ඒකාධිපති වියරුවෙන් නැසුණු සිම්බාබ්වේ - මුගාබේ


 

වයස අවුරුදු අනූතුනක් වුවත් විශ්‍රාම ගැනීමේ අදහසක් ජනාධිපති ධූරෙයන් ඉවත් කරන තුරුම  ඔහුට තිබුණේ නැත. වසර හතළිහකට ආසන්න කාලයක් සිම්බාබ්වේ රාජ්‍යයේ ජනපති ධුරය හෙබවූ “රොබට් මුගාබේ” ගතින් කෙතරම් දුබලව සිටියත් ඔහුගේ රට වැසියන්ටත් ලෝක ප්‍රජාවටත් ඒකාධිපති පාලකයෙකි. මෙවර දියතෙන් කියැවෙන්නේ ඔහු ගැනය.


එක්තරා වසරකදී ඔහු අප්‍රිකානු සංගමයේ සැසියක් අමතමින් කියා තිබුණේ දෙවියන්වහන්සේ සමීපයට කැඳවාගන්නා තුරු, එනම් මරණය තුරු තමා රට කරවන බවකි. පාලනය හෙබවූ වසර තිස්හතක කාලය තුළදී කිසිවිටෙක සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට උනන්දු නොවු මුගාබේගේ දරදඬු පාලනයෙන් හෙම්බත්ව සිටින සිම්බාබ්වේ වැසියන්ට ඉවසනවා හැරෙන්නට අන් විකල්පයක් තිබු‍ණේම නැත. 


සිය පාලන කාලය තුළදී රට මුහුණදුන් ආර්ථික පරිහානිය, දරිද්‍රතාවය, උද්ධමනය හා ආහාර අහේනිය වැනි අර්බුද හමුවේ නොසැලී සිටි මුගාබේට සිය ධූර කාලය ගතකළේ ආඩම්බරයෙන් උදම් අනමිනි. 1924 වසරේ එරට ස්විම්බා දිස්ත්‍රික්කයේ උපත ලැබි මුගාබේ වෘත්තීයෙන් පසුව ගුරුවරයෙකු ලෙසින් පුහුණුව ලැබූ අයෙකු වීම විශේෂත්වයකි. 1964 වසරේ එවකට බි්‍රතාන්‍ය පාලනයෙන් පැවති රොඬේෂියා ආණ්ඩුව විසින් සිරගත කරනු ලැබූ හෙතෙම 1980 වසරේදී  නිදහසින් පසුව රටේ පළමු මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබීය. 


2000 වසරේ පැවති ජනමත විචාරණයෙන් පරාජය වීම හේතුවත් සමග මුගාබේවාදී සන්නද්ධ කණ්ඩායම් සුදු ජාතිකයන්ගේ ගොවිපොළ ආක්‍රමණය කිරීමට තරම් දුර්දාන්තයක්ද රට තුළ ඇතිවිණි. 2008 වසරේ පැවති ජනපතිවරණයේ පළමු වටයේදී මෝගන් චන්ගිරායිට පරාජය වූ මුගාබේ එම පරාජය පිළිගත නොහැකිව සිය ආධාරකරුවන්ට ප්‍රහාර එල්ලවීම හමුවේ චන්ගිරායි මැතිවරණයේ දෙවැනි වටයෙන් ඉවත් වීමට ඔහුට සිදුවිය.


මෙවැනි තත්ත්වයන් යටතේ වුවද වරෙක සෞඛ්‍ය සංවිධානය විසින් ඔහු එහි සෞඛ්‍ය සේවා තානාපතිවරයකු ලෙස පත්කළ බැවිනි. ආන්දෝලනාත්මක වූ මෙම පත්වීම ලද සැණින් සිය අධිකාරී බලය තවදුරටත් තහවුරු කරගැනීමටත්, ප්‍රතිරූපය පුම්බා ගැනීමටත් මුගාබේ එය භාවිතයට ගත්තද ලෝකයෙන්ම එල්ලවූ විරෝධය හමුවේ මෙම අභූත තීරණය අවලංගු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවිය.


ඔහුගේ පාලනය යටතේ ගෙවුණු 1985 - 2003 අතර කාලයේදී සිම්බාබ්වේ මුහුණ දුන් උද්ධමනය හා ආර්ථික කඩා වැටීම ලොව අන් කිසිඳු රටක් කිසිඳු කාලයකදී හෝ මුහුණ දුන් ව්‍යසනයකට සමාන කළ නොහැක. එම කාලයේදී රට ගිලගෙන පැවැති දරිද්‍රතාවය හා ආර්ථික පරිහානිය කෙතරම්ද යත් 1985 දී අවුරුදු හැටඑකක්ව පැවති එරට ආයු අපේක්ෂාව 2003 වන විට අවුරුදු හතළිස්හතර දක්වා පහත බැස තිබිණි.


