බව තීරණය කළහ. කිනිසි, පිස්තෝල යනාදිය මිලදී ගන්නා ලදී. කාල්ට සිය දේපළ උරුමය ලැබුණේ එවකට බැවින් ඔහු ඉමහත් කැමැත්තෙන් කම්කරුවන්ට අවි ගැනීමට මුදල් දුන්නේය. ආණ්ඩුව මේ සියල්ලෙහිම කුමන්ත්‍රණය හා සාපරාධී සැලසුම් දිටීය. මාක්ස්ට මුදල් ලැබෙයි. ඔහු අවි මිලදී ගනී. එහෙයින් ඔහු පන්නා දැමිය යුතුය. දවසක් මහ රෑ මිනිසුන් දෙදෙනෙක් අපේ නිවසට කඩා වැදුණහ. ඔවුහු කාල් කොහිදැයි ඇසූහ. ඔහු එළියට ආ විට මේ දෙදෙනා තමන් පොලිස් සාජන්වරුන් බවත් කාල් සිරභාරයට ගැනීමටත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීමටත් ඔවුන් අත වරෙන්තුවක් ඇති බවත්, කියා සිටියහ. අනතුරුව ඔව්හු කාල්ව ගෙන ගියහ. බියෙන් තැති ගත් මම ඔහු පසුපස දුව ගියෙමි. බලපෑමක් ඇති මිනිසුන් වෙත ගොස් මීට හේතුව කුමක්දැයි දැන ගැනීමට වෙර දැරිමි. ගණ අඳුරේ ගෙයින් ගෙට දුව ගියෙමි. හදිසියේම මා අල්ලා ගත් මුර පොලිස් භටයෝ මා සිරභාරයට ගෙන අඳුරු හිරගෙයකට දැමූහ. එය ගෙයක් දොරක් නැති හිඟන්නන්, ඉබාගාතේ යන්නන් හා අවාසානාවන්ත ගැහැනුන් සඳහා වූ හිරගෙයකි. මා අඳුරු කුටියකට තල්ලු කර දමන ලදී. ඉකිගසමින්  එම කුටියට ඇතුළු වූ මට විපතට පන් එක් අවාසනාවන්ත ගැහැනියක් මට ඇගේ ස්ථානයෙහි ඉඩ ටිකක් දුන්නාය. එය රළු ලෑලි ඇඳකි. මම එහි වැතිර ගතිමි. පසුදා එළිවූ විට මගේ කුටියේ ඉදිරිපස කවුළුවේ යකඩ පොලුවලට ඔබ්බෙන් මළමිනියක් මෙන් සුදුමැලි, දුක්මුසු මුහුණක් මම දුටිමි.  මම කවුළුව අසලට ගියෙමි. එහි සිටි තැනැත්තා අපේ මිතුරු ගිගොන් බව හඳුනා ගතිමි. මා දුටු ඔහු අතින් සංඥාවක් කරමින් පහත මාලය පෙන්වීය. එදෙස බැලූ මම කාල් යුද භටයින්ගේ ආරක්ෂාව යටතේ යන අයුරු දුටුවෙමි. පැයකට පසු ප්‍රශ්න කිරීම සඳහා මා මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටට ගෙන යන ලදී.


පැය දෙකක් මුළුල්ලේ මගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන්ට කිසිවක් දැන ගැනීමට නොලැබුණෙන් යුද භටයින්ගේ ආරක්ෂාව යටතේ මා එක්තරා රියක් වෙත ගෙන යන ලදී. සැන්දෑ වන විට මම මගේ අසරණ ළමයින් තිදෙනා වෙත ආපසු ගියෙමි. මේ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කළේය. සෑම පුවත්පතක්ම ඒ ගැන වාර්තා කළේය. මඳ වේලාවකට පසුව කාල් ගෙදර පැමිණියේය. බ්‍රසල්ස් නගරයෙන් වහාම පිටවී යන ලෙස ඔහුට නියෝග කෙරිණි.


මේ වන විට පැරිසිය බලා ආපසු යාමට අදහස් කරගෙන සිටි ඔහු ප්‍රංශයේ තාවකාලික ආණ්ඩුව වෙත ලිපියක් යවමින් ලුවි ෆිලිප්ගේ අණ පරිදි ඔහුට එරෙහිව නිකුත් කරන ලද පිටුවහල් නියෝගය අවලංගු  කරන ලෙස ඉල්ලා සිටියේය. එම නියෝගය අවලංගු කළ බව පවසමින් ෆ්ලොකොක් විසින් අත්සන් තබන ලද, චාටු බස් සහිත ලිපියක් ඔහු වෙත වහා ලැබුණි. ඒ අනුව යළිත් අපට පැරිසිය  විවෘත විය. නව විප්ලවයේ නැගෙන හිරුගේ දීප්තිමත් එළියට වඩා තවත් සහනදායි දෙයක් අපට තිබිය හැකිද? අපට එහි යාමට සිදුවිය. මම අපට අයත් දේ අසුරා ගතිමි. විකිණිය හැකි හැම දෙයක්ම විකිණීමි. එහෙත් මගේ ගමනට සූදානම් වීමේදී විශේෂයෙන්ම මට ආධාර උපකාර කළ වෙළෙන්දෙකු වන ෆොග්ලර් භාරයේ මගේ රිදී භාණ්ඩ හා හොඳම රෙදිපිළි අඩංගු පෙට්ටි තබා ගියෙමි.
වසර තුනක් බ්‍රසල්ස් නගරයේ වාසය කළ අපි මෙයාකාරයෙන් පිටවී ගියෙමු. සීතල ඇඳිරි දවසක් වූ එදින අපේ දරුවන්, විශේෂයෙන්ම අවුරුද්දක් පමණ වයස වූ බාල දරුවා උණුසුම් ව තබා ගැනීමට අපි බොහෝ වෙහෙස වීමු.

මතු සම්බන්ධයි.

(මෙම ලිපිය මාක්ස්ගේ බිරිය ජෙනි මාක්ස් විසින් 1865 දක්වා ලියන ලද තම ජීවන චරිතයේ සටහන්වලින් උපුටාගත් කොටස්වලින් යුක්ත වේ.)

එම්. තාරික්