විපක්ෂයෙන් මතුවන ජනහඩ


ජාතික ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන විරුද්ධ පක්ෂ වන සමගි ජන බලවේගය හැර අනෙක් පක්ෂ ගණනාවක් එක්ව ‘‘මහා ජන හඬ’’ යනුවෙන් සන්ධානයක් ගොඩනඟා ගෙන ඇත. එහි පළමු මහජන රැළිය මේ මස (නොවැම්බර්) 21 වැනිදාට යොදා ගනු ලැබ ඇත.

2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වී මාසයකින් පසුද අලුතින් බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ‘‘යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ’’ නමැති සන්ධාන ආණ්ඩුවට එරෙහිව මෙවැනිම විපක්ෂ මෙහෙයුමක් ආරම්භ විය.

පසුව ‘‘මහින්ද සුළඟ’’ නමින් හැඳින්වුණු එම ආණ්ඩු විරෝධී ව්‍යාපාරය ඉතා ඉක්මනින් ජනප්‍රිය විය. වසර තුනකට පසු 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශ්වය විසින් අලුතින් ගොඩ නගන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබීය. මැතිවරණ පැවැති පළාත් පාලන ආයතන 341න් ආයතන 230ක්ට වැඩි සංඛ්‍යාවක් එම පක්ෂයට දිනා ගැනීමට හැකි විය.

මහින්ද  සුළඟ ගොඩ නැගුණු දේපාලන පසුබිම අදට වඩා විශාල වශයෙන් වෙනස් වන හෙයින් වත්මන් ‘‘මහජන හඬ’’ එවැනි තත්වයකට වර්ධන වේදැයි දැන්ම අනාවැකි කීම දුෂ්කරය. එහෙත් පාර්ලිමේන්තුව තුළ දැනට ඇති විපක්ෂය සංඛ්‍යාත්මකව අතිශයින්ම දුර්වල වන්නා සේම ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැඟිය නොහැකි විපක්ෂයක් ද වන හෙයින් පාර්ලිමේන්තුවෙන් පිටත ශක්තිමත් විපක්ෂයක් පැවැතීම වැදගත්ය. එසේ වුවද පාර්ලිමේන්තුවෙන් පිටත එවැනි බලවේගයක් ගොඩ නගන්නට යන්නේ ද පාර්ලිමේන්තුවේ සිටින දුර්වල විපක්ෂයේම පිරිසකි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු  හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල වැනි අයගේ මූලිකත්වයෙන් මහින්ද සුළඟ ගොඩ නැඟුණේ සංඛ්‍යාත්මකව පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් තිබෙන පසුබිමකය. ඒ වනවිට 2015 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වී තිබුණේ නැත. එහෙයින් පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද පිලේ අය වූහ.

එම වසරේ අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් ද ඊනියා යහපාලන නායකයන්ට ලැබුණේ ඉතා සුළු වැඩි ආසන සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුවකි. එහි ඔවුනට ආසන 106ක්ද මහින්ද රාජපක්ෂ මහතා නායත්වය හෙබවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක්ද ලැබී තිබිණි. එනම් යහපාලන ආණ්ඩුවම තනිව පාර්ලිමේන්තුව පවත්වා ගෙන යන්නට අවශ්‍ය ආසන 113 ලැබී තිබුණේ නැත. ඔවුන් ආණ්ඩුව පවත්වා ගෙන ගියේ ආසන 16ක් ලබා ගත් දෙමළ ජාතික සන්ධානයේ ආධාරයෙනි. විපක්ෂ නායක වූයේ ද දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදයම් සම්බන්ධන් මහතාය.

ඒ නිසාදෝ මෛත්‍රීපාල- රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතිසංවිධානය අරමුණු කරගත් ඇතැම් පියවර ගත්තේය. 2015 ඔක්තෝබර් මස එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාවට එම ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීය. එමගින් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිශ්චයකාරවරුන් ඇතුළත් දෙමුහුන් අධිකරණයක් මගින් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන නඩු විභාග කිරීමට එම ආණ්ඩුව එකඟ විය.

