පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මහජන මුදල් වැය කිරීමේ චෝදනාවක් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රහස් පොලීසිය විසින් ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීම හා ඉන්පසු රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීම ප්‍රධාන විරුද්ධ පක්ෂවල නායකයන් සියලු දෙනා තුළම භීතියක් හා කම්පනයක් ඇති කර ඇති බව පෙනේ.
එසේ වන්නේ කුමන බරපතළ චෝදනාවලට ලක් වුවද නීතියට ළං විය නොහැකි එක්තරා පිරිසක් සිටිතැයි එම විපක්ෂ නායකයන්ද ඇතුළු සමාජයේ පොදු සම්මතයක් එතෙක් පැවැති හෙයිනි. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ බිරියන් මෙසේ නීතියට ළං විය නොහැකි පිරිස ලෙස සැලකිණි.
වික්‍රමසිංහ මහතාට එරෙහි චෝදනාව සාධාරණ වුවද නොවුවද, සත්‍යයක් වුවද නොවුවද ඔහු අත්අඩංගුවට පත්වීමෙන් මෙතෙක් පැවැති එම ලේඛනගත නොවූ සම්මතය බිඳ වැටිණි. විරුද්ද පක්ෂවල නායකයන් භීතියට පත් වූයේ නම් ඒ එසේ එම සම්මතය බිඳ වැටී තමන් ද අනතුරුදායක තත්වයක සිටින බවට හැඟීමක් ඔවුන් තුළ ඇතිවීම නිසාය.
කිසිම ප්‍රතිපත්තිමය පදනමකින් තොරව විරුද්ධ පක්ෂ එක්සත්වීමට උත්සාහ කළේ එහෙයිනි. බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන්ද, 2015 මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද වික්‍රමසිංහ මහතාට චෝදනා කළවුන් ද මෙම චෝදනා පදනම් කරගෙන වික්‍රමසිංහ මහතා සිරගත කළ යුතු යැයි ප්‍රකාශ කළ වුන්ද වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය සමග එක්සත්වීමට උත්සාහ කළේ මෙම භීතිය නිසාය.
ඔවුන්ට බිය වීමට තරම් හේතු ද තිබේ. ඒ ඔවුන්ගේ සම්බන්ධයක් තිබුණ ද නොතිබුණ ද ඔවුන්ගේ කාලයේ සිදු වූ අපරාධ හා මහා පරිමාණ දූෂණයි.
ජනමාධ්‍ය ආයතනවලට පහරදීම්, ජනමාධ්‍යවේදීන්ට පහර දීම් හා ඝාතනය කිරීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම්, වසීම් තාජුදීන් වැන්නන් ඝාතනය කිරීම් ආදි බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ප්‍රබල දේශපාලනඥයන්ට චෝදනා එල්ල විය. මේවා දැන් යටපත් වී තිබුණ ද ආණ්ඩුවට අවශ්‍ය නම් මේවා යළි කරළියට ගෙන නීතිමය කටයුතු කළ හැකිය.
කිසිම රාජ්‍ය නායකයකු මෙවැනි සිද්ධියකට පෞද්ගලිකව සම්බන්ධ වන්නේ නැත. එහෙත් නීතිමය කටයුතු ආරම්භ වුවහොත් ඒවා කොහෙන් කෙළවර වේදැයි කිව නොහැකිය. ඒ නිසා වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීමත් සමග විරුද්ධ පක්ෂවල නායකයන් කලබල වූයේ නම් එය සාධාරණය.
වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විරුද්ධ පක්ෂ හඳුන්වන්නේ දේශපාලන පළිගැනීමක් ලෙසය. එසේම ව්‍යවස්ථාමය ආඥාදායකත්වයක් ලෙසය. ඔවුන් එසේ කියන්නට පසුගිය දිනවල වූ වෙනත් සිදුවීම් ගණනාවක් ද හේතුවන්නට ඇත.
හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලීන් ප්‍රනාන්දු යන දෙදෙනාට වසර විස්සක හා විසිපහක සිර දඬුවම් නියම වීම හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ හා නිමල් ලාන්සා අත්අඩංගුවට ගැනීම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම එවැනි සිදුවීම්ය.
