හදිසියේ ඉස්මතු වූ ජනපති සටන


ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ ස්වරූප නව මානයකින් ප්‍රදර්ශනය වීමට පසුගිය සතියේ සිට පටන්ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සඳහා තනි තරඟයක යෙදෙන බවක් මේ දක්වාම පෙනෙන්නට තිබුණද පසුගිය සති අන්තය වන විට රටේ දේශපාලන තත්වයේ සැලකිය යුතු වෙනසක් දකින්නට ලැබුණේ යැයි සිතේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රමයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවක් ද එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය උණුසුම් කරන සටන් බිමක් නිර්මාණය වෙමින් පවත්නා බවක්ද දැක ගන්නට ලැබුණි.

පසුගිය සතියේ සෙනසුරාදා (24) සමගි ජනබලවේගයේ මහනුවර කාන්තා සමුළුව උදේ සිටම ආරම්භ කර දහවල් වන තුරුම පවත්වාගෙන ගිය ආකාරය සමහර රූපවාහිනී නාලිකා මගින් සජීවීව විකාශ කරනු ලැබීය. දිස්ත්‍රික් සමුළුවක් වුවද සැලකිය යුතු කාන්තා පිරිසක් එයට සහභාගි වී සිටි බව සජීව අයුරින් දැක ගැනීමට ලැබුණේය. ජාතික ජන බලවේගයේ ගම්පහ කාන්තා සමුළුව ඉරිදා (25) ගම්පහ නගරයේදී පැවැත්වුණි. එයටද අති විශාල කාන්තා පිරිසක් සහභාගි වී සිටි ආකාරය ජනාමධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මේ අතර සෙනසුරාදා (24) නව සන්ධානය ලෙස හඳුන්වන අලු‍ත් දේශපාලන සංවිධානයක රැස්වීමක් ද කොළඹ හයිඩ් පිටියේදී පවත්වනු ලැබීය. එයට ද අති විශාල ජනතාවක් සහභාගි වී සිටි ආකාරය මාධ්‍ය මගින් දැකගන්නට හැකිවිය.

ඒ අතරම දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ ද ජනහමුවක් පොළොන්නරුවේදී පවත්වා ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ විවිධ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් වී ඇති බව ප්‍රකාශ වී ඇති කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට එම පක්ෂයේ සහයෝගය ලබා නොදෙන බවත් නව සන්ධානයක් ඇතිකර එම සන්ධානය වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්ය. මෙම තත්වය යටතේ පැහැදිලි වන මූලික කරුණු වන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ පැවැති ඒකීයභාවය වෙනස් වෙමින් ජනාධිපතිවරණය සඳහා බහුවිධ තරඟයක් ආරම්භ වන බවය. එයද ඉතා තියුණු තරගයක් වීමට ඇති ඉඩකඩ වැඩි බව පැහැදිලි වෙමින් පවතී.

කොළඹ හයිඩ් පිටියේ පැවැති නව සන්ධාන රැස්වීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ තවත් සුළු කාලයක් තුළදී ඇතිවීමට ඉඩ තිබෙන බොහෝ වෙනස්කම් පිළිබඳව ඉඟියක් පළ කරන බවක් පෙනේ. එම රැස්වීම පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසකගේ නායකත්වයෙන් පැවැත්වුණ අතර එය සංවිධානය කර තිබුණේ නිමල් ලන්සා මහතා ප්‍රමුඛ පිරිසක් විසිනි. මෙම පිරිස ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවය. ඔහුගේ නායකත්වය රටට අත්‍යාවශ්‍යව තිබෙන බවය. මෙම රැස්වීමට රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නායකයකු හෝ සහභාගි වූයේ නැත. එසේ වුවද එම කණ්ඩායම විසින් මීට පෙර ජාඇළදී පවත්වන ලද රැස්වීමට ද පසුගිය සති අන්තයේ කොළඹ දී පැවැත්වූ රැස්වීමටද අතිවිශාල ජන සංඛ්‍යාවක් සහභාගි වී තිබූ බව මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි විය.

පසුගිය සතිය දක්වාම ජනමාධ්‍ය සමීක්ෂණ ආයතන යැයි කියා ගන්නා ආයතන දෙකක් විසින් වරින් වර නිකුත් කර ඇති ලංකාවේ දේශපාලනය පිළිබඳ සමීක්ෂණ වාර්තා රටේ සැබෑ තත්වය කිසි සේත්ම පිළිබිඹු නොකරන ඒවා බව එම රැස්වීම්වලින් පැහැදිලි විය. එම ආයතන මේ දක්වා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණ තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ මහතාත් එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරණයේදී සිටින්නේ ප්‍රධාන පක්ෂවලට වඩා ඉතා පහළ මට්ටමකය. එසේ වුවද, ඉහතින් සඳහන් කළ දේශපාලන රැස්වීම් දෙස බලන විට එම සමීක්ෂණ රටේ මහජනතාවගේ තීන්දුව පිළිබඳව කිසිදු ආකාරයකින් යථාර්ථයට ළං නොවන්නක් බව පැහැදිලි වනු ඇත. ඒ බව මා ප්‍රකාශ කරන්නේ රටේ ඉදිරි කාලය තුළ ඇතිවීමට ඉඩ තිබෙන දේශපාලන ප්‍රවණතා පිළිබඳව දැනට මතුවෙමින් පවත්නා කරුණු අනුවය.

හයිඩ් පිටියේ රැස්වීමට මූලික වූ පිරිස් පිළිබඳව ඉහතින් සඳහන් කළෙමි. එම රැස්වීම රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කළ යුතු යැයි අරමුණ පෙරදැරි කරගෙන සංවිධානය කර තිබුණද එම අදහස දරන දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් පවතින නමුත් තවමත් මහජන රැස්වීම් පැවැත්වීමට ඉදිරිපත් වී ඇත්තේ එම කණ්ඩායම පමණකි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය මෙන්ම එම පක්ෂයට සම්බන්ධ තරුණ සහ කාන්තා බලවේගද වෘත්තීය සමිති සහ වෘත්තිකයන්ගේ සංවිධාන ද තවමත් ප්‍රසිද්ධ රැළි ආරම්භ කර ඇති බව නොපෙනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයකු පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැතත් එහි බහුතරය වික්‍රමසිංහ මහතා තවදුරටත් රටේ නායකත්වය දැරිය යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව පක්ෂයක් ලෙස තීරණය කර නැති නමුදු එම පක්ෂයට අයත් මන්ත්‍රී  කණ්ඩායමෙන් බහුතරයකගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව තිබේ. රජයේ ඇමතිධූර භාර නොගත යුතු බවට එම පක්ෂය විසින් තීරණයක් ගනු ලැබුවද ඊට අනුකූලතාවක් නොදක්වමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ඇමැති ධුර භාර ගත්තෝය. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් රජයේ තනතුරුද හොබවති. ඒ අතර පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා නව සන්ධානයක් බිහි කිරීම සඳහා පෙරමුණ ගෙන ඇත. එම සන්ධානයේ සහාය බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසය රජයේ පාර්ශවකරුවකු වී සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. උතුරේ පාර්ලිමේන්තු ආසන හිමිකරගෙන සිටින ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊපීඩීපී පක්ෂය ද වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. උතුරේ නායකයකු වන වියලේන්ද්‍රන් මහතා හයිඩ් පිටියේ රැස්වීමට සහභාගී විය. උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ මේ අවස්ථාවේදී රටේ නායකත්වයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම කෙනකු නොමැති බවයි.

දැනටමත් පැහැදිලිව පෙනෙන්නට ඇති තත්වය එසේ වුවත්, තවත් බොහෝ දේ දේශපාලන පිටිය තුළ ඉදිරියේදී දැක ගන්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. සමගි ජනබලවේගයේ රාජිත සේනාරත්න මහතා මෙන්ම කුමාර වෙල්ගම මහතා ද දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා හැර රටේ ජනාධිපති ධුරයට සුදුසු වෙනත් නායකයකු නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බොහොමයකගේම අදහස මෙය බවත් මුළු සමගි ජනබලවේගයම හෝ එහි බහුතරයක් පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට සහායදීමට ඉදිරිපත්වීම මේ වන විටත් නොවැළැක්විය හැකි තත්වයක් බවට පත්ව තිබේ. සමගි ජනබලවේගයටද, ජාතික ජනබලවේගයටද එකතුවිය හැකි තවත් දේශාපාලන පක්ෂ හෝ සිවිල් සංවිධාන මේ ආකාරයටම පවතීද යන්න සැක සහිතය. රනිල් වික්‍රමසිංහ මහතා තවමත් තම ජනාධිපතිවරණ සටන ආරම්භ කර නැත. එසේ වුවද ඔහු ජනාධිපති ධූරයට පත්කර ගත යුතු බවට හඩ නගන හයිඩ් පිටියේ රැස්වූ බලවේගය මෙන්ම තවමත් ඉදිරියට පැමිණ නැති බලවේග රැසක් ද පවතින බව පැහැදිලි වේ.

සමහර දේශපාලන පක්ෂද ඇතැම් සිවිල් සංවිධාන ද සිතා සිටින්නේ රට ඉතා බැරෑරුම් අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවක රටේ නායකත්වය භාරගෙන එම ගැටලු‍ විසඳූ රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකළ කාර්ය භාරය දැන් මහජනතාවට අමතක වී ඇති බවය. එසේ වුවද රටේ බහුතරයක් පිරිස දැනට ගොඩ නැගී ඇති සාමකාමී පසුබිමත් ක්‍රමයෙන් ගොඩ නැගෙමින් පවතින ආර්ථික ස්ථාවර භාවය පිළිබඳවත් සෑහීමකට පත්ව සිටින බව පිළි ගැනීමට සිදුවේ. රටේ ජනතාවගෙන් බහුතරයක් පිරිස සමන්විත වන්නේ ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික ජනතාවගෙනි. ඔවුන් තමන් මුහුණදී සිටි ජීවන අරගලය පිළිබඳව හොඳ වැටහීමකින් පසුවන අතර ඉදිරියේදී ද අපේක්ෂා කරනුයේ අර්බුදවලට මැදිහත් නොවී සාමකාමීව ජීවත් විය හැකි රටකි. අනාගත ජීවිතය පිළිබඳව සහ තම දූ දරුවන්ගේ අනාගතය පිළිබඳව සුරක්ෂිතභාවයකි.

රැස්වීම්වලට සහභාගී වන සංඛ්‍යාව මගින් රටේ අනාගත දේශපාලනය තීරණය වන ආකාරය පිළිබඳව වටහා ගැනීමට හැකි වේ යැයි සිතන්නේ නම් එය මුළාවකි. 2019 ජනාධිපතිවරණයට පෙර ගෝල්ෆෙස් පිටිය සෙනගින් පිරවීම පිළිබඳව අත්දැකීම් සෑම කෙනකුටම මතක් වනු ඇතැයි සිතමි. මුලින්ම ගෝල්ෆෙස් පිටිය පිරවුයේ පොහොට්ටු පක්ෂයෙනි. ඉන්පසු සජිත්ගේ පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද ගෝල්ෆෙස් පිටිය පුරවා තම ජනබලය පෙන්නුම් කළේය. එසේ වුවද පොහොට්ටුව සියයට 52.25 ක් ගනිද්දී සජිත්ට සියයට 41.99 ක්ද අනුරට සියයට 3.16 ක්ද ලැබුණි.

රටේ  දේශපාලන අනාගතය තීරණය කරන පාවෙන ඡන්දදායකයන් සමන්විත වන්නේ මෙම මධ්‍යම පන්තිය නියෝජනය කරන කණ්ඩායම්වලිනි. එම මධ්‍යම පන්තිය ජීවිතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවකට කෝවිඩ් වසංගතය සහ අරගලය අවස්ථාවේදී මුහුණ දී සිටියේය. එහෙත් දැන් ජීවිතය පිළිබඳව ස්ථාවර භාවයකින් සිටීමටත් අනාගතය පිළිබඳව බලාපොරොත්තු දල්වා ගැනීමටත් ඔවුන්ට හැකිවී තිබේ. රට යන අත තීරණය කෙරෙන්නේ පාවෙන ඡන්දදායකයන්ට ඒ ඒ අවස්ථාවල දැනෙන හැඟීම් අනුවය. අනාගතයේදී තමන්ට ඇතිවිය හැකි හා නැති විය හැකි දේ පිළිබඳව මධ්‍යම පන්තියේ තබාගෙන ඇති අපේක්ෂාව අනුවය. 

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර