සිර ගෙදර සුපිරි සිරකාරියගේ සුපිරි වැඩ


කොළඹ කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාස සංකීර්ණයක දෙස් විදෙස් කතුන් යොදාගෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් විඳින ජිනා මැඩම් මේ වන විට රඳවා සිටින්නේ කළුතර බන්ධනාගාරයේය.

හැට හැවිරිදි වියේ පමණ පසු වන ජිනා මැඩම් කළුතර බන්ධනාගාරයට මාරු කර එවීමට පෙර රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාලයේ ජිනා මැඩම් සැකකාරියක් පමණකි. ඇයට සිර දඬුවම් නියම කර තිබුණේ නැත.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි ජිනා මැඩම් කළුතර බන්ධනාගාරයට මාරු කර යවා ඇත්තේ එහි සුඛෝපභෝගී කාමරයක සුර සැප විඳිමින් සිටිය දී බන්ධනාගාරයේ උසස් නිලධාරියකුට අසුවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මහ අරගලය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පසුගිය වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා ගිය උසස් බන්ධනාගාර නිලධාරියකුගේ නෙත එහි සුර සැප විඳින ජිනා මැඩම්ගේ සුඛෝපභෝගී කාමරය ගැටී ඇත.
 

ජිනා මැඩම් එදිනම කළුතර බන්ධනාගාරය වෙත මාරු කර ඇත්තේ උසස් බන්ධනාගාර නිලධාරියාගේ නියෝගයකිනි.

වැලිකඩ බන්ධනාගාරයේ සැප කාමරයක ගත කළ ජිනා මැඩම්ට විසි කිරීමට  ඕනෑ තරම් සල්ලි ඇති තැනැත්තියකි.

අධිකරණයෙන් ඇයට සිර දඬුවම් නියම කර ඇත්තේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදීය.

ඇයට බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර කෑමට තරම් පිරියාවක් නැත්තේය. තරු පහේ හෝටවල්වලින් සුපිරි ආහාර ගෙන ඇති ඇයට බන්ධනාගාරයේ කල්දේරම් බත් කෑම ඇත්තටම පිරියාවක් නැත.

සල්ලි ඇත්නම්  ඕනෑම දෙයක් කළ හැකි බව ජිනා මැඩම් දන්නා කරුණකි. සල්ලි යහමින් වියදම් කළහොත් තරු පහේ හෝටල්වලින් කෑම ගෙන්වා ගෙන කෑ හැකි බව දැනගත් ජිනා මැඩම් ඒ සඳහා කළුතර බන්ධනාගාරයට පැමිණ වැඩි කාලයක් යන්නට මත්තෙන් අවශ්‍ය වටපිටාව සකස් කර ගත්තාය.

බන්ධනාගාරයේ කල්දේරම් බත් කෑමට නොහැකි නිසා ජිනා මැඩම් සුපිරි බත් වේලක රස බැලීමට සිතා ඇත්තේ ඇඟිලි ගනිමින්ය.

දඬුවම් නියම වීමට කලින් කළුතර බන්ධනාගාරයේ සැකකාරියක් ලෙස ජිනා මැඩම් සිටි කාලයේ ඇයව බැලීමට පවුලේ සමීපතමයන් දිනපතාම පැමිණ ඇත.
සැකකාරියක් හෝ සැකකරුවකු වශයෙන් බන්ධනාගාරගතව සිටින විට දී පවුලේ අය හෝ හිතවතුන් බැලීමට පැමිණෙන විට එම කෑම බීම වතුර සැකකරුට හෝ සැකකාරියට ගෙනවිත් දීමට හැකියාව තිබේ.

ජිනා මැඩම් සැකකාරියක්ව කළුතර බන්ධනාගාරයේ සිටිය දී ඇයට දිනපතාම වාගේ කෑ සුපිරි කෑමවලට අමතරව සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති විශාල ප‍්‍රමාණයේ වතුර බෝතල් 10ක් පමණ ගෙනවිත් දෙන බව පැවසුවේ බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකි.

