කියුබාවේ ඉරණම 02
පිදෙල් කස්ත්‍රෝ නොමැති කියුබාවට කුමක් වේද, එහි සමාජවාදී ගමන් මග වෙනස් වේද යන ප‍්‍රශ්නය විවිධ පාර්ශ්වවලින් ඉස්මතු වෙමින් ඇත. සමාජවාදී කියුබාවේ ජන්ම සතුරන් මෙන්ම කියුබානු විප්ලවයට බොහෝ සෙයින් ආදරය කරන සැබෑ මිතුරන් ද මේ සම්බන්ධව උනන්දුවක් දක්වනු පෙනේ. කියුබාවේ ඉදිරි ගමන පිළිබඳ සර්වසුබවාදී මෙන්ම සර්ව අසුබවාදී කෝණයන්ගෙන් බලන කණ්ඩායම් ඇත.
පිදෙල් සහ රාවුල් දෙබෑයන් විසින් එරට අනාගතය පිළිබඳව වරින් වර කරන ලද ප‍්‍රකාශ මෙහිදී යම් මතයක් ගොඩ නැගීමට මූලාශ‍්‍ර වශයෙන් ගත හැකිය.
‘‘කියුබානු කොමියුනිස්ට් ප‍්‍රතිපත්ති නොවෙනස්ව ඉදිරියට ද පවතිනු ඇතැයි පසුගිය කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී පිදෙල් කස්ත්‍රෝ පැවසීය. ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා කියුබාවට පැමිණි මොහොතේ ඔහු හමුවීමට කිසිම උනන්දුවක් නොදැක්වූ පිදෙල් ඔහුට ලිපියක් යැවීය. ‘‘ඔබේ පැමිණීම හේතුවෙන් අපේ ප‍්‍රතිපත්ති කිසිවක් වෙනස් නොවනු ඇතැයි’ එමගින් ඔහු අවධාරණය කළේය.
තම සොහොයුරා ගිය මග තමාද යන වග පිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදු වූ මොහොතේ ජනපති රාවුල් කස්ත්‍රෝ පැවසීය. එය පිදෙල්ගේ ඉහත ප‍්‍රකාශයත් සමග කදිමට ගැළපේ.
කෙසේ වෙතත් 2008 පෙබරවාරියේදී පිදෙල්ගේ අනුප‍්‍රාප්තිකයා වශයෙන් රාවුල්ගේ දෙවුර මත කියුබානු පාලනයේ වගකීම් පැවරුණු පසු ගෙවී ගිය වසර 9ක පමණ කාලය ඇතුළත එරට පාලනයේ යම් යම් වෙනස්වීම් (මහ පරිමාණයෙන් නොවේ.* සිදුවූ බවද සත්‍යයකි. නිෂ්පාදනයේ සියලූ වගකීම් රජය යටතේ පවත්වාගෙන ගිය දැඩි ප‍්‍රතිපත්ති වෙනුවට සීමිත රාමුවක් තුළ කුඩා, පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමේ අවස්ථාව කියුබානුවන්ට හිමි විය. ආරම්භක යුගයේදී පිදෙල්ගේ විප්ලවීය රජය සියලූ පෞද්ගලික වෙළදාම් තහනම් කළේය. ඇමෙරිකානුවන් සතුව පැවති ඉඩම් කොම්පැණි ආදිය වන්දි නොගෙවා ජනසතු කළේය. 2011 දී රාවුල්ගේ රජය තම ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් හඳුන්වා දුන්නේය. පක්‍ෂ සමුළුවේදී එවන් ප‍්‍රතිසංස්කරණ ගණනාවක් සම්මත කර ගත්තේය. රජයේ නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සීමිත පිරිසකට පමණක් හිමිව තිබූ ජංගම දුරකථන භාවිතය ජනතාවට ද ලබා දුන්නේය. ඒ 2008 වර්ෂයේ දීය. 2013 සැප්තැම්බරයේ දී අංක 313 නීතිය සම්මත කරමින් මේරියල් වරාය නගරයේ දී එරට ප‍්‍රථම විශේෂ ආර්ථික කලාපයට අවසර ලබා දුන්නේය. සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව කියුබාවේ ක‍්‍රියාත්මක කළ ද්විත්ව මුදල් ඒකක භාවිතය (ෘම්ක ක්‍මරරුබජහ ීහිඑැප* ක‍්‍රමයෙන් අහෝසි කිරීමේ තීරණයකට එළැඹිණි.
