සමුපකාර රජා ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ


වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වැනි ජන්ම දිනය අද 29 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

“සමුපකාර ව්‍යාපාරයේ පියා” ලෙස විරුදාවලීලත් මෙරට සමුපකාර ඉතිහාසයේ එක් පරිච්ජේදයක් ලෙස සැළකෙන සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ නිර්මාතෘ වූත් සමුපකාර ව්‍යාපාරයේ ප්‍රාදේශීක සිල්ලර ව්‍යාපාරයේ මූලාරම්භක ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 118 වන ජන්ම දිනය 2024 මාර්තු 29 දිනට යෙදේ.

එතුමාගේම අදහසක් අනුව අසල්වැසි ඉන්දියාවට පෞද්ගලිකව වියදමින් ගොස් එහි ක්‍රියාත්මක සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමය පිළිබඳ තොරතුරු දැනගෙන ඇතැම් නිලධාරීන්ගේ විරෝධය මැද ස්ථාපිත කළ “ජනතාවට වඩා සමීපතම බැංකුව” ලෙස හැඳින්වෙන සමුපකාර ග්‍රාමීය බැංකු ව්‍යාපාරයට මේ වසරට දශක හයක් සැපිරේ.

එකල පැවැති ඉඩම් හිඟයට පිළියමක් ලෙස මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ වාරිමාර්ග ආශ්‍රිත ජනවාසකරණය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරමින් මින්නේරි ව්‍යාපාරය යටතේ හිඟු‍රක්ගොඩ,  තබ්බෝව ව්‍යාපාරය, නිකවැරටිය ආශ්‍රිත මාගල්වැව වාරි යෝජනා ක්‍රමය යටතේ විතිකුලිය, දැදුරුඔය අසබඩ සුභසිංහපුර වැනි මෙරට සමුපකාර ගොවිජන ව්‍යාපාර සාර්ථක කර ගැනීමේ දී තමා සභාපතිත්වය දැරූ  සඳලංකා සමුපකාර ව්‍යාපාරය හරහා විරැකියාවෙන් පෙළුණ ග්‍රාමීය තරුණ පිරිස් තෝරා ගෙන ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා දෙමින් මෙරට පළමු සමුපකාර ගොවි ගම්මාන තැනීමේ ව්‍යාපාරයේ මූලිකයා වී ඇත්තේ ද මෙතුමාය.

මෙලෙස රජයේ ඉඩම් ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් මෙලෙස කැලෑ ඉඩම් හෙළි පෙහෙලි කර සැකසූ ගොඩ ඉඩම් හා කුඹුරු ප්‍රමාණය අක්කර 800 කට ආසන්නය. මෙම සියලු ව්‍යාපාරවල ආරම්භ‍යේ සිටම නිවෙස් පවා තනාදී,  පදිංචි වන තුරු තමාද නිරතුරුව ජනපදිකයන් සමග රැඳී සිටිමින් තරුණ පිරිස් සමග උරෙනුර ගැටෙමින් මහන්සි වී කටයුතු කිරීම ආදර්ශයකි.

මෙලෙස මහජන බැංකු‍වේ ආරාධිත ප්‍රථම සභාපති, සතොස ආයතනයේ සභාපති ලෙසත් ලංගම හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි රාජ්‍ය ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළ ද ඒ කිසිදු තනතුරකට අදාළ වැටුපක්, දීමනාවක් හෝ පහසුකමක් ලබා නොගෙන ස්වේච්ජා සේවයේ නිරත වෙමින් මෙතුමා තැබූ ආදර්ශය විශේෂත්වයකි.

