සිනමා ලෝලයින්ගේ ‘‘සිහින ලොවේ මල් සරා’’


 

මේ මස 30 වැනිදාට යෙදෙන ප්‍රවිණ රංගනවේදී ගාමිණී ෆොන්සේකාගේ 17 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි.

‘‘ඔබව එක වතාවක් දැක ඔබ සමග එක වචනයක් කතා කොට දෙහිවල දුම්රියපළේ දී දුම්රියට බෙල්ල තියලා මැරුණත් සැපයි.’’

ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම සුපිරි නළුවා වූ ගාමිණී ෆොන්සේකාට රසිකාවියක ලියූ ලිපියක කොටසකි මේ. චිත්‍රපටය අභිබවා නැගි සිටි ප්‍රථම චිත්‍රපට නළුවාද ගාමිණීය. ගාමිණීට පෙම් බැඳි රසික රසිකාවන් ලියූ ලිපි තැපැල් පත් මලු හා ගෝනි පිටින් දෙහිවල ස්ටේෂන් පාරේ නිවසට ගලා එන්නට පටන් ගත්තේ 1962 වර්ෂයේ ඔහු රඟපෑ ‘රන් මුතු දූව’ චිත්‍රපයට තිරගත වීමෙන් පසුවය. ගාමිණී ගැන ලිපි, කවි, පෙම් හසුන් ‘සරසවිය’ හා ‘විසිතුර’ පත්‍රවලට නොකඩවා ගලා එන්නට විය. ඒ වනවිට ගාමිණී අවිවාහකය. එදා සිනමා ලෝලයන්ගේ සිහින කුමාරයා වූ ගාමිණීගේ සිනමාවේ පෙම්වතිය වූ ජීවරාණි කුරුකුලසූරිය ඔහුට ගලපා එවූ ලිපිද බහුලය.

‘‘ගාමිණී අයියේ ඔයාට හොඳටම ගැලපෙන්නේ ජීවා අක්කාවයි.’’ රසික රසිකාවියන් යෝජනා කර එවූ තැපැල් පත් සිය ගණනක් ගාමිණීටද ලැබුණ බව ඔහු පසු කලෙක අපට කීය.

තමා ගැන මුල්ම පුවත්පත් ලිපියක් ලිව්වේ එල්මෝ ගුණරත්න බව ගාමිණී අපට කී තවත් කතාවකි. ඒ 1957 දී පමණ ‘සිළුමිණ’ හෝ ‘ජනතා’ පත්‍රයට බවත් එකල තමා ‘දෛවයෝගය’ චිත්‍රපටයේ මුහුරත් උළෙලට සහභාගි වූ අවස්ථාවේ දැන හැඳිනගත් එල්මෝ කිසිදා අමතක නොවන බව ද ගාමිණී කීවේය. එදා ගාමිණී මුහුරත් උළෙලට පැමිණි අවස්ථාව එල්මෝ මෙසේ සරසවිය සිනමා 1964 වාර්ෂිකයට ලියා තිබුණි.

ඒ ‘දෛවයෝගයේ’ මුහුර්ති උත්සවය වීය.

කඩවසම් තරුණයෙක් මැදුර ඉදිරිපස තනියම වාඩිවී සිටියේය. ඔහු කිසිවකු සමග කතා කළේ නැත. ඔහු කිසිවකු ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

මැදුර තුළ උත්සවයක් පැවැත් වෙයි. මම මැදුරින් එළියට ආවෙමි. තරුණයා තවමත් නිසසලව සිටී. ඔහු ඊට පෙර දැක ඇති බවක් මට මතක නැත. පිරිසිදුවට කෙටි කොට කැපූ යම්තම් රැළි නැගෙන සේ උඩට පීරූ හිස කෙස්, ජීවයෙන් පිරි තරුණයකුගේ පැහැදිලි දීප්තියක් ඇති ඇස්, නොමිටි නූස් නැහැය, නොමිටි නූස් මැදහත් පමණ සිරුර, තලෙළළු පැහැය, ඇඟට හිරවුණු කලිසම, අත නැවූ කමිසය, නගරයේ කඩිසර තරුණයකු මුත්, කඩවසම් යයි කිව යුතු වූ මුත් අමුතුවෙන් දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් ඔහු කෙරෙහි නොවීය.

 

එදා එල්මෝ සමග එම මුහුරත් උළෙලට ලේක් හවුසියෙන් සහභාගි වූ ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා (අභයවර්ධන) ගත් සිගරැට්ටුවක් දෙතොල මත රඳවා මද සිනාවකින් සිටි ගාමිණීගේ ඡායාරූපය ‘සරසවිය’ පත්‍රයේ මුල් පිටුව සැරසුණේ වසර කීපයකට පසුය.

ජනප්‍රිය මාරක කතා හා රහස් පරීක්‍ෂක කතාකරුවකු වූ කේ. ලයනල් පෙරේරා විසින් ‘ජනතා’ පත්‍රයට කොටස් වශයෙන් ලියූ ‘කළු කුමාරයා’ නවකතාවේ රහස්පරීක්‍ෂක ඉන්ස්පැක්ටර්ගේ චරිතය රඟපෑවේ ගාමිණීය. එහි මිනීමරුවා ලෙස රඟපෑවේ ඔස්ටින් අබේසේකරය. මේ නවකතාවේ රූප රචනය කර ඇත්තේ ඡායාරුප ශිල්පී නිමල් හා උප කර්තෘවයකු වූ එස්. සුබසිංහ (පසුව දිනමිණ හා ලංකාදීප කර්තෘවරයකුව) සිටි බව තරමක ලොකු අකුරෙන් පළ වී තිබුණි. මේ ඡායාරූප සහිත නවකතාව නිසා පත්‍රය අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගිය බව වාර්තා වේ.

චිත්‍රපටය අභිබවා මතු වූ මේ සුපිරි නළු ගාමිණීට සිනමාලෝලයන් එවූ ලිපි ගැන 1962 දෙසැ. 14 ‘විසිතුර’ පත්‍රයට සුගතපාල ද සිල්වා විසින් (පසුව සම්මානනීය නාට්‍ය නිෂ්පාදක) විශේෂාංගයක් ලියා තිබුණි. එහි මැය වූයේ ‘සිනමා ලොවේ මල්සරා’ ය.

බොකුටු හිස කෙස්, රවුම් මුහුණ, දිගිටි නහය, නිල්මිණි ඇස්, ගාමිණීගේ රුව වැඩි කරන බව දැනසිටි රසික රසිකාවියන් එය වර්ණනා කර ඔහුට එවූ පෙම් ලිපි බහුල බවත් ඒ ලිපි මල්ලෙන් ගෝයා සුවඳ කියුටික්‍යුරා පුයර තැවරූ ලිපිවලින් සුවඳ කාමරය පුරා සිසාරා ගිය අන්දම සුගත් විස්තර කර තිබුණි.

‘‘ඔබෙන් ටෙලිෆෝන් නොම්මරය අසා එව්වේ මා උගන්වන කොන්වන්ට් එකේ ටෙලිෆෝනයක් තිබෙන නිසයි. ඔය නිකං ඉන්න වෙලාවක කතා කර කර ඉන්න. කොහේද ඔයාලා අපි ගැන හිතන එකක් යැ. අපිටත් දවසක හඳ පායාවී.’’

මේ ගුරුවරියක් ලියා එවූ ලිපියක කොටසකි. මේ කාලයේ වාර්තා තබමින් තිරගත වූ ‘රන් මුතු දූවේ’ ‘පිපී පිපී රේණු නටන’ ගීතය අතිශයින්ම ජනප්‍රියව තිබුණි.

1966 අගෝස්තු 14 සරසවිය පත්‍රයට එහි උප කර්තෘවරයකු වූ පර්සි ජයමාන්න සමග ගාමිණී මගේ සිනමා ලෝලයෝ විශේෂාංගයට දැක් වූ අදහසකි.

‘‘ගාමිණීට මං ආදරෙයි. ගාමිණී නැත්තං මං ඒ චිත්‍රපටය බලන්න යන්නේ නෑ.’’ එහෙම කියන සිනමා ලෝලයන් කොච්චර ඉන්නව ඇද්ද? පර්සිගේ එක් ප්‍රශ්නයක් විය.

සිනමා ලෝලයෝ ඉස්සර වගේ නොවෙයි, දැන් හරි දියුණුය. බොහෝම ඉක්මණින් දියුණුවක් ලැබුවේ ඒ ගොල්ලෝ විතරයි. අපේ බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ ශත පනහක් දීලා ගැලරියට යන මිනිහා මෝඩයි කියලා. එත් මට පේන විදියට නං අවංකව හොඳ නරක පළ කරන මිනිස්සු ඉන්නේ ගැලරියේ.

‘සරසවිය’ පත්‍රයේ පළ වූ ‘ගාමිණීට කියන්න’ විශේෂාංගයට රසික රසිකාවියෝ ගොනි ගණන් තැපැල් පත් එවූහ. ඒ අතර වැඩි හරියක් කවි වීම විශේෂයකි. 1966 මාර්තු 20 වැනිදා පත්‍රයට නුගේගොඩ ගංගොඩවිල පරණ කැස්බෑව පාරේ ඒ.පී.ජී. බුද්ධදාස එවා තිබූ කවියකි මේ.

 

ජීවක්කට සන්ධ්‍යාක්කට

ශෝභනීට, නිල්මිණීට

තිරේදි විතරක් හැමදා ආදරේලු

එක් කෙනෙකු ලු, හුරතලා ලු, ගාමිණී ලු

ගාමිණීට රත්නපුරේ මුවගම චන්ද්‍රකීර්ති ජයකොඩි අරච්චි ලියූ කවියකි මේ.

ඔබ චණ්ඩියෙක් වුණ මුත් ගැටවරයන්ගේ

අසරණ ලෙසයි ගම්පෙරළියේ රඟ දුන්නේ

හිත ඇති නිසයි ගාමිණි මෙය විමසන්නේ

මොකටද සුදෝ සීතල වතුරට පැන්නේ

ගාමිණී ගේ පින්තූර ඉල්ලා එවූ රසිකාවක් කඳුළු සලමින් සිටින අවස්ථාවක් සිබිල් වෙත්තසිංහ විසින් සරසවියට ඇඳ තිබුණි.

සරසවිය පුවත්පත තරම් ගාමිණීගේ තිබූ අවියෝජනීයව පැවැති සම්බන්ධයට පාලම වූයේ සිනමා ලෝලීන්ය. 1967 මැයි 21 වැනිදා සරසවියේ ගාමිණී සොයා ආ අක්කා නගෝ තිදෙනෙක් ගැන අපූරු සිද්ධියක් පළ වී තිබුණි. ලියා තිබුණේ කුමාරදාස වාගීස්ට ය.

ගාමිණී ෆොන්සේකා හමු වී පොඩ්ඩක් කතා බස් කරන්නට සිතුණු අක්කා නගේ තිදෙනෙකි. ඔවුහු නුගේගොඩ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හා ජ්‍යෙෂ්ඨ පන්තිවල ඉගෙනීම ලබමින් සිටින ශිෂ්‍යාවෝය. ගාමිණී ගෙදර දි හමුවිය හැක්කේ උදේ වරුවේ යයි ඔවුහු දැන සිටියහ. එක් පෙර පෝය දිනයක උදෑසන මේ අක්ක නගෝ තිදෙනා රත්මලානේ ගාමිණීගේ නිවසට ගියහ.

ලක ලැහැස්ති වී ගාමිණී ආවේය.

‘‘ගුඩ් මෝනිං ගාමිණි අයියා’’ කියා අක්ක නගෝ තිදෙනාම ඔහුට ආචාර කළහ.

‘‘ගාමිණී අයියයි ජීවක්කයි ඉන්න ෆිල්මිස් අපි කවදාවත් මිස් කරන්නේ නෑ. ගාමිණි අයියා ජීවක්කට කැමතියි නේද?’’

එක් යුවතියක් ඇසුවාය.

ගාමිණී කිසිවක් කතා කළේ නැත. සිනාසුනා පමණි. සාලේ තිබූ කුඩා මේසය මත වූ සිගරැට් අළු බඳුන් හැම විටම පිරී තිබුණි.

‘‘මේකේ ඒව මටයි.’’ අක්ක ගන්න අරෙක තියෙන ඒවා. අක්කා නගෝ තිදෙනා සිගරැට් අළු බඳුන්වල තිබුණු සිගරැට් කොට කෑලි ඔක්කෝම එක්කාසු කර ගත්හ.

