මෛත‍්‍රී ස්ථිරවම ජනපතිවන බව කී පොළොන්නරුවේ හිමිනම සොයාගිය ගමන


 

MAITHERI-WIN_P8

 

මෙරටට පමණක් නොව විදෙස් රටවල ද අවධානය යොමුවූ සුවිශේෂී ජනාධිපතිවරණයත් දැන් අවසන්ය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ මෙම මැතිවරණයේ ජය හා පැරදුම සිදු වූයේ කෙසේ ද කියාය. ඊට විවිධ හේතු කියවුණ ද වැඩි අවධානයක් යොමු වූයේ ප‍්‍රධානම අපේ්ක්ෂකයින් දෙදෙනාට සහාය වූ දෛවඥයින් පිළිබඳවය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ ගණනාවක්ම ජය ගැනීමට මග හෙළි කර දුන් රාජකීය දෛවඥයා ලෙස විරුදාවලිය ලත් සුමනදාස අබේගුණවර්ධන මහතා ඇතුළු මහින්ද රාජපක්ෂ ස්ථිර වශයෙන්ම ජය ගන්නා බව කියූ ප‍්‍රකට දෛවඥයින් ගණනාවකගේ අනාවැකි මෙවර වැරදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පහසුවෙන්ම රටේ ජනාධිපති ධුරය හිමි විය.


මහින්ද රාජපක්ෂ මහතාට වසර දහයකටත් වඩා වැඩි කාලයක් රජ කිරීමට බලවත් ග‍්‍රහ යෝග සකසා දුන් රාජකීය දෛවඥයාට මෙවැනි අතිශය තීරණාත්මක මැතිවරණයක වරදිද්දී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රජවීමට ප‍්‍රබල නැකැත් විධි සකසා දුන්නේ කවුරුන් ද යන්න කා හටත් පැවැති ප‍්‍රශ්නාර්ථයක් විය.


ජනාධිපතිවරණයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වූයේ රටේ ජනතාව පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා විස්මයට පත් කරවමින්ය. මහින්ද රාජපක්ෂ මහතා රටේ නායකයා වූ ආකාරයෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ද රටේ නායකයා වීමට ප‍්‍රබල ග‍්‍රහ යෝග ඇතැයි ප‍්‍රකාශ වීමෙන් පසුව ඔහුගේ හඳහන පිළිබඳ විස්තර සෙවීමට බොහෝ දෙනෙකු උත්සුක වූහ.


හිටපු ජනාධිපතිවරයාට සම්බන්ධ වූ බුද්ධි අංශවල මූලිකම මෙහෙයුමත් වී තිබුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රබල ග‍්‍රහ යෝග සහිත ඔහුගේ කේන්දරයේ විස්තර සොයා ගැනීමටය. එය රැුක ගැනීම ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව ද පසුගිය දිනවල කියැවිණි.
නමුත් අවසාන මොහොතේ ජයග‍්‍රහණය තෙක්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කේන්දරය පිළිබඳ තොරතුරු කා හටත් අතිශය ප‍්‍රබල රහසක්ව තිබුණි. කිසිවෙකුට ඒ පිළිබඳව සොයා ගැනීමට නොහැකි විය. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ ඔහුට ජය මග විවර කර දුන් රාජකීය දෛවඥයා ද පරාජය කරමින්ය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රබල ජයග‍්‍රහණයක් ලැබුවේ මුළු රටටම හෙළි නොවූ කේන්දරකරුවෙකුගේ නිවැරැුදි තත්කාලයට අනුවය.
කවුද මේ නව අනාවැකිකරුවා. දැඩි වෙහෙසකින් කළ සොයා බැලීමකින් පසුව ”ඉරිදා ලංකාදීප”ය වෙනුවෙන් අපට මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ජය මග විවර කර දුන් ඒ සුවිශේෂී දෛව්‍යඥයා සොයා ගැනීමට හැකි විය.

විධායක බලයත් සමග නොබියව හැප්පීමට අවශ්‍ය සුවිශේෂී නැකැත් විධි සකසා දුන් මේ නැකැත්කරුවා කවුරුවත් නොව නව ජනාධිපතිවරයා බිහිවූ පුලතිසිපුරවරයේම සංඝනායක හිමිවරයෙකි. උන්වහන්සේ නමින් ලියන්ගස්වගුරේ දේවානන්ද නාහිමියන්ය. මේ වන විට 76 වැනි වියෙහි පසු වන දේවානන්ද හිමියන් ඇළහැර බකමූණ දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක හිමියන් ලෙස කටයුතු කරන අතර ගිරිතලේ පුරාණගම ධර්මවිජයාරාම විහාරස්ථානයේ අධිපති හිමි ලෙස වැඩ වාසය කරති.


වලපනේ දී 1938 වසරේ උපත ලබන දේවානන්ද හිමියෝ දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය. ගොවියෙකු වූ උක්කුබණ්ඩා මහතා තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට බෙහෙවින් උත්සුක වූ අයෙකි. පැවැදි දිවියට ඇතුළත්ව සිටි තම දෙවැනි පුතු වත්තේගම ධර්මද්වීප පිරිවෙණට ඇතුළත් කොට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය. ලියන්ගස්වගුරේ දේවානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් වූ තම දෙවැනි පුතු අධ්‍යාපනයට දක්වන සුවිශේෂී දක්ෂතාව දුටු උක්කුබණ්ඩා මහතා ඔහුට අධ්‍යාපනයෙන් ඉහළට යාමට අවශ්‍ය මංපෙත් විවර කර දුන්නේය.


ඒ අනුව 1956 වසරේ දී මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත්ව එහි දී වසර දහයක පමණ කාලයක් උසස් අධ්‍යාපනය ලැබූ දේවානන්ද හිමියෝ ඉන් අනතුරුව විද්‍යොදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පළමු වතාවෙන්ම උසස් සාමාර්ථයක් ලැබූහ. විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් පිටව ගාල්ලේ හීනටිගල විද්‍යාවර්ධන පිරිවෙන් විද්‍යායතනයේ පරිවේණාධිපති වශයෙන් සේවය කළහ.


පිරිවෙණේ සේවය කරමින් සිටිය දී තම ගුරු හිමියන් වන ලියන්ගස්වගුරේ ධම්මාලෝක හිමියන්ගේ ඉල්ලීමකට අනුව සේවයෙන් ඉවත්ව පැමිණ 1969 වසරේ දී වත්මන් විහාරස්ථානයේ කටයුතු බාර ගත්හ.

 

MAITHERI

 

ගිරිතලේ විහාරස්ථානයට පැමිණීමට පෙර දේවානන්ද හිමියෝ ගාල්ලේ පිරිවෙණේ සේවය කරමින් සිටිය දී ගාල්ලේ මිහිරිපැන්නේ පදිංචිව සිටි කරිසන් ගුණවර්ධන මහතාගෙන් නක්ෂත‍්‍රය පිළිබඳව අංගසම්පූර්ණ දැනුමක් ලබාගෙන තිබුණි. එවකට විශ‍්‍රාමලත් දුම්රිය ස්ථානාධිපතිවරයෙකු වූ ගුණවර්ධන මහතා අති දක්ෂ නක්ෂත‍්‍රකරුවෙකු වුව ද ඔහු ඉන් මුදල් හම්බ කළ අයෙකු නොවීය. තම දැනුම සඳහා නක්ෂත‍්‍ර කලාව අධ්‍යයනය කර තිබූ ගුණවර්ධන මහතාගේ එකම ශිෂ්‍යයා වූයේ ද දේවානන්ද හිමියන් පමණි. ගුණවර්ධන මහතා මීට කලකට පෙර අභාවප‍්‍රාප්ත වූ ප‍්‍රකට මනෝවෛද්‍ය විශේෂඥවරයෙකු වූ ඞී.වී. හරිශ්චන්ද්‍ර මහතාගේ මවගේ සොයුරා විය.


ගුණවර්ධන මහතාට දරුවෝ එකොළොස් දෙනෙකුම වූහ. ඔවුන්ගෙන් දරුවන් දස දෙනෙකුම වෛද්‍යවරුන් වූ බැවින් ඒ කිසිවෙකු ගුණවර්ධන මහතා ඉතා ආශාවෙන් උගත් නක්ෂත‍්‍ර කලාවට යොමුවී නොතිබුණි. මේ නිසාම ගුණවර්ධන මහතා තමා සොයා පැමිණි දේවානන්ද හිමියන්ට තම දරුවකු හා සමානව සලකන්නේ නක්ෂත‍්‍රයෙහි ඔහු දැන සිටි රහස් සියල්ලම ගුරු මුෂ්ටියකින් තොරව ලබා දුන්නේය.


ඒ සියල්ලෙන්ම පසුව ගුරු හිමියන්ගේ ඉල්ලීමට අනුව පුලතිසිපුරවරයට පිවිසෙන දේවානන්ද හිමියන්ට රටේ අනාගත නායකයා මුණ ගැසෙන්නේ පොළොන්නරුවේ පිරිවෙණක ආචාර්යවරයෙකු වශයෙන් සේවය කිරීමට ගිය අවස්ථාවේදීය.


මේ මීට වසර 45කට පමණ පෙර සිදුවූ ඒ හමුවීම දේවානන්ද හිමියන්ගේ මතකයේ තිබූ ආකාරයයි.


”මෙතුමා මට හමුවෙන කොට බොහෝම තරුණ වයසේ හිටියේ. ඒ වෙන කොට එයාට අවුරුදු 18ක් 19ක් විතර ඇති. මම සේවය කරපු පිරිවෙණට මෛතී‍්‍රපාල නිතරම ආවා ගියා. ඔහුට අපි කතා කළේ ”මෛතී‍්‍ර” කියලයි. පිරිවෙණේ ස්වාමීන් වහන්සේලා සමග ඔහු බොහෝම හිතවත්ව කටයුතු කළා. ඒ වෙන කොට ඔහු දේශපාලනයට ඇවිල්ලයි හිටියේ. ඒ නිසා නිතරම අපිත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලන කටයුතු ගැන කතා කළා.
”ඒ වයසේදීත් පළාතේ ජනතාව අතර මේ තරුණ මෛතී‍්‍ර බොහෝම ජනපි‍්‍රයයි. දේශපාලනය පමණක් නොවෙයි ගමේ පොදු වැඩ කටයුතුවලදීත් මුල් තැන අරගෙන කටයුතු කරනවා මම දුටුවා. මම ජ්‍යොතිෂය ගැන කටයුතු කරන බව එතුමා දැනගෙන හිටියා. ඒ නිසා කීප වාරයක්ම ඒ කාලයේ දී ඇවිත් මාව හමු වෙලා එතුමාගේ කේන්දරය බලවා ගත්තා. බොහෝම උනන්දුවක් ඒ කාලයේ ඉඳන්ම ජ්‍යොතිෂය ගැන තිබුණා. හැම වැඩක්ම කළේ ජ්‍යොතිෂයට අනුවමයි.”

000මෛතී‍්‍රපාල මහත්තයාගේ ඉදිරි දේශපාලනය ගැන ඔබ වහන්සේට කේන්දරය බලන කොට පෙනුණා ද?


”මෛතී‍්‍රපාල මහත්තයා සෑම වසරකම දෙසැම්බර් මාසයේ දී තම පියා වෙනුවෙන් දානයක් පිරිනමනවා. මම දන්නා විදිහට මට මතක ඇති කාලයේ සිටම මම එතුමාගේ ඔය දානමය පුණ්‍යකර්මයට සහභාගි වුණා. මට මතකයි එතුමාට මුලින්ම ඇමැති තනතුරක් ලැබුණු අවස්ථාවේ දී පියා වෙනුවෙන් පිරිනැමූ දානමය පුණ්‍යකර්මයේ දී මම ප‍්‍රකාශ කළා මේ දානයේ පින් මහිමයෙන් ඔබතුමා වසරින් වසර පියවරෙන් පියවර මේ තනතුරුවලින් ඉහළින් ඉහළටම යන්න  ඕනෑය කියලා. ඒ කියාපු විදිහටම මේ වසරේ එතුමා පියාගේ දානය කරන්නේ මේ රටේ නායකයා වෙලා නේද?


”එතුමාගේ කේන්දරය බොහෝම බලවත් කියලා මට පෙනුණා. මම කේන්දරය බලපු මුල් අවදියේ සිටම ඒ බව එතුමාට කියා තිබුණා. දේශපාලනයෙන් පියවරෙන් පියවර ඉහළටම යාමට තරම් කේන්දරය බොහෝම බලවත් බව මම කීවා. එතුමා මා ප‍්‍රකාශ කළ ඒ සෑම වචනයක්ම ඉතාම ඉහළින් පිළිගත්තා. ඒ වගේම මේ සියලූම විස්තර අපි බොහෝම රහසිගතව තියා ගත්තා.”


ඔබ වහන්සේ ඒ තරම්ම සමීපව ඇසුරු කළා නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කලින් පවසලා තිබුණා ද?


”මට හොඳට මතකයි එතුමා ආණ්ඩුවෙන් ඉවත් වීමට හරියටම සතියකට පමණ පෙර ඇවිත් මාව හමු වෙලා කීවා නායක හාමුදුරුවනේ මගේ අදහසක් තියෙනවා ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. ඒක කීවාම මම පුදුම වුණා. මම ඇසුවා හොඳට හිතලා බලලා ද ඔය වාගේ බරපතළ තීරණයක් ගත්තේ කියලා. එතුමා පැවසුවා හොඳට සිතා බලා තමයි මේ තීරණය ගත්තේ කියලා. ඒ පාර මම කියා සිටියා එක පාරක් නෙවෙයි දහ වාරයක් හිතලා මේ වාගේ වැදගත් තීන්දුවක් ගන්නය කියලා.


”එහෙම කියලා මම මෙන්න මේ ගාථාව එතුමාට කීවා.”

”ආත්ම බුද්ධි සුචංවේදී
ගුරු බුද්ධි විශේෂකං
ස්තී‍්‍ර බුද්ධි විනාශාය
බහු බුද්ධි මරණං භවේ.


ඒ කියන්නේ තමන්ගේ බුද්ධිය තමන්ට සැප ළඟ කර දේය x ගුරුවරයාගේ තීරණය අති විශේෂයි. ගැහැනුන්ගේ තීරණවලටම එළඹුණොත් විනාශ වෙනවාය - එක එක අය කියන විදිහට වැඩ කරන්න ගියොත් මරණය ළඟා වෙනවාය - කියලයි. මේක ඉර්ෂිවරයෙක් කියූ දෙයක්. ඒ නිසා ඔබතුමා ඔය ගත්තු තීරණය වරදින්නේ නැහැ. සිතූ විදිහටම කරගෙන යන්න කියලා මම ආශිර්වාද කළා.”


මෛතී‍්‍රපාල මහත්තයාගේ හඳහන බලන කොට මේ විදිහට අනාගතයේ දී ඔහුට රටේ නායකයා වීමට බලවත් යෝගයක් තිබෙන බව ඔබ වහන්සේට පෙනුණා ද?


”මම ඒ බව හොඳටම දුටුවා. මොකද චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ ඉඳලාම මෛතී‍්‍රපාල මැතිතුමාට අගමැතිකම දෙන්න යනවා කියලා ප‍්‍රචාරය වෙලා තිබුණා. ඒ කාලයේ දවසක් මාව හමුවීමට ඇවිත් කීවා අපේ හාමුදුරුවනේ ජනාධිපතිතුමිය මට අගමැතිකම දෙනවා කීවා කියලා. මට හෙලිකොප්ටරයක් එවනවා කීවා. නමුත් මම ගියේ නැහැ හාමුදුරුවනේ. මට වඩා ඒ තනතුරට බොහෝම සුදුසු ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා නිසා ඒ තනතුර එතුමාට දිය යුතුයි කියා කීවා.


”ඒ වෙන කොටත් මම එතුමාගේ හඳහන හොඳට පරීක්ෂා කරලා බලලයි තිබුණේ. එතුමාගේ හඳහනේ තිබුණා රවි බුධ යෝගයක් එකොළොස් වැනි කොටුවේ. ලග්නය තුලා. මේ විදිහට රවි බුධ යෝගයක් තිබෙනවා නම් ජ්‍යොතිෂයේ කියැවෙනවා තිබෙන කෝටියක් දෝෂ භංග වෙනවා කියලා. පුද්ගලයෙකුගේ හඳහනක එවැනි ප‍්‍රබල යෝගයක් පිහිටන්නේ බොහෝම කලාතුරකින්. දවසක පෙරවරු 9යි 12යි අතර වේලාවට උපදින අයට බොහෝ විට මේ රවි බුධ යෝගය පිහිටනවා. රවි බුධ සමග අනෙක් කොටුවේ සිකුරා සිටියා. පොඩි අඩුවකට තිබුණේ ගුරු සහ සඳු කියන ග‍්‍රහයෝ පොඞ්ඩක් පැත්තකට ගිහිල්ලා තිබීමයි. එහෙම වුණාට රවි බුධ යෝගය එතුමාට බොහෝම බලවත් වන ආකාරයට පිහිටලා තිබුණා.


”අපි ජ්‍යොතිර්වේදීන් විදිහට කළ යුත්තේ ඒ යෝගවලට සුදුසු ආකාරයට අවශ්‍ය අලූත් නැකැත් පිහිටුවීමයි. නැකතක් කියන්නේ නැවත ඉපදවීමක්. හොඳ ග‍්‍රහ යෝග ටිකක් නැකැතට සම්බන්ධ කරගත්තාම එතැන් සිට ඉදිරියට යන්නේ ඒ නැකැතයි. අද හඳහන් බලන සමහරුන්ට තේරුම් ගන්න බැරි ඔය දේම තමයි. මේක ජ්‍යොතිෂයේ පතුලටම කිමිදිලා මතු කරගත යුතුයි. නමුත් අද බොහෝ දෙනෙක් කරන්නේ මතුපිටින් පමණක් අත ගාලා නැකැත් සාදා දීමයි. එය බරපතළ වරදක්. එයින් සිදු කරන්නේ බරපතළ හානියක්.”මෙවැනි බලවත් යෝගයක් තිබෙන බව මම එතුමාට පෙන්වා දුන්නේ 2005 වසරේදීයි. එතකොට එතුමා රජයේ ඇමැතිවරයෙක්. දැන් ඔබතුමාට සෙනසුරු මහ දශාව ලැබුවා. මෙතැන මේ බංකුවේ වාඩි වෙලා හිටියේ. අවුරුදු 19ක්ම මේ මහ දශාව තිබෙන නිසා ඔබතුමා කවදා හරි රජ වෙලා තමයි නවතින්නේ කියලා මම කීවා.


”මම එහෙම කියන කොට එතුමා මහ හයියෙන් සිනහ වුණා. ඊට පස්සේ දවසක මාව හමු වුණ වේලාවක මට කියනවා කොයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දේ තාම වුණේ නැහැනේ කියලා. විහිළුවට වගේ තමයි එහෙම කීවේ. හැබැයි මට සිතුණා එතුමා බලාපොරොත්තු වුණු විදිහට අගමැතිකම නොලැබී ගියේ මේ රාජ යෝගය හරියටම ඉෂ්ට කරවන්න කියලයි. ඒ නිසාමයි අගමැතිකම පන්නලා එතුමාව ග‍්‍රහ යෝග බලයෙන් ජනාධිපති පුුටුවට අරගෙන ගියේ.


”අගමැතිකම නොලැබුණා කියලා එතුමා කිසිම අවස්ථාවක කාටවත්ම දොස් පැවරුවේ නැහැ. තනතුරු ලැබෙන කල් බලා සිටියා මිසක තනතුරු පස්සේ ගියේ නැහැ. මම ඒ බව හොඳට දුටුවා. කී වාරයක්ම ප‍්‍රචාරය වුණාට අගමැතිකම වෙනස් වෙනවාද කියලා. නමුත් ඒ දේ සිද්ධ වුණේම නැහැනේ. ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ මෙතුමාගේ ග‍්‍රහ බලයේ විදිහට අවශ්‍ය තැන පිහිටුවීම සඳහා විය යුතුයි. ඒ යෝගය මේ පරිවර්තනයට අවශ්‍ය ඉඩකඩ සලසලා තිබුණා විය හැකියි.”


දේවානන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන සඳහන් කිරීමට ද අමතක නොකළහ.


”මහින්ද රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වුණු දේවල් වුණේ නෑනේ. එතුමාට හදාපු නැකැත්වල  කොතැනක හරි වැරදීමක් සිද්ධ වෙලා තියෙන බව මට පේනවා. මට හිතෙන විදිහට හිටපු ජනාධිපතිතුමාට දීලා තියෙන්නේ උඩින් බලලා හදාපු නැකතක් වගෙයි. මම මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාගේ වේලාව හැදුවේ මම දන්නා ශාස්ත‍්‍රය හැටියට ජ්‍යොතිෂයේ ගැඹුරටම ගිහිල්ලා මම උගත් ජ්‍යොතිෂ රහස් ක‍්‍රම අනුවයි. ”ශිවාලිඛිත” කියන පොතේ සඳහන් ”රාවණා මුහුර්තිය” අනුවයි මම ඔය නැකැත් සියල්ලම එතුමාට හැදුවේ. යුද්ධයෙන් හා වෛරයෙන් නෂ්ඨ කිරීමට ද, පටලෝ ආදිය මැකීමට ද මේ රාවණා මුහුර්තිය බොහෝම වැදගත් වෙනවා කියලා මේ ශිවාලිඛිත කියන පොතේ සඳහන් වෙනවා. මේ පොත ජ්‍යොතිෂයට අයත් බොහෝම වැදගත් කරුණු රැුසක් සඳහන් පොතක්.


”මේ පොතේ හැටියට නැකැත් හදන්නේ නම් මුල් අකුර එන විදිහටයි මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට මම ගත්තේ නම් දෙකේ මුල් අකුරුවල විදිහටයි. ඒ අනුව සිංහ, කුම්භ, කන්‍යා, මිථුන, මකර යන ලග්නවලට තමෝ ගුණය ඝාතයි කියනවා. මේ පොතේ පෙන්වනවා ගුණ තුනක්. රජෝ ගුණය, තමෝ ගුණය සහ වසෝ ගුණය කියන ගුණ තුන. ඝාතය කියන්නේ නැති කිරීමනේ. ඒ වෙලාව බලය, ශක්තිය නැති වෙනවා. මෛතී‍්‍රපාල මහත්තයාට මේ බලය, ශක්තිය නැති වෙන්නේ තමෝ ගුණය තියෙන වෙලාවට විතරයි. අනෙක් ගුණ දෙකම එයාට හරියනවා.


”නමුත් මම දැකපු ආකාරයට මහින්ද මහත්තයාට එයාටත් තියෙන්නේ ”ම” යන්නෙත් එක තමයි, ”හ” යන්නෙත් එක තමයිනේ. ඒ අකුරුවලට අනුව ලැබෙන සිංහ, තුලා යන ලග්නවලට තමෝ ගුණයයි, රජෝ ගුණයයි දෙකම එතුමාට ඝාතයි. මේ අනුව එතුමා බලය හා ශක්තිය නැති වෙන ගුණ දෙකක්ම බලපාල තිබෙනවා. මට හිතෙන විදිහට එතුමාට නැකැත් හදාපු උදවිය මේ විනාශකාරි යෝග දැකලා නැහැ. ඒ කියන්නේ එතුමාට මේ මැතිවරණයෙන් බලය අහිමි වෙන බව ඔවුන් දැකලා නැහැ. එහෙම නැත්නම් දැනගෙන බයට කීවේ නැද්ද දන්නේ නැහැ.


”මම ඒ යෝග හරියට දැකලා ඒ විදිහට අවශ්‍ය නැකැත් මෛතී‍්‍රපාල මහත්තයාට හදලා දුන්නා. ඒ අනුවම තමයි මම එතුමාට නාමයෝජනා බාර දෙන්න, ඡන්දය දමන්න යන්න, ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්න වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට පය තැබීමට අවශ්‍ය වන්නාවූ සියලූම නැකැත් සාදා දුන්නේ.


”මෙතුමාගේ ලග්නය තුලා නිසාත් තුලා අයිති වෙන්නේ සිකුරු යෝගයට නිසාත් එයාගේ බලය තමයි මම මේ හැම නැකතටම ඇල්ලූවේ. ඒ විදිහට තමයි මුල්ම වැදගත් නැකත වුණු නාමයෝජනා බාර දීමට අවශ්‍ය නැකත හැදුවේ. ඒ සුබ වේලාව තමයි සිකුරු හෝරාව ලබාපු දහවල් 11.09 නාමයෝජනාවලට අත්සන් කරන්නත් එවැනිම වේලාවක් මම හදලා දුන්නා.”


එම කාල වකවානුවේ බොහෝ දෙනෙකු සොයමින් සිටි මෛතී‍්‍රපාල මහතාගේ කේන්දරය ජනාධිපතිවරණය අවසන් වන තෙක් රැුකගත් ආකාරය පිළිබඳව ද දේවානන්ද හිමියෝ මෙසේ විස්තර කළහ.


”අපෝ බොහෝම කරදරයක් වින්දා ඒකට. මේ පළාතේ අය වගේම, පිටිනුත් මට කතා කරලා ඇහුවා මෛතී‍්‍රපාල මහත්තයාගේ කේන්දරය මා ළඟ තිබෙනවා ද කියලා. මම ඒ අයට දුන්නේ එකම එක උත්තරයයි. ඒ උත්තරය තමයි ”නැත” කියන වචනය. අඩුම ගානේ මේ හඳහන මා ළඟම තිබුණා වගේම මෛතී‍්‍රපාල මහත්තයාට අවශ්‍ය සියලූම නැකැත් හදාපු ආකාරයත් දැනගෙන සිටියේත් මමත්, එතුමාත්, තවත් සමීපව හිටිය කීප දෙනෙකුත් පමණයි.


”අඩුම ගානේ හදාපු නැකැත් වේලාවන් ගැන පවා අපි දුරකථනයෙන්වත් කතා කරලා නැහැ. ඒ සෑම දෙයක්ම අපි හුවමාරු කළේ ලිපි මාර්ගයෙන්. ඒ තරමටම මේ කර්තව්‍යය අවසන් වෙන කල් අපි බොහෝම පරෙස්සම් වුණා. මොකද ඒ තරමටම අනතුරක් අපි ඉදිරිපිට තිබුණා.


”මම රූපවාහිනියෙන් දුටුවා ඔය නක්ෂත‍්‍රය ගැන කියන එක්  පුද්ගලයෙකු කියනවා මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය එයා ළඟ තියෙනවා කියලා. ඒක අමූලික මුසාවක්. ඔය කේන්දරය තිබුණේ මෛතී‍්‍රපාල මැතිතුමා ළඟයි, මා ළඟයි පමණයි. ඔය වාගේ මුසාවාද කීවේ ජනතාව රවට්ටලා, බොරු ප‍්‍රසිද්ධියක් අරන් ජනතාවගෙන් මුදල් ගසා කන්නයි.MAITHERI-WIN


”මේක ඈත අතීතයේ පටන්ම පැවත එන බොහෝම උතුම් ශාස්ත‍්‍රයක්. මේ වාගේ උතුම් ශාස්ත‍්‍රයක් ජනතාව රවට්ටලා මුදලට විකුණන එක හරිම නරක වැඩක්. හැබැයි බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍ය ජය ගන්නවා. මේ මැතිවරණයෙන් ඒ බව අපූරුවට ඔප්පු වුණා” යැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.


”දැන් ඔබවන්සේත් රාජකීය දෛවඥයෙක් නේද...” අපි විමසුවෙමු.


”අනේ මහත්තයෝ මට ඔය රාජකීය තනතුරු අවශ්‍ය නැහැ. මට මේ ඉන්න විදිහ හොඳටම ඇති. රට වෙනුවෙන්, යහපත් මනුෂ්‍යයෙක් වන මෛතී‍්‍රපාල මැතිතුමා වෙනුවෙන් මට පුළුවන් දේ මම කළා එච්චරයි” දේවානන්ද හිමියෝ පැවැසූහ.


”පසුගිය 2005 වසරේ ඉඳන් ඉදිරියට අවුරුදු 19ක් යන කල් ඒ කියන්නේ 2024 අවුරුද්ද වෙන කල් අපේ ජනාධිපතිතුමාට ඉතාම හොඳයි. මම ඒ බව ලියා දුන්නා. එතුමා කීවානේ ජනාධිපතිකමේ ඉන්නේ එක වාරයයි කියලා. ඒ නිසා එතුමාට රටට වැඩ කරන්න ඔය කාලය හොඳටම ප‍්‍රමාණවත්” යනුවෙන් ද දේවානන්ද හිමියෝ අවසන් වරට අපට පැවැසූහ.

 

 

pushpakumara