පෙරළිකාර නව යුගයක උණුසුම ඇති කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයන්ගේ 56 ජයග්‍රහණය සමඟ සැකසෙන මහජන ආණ්ඩුව තුළ අධිරාජ්‍යවාදී පාලකයන් තෝරාගත් පිරිසකට දී ඇති නම්බුනාම පට්ටම්  සියල්ල අවලංගු කරන බවට මැතිවරණ සටනට පෙරාතුවම ප්‍රකාශවීම ජනයාගේ සැනසුම්ශිලී පණිවුඩයක් විය. “ඕආර්සී, නයිට්, මුදලි, මුහන්දිරම්” වැනි නම්බුනාම ලැබුණේ ස්වදේශික ජනහිතකාමීන්ට නොව සුදු පාලක පන්තියට පාවඩ දැමූ පිරිසට පමණක් බවත් රටවැසියා තුළ පන්ති ක්‍රමයක් සකසා තම පාලන ක්‍රමය පවත්වාගෙන යාමට ඒවා රුකුළක් බව එවකට සුදු පාලකයන් හඳුනා ගෙන තිබුණි. ජනතාවාදීව රටටත් සමාජයටත් නොයෙකුත් අයුරින් උසස් සේවයක් ඉටු කර ඇති පරාර්ථකාමී පුරවැසියන් පිරිසක් තෝරා ඔවුන්ට ජාතික මට්ටමේ පිළිගැනීමක් ලෙස ජාතික තලයෙන් ගෞරව බුහුමන් දැක්වීමට නව රජයට අවශ්‍ය විය. ජයග්‍රහණයේ සතුටත් සමගව උදා වූ 1957 නව වසරේ සිටම මෙය සිදු කිරීමේ වගකීම එවකට ජනප්‍රියතම දිනපතා සිංහල පුවත්පත වූ “ලංකාදීප” විසින් දරනු ලැබීය. 56 බල පෙරළිය සිදුවීමට පෙරාතුව ජනතාවගේ අවශ්‍යතාවක් ලෙස ද මෙය හඳුනා ගැනුණි. පෞද්ගලික ලාභ ප්‍රයෝජන හා පැසසුම් නොලත් හුදු ජනතා සේවයටම ඇප කැපවූ පුද්ගලයන්ට ජනතාවගෙන් පිදෙන තුති කුසුමක් ලෙස මෙය අර්ථ දැක්විණි. මෙය කරළියට ඒම නව යුගයක උදාවූ රටම අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වූ දිනය එනම් 1957 පෙබරවාරි 04 දින සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරිණි. 1948 සිටම පැවැති නිදහස් දින උළෙලවල අධිරාජ්‍යවාදී කඳවුරේ නියෝජිතයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැතියද 1957 නිදහස් දින උළෙල ලොව සමාජවාදී කඳවුර නියෝජනය කළ චීන අගමැති චෞ එන් ලායි මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිත්වයෙන් පැවැත්වීම ද මෙම සම්මානිතයන් තේරීම නැවුම් අර්ථ ගැන්වීමක් බවට පත් විය. 

පිදිය යුත්තන් පිදීම කෙරේ රටවැසියා හුරු කරවීමටත් බාල හා තරුණ පරපුර අවංක ජාතික සේවයකට කැප වූ පුද්ගලයන් වැඩි වැඩියෙන් බිහිකර ගැනීම මෙරට බහුතරයක් වූ දේශහිතෛෂී දිගුකාලීන අපේක්ෂාව විය. මෙහි කලඑළිබැස්ම 1957 නිදහස් දින සිදුවන බව ඒ වසරේ පළමු දිනයේම “ලංකාදීප” ය සැරසූ “හෙඩිම” විය. ඒ අනුව එම වසරේ නිදහස් දින විද්‍යාව, සමාජ සේවය, සාහිත්‍ය ප්‍රගමනය, වීර ක්‍රියා යන සිව් අංශයන් හරහා ලක් මව විජයග්‍රහණයට කැන්දන් ගෙන ගිය විශිෂ්ටතමයන් රැසක් අතරින් “අතිවිශිෂ්ටතමයා” බහුතර කැමැත්තෙන් තේරීම ලංකාදීප පාඨකයන්ට උදා විය. ඊට අදාළ පුවත නව වසරේ මුල්ම දින ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට ද පත් කිරීමට තරම් ප්‍රබල සමාජ අවශ්‍යතාවක් පණිවුඩය මේ තුළ ගැබ් වූ බව පෙනේ. අදාළ පුවත්පත් දැන්වීම පළ කර මසක පමණ කාලයක් තුළ ලත් දහස් සංඛ්‍යාත පාඨක මතයේ ප්‍රතිඵලය වූයේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් වින්සන්ට් සුබසිංහයන්ට “ශ්‍රීධර” ලෙසත් විද්‍යා අංශයෙන් කළ සේවය වෙනුවෙන් සෙනරත් පරණවිතානයන්ට “විද්‍යාකීර්ති” ද සාහිත්‍ය ප්‍රගමනය වෙනුවෙන් ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ට “සාහිත්‍යශූරී” නාමයත් බී.ඒ. ධර්මවර්ධන නම් වූ තැනැත්තකු “වීර විකුම්”  ලෙස ජනතාවගේ ඒකායන තේරීම බවට පත් වීමයි.      