2014 වර්ෂයේ මැද භාගයේ සිට ඇමරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ගොඩ නගා ගැනීම පිළිබඳ සාකච්ඡුා ආරම්භ විය. කියුබානු විප්ලවයෙන් අනතුරුව එහි ගිය ප‍්‍රථම ඇමරිකානු ජනපති වශයෙන් 2016.03.20 වැනි දින බැරක් ඔබාමා පවුල් පිටින් කියුබාවට නෑගම් ගියේය. එය අහම්බෙන් සිදුවූවක් නොවේ. ඊට පෙර දෙපාර්ශ්වය අතර හොඳ හිත වර්ධනය කර ගැනීමේ සංකේතාත්මක කටයුතු සිදුවිය. ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සහයෝගය ලබා දෙන රටවල් වශයෙන් ඇමරිකාව විසින් සකසා තිබූ නාමලේඛනයෙන් කියුබාව කපා හැරිණි.
2015 වර්ෂයේදී දෙරට අතර තානාපති සම්බන්ධතා නැවත ආරම්භ කරනු ලැබීය. හවානා නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු ධජය එසැවිණි.
කෙසේ වෙතත් මේ සියලූ තත්ත්වයන් මධ්‍යයේ වුවද 2008 වසර ආරම්භයේදී කියුබාවේ පාලකයා බවට පත් වූ රාවුල් මොදෙස්තෝ කස්ත්‍රෝ රූස්ගේ විප්ලවීය ඉතිහාසය ද කියුබාවේ ඉදිරි ගමන පිළිබඳ වැදගත් සාධකයකි. රටවල් 87ක නියෝජිතයන් ඇතුළු 4000 පමණ කොමියුනිස්ට් පාක්ෂිකයන් සහභාගී වූ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රථම සමුළුවේ හමාර දේශනය පවත්වමින් පිදෙල් කස්ත්‍රෝ සිය සහෝදරයා සම්බන්ධව මෙසේ සඳහන් කරයි.
‘‘රාවුල් වැනි අග‍්‍රගණ්‍ය විප්ලවවාදියකුගේ සහෝදරයා වීමට ලැබීම මා සලකන්නේ මා ලැබූ ඉමහත් ගෞරවයක් වශයෙනි.’’ ඒ අයුරින් පිදෙල් සිය සහෝදරයා සම්බන්ධව තබා ඇත්තේ එවන් දැඩි විශ්වාසයකි. සන්නද්ධ විප්ලවයෙන් බලය අල්ලාගෙන පිහිටුවනු ලැබූ සමාජවාදී රාජ්‍යවල ගමන් මග සාමාන්‍යයෙන් වෙනස්වීම් සිදුව ඇත්තේ විප්ලවය මෙහෙයවූ නායකයන්ගේ සමයේදී නොවේ.
පසුකාලීනවය. කියුබාව තවම පාලනය වන්නේ විප්ලවය මෙහෙය වූ ආරම්භක අවස්ථාවේ සිටම අරගලයට දායක වූ නායකකු අතිනි. ඔහු රාවුල්ය. ඔහු කියුබානු විප්ලවයේ ආරම්භක නායකයන් තුන් හතර දෙනාගෙන් කෙනෙකි. මොන්කාඩා ප‍්‍රහාරයට ඍජුවම සම්බන්ධ වූ අයෙකි. එහිදී අධිකරණ සංකීර්ණය යටත් කර ගැනීමේ කණ්ඩායමට නායකත්වය දුන්නේ රාවුල්ය. (මෙහිදී බළකොටුව අල්ලා ගැනීමේ කාර්යය පිදෙල් විසින් තමා වෙතට පවරා ගන්නා ලදී.* ප‍්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව ඔහු පිදෙල් සමගම සිර භාරයට ද පත් විය. නිදහස් වීමෙන් අනතුරුව මෙක්සිකෝවට පලා ගොස්, එහි සිට විප්ලවයේ මූලික කටයුතු සංවිධානය කිරීමේදී රාවුල් පෙරමුණ ගෙන කටයුතු කළේය. පිදෙල් කියුබාවේ සිට මෙක්සිකෝවට පැමිණෙන්නේ රාවුල් විසින් එහි අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කිරීමෙන් අනතුරුව. කියුබානු විප්ලවයේ දී පිදෙල්ගේ දකුණ’ත බඳු වූ ‘චේ’ මෙක්සිකෝවේ දී පිදෙල් වෙත හඳුන්වා දෙන්නේද රාවුල් විසිනි. එබැවින් පිදෙල් මෙන්ම රාවුල්ටද කියුබානු විප්ලවය සමග ඇත්තේ අවියෝජනීය සබඳතාවකි. පිදෙල් මෙන්ම රාවුල් ද විප්ලවයට මහත්සේ ආදරය කරයි.
එහෙත් රාවුල් කස්ත්‍රෝට වර්තමානයේ ක‍්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ අවාසිදායක පිටියකය සමාජවාදී කඳවුර මහත් අභිමානයෙන් වැජඹුණු ශ්‍රී විභූතිමත් අවධිය ඉතිහාසයට එක්වී හමාරය. කියුබානු විප්ලවයේ මහ බලකණු වූ චේ පිදෙල් කැමිලෝ වැනි නායකයන් දිවියෙන් සමුගෙන ඇත. සමාජවාදී කඳවුර අතීතයට උරුමකම් කියන සමයක සැතපුම් 90ක් තරම් දුරින් පිහිටි ලොව මහ බලවතා වන ඇමරිකාව පෙරට වඩා නිදහසේ තම අතපය දිගු කරමින් සිටී. තමනට අමතක නොවන රාජ්‍ය නායකයන් ඝාතනය කිරීම්, රටවල් අභ්‍යන්තරයේ මහජන නැගිටීම් දියත් කිරීම්, කුමන්ත‍්‍රණ හෝ මැතිවරණවලදී එවන් නායකයන් ඉවත් කිරීම වැනි කටයුතු සිදු කරමින් පවතී. ඇමරිකානු ජනපති පුටුවේ සිටිනුයේ කියුබාවට නෑගම් ගිය එරටට යම් මිත‍්‍රශීලි බවක් පළ කළ ඩිමොක‍්‍රටීක් පාක්ෂික ඔබාමා නොවේ මහ ධනකුවේරයකු ව්‍යාපාරිකයකු සහ නළුවකු ද වන එහෙත් දේශපාලකයකු නොවන දැඩි මතධාරියකු වන ඩොනල්ඞ් ජේ. ට‍්‍රම්ප්ය. ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. ජනපති ඔබාමා කියුබාවේ සංචාරය කිරීම පිළිබඳව ට‍්‍රම්ප් එදා පැහැදිලිව සිය විරුද්ධත්වය පළ කළේය. පිදෙල් මිය ගිය මොහොතේ ඔහු ප‍්‍රකාශ කළේ මියගිය කියුබානු නායකයා ඒකාධිපතියකු බවය. ලොව රටවල් සමග මිත‍්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට වඩා වෙනත් රටවලින් ඈත්වීමේ ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා කියුබාවේ ‘‘ඒකාධිපතියාගේ’’ මල්ලි සමග මිත‍්‍රශීලීව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකිය.
පවත්නා අහිතකර ගෝලීය දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් හමුවේ පැන නගින විවිධ වූ අභියෝගවලට සාර්ථකව මුහුණ දී විප්ලවය රැුක ගැනීමේ බැ?රුම් වගකීම රාවුල් කස්ත්‍රෝ නම් වූ විප්ලවවාදියා අත පවතී. බහු ජාතික සමාගම් යෝධ බූවල්ලන් සේ ගොදුරුබිම් සොයමින් සිටී. වෙළඳපොළ ආර්ථිකයේ බලපෑම චණ්ඩ මාරුතයක් සේ හමමින් පවතී.