ගණිකා ජවාරමේ නිරතව සිටිමින් යහමින් මුදල් හරිහම්බ කර සුපිරි ජීවිතයක් ගත කර ඇති ජිනා මැඩම් කෑමට බීමට පමණක් නොව නෑමට වැසිකිළි යාමට පවා යොදා ගත්තේ සුපිරි වෙළෙඳසල්වලින් ගෙනා මෙම වතුර බෝතල්වල වතුර යැයි පැවසුවේ මේ උසස් බන්ධනාගාර නිලධාරියාය.

වසර තුනක සිර දඬුවමක් අධිකරණය මගින් ජිනා මැඩම්ට නියම කිරීමෙන් පසු පිටතින් කිසිම දෙයක් ගෙනවිත් දීමට ඔවුන්ගේ පවුල්වල අයට නොහැකි විය. ඒ බන්ධනාගාර නීති රෙගුලාසි අනුවය. පිටතින් කෑම කා සිරකරුවකුට හෝ සිරකාරියකට අසනීප වූවත් හෝ මිය ගිය හොත් එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ බන්ධනාගාර අධිකාරිවරයාටය. මේ නිසා සිරකරුවකුට හෝ සිරකාරියකට පිටතින් ගෙන එන කෑම ලබා දීම සපුරා තහනම්ය.

බන්ධනාගාරයේ සැකකාරියක්ව සිටිය දී රස නහර පිනා යන සුපිරි කෑම වේලක රස බැලූ සුපිරි වතුර පානයට නෑමට පමණක් නොව ශරීර කෘත්‍ය ඉටු කිරීමෙන් පසු පිරිසිදු වීමට පවා යොදාගත් ජිනා මැඩම්ට වැඬේ වැරදුනේ ඇයට වසර තුනක සිර දඬුවමක් අධිකරණය මගින් නියම කිරීමෙන් පසුවය.

ඒ බන්ධනාගාර නීති රෙගුලාසි අනුව පිටතින් ගේන කෑම බීම ඇතුළු කිසිවක් ගෙන ඒමට නොහැකි නිසාය.

ඉස්තරම් කෑම වේලක රස බැලීමට ඇය යොදාගෙන ඇත්තේ අපූරු ක‍්‍රමවේදයකි.

කළුතර බන්ධනාගාරයේ සිටින කාන්තා සැකකාරියන් ගණනාවකට ඇය නොමසුරුව විය පැහැදම් කර ඇත.

ජිනා මැඩම් ඇයට පෞද්ගලික ආකාරයේම සුපිරි කෑම ඒ සැකකාරියන්ට ද ලබා දීම නිසා ඇයට රැඳවියන් සලකා ඇත්තේ රජ බිසවක මෙනි.

ඇතැම් සැකකාරියන්ගේ පවුල්වලට ද ජිනා මැඩම්ගේ උපදෙස් මත එම සැකකාරියන්ගේ පවුල්වලට ද ආධාර උපකාර කර ඇතැයි කියති.

ජිනා මැඩම් අත දිග හැර කරන උදව් උපකාර නිසා ඇයගෙන් සැලකුම් ලැබූ සැකකාරියන් පණ වූවත් දෙන්නට සූදානම්ව සිට ඇත.

ජිනා මැඩම් සම්බාහනය කිරීම, ඇය නැහැවීමට වැසිකිළියට යන විට සුපිරි වතුර බෝතල් ඔසවාගෙන යාම පවා ඇයගෙන් සැලකුම් ලබන සැකකාරියන් ඉටු කර තිබේ.

සැලකුම් ලබන තවත් සැකකාරියන් නිදිවර්ජිතව මැඩම්ගේ ඇෙඟ් වසන මදුරුවන් පවා මරා දමන බව කියන්නේ රාත‍්‍රිය නිදිවර්ජිතව සිටිමිනි.
ඒ ජිනා මැඩම්ට සුව බර නින්දක් ගත කිරීම සඳහායි.

සුවපහසු ඇඳන්වල මදුරු දැල් දමාගෙන වායුසමනය කර ඇති කාමරවල නිදාගෙන පුරුදු ජිනා මැඩම්ට සිපිරිගෙය යනු මිහිපිට අපායකි.

ජිනා මැඩම්ගෙන් ඉහළ සැලකුම් ලැබූ සැකකාරියන් ඇය (ජිනා මැඩම්) සිරගත වූ පසු ඇයට ප‍්‍රතිඋපකාර කිරීමට ඉදිරිපත් වී ඇතැයි කියන්නේ පොරකමිනි.
රැඳවුම්කාරියන්ට නිවෙස්වලින් ගෙනෙන ආහාරපාන ගෙන ඒමට හැකියාව තිබෙන නිසා ඔවුන්ගේ (සැකකාරියන්ගේ) ඔවුන් බැලීමට එන විට සුපිරි ආහාරපාන ගෙනවිත් දීමෙන් පසු ඒවා බාර කරන්නේ ජිනා මැඩම්ටය.

සුපිරි ආහාරපානවලට විය පැහැදම් කරන්නේ වෙන කවුරුවත් නොව ජිනා මැඩම්ය.

සුපිරි කෑම ගෙන එන්නේ ජිනා මැඩම්ට පමණක් නොව ඇයට සාත්තු සප්පායම් කරන සැකකාරියන්ට ද සමගය. සැකකාර කාන්තාවන් මේ වැඬේ දිගටම කරගෙන එන්නේ දිනකට දෙතුන් දෙනා වශයෙන් එකතු වීමෙනි.

දිනකට කෑම වේල් සඳහ ජිනා මැඩම් වියදම් කරන මුදල රුපියල් 10,000ක් පමණ වන බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.පී. කොඩිප්පිලි මහතාට මේ සිද්ධිය දැන ගැනීමට ලැබුණු වහාම මේ ගැන සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

රිමාන්ඞ් සැකකාරියකට හෝ සැකකරුවකුට දිනපතා පිටතින් ආහාරපාන ලබා ගැනීමට පුළුවන. ඒ මුවාවෙන් මෙවැනි සිර දඬුවම් විඳින තැනැත්තියකට ආහාර පාන ලබාදී තිබේනම් එය බරපතළ වරදක් බවත් බන්ධනාගාර කොමසාරිවරයා කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.පී. කොඩිප්පිලි මහතාගෙන් ද මේ නිසා මම කරුණු විමසුවෙමි.

කොමසාරිස් ජනරාල්වරයා මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.

 

ජිනා කියන කාන්තාවක් වසර තුනක සිර දඬුවම් විඳිනවා. ඇය මෙම සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කාන්තාව කළුතර බන්ධනාගාරයේ රඳවා තිබෙන සැකකාරියනට ලැබෙන ආහාරපාන ලබා ගන්නා බවට මට දැන ගැනීමට ලැබුණු පසු ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස කළුතර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා. මේ කථාව ඇත්තක් බව පරීක්ෂණවල දී හෙළි වුණා. මේ වැඬේට බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකුගේ ද සහාය ලැබී ඇති බව පෙනී ගියා. ඒ ගැනත් මම වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

වෙනත් සැකකාරියන්ගේ නමින් එන ආහාරපාන ජිනා නමැති කාන්තාවට ලැබීම මේ වන විටත් සම්පූර්ණයෙන් නවත්වා දමා තිබෙනවා. ඇයට දැන් ලැබෙන්නේ බන්ධනාගාරය මගින් සපයන ආහාරපාන පමණයි යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි මහතාට ජිනා මැඩම්ට පමණක් සුපිරි ආහාරපාන ලැබෙන බවට ලැබුණු තොරතුරු ඔස්සේ කරන ලද කඩිනම් පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් එය නවත්වා දැමීමට හැකි විය.

කොමසාරිස් ජනරාවල්වරයාගේ ක‍්‍රියා පිළිවෙත අවංකව රාජකාරි කරන බහුතරයක් බන්ධනාගාර නිලධාරීන්ගේ ප‍්‍රසාදයට හේතු වී ඇති බව බන්ධනාගාරයෙන්ම දැන ගැනීමට ලැබිණි.

රස නහර පිනා යන ආහාර වේලක රස බැලූ ජිනා මැඩම් ආයෙත් කන්නේ කල්දේරම් බත්ය.

කොල්ලූපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට මුලින්ම තොරතුරු ලැබුණේ එවකට හිටපු පොලිස්පති ආචාර්ය සී. මහින්ද බාලසූරිය මහතාටය.

මහින්ද බාලසූරිය මහතාට මේ ගැන සොයා බලා වැටලීමට උපදෙස් දෙනු ලැබුවේ එවකට මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි මහේෂ් සමරදිවාකර මහතාටයි.

ඔහු මේ වන විට විශ‍්‍රාම ලබා ඇත.

පානදුර වලාන කොට්ඨාස දුෂණ මර්දන බළකායේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් අධිකාරි ඞී.එස්. කරවිට මහතාගේ උපදෙස් මත මෙම සුපිරි ගණිකා නිවාසය වටලනු ලැබුවේ එම බළකායේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු 38 දෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙම වැටලීම සිදු කරනු ලැබුවේ 2010 වසරේ දෙසැම්බර් මස මුල් සතියේ දිනකය.

දුෂණ මර්දන බළකායේ පොලිස් කණ්ඩායම මෙම වැටලීම කරද්දී ගණිකා ව්‍යාපාරය මෙහෙයවූ ජිනා මැඩම් ඇයගේ ආරක්ෂකයන් පලා ගියේ ගණිකා වෘත්තියේ යෙදී සිටි දෙස් විදෙස් කතුන් රැුසක් ද සමග රහසිගත මාර්ග ඔස්සේය.


පලා යාමට නොහැකි වූ උස්බෙකිස්තාන් කතුන් දෙදෙනකු, ශ්‍රී ලාංකික කතුන් තිදෙනෙකු ද සුපිරි ගණිකා නිවාසයේ සිටිය දී පොලිසියට කොටු වී තිබිණි.
පරිගණක ඉංජිනේරුවරයකු සහ විදේශ බැංකුවක ඉහළ තනතුරක් දරන අයෙක් ද මෙම වැටලීමේ දී පොලිසියට කොටු වූ අතර පසුව ඔවුන් මුදා හරිනු ලැබුවේ ඔවුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසුවය.

ගණිකා නිවාසය පවත්වාගෙන ගිය එක් කාමරයකින් රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක්, ඇමෙරිකන් ඩොලර් නෝට්ටු 104 සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3,48,000ක පමණ මුදලක් ද මෙම වැටලීමේ දී පොලිසිය සොයාගෙන තිබිණි.

ගණිකා නිවාසය වටලද්දී පලා ගිය ජිනා මැඩම් 2011 වසරේ ජනවාරි මාසයේ දිනක ජිනා බොහොම රහසිගතව කොළඹ වෝඞ් පෙදෙසේ රූපලාවන්‍යාගාරයකට පැමිණ ඇත්තේ කොණ්ඩය වර්ණ ගන්වා ස්වරූපය වෙනස් කර ගැනීමටය.

ස්වරූපය වෙනස් කර ගෙන යාමට ජිනා මැඩම් පැමිණ ඇත්තේ ඇය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයන නිසා රටින් පලා යාමටය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වෝඞ් පෙදෙසේ පිහිටි රූපලාවන්‍යාගාරය වටලා ජිනා මැඩම් අල්ලා ගත්තේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතාගේ මෙහෙයවීම යටතේ ගිය පොලිස් කණ්ඩායමක් විසිනි.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ජිනා මැඩම්ගේ මෙම සුපිරි ගණිකා නිවාසය මීට පෙර වතාවක වටලා ඇය අල්ලාගෙන තිබුණේ ගණිකා වෘත්තියේ නිතරව සිටි කතුන් ද සමගය.

ඇප ලබා දීමෙන් පසු අධිකරණය මග හැර සිටීම නිසා විවෘත වරෙන්තු ඒ වන විටත් ජිනා මැඩම්ට නිකුත් කර තිබූ අතර ඇයට වසර තුනක සිට දඬුවමක් නියම වූයේ ඒ වෙනුවෙනි.

පානදුර වලාන දුෂණ මර්දන බළකාය මගින් ජිනා මැඩම්ගේ සුපිරි ගණිකා නිවස වැටලීමට අදාළව තොරතුරු ඇතුළත් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්තේ ඉදිරි ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය.


 

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 

ජිනා මැඩම්ගේ ස්ථානය පොලිසියෙන් වැටලූ දා...