සහන අවශ්‍ය ස්ථරයට සහන සැලසීම අවශ්‍යයි


පසුගියදා සිදුවූ භාණ්ඩ මිල ඉහළ යාම නිසා පීඩාවට පත් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. ඔවුන්ගේ ආවේගශීලී අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ කදිමට ප්‍රකාශ වෙමින් පවතී. ජීවන වියදම තමන්ට දැරිය නොහැකි බරක් බවට පත්වෙමින් ඇතැයි බහුතරයක් ජනතාව චෝදනා කරති. ආණ්ඩුව විවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක කරමින් සංවෘත ආර්ථිකයක සමහර ප්‍රතිපත්තිද ඊට මිශ්‍ර කරන්නට යාමෙන් මෙම අලකලංචිය හටගත් බව පෙනේ. වඩාත් සරලව කිවහොත් විවෘත ආර්ථිකය තුළ මිල පාලනය ක්‍රියාත්මක කිරීමට ගොස් එකවර සියල්ල ‘රිවර්ස්’ කිරීම නිසා මහා ජීවන බරක් සමාජය මතට එකවර කඩා පාත්වූ බව පැවසීම වරදක් නොවේ.

සමාජය තුළ වෙසෙන සැමටම මෙතරම් ජීවන බරක් දරාගැනීම ඉතා දුෂ්කරය. විශේෂයෙන් සහන අවශ්‍ය වන්නේ දුප්පත්කමේ රේඛාවෙන් පහළ සිටින ජනතාවටය. මේ මිල ඉහළ යාමෙන් ඔවුනට සිදුවූයේ කබලෙන් ළිපට වැටීමටයි. රටේ සමස්ත ජනගහනයෙන් ලක්ෂ 72ක් පමණ දරිද්‍රතා රේඛාවෙන් පහළ ස්ථරය නියෝජනය කරති. ඔවුන්ගෙන් බහුතරය අදටත් සමෘද්ධි ආධාර ආදියෙන් යැපෙති. නාගරික, අර්ධ නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාව අතරද දරිද්‍රතාව ව්‍යාධියක් මෙන් පැතිර පවතී. පවුල් වශයෙන් ගත් කල සමෘද්ධි ආධාර ලබන්නන්ගේ පවුල් ගණන ලක්ෂ 18ක් පමණය. එසේම මෙම ජීවන බර නොදැනෙන ඉසුරුමත් ධනවත් පන්තිය නියෝජනය කරන ජන සංඛ්‍යාව ලක්ෂ 40ක් පමණ බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. දෙකෝටි විසි දෙලක්ෂයක් පමණ වන සමස්ත ජනගහනයෙන් ඉතිරි අති බහුතරය ඉහළ හා පහළ මධ්‍යම පන්ති නියෝජනය කරති. ඔවුන්ටද ඉහළ යන අධික ජීවන වියදමේ කම්පනය දැනෙයි.

හාල්, කිරිපිටි, සීනි, පරිප්පු, ගෑස්, පාන්පිටි, පාන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලේම මිල ගණන් එකවර වැඩි වුවද ජනතාවගේ ආදායම එක තැනම ලැග සිටී. රජයේ සේවකයන්ට හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉහළ යන ජීවන බරට සාපේක්ෂව වැටුප් වර්ධක ලැබෙන්නේද නැත. ඒ අතර වඩාත්ම අනාථ අසරණභාවයට පත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින අන්ත දිළිඳු කොටස්ය. ගිය මාසයේ සියයට 6 ත් සියයට 7 ත් අතර දෝලනය වූ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය හෙවත් උද්ධමනය මේ මාසයේදී සියයට 8ක් සියයට 9ක් වීමට හොඳටම ඉඩ තිබේ. මේ නිසා රට තුළ අධි උද්ධමනයක් හටගනු ඇති බවටද විද්වත්හු අනතුරු අඟවා ඇත්තාහ.

