නිදි යහනේ මරු තුරුලට ගිය හයවැනි ජෝර්ජ් රජු


ඉතිහාසයේ මෙවන් සතියක.....

එලිසබෙත් රැජන

 

 

බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යයේ රජු යනු ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස පිළිගැනීමක් තිබිණි. සිය යටත්විජිත සියල්ල පාලනය කිරීමේ අධිකාරිය සතු බි්‍රතාන්‍ය රජු ලෙස කටයුතු කළ හයවැනි ජෝර්ජ් රජු වර්ෂ 1952 පෙබරවාරි 06 වැනි දින මෙවන් සතියක මියයාම හේතුවෙන් බි්‍රතාන්‍යයේ වත්මන් කිරීටය දරන එලිසබෙත් රැජින රාජ්‍යත්වයට පත්වූවාය. 


ඇය බ්‍රිතාන්‍ය  ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ කාන්තාව ලෙස වාර්තා පොතට එක්ව සිටින්නීය.  


බ්‍රිතාන්‍යයේ කිරීටයට උරුමකම් කියූ අටවැනි එඞ්වර්ඞ් ඇමෙරිකානු ජාතික දික්කසාද කාන්තාවක වූ වොලිස් සිම්ප්සන් සමග විවාහවීමට සිංහාසනය අත නොහැරියේ නම් එලිසබෙත් කුමරිය රජ වන්නේ නැත. එමෙන්ම ඇගේ පියා වයස අවුරුදු 52 දී හදිසියේම මිය නොයන්නට ඇයට මෙතරම් දීර්ඝ රාජ්‍ය කාලයක වාර්තාව හිමිවන්නේ ද නැත. 


1926 අප්‍රේල් මස 21 වැනි දින එලිසබෙත් කුමරිය  උපත ලබන විට ජෝර්ජ් කුමාරයා රජවී සිටියේ නැත. ඔහු රජ වූයේ කුමරිය උපත ලබා දශකයකට පසු 1946 දී ය. 


තමන්ගේ ඇවෑමෙන් තම දියණිය මහා බි්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පත්වන බව දැන සිටි ජෝර්ජ් රජු ඇය ඒ භූමිකාව වෙනුවෙන් මනාව සූදානම් කළේ පියකුගේ පමණක් නොව මහ රජකුගේ වගකීම ඉටු කරමිනි. වයස අවුරුදු 18 දී ඇයට රාජකීය වගකීම් පවා පැවරුවේය. ඇය රාජ්‍ය උපදේශක ලෙස පවා නම් කරන්නට ඔහු කටයුතු කළේ ඕනෑම අවස්ථාවක එක්සත් රාජධානිය නියෝජනය කිරීමේ බලය පවා ඇයට ලබා දෙමිනි. 


පෙණහලු පිළිකාවකින් පෙළෙමින් සිටි ජෝර්ජ් රජුට කළ සැත්කමකින් මාස හතරකට පසු 1952 ජනවාරි 31 වැනි දා කුමරිය රටින් බැහැරව කෙන්යාවේ සංචාරයකට ගියාය. 


සිය මිතුරන් පිරිසක් ද සමග සැන්ඩි්‍රන්හැම් වෙත පෙබරවාරි 05 වැනි දා ගිය රජු වෙඩි තැබීමේ ක්‍රීඩාවන්හි නිරතව බොහෝ සතුටට පත්ව සිටියේය. පසුදිනය ද සැලසුම් කළ හෙතෙම රාත්‍රී 10.30 ට පමණ නින්දට ගියේය. නමුත් යළි ඔහු අවදිවූයේ නැත. අවුරුදු 15ක් බි්‍රතාන්‍ය කිරීටය දැරූ ඔහු මියනවිට 56 වැනි වියේ පසුවූයේය. 


කෙන්යාවේ වනෝද්‍යානයක තම වල්ලභයා වූ පිලිප් කුමරු සමග අලි ඇතුන්ගේ ඡායාරූප රැගෙන රාත්‍රී නින්දට ගිය කුමරිය කාමරයේ කවුළුවකින් නිශාචර සතුන් නිරීක්ෂණය කරමින් සිටින අතරතුර පියාගේ මරණය සිදුවන්නට ඇතැයි ඇය පශ්චාත්තාප වූවාය. 


මේ කනගාටුදායක පුවත ඇසීමත් සමග සංචාරය අතරමග නවතා දැමූ ඇය හැකි ඉක්මනින් එංගලන්තය බලා පිටත්ව ගියාය. පසුදිනම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ වගකීම ඇය මත පැටවිණි. තම ආදරණීය පියාගේ මරණයෙන් ඇය කොතරම් ශෝබරිතව සිටිය ද ඇය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන් බව එකල මාධ්‍යවල පවා ප්‍රකාශයට පත්කෙරිණි. 
“මගේ ආදරණීය පියාගේ මරණයෙන්, වගකීම්, රාජකාරී සහ යුතුකම් භාර ගැනීමට මා කැඳවා තිබේ.” ඇය අභීතව පැවසුවාය. 


“මගේ ජනතාවගේ අභිවෘද්ධිය සහ සතුට වෙනුවෙන් මගේ පිය රජු කරන ලද සේවය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බවටත් මම මගේ හදවතින්ම ප්‍රකාශ කරමි” යැයි කියූ ඇය වසරකට පසු නිල වශයෙන් බි්‍රතාන්‍යයේ රාජ්‍යත්වයට පත්ව ඇගේ දීර්ඝ පාලනය ආරම්භ කළාය. 

 

එලිසබෙත් රැජින දැන් තම පියා ගැන වැඩි යමක් කතා නොකළ ද ඇය නිතරම පියාගේ මරණයෙන් ලද අත්දැකීම් අනුව කටයුතු කරන බව රජ පවුලේ තතු දන්නෝ කියති. 
පියා මරණයට පත්වන මොහොතේ කෙන්යාවේ සංචාරය කළ ඇයට පියාගේ දේහය දැක ගැනීමට එන විට අඳින්නට කළු පැහැති ඇඳුමක් තිබුණේ නැත. මෙයින් පාඩම් ඉගෙන ගත්  රාජකීය පවුලේ සාමාජිකයෝ සෑම විටම තම ඇඳුම් මල්ලේ එක් කළු ඇඳුමක් රැගෙන යාමට පුරුදුව සිටිති.  

 

එලසබෙත් රැජන ලංකා රාජනිය ලෙස නිදහස් චතුරශ්‍රයේ දී

එලිසබෙත් කුමරිය ජෝර්ජ් රජු සමග

 


එමෙන්ම ජෝර්ජ් රජු මියගිය සැන්ඩි්‍රන්හැම් වෙත සෑම නත්තලකට ම යන මහ රැජන නත්තල් සැරසිලි සියල්ල තම පියා මියගිය පෙබරවාරි 06 වැනිදා දක්වා තබයි. ඇය තවමත් තම පියා මතකයේ තබාගෙන ඇති බව සිහිකරන්නට එසේ කරනු විය යුතුය. 


1952 පෙබරවාරි 06 වැනි දින ඇය රාජ්‍යත්වයට පත්වූයේ බි්‍රතාන්‍ය යටත් විජිතයන් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව ඇතුළු සියලු රාජ්‍යයන්ගේය. අපට ද මේ රාජ්‍ය පදවිප්‍රාප්තිය වැදගත් වන්නේ ඇය මෙරට අවසාන රජු ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත්ව ඇති බැවිනි. 


1954 අප්‍රේල් මස 12 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රය සිංහල බෞද්ධ රාජ සභාවක් මෙන් සරසා එහි පාර්ලිමේන්තුව රැස්විය. දෙවැනි එලිසබෙත් මහ රැජන ඔටුනු පැලඳ එම අවස්ථාවට සහභාගීව සිංහාසනාරූඪව සිටි අතර රටේ නායිකාව ලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ රාජාසන දේශනය ද පැවැත්වූවාය. අනතුරුව ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ජනතාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් එලිසබෙත් රැජින මෙතැන් පටන් සිංහල රාජාවලියට ඇතුළත් කරගන්නා බවත් අපේම ස්වෛරී සිංහල රැජනක් ලෙස පිළිගන්නා බවත් මහ රැජිනට දන්වා සිටියේය. පසුව සභානායක ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ස්තූති කතාව පවත්වා සභාව අවසන් කරන ලදී. 
ඒ අනුව ඉතිහාසයේ මෙවන් සතියක රාජ්‍යත්වයට පත්වූ එලිසබෙත් මහ රැජන 1972 මැයි මස 22 වැනි දින ජනරජ ව්‍යවස්ථාව ගෙන එනතුරු මෙරට සිටි අවසන් රැජිනයි.


සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි