ධනය හිමි බලය අහිමි තායිලන්තයේ ෂිනවත්ලා


තායිලන්තයේ අගමැති පදවියට පත් තවත් ෂිනවත් කෙනෙකුට ඉතා ඉක්මනින් එම පදවිය අහිමි වී තිබේ. තායිලන්තයේ අගමැති පදවියට පත් ළාබාලතම කාන්තාව වන පයෙතොංතාන් ෂිනවත් එම පදවිය දැරීම අත්හිටුවමින් ව්‍යවස්ථාදායක අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව එරට 31 වැනි අගමැතිට පදවිය හැරයාමට සිදුවූ අතර දින 15ක් තුළදී තම නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට පයෙතොංතාන් අගමැතිවරියට සිදුව ඇත. එසේ නොවුණ හොත් ඇයට ස්ථිරවම පදවිය අහිමි වෙයි. 

අගමැතිනියට එල්ල කොට ඇති චෝදනා බරපතළය. ඇය සැකයකින් තොරවම පදවියෙහි ආචාරධර්ම නියමයන් කඩ කොට ඇතැයි යන චෝදනාව නඩු විභාගයේ නිමිත්ත බවට පත්කිරීමට ව්‍යවස්ථාදායක අධිකරණය තීන්දු කළේ 38 හැවිරිදි පයෙතොංතාන් හා ෂිනවත් පවුලේ දේශපාලන අරමුණුවලට දැඩි අභියෝගයක් එල්ල කරමිනි. ඒ හා සමගාමීව ඇගේ පියා වන හිටපු අගමැති හා කෝටිපති ව්‍යාපාරික තක්ෂින් ෂිනවත්ද අධිකරණමය ක්‍රියාවලියකට මුහුණ දී ඇත්තේ රජතුමාට අපහාස කිරීමේ චෝදානව පදනම් කරගනිමිනි. මේ අනුව ෂිනවත් පවුල දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ප්‍රතිවාදී බලවේගවලට මෙවර හෝ හැකිවේද යන ප්‍රශ්නය ඉස්මතු වී තිබේ.

වින කළ දුරකථනය

තක්ෂින්වරුන්ට බලය අහිමි වීමට මීට පෙර බලපෑ මූලික සාධකය වූයේ හමුදා මැදිහත්වීම්ය. එහෙත් මෙවර ප්‍රශ්නයට මුල දුරකථන සංවාදයකි. අගමැතිනි පයෙතොංතාන් අසල්වැසි රාජ්‍යයේ, කාම්බෝජයේ දේශපාලන ප්‍රබලයෙකු වෙන හිටපු අගමැති හා වත්මන් සෙනෙට් ප්‍රධානි හුන් සෙන් සමග පසුගියදා දුරකථනයෙන් කතා කළේ තායි කාම්බෝජ දේශසීමා ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිවයි. එය වැඩිහිටියෙකු හා දරුවෙකු අතර සංවාදයක ස්වරූපයක් ගත් බව මාධ්‍ය වාර්තා කරයි. ඒ මන්ද 72හැවිරිදි හුන් සෙන්ට තායි අගමැතිනි ෂිනවත් ආමන්ත්‍රණය කරන්නේ “අන්කල් “ යනුවෙනි. ප්‍රශ්නය මතුවන්නේ සංවාදය හුන් සෙන් හා ෂිනවත් අතරට සීමා නොවී සමස්ත මහජනතාවටම ඊට සවන් දෙන්නට හැකිවී තිබීම නිසාය. එම දුරකථන සංවාදය “ලීක්” වි තිබිණ. ඒ ගැන අදහස් දක්වන පාර්ශ්ව පවසන්නේ අගමැතිනිය එම දුරකථන සංවාදයේදි තායි හමුදාවේ ජෙනරල්වරයෙකු, සම්බන්ධයෙන් කාම්බෝජ ප්‍රධානී  හුන් සෙන් සමග එක්ව විවේචනය කරන බවකි. තායි හමුදාව අවමානයට ලක් කළ බවට අගමැතිනියට චෝදනා එල්ල වෙයි. මෙය දැඩි මතධාරී විපක්ෂය පුල පුලා බලා සිටි අවස්ථාවකි. ෂිනවත් විරෝධය සමාජ මාධ්‍යයන්හි සැරිසරන්නට විය. තක්ෂින් අගමැතිනියට දිගින් දිගටම විරෝධතා එල්ල වන්නට පටන් ගත්තේය. සීයට 30 කට වැඩි අගයක පැවති අගමැතිනියගේ ජනප්‍රියත්ව දර්ශකය සීයට 9දක්වා පහත වැටිණ.  විපක්ෂ සෙනෙට් මන්ත්‍රීවරැ 36 දෙනෙකු ව්‍යවස්ථාදායක අධිකරණ හමුවේ චෝදනා ගොනු කළේ අගමැතිනියට බලපෑමක් සිදුකළ හැකි ප්‍රධාන ක්‍රමවේදය ව්‍යවස්ථාදායක අධිකරණය හරහා වැටී තිබූ බැවිනි. විපක්ෂ මෙහෙයුම ව්‍යවස්ථාදායක අධිකරණයට පමණක් සීමා නොවීය. යම් හෙයකින් අධිකරණ තීන්දුව ෂිනවත්ට වාසිදායක වුවහොත් දෙවැනි විකල්පය ලෙස ඔවුහු දූෂණ මර්දන අධිකාරිය හමුවේ පැමිණිල්ලක් ගොනු කළහ. එපමණකින් නොනැවතී අගමැතිනියට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතී. මේ අනුව අගමැතිනි ෂිනවත් මේ වනවිට පැති කිහිපයකින් පහර කෑමට ලක්වෙමින් සටී. අගමැති පදවිය අත්හිටුවනු ලැබුවද පයෙතොංතාන් ෂිනවත් තවමත් කැබිනට් සාමාජිකාවකි. අගමැති පදවියෙන් ඉවත්කෙරුණු වහාම ඇය සංස්කෘතික ඇමති පදවියෙහි පිහිටුවනු ලැබුවාය. දැන් තම පක්ෂයෙන් මෙන්ම විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන්ද බලපෑම් එල්ල වන්නේ සියලු පදවිවලින් ඉල්ලා අස්වන ලෙසටයි. මේ ෂිනවත් පවුලේ දේශපාලන ගමනේ අවසානයද? එසේ නොවීමට ඉඩ ඇත්තේ ෂිනවත්වරු “වතුරේ ගිල්වා තැබෙන රබර් බෝල “මෙන් අවස්ථාව ලද විගස ඉස්මතු වන බැවිනි. 