පවත්නා කොවිඩ් වසංගතය නිසා ජාතික ආර්ථිකයට අපේක්ෂිත ඉලක්ක හඹා යාමට නොහැකි බව සත්‍යයකි. මුදල් අමාත්‍යාංශයේ නවතම වාර්තා අනුව මේ වසරේ රජයේ ආදායම විය හැක්කේ රුපියල් බිලියන 1300ක් පමණය. එහෙත් රජයේ වියදම රුපියල් බිලියන 5,100ක් වනු ඇතැයි දැනටමත් පුරෝකථනය කර ඇත. අයවැය හිඟය බරපතළය. ඒ අතර මේ වසරේ කොවිඩ් එන්නත්කරණය හා ඊට අදාළ සෙසු සේවා වෙනුවෙන් රජය කලින් අපේක්ෂා නොකළ රුපියල් බිලියන 300ක් පමණද වැය කරන්නට සිදුවී තිබේ. තුන්වැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීම පිණිස එන්නත් මාත්‍රා ලක්ෂ 145ක් අලු‍තින් මිලදී ගන්නටද නියමිතය. මේ සියල්ලට ගෙවීමට ඇත්තේ සොච්චම් ආදායමකින් ලැබෙන මුදල්ය. රජයේ වියදමින් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් මසකට රුපියල් බිලියන 100ක් වැය වේ. වසරකට රුපියල් බිලියන 1200ක්ම ඊට වැය කළ යුතුය. රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1300කි. රාජ්‍ය සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවූ විට අන් සියල්ලට ඉතිරි වන්නේ රුපියල් බිලියන 100කි. ඒ නිසා සෙසු අවශ්‍යතා සපුරා ගන්නට දෙස් විදෙස් ණය ගත යුතුය. ණය පිළිබඳ විෂම චක්‍රයකට රට කොටුවී තිබෙන්නේ පවත්නා මෙම අර්බුදය නිසාය.

පවත්නා රාජ්‍ය සේවය කුඩා කළ යුතු යැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. රාජ්‍ය සේවය කුඩා කිරීම කෙසේ වෙතත් මේ ආකාරයට පවත්වාගෙන යාමට රජයට කරන්නට සිදුව තිබෙන හෙයියම්මාරුව කෙතරම්දැයි ගුරුවිදුහල්පති වැටුප් අරගලය විසින් සමාජය හමුවේ සාක්ෂාත් කර තිබේ.

මෙම පසුබිමේ මේ සතියේ ඉහළ ගිය භාණ්ඩ හා සේවා සියල්ල ගැනෙන්නේ ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා ගණයටයි. යට කී ලෙස එම භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී අතිශය දුෂ්කර තත්ත්වයකට පත්ව සිටින රටේ දිළිඳුම ජනකොටස්වලට මෙහිදී කවර ආකාරයක හෝ සහනයක් සපයා දීම රජයේ යුතුකම හා වගකීම වේ. එම ජනකොටස් දුප්පත් වූයේ පවත්නා අර්ථක්‍රමය විසින් රටේ සම්පත් සාධාරණ ලෙස බෙදා නොදීම නිසාය. එසේ නොමැතිව ඔවුන්ගේ ජන්මයේ වරදකින් ඔවුන් දුප්පත් වී නොමැත. මෙවර භාණ්ඩ හා සේවා රොත්තකම මිල ගණන් එකවර ඉහළ නැංගේය. වෙන කවරදාටත් වඩා එය ජනතාවට දැනෙන්නේ විශාල මිල ප්‍රතිශතවලින් එම මිල ඉහළ යාම සිදුවීම නිසාය. විශේෂයෙන්ම ඉහළ ගිය ගෑස් මිල මධ්‍යම පන්තිය පවා දැඩි කැළඹීමට පත්කර තිබේ.

රටේ ජනගහනයෙන් කොටසක් තමන්ගේ වුවමනාවන් සපුරාගත නොහැකිව ළත වෙද්දී ඔවුන්ගේ මනස යකාගේ කම්මලක් බවට පත්වෙයි. එම තත්ත්වය දුරදිග යාමෙන් විවිධ සමාජ විරෝධී හා අසම්මත ක්‍රියාවලට ජනතාව නිතැතින්ම යොමු වේ. අපරාධ පවා වර්ධනයට ආර්ථිකමය හේතු බලපාන බව නොරහසකි. ඒ නිසා රටේ සමස්ත ජනගනයෙන් සහන අවශ්‍ය කරන කොටස් තෝරා බේරාගෙන ඔවුන්ට සහන සැපයීමට රජයේ අවධානය යොමුවිය යුතුමය. එසේ නොමැතිව මෙම තත්ත්වයට හේතු වූ කරුණු මේවාය කියමින් ලබාදෙන පිළිතුරු සාගින්නෙන් පීඩා විඳින සමාජය ඉවසන්නේ නැත. පිළිතුරු වෙනුවට ඔවුන් අපේක්ෂා කරන්නේ විසඳුම්ය. ඒ සඳහා තවදුරටත් පමා වෙන්නට අවකාශයක් නැත.

(***)