ලෙනින් අතහැර ඔක්තෝබර් විප්ලවය මාක්ස්ගෙන් කියැවීම


සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ උපත ගණන් හැදෙන්නේ 1917 “ඔක්තෝබර විප්ලවය” සමගින් ය. “ඔක්තෝබර” කියුවාට විප්ලවය සැමරෙන්නේ “නොවැම්බර” 07 වැනි දිනයේ ය. විප්ලවය දිග හැරුණු කාලයේ සාර් රුසියාවේ භාවිත වූ “ජූලියන් දින සටහන” සහ පසුව භාවිතයට පැමිණි “ග්‍රෙගරි දින සටහන” අතර ඇති කාලයේ වෙනස හේතුවෙන් ඔක්තෝබර 26 වැනිදා නොවැම්බර් 07 වැනිදාට මාරු වන්නේය.

සෝවියට් රුසියානු බල ප්‍රදේශයද යුරෝපය හා ආසියාව බෙදන යූරල් කඳු වැටියෙන් නැගෙනහිරට බෙරිං මුහුද හා කොරියාව දක්වාත් දකුණට චීනය, මොංගෝලියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිය, ඉරාණය සහ ඉන් බටහිරට ඉතිහාසයේ කිහිප විට මායිම් වෙනස් වූ පෝලන්තය, හංගේරියාව, රුමේනියාව, නෝර්වේ සහ ජර්මනිය සමග වූ මායිම් දක්වාත් පැතිරුණකි. මේ රුසියානු භූමි ප්‍රදේශය, පෘථිවියෙන් හයෙන් පංගුවකි.

පළමු ජයග්‍රාහී “කම්කරු විප්ලවය” යැයි කියන්නාවූ 1917 ඔක්තෝබර විප්ලවය සැමරීමේදී ඊට සක්‍රීයව සහභාගී වූ සමාජ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශපාලන භාවිතාව කියවා ගැනීම වැදගත් ය. මෙය එවැන්නකි. ඔක්තෝබර විප්ලවයට පෙරහුරු වැනි ජනතා නැගිටීම් කිහිපයක් සාර්ට එරෙහිව 1905 සිට ඇති විය. දෙවැනි නිකලස් සාර් 1905 මාර්තුවේදී ජපානය සමග වූ යුද්ධයෙන් පරාජය වූයෙන්, එහි පලයක් ලෙස රුසියානු ආර්ථිකය දුර්වල වීමෙන් ජනතා කැරලි ඇතිවීම නිසා, මෙන්ෂෙවියන්ගේ බලපෑම මත “ඔක්තෝබර ප්‍රකාශනය” මගින් ජනතා නියෝජන “ඩූමාවක්” පත් කිරීමට හා සිවිල් අයිතිවාසිකම් ලබා දීමට සාර් පොරොන්දු විය.

පළමු ලෝක යුද්ධයට 1914 දී සාර් හවුල් වීමත් ග්‍රාමීය තරුණයන් සොල්දාදුවන් ලෙස යුද්ධයට ගාල් කිරීමත් රුසියාව බරපතළ ආර්ථික අර්බුදයකට හසු කළේය. ඒ පසුබිමෙහි, සාන්ත පීට(ර්)ස්බර්ග් යැයි නම් වූ පෙට්‍රොග්‍රෑඩ් නගරයෙහි රැකියා සොයා ගෙන පැමිණි කාන්තාවෝ 1917 පෙබරවාරියේදී “සාමය හා පාන්” ඉල්ලා පාරට පැමිණියහ. දෙවැනි තෙවැනි දවස වන විට, පෙට්‍රොග්‍රෑඩ් නුවරට එකතු වූ දුගී ජනතාවත් ලියෝන් ට්‍රොට්ස්කි සභාපති වූ පෙට්‍රොග්‍රෑඩ් කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ සෝවියට් සභාව වැඩ වර්ජනයක් කැඳවීමත් සමග දෙවැනි නිකලස් සාර්ගේ පාලනය 1917 පෙබරවාරියේ බිඳ වැටිණ. ඩූමාවේ මෙන්ෂෙවික් හා ලිබරල්වාදී නියෝජිතයෝ සෙසු ප්‍රගතිශීලීන්ද හවුල් කර ගනිමින් ඒ වෙනුවට මාර්තුවේදී තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත්හ.