ෂිනවත් පවුල් ගස

ෂිනවත්වරැ තායිලන්තයේ මුල් පදිංචිකරැවෝ නොවෙති. ඔවුන්ගේ මුත්තා චීනයේ ග්වන්දොං පළාතෙන් තායිලන්තයට සංක්‍රමණය වී ඇත්තේ 1860  කාලවකවානුවේදිය. ඔවුන් සලකනු ලබන්නේ තායි හකාවරු වශයෙනි. තායිලන්තයේ මුල්බැසගත් පළමු ෂිනවත්වරයා වන්නේ සෙං සේ කූය. ඔහු මුලින් ගොවියෙකු වුවත් පසුව ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ෂිනවත් පවුල තායිලන්තයේ ප්‍රබල තැනකට ගෙන ඒමට මුල්වෙමිනි. ‍එමෙන් සෙං සේ තම චීන නම වෙනුව ෂිනවත් යන තායි පෙළපත් නාමය එක්කර ගන්නේ තායිලන්තය තුළ ඉතා හොඳින් ස්ථානගත වෙමිනි. මූල්‍ය ව්‍යාපාර හා විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් ජයකෙහෙළි නැංවු ෂිනවත් පවුල වර්තමානය වනවිට තායිලන්තයේ 11 වැනි ධනවත් බලවේගය ලෙස පෙනී සිටී. ඔවුන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2.1 ඉක්මවයි. ප්‍රධාන ධන කුවෙරයා වන්නේ පයෙතොංතාන්ගේ පියා වන තක්ෂින් ෂිනවත්ය. පදවියෙන් ඉවත් කරනු ලැබූ අගමැතිනි පයෙතොංතාන් හට ඇති වත්කම් ඩොලර් මිිලියන 406 ඉක්මවයි. ඩොලර් මිලියන 2.23ක් වටිනා කාන්තා අත්බෑග් 217ක් රොල්ස් රොයිස් හා බෙන්ට්ලි ඇතුළු සුඛෝපභෝගි වාහන 23ක්, ඩොලර් මිලියන 4.7ක වටිනාකමින් යුත් අත් ඔ‍රලෝසු 75ක්ද ඊට අයත් වෙයි. මෙය ෂිනවත් පවුලේ ධනය හා බලය ගැන අවබෝධයක් ලබාගැනීමට කදිම උදාහරණයකි. තක්ෂින් ෂිනවත් දේශපාලනය අතික්‍රමණය කරන්නේ 1998දී ස්ථාපනය කෙරුණු තායි රක් පක්ෂයෙනි. එදා සිට මේ දක්වා තක්ෂින්ගේ දේශපාලනය ගමනට වැඩිපුරම හරස් වූයේ තායි ව්‍යවස්ථා දායක අධිකරණයයි. තායි රක් පක්ෂය පිහිටුවා මාස කිහිපයක් තුළ එය අධිකරණ තීන්දුවක් මගින් අහෝසි විය. දෙවැනුව ඔහු ජනතා බලය පක්ෂය ස්ථාපනය කළේය. එයද පසුව අධිකරණ තීන්දුවක් මගින් තහනම් කෙරිණ. පසුව එළිදැක්වුණේ “පියු තායි “ පක්ෂයයි. පයෙතොංතාන් අගමැති පදවියට පත්වන්නේ 2023 මහමැතිවරණයේදි පියු තායි පක්ෂය පාර්ලිමේන්තු ආසන 500න් 141ක් ලබා පසුව භූම්ජාතායි පක්ෂය සහ කුඩා කණ්ඩායම් සමග සන්ධාන ගතවී ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුවයි. ඇයට මේ අවස්ථාව හිමිවන්නේද ව්‍යවස්ථාදායක අධිකරණ තීන්දුවක් නිසාය. ඒ පළමුවෙන් පිහිටුවනු ලැබූ සන්ධාන ආණ්ඩුවේ අගමැති ෂ‍්රේතා තවිසින් 2024 අගෝස්තු මාසයේදි ආචාරධර්ම කඩකිරීමේ චෝදනා මත ව්‍යවස්ථා දායක අධිකරණය විසින් පදවියෙන් ඉවත් කරනු ලැබීම නිසාය.  අධිකරණ තීන්දුවක පිහිටෙන් බලයට පත් පයෙතොංතාන් අධිකරණ තීන්දුවක් නිසාම බලයෙන් ඉවත් වි තිබේ. උප අගමැති සුරියා ජුවන්ගෲන්ගෘවන්කිත් වැඩබලන අගමැති ලෙස පත්කරන ලැබ ඇත. මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා නව මහමැතිවරණයක් කැඳවන ලෙස බලපෑම් එල්ල වෙමින් පවතී. එහෙත් අවසන් තීන්දුව ඇත්තේ තායි හමුදාව සතුවයි. ඒ අතිතයේ මෙන් දේශපාලනයට මැදිහත් වන්නේද නැද්ද යන තීන්දුව අනුවයි.

තායිලන්තයේ හමුදා භූමිකාව

තායිලන්තය රජුගේ සැබෑ පාලනයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වන්නේ 1932 වසරෙහිදී දියත් කළ සියම් විප්ලවය මගිනි. නව ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට හිමිවන අතර රජු නාම මාත්‍රික පාලකයා වෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය කරා යොමු වූ දා සිට තායිලන්තය පවතින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවල ගොදුරක් වෙමිනි . ප්‍රධානම අභියෝගය හමුදා මැදිහත්වීමයි. හමුදාව තායිලන්තයේ ප්‍රධාන මෙහෙයුම්කරැවෙකි. තායිලන්තය හමුදා කුමන්ත්‍රණවල තෝතැන්නකි. විවිධ අභිලාෂ මත වරින් වර හමුදාව විසින් පාලන බලය පැහැරගනු ලබයි. එසේත් නැත්නම් රෑකඩ පාලනයක් දමා සැබෑ පාලකයන් ලෙස තිරයෙන් පිටුපස සිටියි. 1933, 1947, 1948, 1957, 1958, 1971, 1976, 1977, හා 1991 වසරවල හමුදා කුමන්ත්‍රණ සිදු විය. මෙය තායිලන්තයේ ස්ථාවරභාවයට හා ඉදිරි ගමනට බාධාවකි.  ආසියානු කලාපයේ ආර්ථික ව්‍යාඝ්‍රයෙකු ලෙස හැදින්වුවත් තායිලන්තය  පසුවන්නේ අවදානම් සහගත තැනකයි. තායිලන්තයේ ආර්ථිකය ඉකුත් කාර්තුවේ සිට යම් යම් ක්ෂේත්‍රවලින් මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කරයි. රටේ නොසන්සුන්තා ඇතිවුව හොත් තායිලන්තයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයටද අහිතකර බලපෑම් එල්ල වෙයි. ඉකුත් කාර්තුවේද සංචාරක ආගමනය මන්දගාමී වි ඇතැයි තායි ආර්ථික සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ෂිනවත් ආණ්ඩුවේ අවසානය සනිටුහන් කිරිම සඳහා හමුදාව එළියට බසියිද යන ප්‍රශ්නය සාකච්ඡාවට ලක්වෙයි. 2001 සිට තායිලන්තය පාලනය කළ තක්ෂින් ෂිනවත් බලයෙන් පහ කෙරැණේ 2006 හමුදා කුමන්ත්‍රණය මගිනි. 2014 හමුදා කුමන්ත්‍රණය මගින් තක්ෂින්ගේ නැගණිය යින්වත් ෂිනවත් බලයෙන් පහ කෙරිණ. දැන් ඉතිරිව ඇත්තේ තක්ෂින්ගේ බාල දියණිය පයෙතාංතාන්ගේ වාරයයි. 

රතු කමිස - කහ කමිස

රතු කහ විරෝධතා රුල්ල තායිලන්තය අක්‍රිය කළ සංසිද්ධියකි. එය වඩාත් බහුලව පැවතුණේ 2008-2012 වකවානුවේය. 2006 කුමන්ත්‍රණයෙන් තක්ෂින් ෂිනවත් බලයෙන් පහ කෙරුණු පසු ඔහුගේ ආධාරකරැවෝ විරෝධතා ව්‍යාපාර සංවිධාන කළහ. 2008 වනවිට විරෝධතා රුල්ලට සන්නාමයක් ලැබිණි. ඒ පක්ෂයේ වර්ණය වන රතු වර්ණයෙන් සැරසී විරෝධතා දැක්වීමයි. ඒ නිසා එය හැඳින්වූයේ “රෙඩි ෂර්ට්” විරෝධතා ලෙසයි. ඊට එරෙහිව හමුදාවේ සහය ලබන දැඩි මතධාරි විපක්ෂ කණ්ඩායම් වීථි බැස්සේ වෙනත් සන්නාමයක් සහිතවයි. ඒ කහ වර්ණයෙන් සැරසෙමිනි. එය “යෙලෝ ෂර්ට්” විරෝධතාව ලෙස හඳුන්වනු ලැබිය. තට්ටු මාරු ක්‍රමයට කමිස කරුවෝ තායි ජන ජිවිතය අඩාළ කළහ. එය අවසන් වූයේ 2014 හමුදා කුමන්ත්‍රණයෙන් පසුවයි. යළි රතු කහ කමිස වලට පණ ලැබේද යන්න ගැන විමසුමක් පවතී. 

පොදුවේ ගත් කල තායිලන්තය පවතින්නේ ඉතා අවදානම් සහගත තැනකය. අප කවුරුත් දන්නා පරිදි තායිලන්තය අග්නිදිග ආසියානු කලාපයේ වෙළෙඳ කේන්ද්‍රයකි. 1997-98 ආසියානු ආර්ථික අර්බුදයේ තිඹිරිගෙය වූයේ තායිලන්තයයි. ඒ අනුව එරට දේශපාලකයන්, රජතුමා හා හමුදාව රට ස්ථාවරව පවත්වාගැනීමට එක්වීමේ යුගයේ අවශ්‍යතාවක් පැන නැගී ඇත.

ප්‍රසාද කෞශල්‍ය දොඩන්ගොඩගේ