‘‘මේව තමයි අපි ගාමිණී අයියව මතක් වෙන්න අරන් යන්නේ.’’

ගාමිණී ගල් ගැසී බලා සිටියේය.

‘හෙළ සිනමාවේ සක්විති’ යයි විරුදාවලිය ලත් ගාමිණී ෆොන්සේකා සිනමා ලෝලයින්ගේ සිහින කුමරාගේ රසික ප්‍රතිචාර මෙසේ එක්තැන් කළේ ඒවායේ සමාජ විද්‍යාත්මක වටිනාකම සළකාය.

ජනප්‍රියත්වය ඉහටත් උඩින් ගලා එද්දි වරක් එල්මෝ ගුණරත්න මෙසේ අසා තිබුණි.

ගාමිණි දක්‍ෂ නළුවෙකි. එතරම්ම ජනප්‍රිය නළුවෙකි. ජනප්‍රියත්වයේ රහස කියන්න? වරක් ගාමිණීගෙන් මම ඉල්ලීමි. ගාමිණී පිළිතුරු දුන්නේය.

 

‘‘සිනමා ලෝලින්ගෙන් අහන්න’’ යන්නය.

මීට හරියටම වසර 85 කට පෙර 1936 මාර්තු 21 වැනිදා උපන් සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා මීට වසර 17 කට පෙර 2004 සැප්තැම්බර් 30 වැනිදා ජීවිත සිනමාවෙන් සමුගත්තේය.

ගාමිණීගේ වියෝවෙන් පසුවද සිනමා රසිකයෝ සිහින මල් සරා ගැන ආවර්ජනය කරති.

ප්‍රංශයේ පදිංචි ටෙලිනාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම ගාමිණීගේ ඉපැරණි සිනමා රසිකයකු වූ කිංස්ලි මෝහාන් විසින් ගාමිණී ගැන අපූරු සමරු ගීයක් නිෂ්පාදනය කර ඔහුට උපහාර දක්වා ඇත. අමරසිරි පීරිස් ගැයුවේ ගීතය දැන් අන්තර් ජාලයට එක් කර ඇත. චන්ද්‍රරත්න මාපිටිගම රචනා කළ මේ ගීතයේ තනුව හා සංගීත නිර්මාණය නවරත්න ගමගේ විසිනි. ඒ ගීත රචනයයි මේ,

හෙළ සිනමාවේ වීර චරිතයේ

නිදසුන වූ රඟ විරුවාණනි

පෑ විස්කම් ඔබ මැවූ රූ සරියේ

සළකුණ විය රඟ පෞරුෂයේ

 

චලන චිත්‍රයේ නොසැලුණු සක්විති

පෑ ඔද තෙද හරි සරුසාරයි

රාජ සභාවේ දෙවැනි අසුනේ හිඳ

පෑ දස්කම් හරි නැණ සාරයි

 

දකුණෙන් උතුරට පාලම සෑදූ

සරුංගලේ නඩරාජා විය ඔහු

වැලි කතරේදි නිධානයක් වූ

සාගරයක් මැද නොමියෙන මිනිසා

කිංස්ලි මොහාන් නම් ගාමිණීගේ රසිකයා විසින් සිනමා සක්විති උපන් දෙහිවල හිල් විදිය ‘ගාමිණී ෆොන්සේකා මාවත’ ලෙස නම් කරන්නැයි ඉල්ලා වසර ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට හා දෙහිවල නාගරික කොමසාරිස්තුමාටද ඉල්ලීම් කර ඇත්තේ 2006 වසරේ සිටය. කිංස්ලි මෝහාන් ප්‍රකට කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඉල්ලා සිටිනුයේ දෙහිවල මංසන්ධියේ සිට කරගම්පිටිය දක්වා මංසන්ධියේ කොටසක් ගාමිණී ෆොන්සේකා මාවත ලෙස නම් කරන ලෙස.

ගාමිණී මගේ නෑයෙක් නොවේ. සමීපතම මිතුරෙකුත් නොවේ. මට ඔහු සමග ඇත්තේ ‘නළුවා හා රසිකයා’ යන සම්බන්ධතාවය පමණය. මගේ සිහිනය ඉක්මණින් ඉටුවේවා යි ප්‍රර්ථනා කරමි. ඔහු සිහින මවමින් බලා සිටිය.