මිත්‍ර රටවල් තරහ කරගත නොහැකි යැයි තාවකාලික ආණ්ඩුවද පළමු ලෝක යුද්ධයෙහි දිගටම රැඳී සිටියේය. දිගු ඇදුණු රුසියානු දේශපාලන අස්ථාවරත්වය හමුවේ ආර්ථිකය අබලන්ව තිබූයෙන් ජනතාව ඉල්ලා සිටි “සාමය හා පාන්” දෙන්නට ඔවුන්ට නොහැකි විය. ඔවුහු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මරණ දණ්ඩනය අහෝසිය, පිටුවහලේ සිටි හැමට නැවත රට පැමිණීමට අවසර දීමට පියවර ගත්හ. ඒ සැණෙන් පිටුවහල්ව ස්විට්සර්ලන්තයේ සිටි ව්ලැදිමීර් ලෙනින් පෙබරවාරියේ පෙට්‍රොග්‍රැඩ් වෙත පැමිණ “බොල්ෂෙවික්” කණ්ඩායම් අතර සිය ආධිපත්‍ය තහවුරු කර ගත්තේ ය.

මෙන්ෂෙවිකයන්ගේ තාවකාලික ආණ්ඩුවට ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නට නොහැකි නිසා ඔවුන් ඉල්ලා අස් විය යුතු යැයි වූ ලෙනින්ගේ ස්ථාවරය බොල්ෂෙවික්වරුන් අතරද ජනප්‍රිය නොවූවකි. එහෙත් තම මතය අත හැරීමට ලෙනින් සූදානම් නොවීය. මෙහි පැහැදිලි කළ යුත්තක් ඇත. “බොල්ෂෙවික්” යැයි කියනු ලැබුවේ, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්රු පක්ෂයේ 1903 දී පැවැති දෙවැනි සම්මේලනයේදී “මධ්‍යගත” ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් හැදීමේ ලෙනින්ගේ යෝජනාව සම්මත කළ “බහුතරය” තමන් හඳුනා ගනු ලැබූ නාමය විය. ඊට විරුද්ධ වූ සුළුතරය “මෙන්ෂෙවික්” විය. එහෙත් 1905 රුසියානු විප්ලවයෙන් පසු මෙන්ෂෙවිකයන් බහුතරය වූ අතර, බොල්ෂෙවිකයන් සුළුතරය බවට පත් විය. නැවත පැමිණීමෙන් පසු ලෙනින්ගේ දේශපාලන පදනම වූයේ සුළුතරය බවට පත්ව සිටි බොල්ෂෙවිකයන් ය. සුළුතරයක් වූවාට පෙට්‍රොග්‍රැඩ් හා මොස්කව් නගරවල සෝවියට් සභා බොල්ෂෙවික් බලයට අවනත වූයෙන් රසියානු රාජ්‍යයේ කේන්ද්‍රීය බල මධ්‍යස්ථාන වූ ඒ නගර දෙකෙහි දේශපාලන බලයට අභියෝග කිරීමේ ශක්තිය බොල්ෂෙවිකයන්ට තිබිණ.

ඒ පසුබිමෙහි ලෙනින් විසින් ඔක්තෝබර 10 වැනිදාට බොල්ෂෙවික් නායක මණ්ඩලය කැඳවනු ලැබුවේ තාවකාලික ආණ්ඩුවට එරෙහිව ජනතා කැරැල්ලක් දියත් කිරීමේ තීන්දුව ගැනීමට ය. පසු දින එළිවන තෙක් දීර්ඝ වාද කිරීමකින් පසු, ලෙනින්ගේ යෝජනාව බහුතර ඡන්දයකින් සම්මත විය. ඒ සමග පෙට්‍රොග්‍රැඩ් හා මොස්කව් සෝවියට් සභා විසින් කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුව ඉවත් විය යුතුයැයි වැඩ වර්ජන තීන්දුව ප්‍රකාශයට පත් කළේය. විප්ලවවාදී සමාජවාදී පක්ෂයේ “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී” ප්‍රවනතාවෙහි ප්‍රධානියා වූ ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කි 1917 ජූලි මාසය වනවිට තාවකාලික ආණ්ඩුවේ යුද ඇමති හා අගමැති විය. ඔහුගේ තාවකාලික ආණ්ඩුවට එරෙහි ජනතා කැරැල්ල “සාමය, ඉඩම් හා පාන්” ඉල්ලා සිටියේය. එයට ග්‍රාමීය නැරොඩ්නික්වාදී කැරැලිකරුවෝද පෙට්‍රොග්‍රැඩ් හා මොස්කව් නගරයේ ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදු කණ්ඩායම්ද හවුල් වූහ. ඒ හයිය මත මොස්ව්කව් හා පෙට්‍රොග්‍රැඩ් නගර බොල්ෂෙවික් කැරැලිකරුවන්ගේ ආධිපත්‍යයට යටත්වූ පසු ලෙනින් ප්‍රධාන වූ බොල්ෂෙවික් නායකයෝ පෙට්‍රොග්‍රැඩ්හි ඓතිහාසික මන්දිරයක් වූ “ස්මෝල්නි මන්දිරය” තම මූලස්ථානය කර ගත්හ. කෙරෙන්ස්කි රටින් පලා ගියද, “සීත මාලිගාව” (Winter Palace) තාවකාලික ආණ්ඩුවෙහි මධ්‍යස්ථානය විය.

මේ දෙපොළෙහි ගොඩනැගුණු ද්විත්ව බලය සතියකට වැඩි කාලයක් රුසියානු රාජ්‍ය බලය පිළිබඳව වූ අවිනිශ්චිතයක් ඉතිරි කෙරුවකි. ඔක්තෝබර 26 වැනිදා රුසියානු රාජ්‍ය නායකයා ලෙස ලෙනින් “යුද්ධය අවසන් කරමින්, සියලු පෞද්ගලික ඉඩම් රාජ්‍ය සන්තකයට ගනිමින් හා කර්මාන්ත ශාලා පාලනය කම්කරුවන්ට පැවරීමට පොරොන්දු වෙමින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමග රුසියාව බොල්ෂෙවික් බලයට නතු වූයේ බොල්ෂෙවික් හිතවාදී හමුදා කාණ්ඩයක් “සීත මාලිගාව” අල්ලා ගැනීමේ පසුබිමෙහි ය. (රුසියන් විප්ලවයේ අවසන් දස දින පිළිබඳව ජෝන් රීඩ් ගේ “ලොව හෙල්ලූ දස දවස” කෘතිය කියවන්න). ඒ සමග ප්‍රකාශයට පත් කෙරුණු විප්ලවවාදී කම්කරු-ගොවි ආණ්ඩුව, සභාග ආණ්ඩුවක් විය. එයට සාර් රුසියාවේ ග්‍රාමීය පදනමක් තිබූ විශාලම දේශපාලන පක්ෂය වූ විප්ලවීය සමාජවාදීහුද හවුල් වුහ.

එහෙත් බොල්ෂෙවික් නායකත්වය 1918 මාර්තුවේදී බෙලරුස්හි “බ්‍රෙස්ට්-ලිටොව්ස්ක්” නගරයේදී ලෝක යුද්ධයෙන් ගැලවීමට ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුමෙන් බරපතළ අසීරුවකට හසු විය. ඔවුන්ට කෘෂිකාර්මික හා ස්වාභාවික සම්පත් අතින් පොහොසත් විශාල ඵලදායි භූමි ප්‍රදේශ අත් හරින්නට සිදු විය. ඒ බිම් ප්‍රමාණය සාර් අධිරාජ්‍යයේ දේශ සීමා තුළ වූ සියයට 30 ක පමණ බිම් ප්‍රමාණයක් විය. අනෙක, යුද්ධයෙන් ඉවත්වීමත් සමග යුද්ධයෙන් හෙම්බත්ව සිටි දස දහස් ගණනක් සොල්දාදුවන් නැවත රුසියානු ගම් බිම් වෙත පැමිණීමෙන් ග්‍රාමීය සමාජයේ රැකියා හා ආහාර හිඟය තව තවත් උග්‍ර විය.

ඉන් මෝදු වූ සමාජ නොසන්සුන්තාව හා විරෝධය සාර් හිතවාදී සහ තාවකාලික ආණ්ඩුවේ සිටි පිරිස් ඔවුන්ගේ වාසියට ගත්හ. 2019 වන විට ඔවුන්ගේ “සුදු හමුදා” වලට මේ විරෝධතා බොල්ෂෙවික් පාලනයට එරෙහි සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කර ගැනීමට හැකි විය. සුදු හමුදා කාණ්ඩ වරෙක පෙට්‍රොග්‍රැඩ් නුවරද වට කළහ. බොල්ෂෙවික් “රතු හමුදාව” හැදෙන්නේ මේ සිවිල් යුද්ධය ජය ගැනීමට ය. එය ට්‍රොට්ස්කිට බාර කෙරුණකි. ඔහු කියන අයුරු, පක්ෂ ක්‍රියාකාරීන් පුහුණු කෙරෙන්නේ “සාමය” වෙනුවෙන් දේශපාලනය කිරීමට වුවත් යුද හමුදාවක් හදා පුහුණු කෙරෙන්නේ ඕනෑම වටපිටාවක තවකෙකු ඝාතනය කිරීමට ඉක්මන් වන හා මිය යන්නට සූදානම්, සන්නද්ධ තරුණ සංවිධානයක් ලෙසය.

ලියෝන් ට්‍රොට්ස්කිට අනුව ධනේශ්වර රාජ්‍යවල පවතින හමුදා නඩත්තු කෙරෙන්නේ, සන්නද්ධ හමුදාකරණය සාධාරණය කිරීමේ දේශපාලන ආවරණයක් වශයෙනි. “අපගේ ප්‍රශ්නය වුණේ පැවති හමුදා කාණ්ඩ මුළුමනින් පිසදා ඉවත් කිරීමයි. ඒ සමග, ඒ වෙනුවට, යුද්ධයක් මැද අලුත් හමුදාවක් හැදීමයි. ඒ සඳහා කිසිම පොතක සැලසුම් නැහැ.” ඔහු “My Life” නම් ස්වයං චරිතාපදානයෙහි ලියා ඇත. සුදු හමුදා විසින් සිම්බ(ර්)ස්ක් නුවර අල්ලා ගත් පසු, බොල්ෂෙවික් පාලනය බරපතළ තර්ජනයකට මුහුණ දුන් වොල්ගා ප්‍රාන්තයට යෑමට ට්‍රොට්ස්කිට සිදු විය. ඒ සඳහා ඔහු දුම්රියක් සූදානම් කර ගත්තේ ය. “මම මොස්කව් වලින් පිටත් වූණේ අගෝස්තු හත් වැනිදා. කලින් දවසේ කසාන් නගරය සුදු හමුදා අතට පත්වුණා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම මට අවුරුදු දෙක හමාරක් යුද්ධයත් සමග මේ කෝච්චියේ ජීවත් වෙන්න සිදුවෙයි කියලත් මං හිතුවෙ නැහැ.” (එම කෘතියෙන්) එහි තිබූ අති බරපතළම දේශපාලන පරිවර්තනය නම්, 1922 දී සිවිල් යුද්ධය අවසන් වූ පසුවත් ඉතාම සංවිධිත, දැවැන්ත රතු හමුදාව බොල්ෂෙවික් පක්ෂයේ බලය වෙනුවෙන් මර්දන යාන්ත්‍රණයක් ලෙස තහවුරු වීම ය.

ඒ විස්තර ඉදිරිපත් කෙරුවේ, මාක්ස්වාදී සාහිත්‍යයෙහි සඳහන් වන “කම්කරු රාජ්‍ය” එය නොවේ යැයි කීමට ය. කාල් මාක්ස්ගේ ලියකියවිලිවල කතා කෙරෙන්නේ දියුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් උපරිම සංවර්ධනයක් අත්පත් කරගත් පසු, ඒ සංවිඥානක සමාජය විසින් මානව ඉතිහාසයෙහි පළමු වරට ඊළඟ සමාජය, දැනුවත්ව කෙරෙන සමාජ පෙරැළියකින් තීන්දු කරන බව ය. එහි පුරෝගාමී වගකීම දියුණු, බලසම්පන්න කම්කරු පන්ති රාජ්‍යයක මූලිකත්වයෙන් ඉටු කෙරෙන්නේ යැයි කියා ය. එවැනි දියුණු ධනේශවරයකින් තොරව, කම්කරු පන්තික විප්ලවයක් ඇති විය නොහැකි බැව් කාල් මාක්ස්ගේ න්‍යායික තීන්දුව විය. ඔහු එංගලන්තය, ප්‍රංශය හෝ ජර්මනිය කම්කරු විප්ලවයක් දක්වා වර්ධනය විය හැකි රටවල් ලෙස පුරෝකතනය කෙරුවේ, යුරෝපයේ එවැනි ධනේශ්වර වර්ධනයක් ලැබූ වෙනත් රටවල් නොවූයෙනි. මනෝරාජික සංකල්පයක් ලෙස තවමත් පවතින “සමාජවාදී” දේශයක් යැයි හඳුන්වන පශ්චාත් ධනේශ්වර සමාජයෙහි මූලික ලක්ෂණ 03 කි.

 

1. එය නිදහස් ව්‍යවසායකයන්ගේ හවුලක් වන්නේය.

2. සමාජ ව්‍යුහ මගින් රාජ්‍ය වගකීම් බාර ගනු ලබන්නේ ය.

3. රාජ්‍ය ක්‍රමානුකූලව වියැකී යාමේ ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කෙරෙන්නේ ය.

ධනේශ්වරයේ උපරිම වර්ධනයක යෝධ සංවිධිත කාර්මික කම්කරු පන්තියක් වර්ධනය වන්නේය. එබැවින් උපරිම ධනේශවර වර්ධනයේ කෙළවර, ඊළඟ සමාජය නිර්මාණය කිරීමේ වගකීම ඓතිහාසිකව කම්කරු පන්තියට පැවරෙන්නකි. දෙවැන්න, දියුණු ධනේශ්වර වර්ධනයක ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම්, සමාජ සුබසාධනය, තාක්ෂණය, වෘත්තීන්, රාජ්‍ය පරිපාලනය, සමාජ විනය, ආචාර් ධර්ම වැනි සියල්ලද ඉතා කාර්යක්ෂමව හා සංවිධානාත්මකව නඩත්තු වන ජන සම්මතයන් හා සම්ප්‍රදායන් සමාජගත වන්නේ ය. එනිසා ඒ සඳහා නීති අවශ්‍ය වන්නේ නැත. ඒ වගේම දියුණු මානව සම්පත් හා බුද්ධි වර්ධනය කම්කරු පන්තියේ දායකත්වය ඇතිව සිදුවන්නකි.

මාක්ස් කියන්නාවූ එවැනි ධනේශ්වර වර්ධනයක් රුසියාවේ තබා වෙනත් කොහේවත් රජ පෙළපතක් යටතේ ඇති වන්නේ නැත. එබැවින් ලෙනින් දිගින් දිගටම පෙනී සිටි සහ ට්‍රොට්ස්කි පිළිගත් කම්කරු විප්ලවයෙන් දියුණු කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ශක්තිමත් සංවිධානාත්මක කම්කරු පන්තියක් සාර් රුසියාවේ නොතිබිණ. 1905 විප්ලවයට අවුරුදු 08 ට පෙර 1897 දී යූරල් කඳුවැටියට බටහිරින් යූරෝ රුසියාවේ මිලියන 93 ක ජනගහනයෙන් සියයට 84 ක් ගැමියන් යැයි නිල ජන සංගණනය දක්වන්නකි. පෘථිවියෙන් හයෙන් පංගුවක් යැයි සැළකුණ සාර් රුසියාවේ පෙට්‍රොග්‍රැඩ්, මොස්කව්, ගල් අඟුරු සඳහා ඩොනබාස්, යකඩ සඳහා යෙකාටෙරිංබ(ර්)ග් සහ ඛනිජ තෙල් සඳහා බාකු වැනි මහ නගර අතළොස්සක් හැරුණු විට, සමස්ත රුසියාවම වැඩවසම් සමාජයක් වූවකි. රුසියාව පුරා තාවකාලික ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසුවෝ හෙම්බත්ව පැමිණි ග්‍රාමීය තරුණ සොල්දාදුවන් හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ අසංවිධානාත්මක අවිධිමත් ක්ෂේත්‍රයේ වූ ගැමියෝය. කම්කරු දායකත්වය තිබූයේ පෙට්‍රොග්‍රැඩ්, මොස්කව් හා සෝවියට් සභා පැවති තවත් නගර කිහිපයක පමණි.

බොල්ෂෙවිකයන් බලය ගැනීමේ සිට සිවිල් යුද්ධය හරහා බලහත්කාර මධ්‍යගත පාලනයක් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍යයක් හැදීමට ලෙනින්ගේ සිට පියවර එකින් එක ගැනීමට සිදුවූයේ බලය ගැනීමට දියුණු ශක්තිමත් කම්කරු පංතියක් නොසිටියෙනි. එනිසා ඔක්තෝබර් විප්ලවය කියැවීමේදී ලෙනින්ගේ වැදගත්කම ඇත්තේ ධනේශ්වර විරෝධී විප්ලවයකින් දේශපාලන බලය ගැනීමෙහි නොව, එසේ නොවන්නේ යැයි වූ මාක්ස්ගේ න්‍යායික පුරෝකථනය නිවැරැදි යැයි ප්‍රායෝගිකව සනාථ කිරීමෙහිය. නොදියුණු ධනේශ්වර සමාජයක කම්කරු පන්ති විප්ලව යනු බලහත්කාර දූෂිත රාජ්‍ය පිහිටුවීමේ ග්‍රාමීය කැරලි යැයි ඔප්පු කිරීමෙහි ය.

(*** කුසල් පෙරේරා)