එසේම එම වසරේ නොවැම්බර් මාසයේදී ආණ්ඩුව දෙමළ ඩයස්පෝරා සංවිධාන අටකට පණවනු ලැබූ තිබූ තහනම ඉවත් කළේය. ඒ වසරේ දෙමළ ඩයස්පෝරා සංවිධානවල සමුළුවක් කොළඹ දී පවත්වන්නට ද ආණ්ඩුව සූදානම් විය. (එය පැවැත්වුණේ නැත) ජාතික සමගියේ අර්ථයෙන් මෙම ක්‍රියාමාර්ග ප්‍රගතිශීලි යැයි කිව හැකි වුවත් එමගින් සිංහල ජනතාවගේ හැඟීම් අවුළුවා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නගන්නට මහින්ද සුළගේ නායකයන්ට හැකිවිය.

මෛත්‍රී -රනිල් සන්ධානයේ නායකයන් 2015 මැතිවරණයේ ඉදිරිපත් කළ ප්‍රධාන පොරොන්දුව දූෂණය පිටුදැකීමයි. ඇත්ත වශයෙන් 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පිළිබිඹු වූයේ ඊට පෙර පැවැති රාජපක්ෂ පාලනයේ දැඩි මර්දනයට හා මහා පරිමාණ දූෂණයට එරෙහි ජනමතයි. එහෙත් ඊනියා යහපාලන නායකයන් බලයට පැමිණ මාසයක් ඉක්ම යන්නටත් මත්තෙන් එතෙක් ඉතිහාසයේ විශාලතම වංචාවක් වූ මහ බැංකු බැඳුම්කර වංචාවට ආණ්ඩුව මඟ පාදා දුන්නේය. මෙය ද මහින්ද සුළඟට වාසිදායක විය.

රාජපක්ෂවරුන් යළි බලයට පත්වුවහොත් තම ජීවිතය අනතුරේ යැයි සිතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු පාලකයන්ට එරෙහි  දූෂණ චෝදනා විභාග කරන්නට උනන්දු විය. එහෙත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට එවැනි අවශ්‍යතාවක් නොවීය. කුමන චෝදනාවක් තිබුණ ද ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට ඉඩ නොදෙන බව ආණ්ඩුවේම ඇමැතිවරු පවා කියන්නට වූහ. මේ නිසා ආණ්ඩුව තුළ මතභේද උග්‍රවී ආණ්ඩුව දුර්වල විය. ආණ්ඩුව අකර්මණ්‍ය වී ඔහේ පවත්වාගෙන යන තත්වයට පත්විය. බලයට පත්වී පළමු වසර තුන තළ තරුණ තරුණියන්ට රැකියා දෙන කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීය.

මෙයද මහින්ද සුළඟට වාසිදායක විය. එම සුළඟ ප්‍රයෝජනයට ගත් බැසිල් රාජපක්ෂ මහතා 2016 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟීය. එම පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක්  අත්කර ගත්තේ මේ පසුබිම තුළය. ඉන්පසු මහින්ද සුළගේ පුරෝගාමීන් කොන්වීයාම වෙනම කතාවකි.

කෙසේ වෙතත් මහින්ද සුළඟට ලැබුණු ඒ වාසිදායක තත්වය වත්මන්‘‘මහජන හඬ’’ට තිබේද යන්න සැක සහිතය. පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉකුත් මහ මැතිවරණයේ දී ලැබූ ජයග්‍රහණයට සාපේක්ෂව විශාල පසුබෑමකට ලක්වුව ද තවමත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විශාලම බලවේගය ජාතික ජන බලවේගයයි.

මීට පෙර, එනම් පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ජනාධිපතිවරුන්ගේ හිමිකම් (පරිච්ජින්ත කිරීමේ) පනත සම්මත වූ විට ද හිටපු ජනාධිපතිවරුන් කෙරෙහි අනුකම්පාවක් ගොඩ නගා ඒ මගින් විරුද්ධ පක්ෂ අතර සන්ධානයක් ගොඩනැගීමට ගන්නා ලද උත්සාහය ද මේ වනවිට යටපත් වී අමතකව ගොස් තිබේ. ඉන්පසු එක්සත් ජාතික  පක්ෂ හා සමගි ජන බලවේගය අතර සන්ධානයක් ගොඩ නැගීමට ගත් උත්සාහය ද ඉදිරියට යන බවක් පෙනෙන්නේ නැත.

ඒ නිසාදෝ ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා ‘‘මහා ජන හඬ’’ සන්ධානය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවීය. ඉන් පසු ඇතැම් සජබ නායකයන් කළ ප්‍රකාශ අනුව ඉදිරි දිනෙක දී හෝ සජබ එම සන්ධානය සමග එක්වේද ප්‍රශ්නයකි.

එජාප හා සජබ එක්වීමට සාකච්ඡා ආරම්භ කරනු ලැබුවේ කිසිදු ප්‍රතිපත්තිමය පදනමකින් නොවේ. සාකච්ඡාවල එකම පදනම වූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී මෙම පක්ෂ දෙක ලැබූ ඡන්දවල එකතුව ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතා ලැබූ ඡන්දවලට වඩා වැඩිවීම නිසා එම පක්ෂ දෙකේ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයක දී ජාජබ පරාජය කළ හැකිය යන්නයි. 

‘‘මහා ජන හඬ’’ සන්ධානයේ අරමුණ ද එයමය. ඊට අමතරව එජාපයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු හා වත්මන් දේශපාලනඥයෝ ගණනාවක් දූෂණ හා මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා යටතේ අත්අඩංගුවට පත් වූහ. ඒ නිසා ඇති වූ භීතිය ද මෙම පක්ෂවලට එක්වීමට බල කෙරිණි. කෙසේ වෙතත් ප්‍රතිපත්තිමය පදනමකින් තොරව එජාප සමග එක්වීමට සූදානම් වූ සජබට ‘‘මහා ජන හඬ’’ සමග එක් නොවීමට කිසිදු හේතුවක් නැත.

එහෙත් විරුද්ධ පක්ෂ එක්විය යුත්තේ කුමක් සඳහා ද යන්න පැහැදිලි විය යුතුය. එම අරමුණු පිළිබිඹු වන සටන් පාඨ ඔවුන් වෙත තිබිය යුතුය. එසේම ඔවුන් එක්වන්නේ කෙටි කාලීන අරමුණක් සඳහා ද නැත්නම් දීර්ඝ කාලීන අරමුණක් සඳහා ද යන්න පිළිබඳව ද පැහැදිලි බවක් තිබිය යුතුය.

කෙටි කාලීන අරමුණු සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මර්දනය වැනි කරුණකට සාමූහිකව මුහුණ දීමේ එකඟතාවක් පමණි. විපක්ෂය විටෙක ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයට එරෙහිව පෙළ ගැසෙන බව කියයි. විටෙක මර්දනයට එරෙහිව පෙළ ගැසෙන බව කියයි. ඔවුන් මේ සඳහන් කරන්නේ දූෂණ චෝදනාවලට ලක්වූ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට පත්වීම ගැන විය යුතුය. එහෙත් මර්දනය පිළිබඳ ඔවුන්ගේ සටන් පාඨය කොතෙක් දුරට  වලංගු ද යන්න ප්‍රශ්නයකි.

රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරයකු ලෙසත් සිටි එජාප පාලන කාලයේදී බියගම, මහියංගණය, කැකිරාව වැනි ප්‍රදේශවල කිසිදු විරුද්ධ පක්ෂයකට රැස්වීමක් පැවැත්විය නොහැකි තරමට මැර තර්ජනය උත්සන්න වී තිබිණි. ඒ කාලයේ කිසිදු හේතුවක් නැතිව ජනතා විමුක්ති පෙරමුණෙ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නව සමාසමාජ පක්ෂය තහනම් කෙරිණි. ඇත්ත ජනදින හා සිරිලක යන  පුවත්පත් කාර්යාල සීල් තබනු ලැබීය. විමල් සුරේන්ද්‍ර  එච්.ඊ. දයානන්ද වැනි ජනමාධ්‍යවේදීහු ඝාතනය කරනු ලැබූහ. 1988 /89 කාලයේ රජයේ හමුදා වෙතින් හා ප්‍රා. කහ බළල්ලු වැනි රාජ්‍ය පාක්ෂික සන්නද්ධ කල්ලි වෙතින් ඝාතනය කෙරුණු විශාල පිරිසක් එදා පැවැති  ජවිපෙ කැරැල්ලට  කිසිඳු සබඳතාවක් නැති විරුද්ධ පාක්ෂිකයෝය. ඉතිහාසයේ දූෂිතම මැතිවරණ හා ජනමත විචාරක පැවැත් වුණේ ඒ කාලයේය.

ඉන්පසු බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලයේ දී විපක්ෂයේ පෙළපාලිවලට පහර දුන් මැරයෝ ජනමාධ්‍යවේදීන්ගේ කැමරා ආදී ආම්පන්න උදුරා ගත්හ. ඒ කාලයේදී ද කැලණිය, ආණමඩුව වැනි ප්‍රදේශ විරුද්ධ පක්ෂවලට තහනම් කලාප විය. රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේකා පෙරේරා, අනෝජා වීරසිංහ වැනි කලාකරුවෝ මැර ප්‍රහාරවලට ලක්වූහ. රෝහණ කුමාරට ඩී. සිව් රාම්, නිමලරාජන් වැනි ජනමාධ්‍යවේදීහු ඝාතනය කරනු ලැබූහ.

මහින්ද රාජපක්ෂ පාලන කලයේ දී සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදුණ කටුනායක කම්කරුවන්ට, හලාවත ධීවරයන්ට හා රතුපස්වල ගම්වැසියන්ට වෙඩි තැබීම නිසා කිහිප දෙනෙක්ම ඝාතනය කරනු ලැබූහ. ජනමාධ්‍ය ආයතන කීපයක් ද  ප්‍රහාරයට ලක්විය. ජනමාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග හා නිමල රාජන් ඝාතනය කෙරිණි. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් විය. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර් ප්‍රහාරවලට ලක් වූහ.

වත්මන් පාලනය යටතේ තවමත් නම් එවැනි තත්වයක් උදාවී නැත. එහෙයින් වත්මන් විපක්ෂයේ  මර්දනය නමැති චෝදනාව ජනතාවට පිළිගැන්වීමට සැලැස්වීම අසීරුය.

එහෙත් ජාතික ජනබලවේගයට ලැබී ඇති බලය අතිශයින්ම විශාලය. එය නිසි කළමනාකරණයකට ලක් නොකළහොත් ඉදිරියේදි දූෂණයටත් මර්දනයට මඟ පෑදිය හැකිය. සිම්බාබ්වේ,  නිකරුගුවා වැනි රටවල විශාල කැපකිරීම් කර ගොඩනගනු ලැබූ වාමාංශික දේශපාලන පක්ෂ පසු කාලයේදී එසේ දූෂිත හා මර්දනකාරී දේශපාලන බලවේග බවට පත්වී තිබේ. එහෙයින් රටකට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යවේ. එහෙත් එම විපක්ෂයට අතීතය සම්බන්ධයෙන් ආණ්ඩුව මතු කරන ප්‍රශ්නවලට ජනතාවට පිළිගත හැකි ලෙස පිළිතුරු දීමට හැකියාව ද තිබිය යුතුය.

කෙසේ වෙතත් වත්මන් විපක්ෂය එක්ව කටයුතු කරන්නේ නම් එසේ කළ හැක්කේ කෙටිකාලීන වැඩපිළිවෙළක් සඳහා පමණි. මන්ද යත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සඳහා ඔවුන් එක් වන්නට උත්සාහ කරන විට නායකත්වය පිළිබඳ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම  මතුවේ. එහිදී එක් කණ්ඩායමක් තමන් වෙත ඇති පිරිස් බලය පෙන්වා නායකත්වය අපේක්ෂා කරයි. තවත් කණ්ඩායම් ගණනාවක් දේශපාලන වංශක්කාරීත්වය පෙන්වා නායකත්වය අපේක්ෂා කරයි. එම ප්‍රශ්නය විසඳාගත හැකි එකක්ද තවමත් පැහැදිලි නැත.

 

(*** එම්.එස්.එම්.අයුබ්)