මේ දක්වාත් එහි සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට මුගාබේ රජයට හැකිව නැත. ආර්ථික අර්බුදය එහි උච්ඡස්ථානයට ළංව පැවති 2009 වසර වන විට මිලියන හතක්වූ සිම්බාබ්වේ වැසියන් පිරිසකගේ එනම්, රටෙන් තුනෙන් දෙකකට වැඩි ජනගහණයකගේ කුසගිනි නිවා දමමින් සිටියේ එක්සත් ජාතීන් විසිනුයි. රට මුහුණ දී සිටි මෙම ආර්ථික අහේනියේ පෙරගමන්කරුවා වුයේද මුගාබේ ය. දේශපාලන වාසි තකා එරට ආර්ථිකයේ කොඳුනාරටිය බඳු සුදු ජාතීක ගොවි‍පොළ හිමියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන ඒවා කැබලි කොට යළි බෙදාහැරීම මෙම අර්බුදයේ හේතු මූලය විය. තමාගේ අදුරදර්ශී ක්‍රියාකලාපය රට එවන් ආගාධයකට ඇද දැමීමට මුල් වුවත්, මුගාබේ එකහෙළාම කියා සිටියේ තමා මිය යනතුරු ජනපති ධුරය අත්නොහරින බවයි. ඔහුගේ බල ලෝභී ඒකාධිපති මානසිකත්වය කියා පෑමට එම ප්‍රකාශයම වුවද සෑහේ.


2008 වසරේදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව අනාවරණය කරගත් දින සිට මේ දක්වා මුගාබේ ප්‍රතිකාර ලබන්නේ සිංගප්පුරුවෙන් හා මැදපෙරදිග රටවලිනි. තම රෝගයට ප්‍රතිකාර ලැබීමට තම රටේ සෞඛ්‍ය සේවය කෙරෙහි ඔහුට විශ්වාසයක් නැති හැඩය. බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඬලීමට ඇප කැපවී සිටින බව කියැවෙන මුගාබේ සිය රෝගය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ තමාගේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින බව කියැවෙන ඔහුට විරුද්ධව කටයුතු කරන පාර්ශ්ව වෙතයි. ඔවුන් විසින් තමා රවටා අනුමත කළ අඩු පෝෂණ ආහාර රටාව පිළිකාවට මඟපැදූ බව මුගාබේගේ මෙන්ම ඔහුගේ බිරිය ග්‍රේස්ගේද මතයයි. තම ජීවන පැවැත්ම සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නකු කලාපයේ සෙසු රටවල රාජ්‍ය නායකයින් බෝ නොවන රෝග මැඩලීමට දිරිගන්වන්නේ කෙසේද යන්නද ජාත්‍යන්තරය ප්‍රශ්න කළේය.


කෙසේ වුවද රොබට්‌ මුගාබේ ජීවත් වූයේත් රට පාලනය කළේත් සැබෑම ඒකාධිපතියෙකු පරිද්දෙනි. ඔහුට අවශ්‍ය වී තිබුණේ තමාට පසුව තමන්ට වඩා වසර හතලිස්‌ එකක්‌ බාල තම බිරිඳට සිම්බාබ්වේහි පාලනය පවරන්නටය. 2017 නොවැම්බර් 06 වැනි දින රොබට්‌ මුගාබේ විසින් සිම්බාබ්වේහි උප ජනපති ධුරයේ උන් එමර්සන් මනන්ගාග්වා එම ධුරයෙන් පහ කරන්නේ තම බිරිඳ වන ග්රේස්‌ මුගාබේට උප ජනාධිපති පදවිය ලබා දෙන අරමුණ ඇතිවය. රොබට්‌ මුගාබේගේ බලය කණපිට පෙරලෙන්නේ මේ සිදුවීමෙන් පසුවය. ග්‍රේස්‌ මුගාබේව උප ජනාධිපති ධුරයට පත් කිරීම පිළිබඳව බහුතරයකගේ අප්‍රසාදය එල්ල වුවද රොබට්‌ මුගාබේ එම විරෝධතාවයන් ගණනකට ගත්තේ නැත.


තම බිරිදව උප ජනාධිපති පදවියට පත් කරන්නට කටයුතු සූදානම් කෙරෙද්දි සිම්බාබ්වේ හමුදාව විසින් නොවැම්බර් 15 වැනි දින ජනපති රොබට්‌ මුගාබේ ඇතුළු පවුලේ පිරිස අත්අඩංගුවට ගෙන නිවාස අඩස්‌සියේ රඳවා ගනු ලැබිණ. මෙයට පෙරාතුව රාජ්‍යයේ මාධ්‍ය ආයතන තමන්ගේ පාලනය යටතට ගන්නටත් සිම්බාබ්වේ හමුදා නායකයින් කටයුතු කොට තිබිණ. 


මෙය හමුදා කුමන්ත්‍රණයක්‌ නොවන බවත්, රටේ ව්‍යවස්‌ථාව හා යහපාලනය පවත්වා ගැනීමට දියත් කළ සාමකාමී මෙහෙයුමක්‌ බවත්, ලේ වැගිරීමකින් තොරව සාමකාමීව බලය පවරා දෙන්නට රොබට්‌ මුගාබේ එකඟ වූ බවත් හමුදාව විසින් මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කරනු ලැබිණ. එසේම මෙතෙක්‌ කල් රට පාලනය කළ ජනපති සහ ඔහුගේ පවුලේ අය ආරක්‌ෂිතව හා සැප පහසුවෙන් රඳවා ඇති බවත් ප්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් රොබට්‌ මුගාබේ හෝ ඔහුගේ පවුලේ අය සිටිනා තැනක්‌ පිළිබඳව නිශ්චිත තොරතුරක්‌ මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය නොවුණි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි