සුදුවෑන් ගැන හිටපු නාවික හමුදාපති කතා කරයි


 SLD_20150308_A012

 

 

යුද සමයේදි නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකු සුදුවෑන් කණ්ඩායමක් මෙහෙයවූ බවට ප‍්‍රවෘත්ති පළ වෙමින් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.

 


ප‍්‍රශ්නය: ඔබ නාවික හමුදාපතිව සිටි සමයේ සුදු වෑන් කණ්ඩායමක් කි‍්‍රයාත්මක  වුණු බවට පුවත් පළ වෙනවා.
 පිළිතුරු:
ඒක සම්පූර්ණ අසත්‍යයක්. නාවික හමුදාවේ කවදාවත් ඔය කියන විදියේ  සුදු වෑන් කණ්ඩායමක් හිටියේ නැහැ. අපේ නාවික  හමුදාවේ රාජකාරි සියයට හැත්තෑවක් පමණ කෙරෙන්නේ මුහුදේ. නාවික හමුදාපතිගේ ආරක්‍ෂාව, කඳවුරුවල ආරක්‍ෂාව. ඒ වගේ ගොඩබිමට අදාළ කාර්යයන් කිහිපයකුත් අපට පැවරිලා තියෙනවා. විශේෂයෙන්ම ති‍්‍රකුණාමලය වැනි ප‍්‍රදේශවල නාවික හමුදාවට වරායේ        ආරක්‍ෂාව  සම්බන්ධයෙන් වගකීමක්  තියෙනවා. ඒ අනුව සියයට හැත්තෑවක් පමණ මුහුදෙත් සීයට තිහක් පමණ ගොඩබිමත්  රාජකාරි කෙරුණා. ඒ අනුව ඔය කියන විදියේ සුදුවෑන් කණ්ඩායමක් අපට  ඉන්න විදිහකුත් නෑ. ඒ නිසා එම ප‍්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්.

 


ප‍්‍රශ්නය : නමුත් එම සුදුවෑන් කණ්ඩායම පුද්ගලයන් පැහැර ගෙන ගොස් කප්පම් ගෙන පසුව මරා දමා ඇති බවත්, දැන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පැවසෙනවා.
 පිළිතුර :
ඇත්තටම ඒ නිසා තමයි නාවික හමුදාවේ ගෞරවය වෙනුවෙන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරක් සැපයිය යුතුයි කියලා  මම කල්පනා කළේත්. 2009 වසරෙදි නාවික හමුදාවේ එක් ආරක්‍ෂක නිලධාරියෙක් හිටියා.  ඒ පුද්ගලයා සම්බන්ධයෙන් මම පොලිස්පතිතුමාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඒ වගේම  ආරක්‍ෂක අමාත්‍යාංශයටත් ඒ කාලෙම දැනුම්වත් කළා.

 


 ප‍්‍රශ්නය: කුමක් සම්බන්ධයෙන්ද පැමිණිලි කළේ!
පිළිතුර:
පුද්ගලයන් පස් දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධව.

 


ප‍්‍රශ්නය ඔබට ඒ තොරතුරු ලැබෙන්නේ?
 පිළිතුර:
අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ඒ සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ඇවිත් ඒ නිලධාරියා මාව දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි අපි ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළේ. ඊට පසුව තමයි ඔහු පිළිබඳව පැමිණිලි කළේ. ඒ අනුව 2011 වසරේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විභාග කරලා. උසාවියට සනාථ කරලා තියෙනවා. ඔය පුද්ගලයා ඒ සිද්ධියට සම්බන්ධයි කියලා. සාක්ෂි තියෙනවා කියලා.

 


ප‍්‍රශ්නය: සම්පත් නමැති පුද්ගලයාට ත‍්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධයෙන් රාජකාරිමය වගකීමක් තිබුණාද?
පිළිතුර:
නෑ ඔහුට එබඳු කිසිදු රාජකාරිමය වගකීමක් තිබුණේ නැහැ.

 


ප‍්‍රශ්නය: එහෙම නම් ඔහු කොහොමද මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්නේ?
පිළිතුර:
ඒවා අතිශය රහසිගතව කරලා තියෙන්නේ. ඔහුට ඇතැම්විට පිටස්තර කණ්ඩායමක් ඉන්න ඇති. ඔහු පිළිබඳව තොරතුරු ලැබුණෙම ඔහුගේ කාමරය විශේෂ පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. එතැනදි තමයි දෙමළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ හැඳුනුම්පත් ලැබෙන්නේ. අපි ඒවා සියල්ලම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

 


 ප‍්‍රශ්නය : ඇයි ඔහු සම්බන්ධයෙන් නාවික හමුදාව පරීක්‍ෂණයක් නොකළේ?
පිළිතුර :
අපි මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කරනවාත් සමගම ඔහු පලා ගියා.

 


 ප‍්‍රශ්නය : ඔහු පලා ගිහින් බාර වූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටද?
පිළිතුර:
ඔව්! ඒක සත්‍යයක්.

 


ප‍්‍රශ්නය: ඊට පසුව ඔහු බන්ධනාගාරගත කෙරෙනවා.?
පිළිතුර:
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඔහු බාර වෙලා කියලා මට දැනගන්න ලැබුණාම මම ඒ බව බලධාරීන් දැනුම්වත් කළා. ඊට පස්සේ තමයි ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ.

 


 ප‍්‍රශ්නය : මෙම කණ්ඩායම අධීක්‍ෂණය නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඞී.කේ.පී. දසනායක මහතාට පැවරී තිබූ බවත් කියැවෙනවා.
 පිළිතුර :
පළමු වැනි දේ තමයි එහෙම කණ්ඩායමක් හිටියේ නෑ. අනික් කාරණය තමයි කපිතාන් ඞී.කේ.පී. දසනායක නියෝජ්‍ය නාවික මෙහෙයුම් හැටියටයි කටයුතු කළේ. යුද සමයේ ඔහු ඉතා දක්‍ෂ නිලධාරියෙක්. යුද්ධය අවසන් මාස තුනේ මුලතිව් මුහුදු තීරයේ ඉදිරිපෙළ රාජකාරි බාරව හිටියේ එම නිලධාරියයි. ඔහුට ඒ නිසා මේ සම්බන්ධව  කිසිම රාජකාරියක් පවරලා නෑ.

 


 ප‍්‍රශ්නය : කපිතාන් ඞී.කේ.පී. දසනායක විශේෂ නාවික පාඨමාලාවක් හැදෑරීමට ඇමෙරිකාවට ගොස් සිටියදී ඔහු මෙරටට ගෙන්වා කට උත්තර ගැනීමක් වුණා.
 පිළිතුර :
මට පේන විදිහට  එම නිලධාරියාව මෙම සිද්ධියට පටලවන්න හදන උත්සාහයක් තමයි මෙතැන වෙමින් තියෙන්නේ. ඒ නිලධාරියා අවශ්‍ය උත්තර දෙයි කියලා. මම හිතනවා.

 


ප‍්‍රශ්නය : ඔබ හිතනවද යුද සමයේ මෙහෙම දේවල් වෙන්න ඇති කියලා.
පිළිතුර :
අපි කොහෙත්ම එවැන්නකට ඉඩක් දීලා තිබුණේ නැහැ. අපි නිතරම කිව්වේ සිවිල් ජනතාවට කිසිම ආකාරයක හිංසනයක් නොවිය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ගත යුතු ගත හැකි සෑම පියවරක්ම ගත්තා. නමුත් සමහරු වැරදි වැඩ කළානම් ඒ පිළිබඳව යම් සුළු  හෝ තොරතුරක් අපට ලැබුණානම් අපි වහාම කි‍්‍රයාත්මක වුණා. මේ සිද්ධිය වුණත් ඒකට හොඳ උදාහරණයක්.

 


 ප‍්‍රශ්නය : මේ ප‍්‍රශ්නය යළිත්  අලූතෙන් මතු වුණේ කොහොමද?
පිළිතුර:
මටත් හිතාගන්න බැරි ඒකයි. මේ පිළිබඳ පැමිණිලි කරලා. ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද විමර්ශනවලින් ඒ පුද්ගලයා එම සිද්ධියට සම්බන්ධයි කියලා තහවුරු කරලා තියෙන්නේ. ඒ පුද්ගලයා දැනට ඇප පිට ඉන්නේ. ඒක එහෙම තිබියදි මේක වෙනස් ආකාරයකට යන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ.


ඒ නිසයි ඔබ මේ ගැන මගෙන් විමසුවාම මෙයට පිළිතුරක් දිය යුතුයි. කියලත් පැවසුවේ මොකද මට අවශ්‍ය නාවික හමුදාවේ කීර්තිනාමය රැුක ගන්න නාවික හමුදාව මේ යුද්ධයේදී සුවිශේෂි සේවයක් කළා. කැප්ටන් දසනායකත් විශාල කාර්යභාරයක් කළා. ඒ  වගේ දක්‍ෂ නිලධාරීන් රැුකගන්න මගෙත් යුතුකමක් තියනවා. අදාළ පුද්ගලයා වෙනම ඉන්නවා. මේ එක පුද්ගලයෙක් නිසා නාවික හමුදාවට අගෞරවයක් නොවිය යුතු නිසයි. මම මේ කතා කළේත්. මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාතී  සාධාරණ පරීක්‍ෂණයක් රජය කරගෙන යනවා. එමගින් නාවික හමුදාවේ කිර්තිය රැකෙයි කියලා මම හිතනවා.

 

m