පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ


(ලක්මි කුඩලිගම)

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී  විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

යතුරු පැදියේ පසුපස ගමන් ගත් රන්දික පියුමාල් ගමගේ නමැති (21) හැවිරිදි තරුණයකු එසේ මියගොස් ඇත.  

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කර තිබේ.

එසේ ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

යතුරු පැදිකරු ද තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් මේ පිළිබඳව පරික්ෂණ පවත්වති.