හදිසියේ සිහිවූ මැතිවරණ සංශෝධන


කේවල ආසන ක්‍රමය හා සමානුපාතික නියෝජන ක්‍රමය යන ක්‍රම දෙකම ඇතුළත් මිශ්‍ර පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කෙටුම්පත් කරන ලෙසට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට කැබිනට් මණ්ඩලය ඉකුත් මාර්තු 18 වැනිදා තීරණය කොට තිබේ.

මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව නම් මෙසේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත්තේ පසුගිය වසරේ සම්මත කරන ලද මැතිවරණ වියදම් පිළිබඳ රෙගුලාසිවල අරමුණු නිසාය.

එහෙත් අප දන්නා පරිදි නම් මිශ්‍ර මැතිවරණ ක්‍රමය පිළිබඳ සාකච්ඡා ආරම්භ වූයේ දශක දෙකකට ඉහතදීය. 2001 වසරේ දී එවකට ඇමැතිවරයකු වූ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිර්දේශ කොට තිබිණි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය අනුව ඉකුත් වසරේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා දින නියම කරනු ලැබ තිබූ වටපිටාවක මැතිවරණ වියදම් පිළිබඳ රෙගුලාසි සම්මත කරනු ලැබීමෙන් පසු එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 160 දෙනකු සෘජු මහජන ඡන්දයෙන් කේවල ආසන පදනමින් ද තවත් 65 දෙනකු ජාතික හෝ පළාත් පදනමින් සමානුපාතික ක්‍රමය යටතේ ද තෝරා පත්කර ගැනීමේ යෝජනාවක් මෙම කැබිනට් අනු කමිටුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. එම යෝජනාව ඉදිරිපත් කළේ කවුදැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන් නොවේ. කෙසේ වෙතත් එම යෝජනාවට කැබිනට් අනු කමිටුවේ බහුතරයකගේ අනුමැතිය ලැබී තිබෙන බව එහි සඳහන් වේ.

ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වූ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පරිදි නීති කෙටුම්පත් කරන ලෙසට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව එම නිවේදනය පවසයි.

මෙහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව යන්නෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අදහස් කරවා ඇත්තේ ගුණවර්ධන මහතා ඇමැතිවරයකුව සිටිය දී 2021 දී පත් කරන ලද, ඉහත සඳහන් තුන්වැනි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විය යුතුය. මන්දයත් ගුණවර්ධන මහතා අගමැති ධුරයට පත් වූ පසු මැතිවරණ නීති සංශෝධනය සඳහා වූ කමිටුවක සභාපති වූ බවක් අපට නම් මතකයට නගා ගත නොහැකිය.

අප කලින් සඳහන් කරන ලද පරිදි 2021 දී ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලද්දේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන්ම පත් කරන ලද තේරීම් කාරක සභා දෙකක් මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිර්දේශ කොට තිබියදීය. එම තුන්වැනි තේරීම් කාරක සභාවද මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිර්දේශ කොට වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිය දී පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු අග විනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහාම දස දෙනකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් ද පත් කළේය.

එම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයේ අවශ්‍යතාව ද පෙන්වා දෙමිනි. ඒ අනුව එම කොමිසම ද නිර්දේශ කරනු ඇත්තේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයයි. එම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන (අප්‍රේල්) මාසයේය. එම කමිටුව පත් කිරීමෙන් දින දෙකකට පසු ඉකුත් ඔක්තෝබර් 18වැනිදා එවැන්නක් නොසිදු වූවාසේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් සමග වෙනම සාකච්ඡාවක් කළේය. දැන් යළිත් එම කමිටුව නොතකා හැර හෝ අමතක වී මැතිවරණ නීති සංශෝධනය  සඳහා නීති කෙටුම්පත් කරන්නට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

ලබන මාසයේ දී ප්‍රියසාත් ඩෙප් කොමිසම සිය වාර්තාව ජනාධිපතිවරයාට භාර දුනහොත් එහි නිර්දේශවලට කරන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණය ද මේ වසරේම පැවැත්වීම සම්බන්ධයෙන් රට තුළ සංවාදයක් ගොඩනැඟී ඇති තත්වයක් තුළ ළඟ එන මැතිවරණයට අදාළ නීති සංශෝධනය කරන්නට යාම කෙරෙහි විපක්ෂය සැකයෙන් බැලීම සාධාරණය.

නීතිය අනුව පාර්ලිමේන්තු මැතිවරණය නියමිතව ඇත්තේ ලබන වසරේ ජූලි මාසයේ දී පමණය. එහෙත් අවශ්‍ය නම් පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලය තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අලුතින් පත්වූ පාර්ලිමේන්තුවක පළමු රැස්වීමේ සිට  වසර දෙක හමාරක් ගතවූ පසු එම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට  ජනාධිපතිවරයාට බලය ලැබෙන හෙයිනි.

මේ අතර පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයද පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතුයැයි බැසිල් රාජපක්ෂ මහතා  ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ද කියා සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි. ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල්  රාජපක්ෂ මහතා අතර දින කීපයකට පෙර සාකච්ඡාවක් පැවැති බවද කියැවේ. ඒ තත්වය තුළ තමන් පත් කළ කොමිසමේ වාර්තාව එන්නට ද පෙර මැතිවරණ නීති කෙටුම්පත් කරන්නට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ කලින් මහ මැතිවරණය පැවැත්වීමේ පොදුජන පෙරමුණේ උත්සාහය ව්‍යාර්ථ කරන්නට ද යන ප්‍රශ්නය ද මතුවේ.

එසේ නැති වුවද මැතිවරණ නීති සංශෝධන මගින්ම මැතිවරණ කල් දැමීමේ එක්සත් ජාතික පක්ෂයේ අතීත ක්‍රියා කලාපය අනුව වසරකින් පමණ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබිය දී එම මැතිවරණයට අදාළ නීති වෙනස් කොට කෙටුම්පත් කරන්නට ගෙන ඇති තීරණය පිළිබඳ විපක්ෂයේ සැකය සාධාරණය.

එකම දිනෙක සියලු පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට 2017 දී එජාප ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. එමඟින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා එල්ල විය. ඒ අතර එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 එවිට ආණ්ඩුව එම පනතම ඉවත දමා  එම සභාවල කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට පනත් කෙටුම්පතක්  ඉදිරිපත් කළේය. එම දෙවැනි පනත පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී ආණ්ඩුව කාන්තා නියෝජනයට කිසිදු සම්බන්ධයක් නැති මිශ්‍ර මැතිවරණයට අදාළ වගන්ති රාශීයක් පනතට සංශෝධන වශයෙන් ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය.

ඒ අනුව පළාත් සභා බල ප්‍රදේශ සඳහා සීමා නිර්ණය වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය ඉදිරිපත් කළ ඇමැතිවරයා ද ඊට එරෙහිව ඡන්දය දුන් අතර එය ප්‍රතික්ෂේප විය. පසුව මාස දෙකක් තුළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වූ කමිටුවක් අලුතින් සීමා නිර්ණය වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුව ද එය අද දක්වාම ඉදිරිපත් නොවීය. ඒ අනුව අද දක්වාම එම මැතිවරණ නොපැවැත්වී තිබේ.

එහෙයින් සුපුරුදු පරිදි සමානුපාතික ක්‍රමයට මැතිවරණ පැවැත්වීම සඳහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය. ඊට සුළු සංශෝධන සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ද ලැබී තිබියදීත් ආණ්ඩුව එය සම්මත නොකර සිටී.

පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණවලට සිදුවූ දේ ද රටම දනී. එම මැතිවරණ ආසන්නයටම පැමිණි විට පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා ආණ්ඩුව නීති සංශෝධනය කරන්නට උත්සාහ කළේය. එය දැඩි විවේචනයට ලක් වූ අතර 2022 දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණ නීති සංශෝධනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නට ආණ්ඩුව යළිත් සාකච්ඡා පැවැත්වීය.

ඉන්පසු පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට එරෙහිව නඩුවක් පැවරිණි. එජාප ද නාම යෝජනා දී තිබිය දී මැතිවරණය නීත්‍යානුකූල නොවේ යැයි එජාප නායකයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අවසානයේ දී මැතිවරණයට අයවැයෙන් වෙන් කළ මුදල් මුදා නොහැරීමෙන් ආණ්ඩුව එම මැතිවරණ දින නියමයක් නැතිව කල් දමන තැනට කටයුතු කළේය. මේ ඉතිහාසය අනුව ආණ්ඩුව මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ නීති සංශෝධනයට ඉදිරිපත් වීම සැක සහිත වීම තේරුම් ගත හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණ මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම පිළිබඳ සියලු පක්ෂ එකඟ වූයේ දශක දෙකකට ඉහතදීය. දශක දෙකක් එය ක්‍රියාත්මක කරන්නට උනන්දුවක් නොතිබූ දේශපාලනඥයන්ට දැන් මැතිවරණයක් අත ළඟ තිබිය දී හදිසියක් ඇතිවීම සැබවින්ම  ගැටලුවකි.

 

(*** එම්.එස්.එම්. අයුබ්)