 

මීට අමතරව, සුබසිංහයන්ට රාජ්‍ය හෝ සංවිධාන මට්ටමින් නොයෙකුත් සම්මාන හා ගෞරවනිය තත්වයන් පසු අවස්ථාවල පුද කළ ද මෙලෙස සාමාන්‍ය ජනයාගේ තීන්දුව මත සහ නිදහස් රටක අරුණලු‍ සමඟ අධිරාජ්‍යවාදී ගැත්තන්ට නොව දේශමාමක සැබෑ හෙළයන්ට මෙලෙස ලත් සම්මානය ජනතාවගේ සිත් සන්තාපයේ අද වන තෙක්ම ගැඹුරින් සටහන් කිරීමට සමත් විය.

සමුපකාරය ව්‍යාපාරය හරහා ගම්බිම් දියුණු කිරීමේ ක්‍රමය භාවිතයෙන් පෙන්වාදුන් පුද්ගලයා වීමත් 1940 සිට සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් කැපවී සඳලංකා පුරවරයේ සෑම නිෂ්පාදනයක්ම පොදු ජනයාගේ යහපත වෙනුවෙන් යෙදවීමත් විවිධ සේවා ඇති කරමින් සමුපකාරයේ අගය මහජනතාවට අර්ථයෙන්ම තේරුම් කර දී සමුපකාර ව්‍යාපාරය ලාභදායී ව්‍යාපාරයක් බවට පසක් කර දීමත් එමගින් ගම්බද ජනතාවට කළ සේවය ඇගයීම විශේෂ කොට “සමුපකාර රජා” යන විරුදාවලිය ද මුසු කරමින් මෙම ජාතික සම්මාන පිදීමට ලක් විය. තවද, වාර්ෂිකව මෙම ජාතික සම්මාන පිදීම සිදු කරන බවට ප්‍රකාශ වුවද 57 වසරෙන් පසුව එලෙස සිදුවූ බවක් සොයා ගැනීමට නොහැකි විය. ඒනිසාම මෙම සම්මානයෙන් පුද ලද එකම හා අවසන් පුද්ගලයන් වන්නේ ද මෙකී සිව් දෙනා පමණි. 

සුබසිංහයන් තමා ජීවතුන් අතර සිටින කාලය තුළ මෙම නම්බුනාමය භාවිත කිරීමක් ගැනද කිසිදු තොරතුරක් හමු නොවීය.

නම්බුනාම වෙනුවට තමාගේ උපතත් සමඟම දායාද කරගත් “වින්සන්ට් සුබසිංහ” හෝ “සඳලංකාවේ වින්සන්ට් සුබසිංහ” ලෙසින් පමණක් තමා හඳුනා ගැනීම ප්‍රමාණවත් බව සරලත්වයට ප්‍රබල සාක්ෂිකයකි.  

 

(***)
ආනන්ද කරුණාරත්න
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ අනුස්මරණ පදනමේ සභාපති