මේක මගේ අවසාන චිත්‍රපටියයි


2019 අප්‍රේල් 26 වැනිදා මෙරට සිදුවූ ඛේදවාචකයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය හැඳින්විය හැකිය. ඒ පිළිබඳව තවමත් කතා කරති. එයට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න තවම සොයති. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අවුරුදු 6ක් ගෙවී ඇතත්, තවමත් ඒ ගැන අප කතා කරන්නේ විසඳුමක් එයට නොලැබුණු නිසාවෙනි. තවම ඒ ප්‍රහාරයෙන් දුක් විඳින පිරිස බොහෝය. මේ සියල්ල දෙස මැදිහත්ව බලමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මෙරට ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු සූදානම් වේ.

ඔහු නමින් ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලය. ආන්දෝලනාත්මක විය හැකි, අභියෝගයක් විය හැකි මේ කතාවට ඔහු අත ගසන්නේ එවැනි අභියෝගවලට මුහුණදීමේ ශක්තිය ඇති නිසාය. “පාස්කු අඳුරේ අහස හැඬූදා” නමින් සිනමාවට ගෙන ඒමට සූදානම්වන මේ නිර්මාණය පිළිබඳව ඔහු පළමුවරට මුද්‍රිත මාධ්‍යයට සිය අදහස් හෙළි කළේ “රසවින්දන”ටය. මේ ඔහුගේ කතාවයි.

“මම “සිහිනයකි දෙපා නැති” නමින් චිත්‍රපටයක් අවසන් කර තිබෙන්නේ. “අයෝමා” චිත්‍රපටය අන්තිමට කළේ. ඊට පස්සේ මම දිගටම නාට්‍ය කලාවේ නිරත වුණා. පස්සේ චිත්‍රපටයක් කරන්න ඕනෑ කියන අදහස ආවා. එතනදී උදව් කළේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී. ප්‍රේමසිරි හා රවීන්ද්‍ර ගුරුගේ යන අයයි. මේ චිත්‍රපටයේ චරිත දෙකයි තිබෙන්නේ. ඒ චරිත දෙක ආකර්ෂණීය විදිහට මට කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට එංගලන්තයේ සිටින මිතුරකුගෙන් ආරාධනාවක් ලැබුණා, චිත්‍රපටයක් කරන්න. එය ජාත්‍යන්තර වෙළෙඳපොළක් බලාගෙන ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් වෙන්න ඕනෑ කියලයි ඔහු කිව්වේ. ඉතිං මම පිටපතක් ලියා ඉවරයි. රූගත කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.  ඒක ලබන වසරේ අප්‍රේල් විතර “ෂූට්” කරන්න බලාගෙන පූර්ව නිෂ්පාදන කටයුතු කරමින් ඉන්නේ. එහි බ්‍රිතාන්‍යයේ නළු නිළියෝ රඟපාන්නේ. ලංකාවෙත් කිහිප දෙනෙක් ඉන්නවා.

ඒ පිටපත ලියා අවසන් වෙනවාත් සමඟ තව යෝජනාවක් ආවා චිත්‍රපටයකට. ඒ යෝජනාව අත්අරින්න බැරිම එකක්. පාස්කු ප්‍රහාරය මුල්කරගෙන තමයි මේ චිත්‍රපටය කරන්නේ. ඒක නිකම්ම කරන්න බැහැ. ඒකට හොඳ රිසර්ච් කරන්න ඕනෑ. මොකද 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ ඒ සිද්ධිය ගැන නොයෙක් නොයෙක් කතා පැතිරුණා. ඒක අපි නිව්ස් එකක් විදිහට දැක්කේ. ඒක ඛේදනීය සිද්ධියක් ලංකාවේ සිද්ධ වුණු. දේවස්ථානවල කතෝලික බැතිමතුන් පූජාව පවත්වනු ලැබූ අවස්ථාවේ මේ සිදුවුණු සිද්ධිය අපට අමතක කරන්න බැරි සිදුවීමක්. මේකට මුල්වුණු කරුණු කාරණා ගොඩාක් තිබෙනවා. චරිත, සිද්ධි ගොඩාක් තිබෙනවා. මට ඒ ගැන හොයන්න සිතුණා.

එහිදී පොත පත, ඒ ප්‍රකාශ, සමාජ මාධ්‍යයේ වීඩියෝ වැඩසටහන් වගේම ජනාධිපති කොමිෂන් වාර්තා පවා මම පසුගිය මාස 6 තිස්සේ හොඳට අධ්‍යයනය කළා. ඒ වෙනුවෙන් කාලය කැප කළා. ඔය සිද්ධියෙන්  පසු වින්දිතයන් වෙනුවෙන් මැදිහත්වුණු පූජ්‍ය පක්‍ෂයේ අය හමුවෙලා බොහෝ විස්ත්ර දැනගත්තා. මම එතනදී දැකපු දෙයක් තමයි මේක සුළුපටු දෙයක් නොවෙයි. මේකේ සිද්ධි හා චරිත විකාශය හරි ප්‍රබලයි. එක චරිතයක් ගත් විටදී, ඒකට මුල්වන කාරණය එක්ක, කතාව වෙනම තැනකට බැඳෙනවා. එතකොට මේක අක්මුල් රාශියක් තිබෙන කතන්දරයක්.

මේක හරියට කතාවක් විදිහට, මේක මුල්කරගෙන අපට කතාවක් ගොඩනඟනකොට ඒක ඉතාම භාරදූර කාර්යයක්. අපි මෙහිදී ඇත්ත කතා කරන්න ඕනෑ. මෙහි නීතිමය රාමුවක් තිබෙනවා. මේ නීතිමය රාමුව තුළ විසඳුණු නැති, තීන්දු දුන්නේ නැති සිද්ධි හා සමහර පුද්ගලයන්ගේ මැදිහත්වීම් දකින්න පුළුවන්. ඒක ගැන අපිට බැහැ තීන්දු දෙන්න. අපි පරෙස්සම් වෙන්න ඕනේ ඒ තැන්වල දී. එහෙත් ප්‍රකාශනයේදී අපට කියන්න පුළුවන්, මේ පුද්ගලයා මේ අවස්ථාවේ මෙහෙම කටයුතු කළා කියලා ප්‍රකාශනවල තිබෙනවා. එහෙම ඒවා අපට කියන්න පුළුවන්. නමුත් අපට තීන්දුවක් දෙන්න බැහැ හරියටම එයා ඒකට වගකියන්න ඕනේ කියලා. ඒ හින්දා මේක හොඳ අත්දැකීමක් වගේම පරිස්සමින් කරන්න ඕනේ දෙයක් කියලා මට සිතුණා.

මේක දිහා බැලුවාම මම හිතන්නේ කවදාකවත් මේක පැහැදිලිවම, මේක මෙහෙමයි වුණේ කියලා කොතනින්වත් කෙළවරක් වෙයි කියලා කියන්න බැහැ. හොයලා බැලුවාම ඒ කතන්දරය තිබෙන්නේ. නමුත් ඒ අවස්ථාවේ ඛේදනීය අවස්ථාවලට වින්දිතයෝ පමණක් නොව සහරාන් ඇතුළු කණ්ඩායම පවා මුල්වුණා. ඔවුන් ලක්වෙලා තිබෙන්නේ. හේතුව, ජාතිවාදී මතවාදය, කුඩා ජාතියක් වුණත් ඒ අයට ඊට එරෙහිව කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්න පෙළැඹෙනවා. ඔය වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. මේක මුල්කරගෙන මම මේ වනවිට චිත්‍රපටයට අවශ්‍ය සිද්ධි දාමය සටහන් කරගෙන තිබෙන්නේ. මේක හරියට පිරිපහදු කරගෙන මේ ආකෘතිය උඩ, එහෙම නැතිනම් මේ කතා වින්‍යාසය උඩ අවසන් පිටපත සම්පූර්ණ කරන්න, තවත් දේවල් වගයක් තිබෙනවා මට කරන්න.

පල්ලිවල කුඩා දරුවන් ඇතුළු බෝම්බයෙන් මියගිය අය හැරුණුවිට මෙයට මුල්වුණු සහරාන්ගේ කණ්ඩායම් චරිත අවසානයේ සයින්ද මරුදුවල දී විනාශ වූ හැටි බලන්න. කුඩා දරුවෝ පවා ඉන්නවා එතැන. ඒකත් ඛේදවාචකයක්. අපට ඒවා අත්හරින්න බැහැ. අපට එතන දී පැත්තක් ගන්න බැහැ. සිංහලද, මුස්ලිම් ද, කතෝලික ද කියා නොබලා, මේ කරුණු හරියට ගෙනියන්න ඕනෑ, පරිස්සම් වෙලා. අපට පොතක සටහන් කරනවා වගේ චිත්‍රපටයකත් සටහන් කරන්න පුළුවන්. ඒ හැකියාවෙන් තමයි මම මේකට අතගහන්නේ.

මේ සිද්ධි මාලාවක කතාවක්. මම හැම දෙයක්ම කියවලා, බලලා අධ්‍යයනය කරලා තිබෙන්නේ. මේක අභියෝගයක් වෙනවා තමයි. නමුත් පටන් ගන්න ඕනෑ. මම හිතනවා මේක කළ යුතු දෙයක් කියලා. මේක දේශපාලනිකව ගත්විටදීත් අවස්ථාවාදීත්වයක්  ඛේදවාචකය තුළ පේනවා.  ඒක අපට පෙන්වන්න පුළුවන්. එයින් ප්‍රයෝජන ගත්ත අය ඉන්නවා. කතාව තුළ ඒ අයට දැනෙන්න හරින්න පුළුවන්.  මුලින් මේ පිටපත මම ලියනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඊට පස්සේ තමයි ඉතුරු ටික බලන්නේ. පළමු දේ මේ එකතු වූ දේවල් ලියන්න ඕනෑ. අඩු ගණනේ පිටපත ප්‍රින්ට් කරන්න හරි පුළුවන් චිත්‍රපටය කළේ නැති වුණත්. මට නිෂ්පාදකවරු දෙන්නෙක් ඉන්නවා. ඒ අය කරන්න ඕනෑ. මම මීට කලින් ඔවැනි දේවල් කරලා තිබෙනවානේ. ජන කරළිය කළා නම් මට මේක කරන්න බැරිකමක් නෑ. මට දැන් අවුරුදු හැත්තෑ ගණනක් වෙනවා. මේක මගේ අවසාන චිත්‍රපටය කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. පුළුවන් තරම් හොඳට කරන්න මම තීරණය කරලා ඉන්නවා.

මේ චිත්‍රපටය “පාස්කු අඳුරේ අහස හැඬුදා” (Dark Easter: when the Sky Wept) හඳුන්වලා තිබෙන්නේ. මෙයින් ලැබෙන ආදායම් ලාභය සම්පූර්ණයෙන්ම මෙහි වින්දිතයන්ට හා පීඩා විඳින දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා. ඒ මතයේ තමයි අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ. මේක අපේ ජීවිතවලට පල ප්‍රයෝජනයක් ගන්නේ නෑ. මේක මම කළ යුතු දෙයක් ලෙසයි සලකන්නේ. පැත්තක් ගන්නේ නෑ. මධ්‍යස්ථව කලාකරුවන් විදිහට, මධ්‍යස්ථව ඉඳගෙන මේ සිදුවුනු සිද්ධිය දිහා බලලා, මේක ප්‍රතිනිර්මාණයක් කරලා, මේ සිදුවීම් තුළින් අපට හැඟෙන දේවල් ප්‍රේක්‍ෂකයාට හැඟෙන්න ඉඩ හරින්නයි ඕනෑ කරන්නේ. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම නිර්මාණයකට අත ගහන්නේ නෑ හේතුවක් නැතිව. අපට දැක්මක් තිබෙනවා. මම නාට්‍ය හා රංග කලාව සමාජයේ වෙනසක් සඳහා, මානව සංවර්ධනය සඳහා මෙවලමක් විදිහට උපයෝගී කරගත්ත භාවිත කළ කලාකරුවෙක්. සිනමාවත් එහෙම වෙන්න ඕනෑ කියලා මතයේ මා ඉන්නේ.”

 

(*** සමන්ත යහම්පත්)