විධායකය අහෝසි කතා උප්පරවැට්ටියක්


ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා, ඉදිරි ජනාධිපතිවරණය, ජාතිකවාදී දේශපාලන කඳවුරේ අනාගතය ආදී කාලීන ආර්ථික හා දේශපාලනික තේමා රැසක් ප්‍රශ්න කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමග කරන ලද සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- මේ අවුරුද්දේ මුල්කාර්තුව අවසන් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න හැකි බවට ආණ්ඩුවේ ප්‍රකාශකයන් පවසනවා. ඔබලා ඒ ගැන මොකද හිතන්නේ?

පිළිතුර:- ණය ගෙවන එක නතර කරලා තව මාස දෙකකින් අවුරුදු දෙකක් වෙනවා. මේ විදියෙ ණය අර්බුදවලට මුහුණ දුන්නු රටවල් උපරිම මාස හයක් ඇතුළත තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා හිතාමතාම කල්මරමින් ඉන්නවා කියන එකයි අපේ විශ්වාසය. ඒකට හේතුවක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ වහාම නැවත ණය ගෙවීම ආරම්භ කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. බොහෝවිට වසරකට ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් ණය ගෙවන්න වෙන් කරන්න සිද්ධ වෙනවා. ණය ගෙවන්න පටන් ගත්තාම දැනට සංචිත වශයෙන් තියෙන ඩොලර් බිලියන 4 අවසන් වෙනවා. එහෙම වුණොත් නැවතත් අත්‍යවශ්‍ය ආනයන කිරීමේදී දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. මේ නිසා තමයි ජනාධිපතිවරණයෙන් පසුවට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නෙ.

 

ප්‍රශ්නය:- උද්ධමනය තනි ඉලක්කමේ අගයක් දක්වා අඩු වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇත්තෙත් නෑ. 2022 ත් එක්ක බලද්දී ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇති වෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

පිළිතුර:- ඩොලර් අර්බුදයක් ඇති වුණේ විදේශ ආයෝජන හා විදේශ සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම හා විදේශ ප්‍රේෂණ අඩුවෙන් ලැබීම නිසා. ඒක කොවිඩ් වංසගතය නිසා ලෝකයේ බොහෝ රටවල ඇති වුණු තත්වයක්. හැබැයි ඒ වෙනවිටත් ශ්‍රී ලංකාව ණය ගෙවීම සම්බන්ධයෙන් දැවැන්ත දුෂ්කරතාවකට මුහුණ දී සිටි නිසා වෙන රටවලට වඩා අපිට ඒ අර්බුදය දැනුණා. 2022 දී අරගලය ඇති වුණේ නැතිනම් ඒ වසරේදීම රටට විදේශ විනිමය ගලා ඒමට ඉඩ තිබුණා. විදේශ විනිමය වැඩි වශයෙන් වැය වෙන ඉන්ධන ආනයනය ආණ්ඩුව කළමනාකරණය කළේ විදුලි බිලත් ඉන්ධන මිලත් තුන් හතර ගුණයකින් වැඩි කරමින්. විදුලි ඒකක 30 ක් භාවිත කරන අයගෙ විදුලි බිල පසුගිය වසර දෙකේදී දස ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අරගලය නතර වුණාට පස්සෙ සංචාරක පැමිණීම් සහ විදේශ ප්‍රේෂණ ලැබීම් යහපත් වෙලා තියෙනවා. රුපියල පා කර හැරියාට පසු කළුකඩ වෙළෙඳ පොළ හරහා ඩොලර් පැමිණීම අඩු වෙලා තියෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නිසා එහි පාරිභෝජනය අඩුවීමෙන් ඉන්ධන ආනයනයත් සියයට 50 කින් පමණ අඩු වෙලා තියෙනවා. මේ විදියට ආර්ථිකය හැකිළීමෙන් ඉල්ලුම අඩු කරලා විදේශ විනිමය ප්‍රමාණවත් කියලා ආණ්ඩුව කියනවා. ඒ නිසා හැරිලා බලද්දී පෙනෙන දෙය තමයි මේ අර්බුදයට සැබෑ විසඳුම් හොයන කිසිම වැඩපිළිවෙළකට ආණ්ඩුව අවතීර්ණ වෙලා නෑ කියන එක.

 

ප්‍රශ්නය:- ආණ්ඩුව ජනාධිපතිවරණය කල්දාන උත්සාහයක නිරත වෙමින් ඉන්න බවට විපක්ෂය කිව්වත්, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියන්නෙ නියමිත පරිදි මේ වසරේ ජනාධිපතිවරණය පවත්වනවා කියලා. දැන් ඒ ගැන මොකක්ද කියන්නෙ?

පිළිතුර:- අපි දැක්කා ආණ්ඩුවේ ආශිර්වාදය ලබන රාජ්‍ය නොවන සංවිධාන විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන සංවාදය යළි ගේනවා. පසුගිය වසර පුරාවටම ඇහුණෙ නැති සටන් පාඨයක් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත වසර ආරම්භයේදීම ගෙන එන්නෙ ජනාධිපතිවරණය කල් දැමීමටයි කියන සාධාරණ සැකය අපිට ඇති වෙලා තියෙන්නේ. මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරලා රටට විශේෂ හෙළිදරව්වක් කළා. ඒ තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයෙන් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතුයි. ජනමත විචාරණයෙන් පස්සෙ පනත සම්මත වූ බවට ජනාධිපතිවරයා අස්සන් තැබිය යුතුයි. එහෙත් ජනමත විචාරණයේ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරලා කවුරුහරි පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා නම්, ඒ පෙත්සම විභාග කරලා අවසන් වෙන තුරු ජනාධිපතිවරයා අදාළ පනත බලාත්මක කිරීම සඳහා සිය අස්සන නොයෙදිය යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එවැනි තත්වයක ජනමත විචාරණයෙන් පස්සෙ ඒකෙ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් ආණ්ඩුව කවුරුහරි ලවා පෙත්සමක් ඉදිරිපත් කළොත් ජනාධිපතිවරයාට අධිකරණ තීන්දුව ලැබෙන තෙක් බලන් ඉන්න වෙනවා. ඒකෙ අවසන් ප්‍රතිඵලය වෙන්නෙ ජනාධිපතිවරණයත්, පළාත් පාලන ඡන්දය සහ පළාත් සභා ඡන්දය වගේ අතුරුදන් වෙලා ජනාධිපතිවරයාට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාව ලැබෙන එක.

 

ප්‍රශ්නය:- ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකළ විදියට මේ ජනාධිපතිවරයා ඔය දේ කරයි කියලා හිතන්න පුළුවන්ද?

පිළිතුර:- මේ ජනාධිපතිවරයා හැර වෙන මොන ජනාධිපතිවරයද පළාත් සභා හා පළාත් පාලන ඡන්ද අතුරුදන් කළේ. මැතිවරණ පැවැත්විය යුතුයි කියලා අධිකරණයෙන් තීන්දු දෙද්දී මුදල් නෑ කියලා ඡන්ද නොතියා හිටියේ කවුද.? මේ ජනාධිපතිවරයා වැඩ කරන විධිය වෙනස්. වෙනත් ජනාධිපතිවරු නොකරපු දේවල් මේ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

 

ප්‍රශ්නය:- උදය ගම්මන්පිලලාගේ, විමල් වීරවංශලාගේ දේශපාලනයට ඉස්සරහට මොකද වෙන්නෙ?

පිළිතුර:- අපි හැමදාමත් මේ රටේ ජාතිකවාදී පිලයි නියෝජනය කළේ. සමහර දේශපාලන පක්ෂ ඇමෙරිකාව, චීනය, ඉන්දියාව පැත්තෙන් හිටගෙන තීන්දු ගද්දී අපි හැමදාම තීන්දු තීරණ ගත්තේ ලංකාව පැත්තෙ හිටගෙන. ඒ ජාතිකවාදී දේශපාලනය එදා වගේම ඉදිරියටත් අපි ඒ විදියටම කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69 ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්නේ රනිල් සජිත් අනුර එකතු වෙලා හදපු යහපාලන ආණ්ඩුවට විරුද්ධව. ගෝඨාභය මහත්තයා එක පැත්තකින් ඒ ජනවරමට පයින් ගැහුවා. අනිත් පැත්තෙන් අපේ පරම හතුරා වෙන රනිල් වික්‍රමසිංහට ඒ ආණ්ඩුවේ නායකත්වය දීමෙන් ඒ ජනවරම පාවා දුන්නා. එහෙත් ඒ ජනවරමෙ අභිලාෂ මැරිලා නෑ. ඡන්දය දුන් දේශප්‍රේමී ජනතාවගේ අරමුණු මුදුන් පමුණුවාලීම සඳහා අපි ඉදිරියටත් කටයුතු කරනවා.

 

ප්‍රශ්නය:- ඔබලට 2005 ඉඳන් ජාතිකවාදී දේශපාලන කඳවුරේ නායකයෙක් හිටියා මහින්ද රාජපක්ෂ කියලා. ඒත් දැන් ඔහු නෑ. ඔබලට ඔහු නැතිව දේශපාලන පැවැත්මක් තියෙනවද?

පිළිතුර:- ජාතිකවාදය උපන්නෙ මහින්දගෙන් නෙවෙයිනෙ. මහින්ද ජාතිකවාදියෙක් නෙවෙයි. අපි මහින්දව ජාතිකවාදියෙක් කළේ ඔහු වාමාංශිකයෙක් විදියට ඉඳිද්දී. ඔහු ජාතිකවාදියෙක් බවට පත් කළේ මේ රටේ ජාතිකවාදී බලවේග. මහින්ද රාජපක්ෂ ඉපදෙන්නත් කලින් 1956 දී බණ්ඩාරනායක මහත්තයා මේ රටේ ජාතිකවාදයට නායකත්වය දුන්නා. 1970 මැතිනිය නායකත්වය දුන්නා. ඊටත් කලින් අනගාරික ධර්මපාලතුමා, ඕල්කට් තුමා වැනි අය විවිධ යුගවලදී ජාතිකවාදී ව්‍යාපාරයට නායකත්වය දුන්නා. ජාතිකවාදී ව්‍යාපාරයේ ඊළඟ නායකයා කවුද කියලා මේ රටේ ජාතිකවාදී ව්‍යාපාර වගේම ජනතාවත් මතුවෙන අභියෝග අනුව තෝරා ගැනීම කරාවි.

 

ප්‍රශ්නය:- ඔබ හිතන විදියට ජාතිකවාදී කඳවුරේ මීළඟ නායකයා බවට පත් විය යුත්තෙ කවුද?

පිළිතුර:- ජනාධිපතිවරණ අපේක්ෂකයා කියන්නෙ ජාතිකවාදී පිලේ ඉන්න වඩාත් කැපවී කටයුතු කරන නායකයාට වඩා ජනතාව අතර වඩාත් ජනප්‍රිය නායකයායි. දේශපාලනය කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක්. අටලෝ දහම වගේ උඩ ඉන්න අය යට යනවා, යට ඉන්න අය උඩට එනවා. ඒ නිසා අපේක්ෂකයා තීරණය කරන්න කල් වැඩියි. විශේෂයෙන්ම මෙවර ජනාධිපතිවරණය අතිශය අවිනිශ්චිතයි. ඒ නිසා ජනාධිපතිවරණයට මාස අටක් තියලා අපේක්ෂකයෝ තෝරන්න නරකයි.

 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ විය යුතුයි කියලා ඒ පක්ෂයේ සමහරු යෝජනා කරනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

පිළිතුර:- ඒ අය කැමති කෙනෙක් පත් කරගන්න ඒ අයට අයිතියක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙ ඉල්ලයි කියලා මම පෞද්ගලිකව හිතන්නෙ නෑ. ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ ජනප්‍රියතාව සියයට 20 ක් හැටියටයි වාර්තා වෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝක ඉතිහාසයේත් අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් වෙයි. එවැනි අවමන් සහගත ලෝක වාර්තාවකට උරුමකම් කීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි කියලා මම නම් විශ්වාස කරන්නෙ නෑ.

 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්දියාවේදී ප්‍රකාශ කරනවා රටේ ප්‍රධාන ගුවන්තොටු‍පොළවල් තුනේ පරිපාලනය ඉන්දියාවේ සමාගමකට ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව. මේ ප්‍රකාශයේ බරපතළකම ඔබ දකින්නෙ කොහොමද?

පිළිතුර:- ඇත්තෙන්ම ඔහුගේ බැරෑරුම් ප්‍රකාශය ඕක නෙවෙයි. ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ලෙස හඳුන්වා තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරකින බවට දිවුරුමක් ලබා දී තිබෙනවා. තමන් ලබා දීපු දිවුරුම කඩලා තියෙන නිසා ඔහු අමාත්‍ය ධුරය හෙබවීමට තවදුරටත් සුදුස්සෙක් වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් ඔහු දේශද්‍රෝහී ප්‍රකාශයක් කරලා තියෙන්නෙ. දේශද්‍රෝහීන්ට හිමි වෙන දඬුවම අපේ දණ්ඩනීති සංග්‍රහයේ සඳහන් වෙනවා. ආණ්ඩුවෙ වගකීම වෙන්නෙ ඔහු තවදුරටත් අමාත්‍ය ධුරවල තබා නොගැනීමයි.

 

(***)
සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