කියුබාව අභ්‍යන්තරයේ ද කුඩා විපක්‍ෂ කණ්ඩායම් නැත්තේ නොවේ. ඔබාමා කියුබාවට පැමිණි මෙහොතේ එවන් අය ඔහු මුණ ගැසුණු බවටද ආරංචි පැතිර ගියේය. පිදෙල් කස්ත්‍රෝ නම් වූ සුවිශේෂී චරිතය තවදුරටත් ජීවමානව නොසිටින පරිසරයක් තුළ එවන් බලවේගවලට බාහිර උත්තේජන ලැබීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.
සමහර විචාරකයන්ගේ මතය අනුව රාවුල් කස්ත්‍රෝ පිදෙල්ටද වඩා දැඩි ප‍්‍රතිපත්තියක සිටින අයෙකි. ඔහු යටතේ කියුබාවේ යම් යම් වෙනස්වීම් වීමට ඇති ඉඩකඩ වැඩි බව මේ අතර සමහර විවේචකයෝ පවසති. මේ වන විට රාවුල් කස්ත්‍රෝ ද පසුවන්නේ සිය ජීවිතයේ සැඳෑ සමයේය. 1931.06.03 වැනි දින උපත ලැබූ ඔහු 86 වැනි විය පසු කරමින් සිටී. සිය සහෝදරයාට රට භාර දෙන විට පිදෙල් පසු වූයේ 81 වැනි වියේය. ‘ග‍්‍රැන්මා’ වෙන් ගොඩබට පැරණි විප්ලවීය සගයන් අතුරින් රාවුල්ගේ තනි නොතතියට සිටින්නේ රැුම්රෝ වැල්ඩස් වැනි වයෝවෘද්ධ සටන් සගයන් දෙතුන් දෙනෙකු පමණි.
කෙසේ වෙතත් කියුබාහු ගමන් මගට සුබපතන රටවල් සංඛ්‍යාව ඇති විශාලය. එම තත්ත්වය ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. 1992 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඇමරිකානු සම්බාධක යෝජනාව ගෙන එන විට කියුබාවට පක්‍ෂව සිටියේ රටවල් 56 කි. විපක්‍ෂව රටවල් 03 කි. රටවල් 71ක් නිහඬව සිටියේය. එහෙත් 2015 දී කියුබාවට සහාය දැක්වූ රටවල් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගියේය. ජාත්‍යන්තර තලයේ තම මිතුරන් සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට කියුබාව මහත් දක්ෂතාවක් දක්වා ඇති බව ඒ අනුව පෙනිී යයි.
තුන්වැනි ලෝකයේ රටවලට යම් ආශ්වාදයක් ලබා දෙමින් චීනය, බ‍්‍රසීලය, ඉන්දියාව වැනි රටවල් සංවර්ධන මාවතේ දිගු අඩි තබමින් පෙරට එමින් සිටී. මේ සියලූ වාසි සහ අවාසිසහගත තත්ත්වයන් මධ්‍යයේ තවදුරටත් කියුබානු ක‍්‍රමයේ යම් යම් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ග හඳුන්වා දීම සඳහා සම්භාවිතාවක් ඇති බව පෙනී යයි. එහෙත් එදා සෝවියට් දේශයේ සිදු වූ ආකාරයේ නායයාමක් කියුබාවේ මෑත අනාගතයේදී සිදුවේ යැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ලොව පංච මහාද්වීප පුරාම විසිරී පැතිරී සිටින සැබෑ කියුබානු මිතුරන්ගේ එකම ප‍්‍රාර්ථනය වන්නේ කියුබානු භූමියේ පිදෙල්, චේ, රාවුල්, කැමිලෝ වැනි ඉදිරිපෙළ නායකයන් විසින් මහත් අභිමානයෙන් යුතුව ඔසවන ලද රක්ත වර්ණ ධජය තවදුරටත් දිදුලමින් තිබෙනු දැකීම බව කිව යුතුය.
බණ්ඩාරගම පුල්ලපෙරුම