ඔවුන් මේ සිදුවීම්ද සැලකිල්ලට ගෙන ආණ්ඩුව දේශපාලන පළිගැනීම්වල නිරත වන බවත් ව්‍යවස්ථාමය ආඥාදායකත්වයක් ක්‍රියාත්මක කරන බවත් පවසන්නේ නම් ඉන් අදහස් කෙරෙන්නේ ජාතික ජන බලවේගය බලයට පත් නොවුයේ නම් මේ කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට පත්වන්නේ හෝ සිරදඬුවම් ලබන්නේ හෝ නැති බවයි. එය බොහෝ දුරට සත්‍යයකි.
එහෙත් මේවා පළි ගැනීම් යැයි සලකන්නට නම් ඒවා ප්‍රථමයෙන්ම බොරු චෝදනා විය යුතුය. ඒවා සත්‍ය චෝදනා නම් ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැරැදි දෙයක් නොව කළ යුතු දෙයකි. ඒවා බොරු චෝදනා ද නැද්ද යන්න තීරණය කෙරෙනුයේ අධිකරණයෙනි. වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ද තීරණය දිය යුත්තේ අධිකරණයයි.
ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු කතා බහට ලක්වූ දේශපාලනඥයන්ට එරෙහි චෝදනාවලින් වැඩි සංඛ්‍යාවක් එම පක්ෂය බලයට පත් වන්නට පෙර එල්ල වී පරීක්ෂණ ද ආරම්භ වූ ඒවාය. ප්‍රධාන වශයෙන්ම දේශපාලන හේතු ඇතුළු විවිධ හේතු මත එම පරීක්ෂණ යටපත්වී හෝ අත්හැර දමනු ලැබ ප්‍රමාද වී හෝ තිබිණි. ජාතික ජන බලවේගයේ නායකයන් පවසන්නේ තමන් බලයට පත් වූ පසු පරීක්ෂණවලට තමන් බලපෑම් නොකරන හෙයින් දේශපාලනඥයන්ට එරෙහි පරීක්ෂණ දැන් ක්‍රියාත්මක වන බවයි.
එය එසේ ද විය හැකිය. එසේම වෙනත් හේතුවක් නිසා ජා.ජ.බ. ආණ්ඩුව දේශපාලනඥයන්ට එරෙහි පරීක්ෂණ ඉක්මන් කරන්නට කටයුතු කරනවාද විය හැකිය. අප වෙනත් හේතුවක් යැයි මෙහිදී සඳහන් කළේ දූෂිතයන්ට දඬුවම් කරන බව පොරොන්දු වී බලයට පත්වූ ජාජබ එසේ බලයට පත් වූ පසු ‘‘කෝ හොරු ඇල්ලුවාදැයි’’ විරුද්ධ පක්ෂ ඔවුන්ට ඔච්චම් කිරීමට පෙළැඹීමයි. කෝ හොරු ඇල්ලුවාදැයි විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් ප්‍රශ්න කළ විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ‘‘අල්ලන කොට කෙඳිරි ගාන්න එපා.’’ කියයා.
මෙම සිදුවීම් පමණක් නොව සේවා කාලයෙන් පසු දේශපාලනඥයන්ට දෙන විශ්‍රාම වැටුප් හා වෙනත් දීමනා අහෝසි කිරීමට ජාජබ ආණ්ඩුව කටයුතු කිරීම ද විරුද්ධ පක්ෂ දැන් හඳුන්වන්නේ පළිගැනීම් ලෙසය. එහෙත් දූෂිතයන්ට දඬුවම් දීම මෙන්ම මහජන මුදලින් දේශපාලනඥයන් නඩත්තු කිරීම නතර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන ප්‍රතිපත්තියකි. ජාජ.බ. සන්ධානයේ මැතිවරණ පොරොන්දුවකි. ඊට ජන වරමක්ද ලැබී තිබේ. 2022 අරගලයේදීද ඒවා ප්‍රධාන ඉල්ලීම් විය. එහෙයින් ඒවා පළිගැනීම් ලෙස හැඳින්විය හැකිද යන ප්‍රශ්නය මතුවේ.
එසේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු වරප්‍රසාද අහෝසි කරන්නට තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද පසුගිය නොවැම්බර් මාසයේ දී ප්‍රකාශ කළේය. එහෙත් ඔහු එවැනි යෝජනාවක් මෙතෙක් ඉදිරිපත් කළේ නැත. එසේ වුව ද එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉකුත් පෙබරවාරි 7 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙයින් දේශපාලනඥයන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහි වීම හා ඒවා පළිගැනීම් ලෙස හැඳින්වීම අතාර්කිකය.
ව්‍යවස්ථාමය ආඥදායකත්වය, පළිගැනීම් ආදි වශයෙන් කියමින් විරුද්ධ පක්ෂ එක්සත් වීමට දරන උත්සාහය සලකා බැලිය යුතුව ඇත්තේ මේ පසුබිම තුළය. දේශපාලන පක්ෂ එක්විය යුත්තේ ප්‍රතිපත්තිමය පදනමක් මතය. නැත්නම් නිශ්චිත යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එක්සත් ක්‍රියාමාර්ගයක් ගනු පිණිසය. එහෙත් ඒ කිසිවක් සමගිය සඳහා වූ විරුද්ධ පක්ෂවල වත්මන් උත්සාහයේ ඇති බව පැහැදිලි නැත. අඩු තරමින් තමන් එක්සත් වන්නේ දීර්ඝ කාලීන දේශපාලන අරමුණක් සඳහා ද නැත්නම් කෙටි කාලීන එක්සත් ක්‍රියාමාර්ගයක් සඳහාද යන්න ගැන හෝ ඔවුන් අතර එකඟතාවක් ඇති බව පෙනෙන්නේ නැත.
පසුගිය මැතිවරණ කාලයේදී තමන්ගේ දැඩි විවේචනයට ලක්වූ එජාප හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වන්නේ කුමන පදනමින් දැයි පසුගිය දිනෙක ජනමාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මැතිවරණ කාලයේදී කී දේවල් දැන් අදාළ නැතැයි වැනි අදහසකි. ඒ අනුව මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ ආණ්ඩුවට කරන චෝදනා ද ප්‍රශ්නකාරී වේ.
අනෙක් අතට වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී ප්‍රේමදාස මහතා නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන්න ද අවධාරණය කරයි. කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ උත්සාහ කරන්නේ දීර්ග කාලීන එක්සත් දේශපාලන ගමනකට වුවද, කෙටි කාලීන එක්සත් ක්‍රියාමාර්ගයකට වුව ද එහිදී නායකත්වය ගන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය මතුවේ. පසුගිය මැතිවරණ කාලයේදීද එජාප- සජබ සමගි සාකච්ඡා බිඳ වැටුණේ මෙම ප්‍රශ්නය නිසාය.
පසුගිය සතියේ අප සඳහන් කළ පරිදි විරුද්ධ පක්ෂ අතර වැඩිම ජනතා සහයෝගය ඇති පක්ෂ සජබයි. අනෙක් විරුද්ධ පක්ෂ හා සජබ අතර පරතරය අති විශාලය. එසේ තිබිය දී විපක්ෂ සන්ධානයක හෝ එක්සත් ක්‍රියාමාර්ගයක හෝ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වේද? එසේම වික්‍රමසිංහ මහතා හා රාජපක්ෂ මහතා ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් කටයුතු කරන්නට එකඟවේද?
මේ අතර අදට නියමිතව තිබූ එජාප සමුළුව වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් කල් දමා ඇති අතර ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා සජබට ආරාධනා කළ බව එජාපය පවසයි. තමන්ට එවැනි ආරාධනාවක් කර නැතැයි සජබ කියයි. එසේම සමුළුව මුල් කරගෙන පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබුවන්ගේ එම තහනම ඉවත් කළ බව එජාපය කියයි. මෙය එක් අතකින් සජබ සාමාජිකයන්ට යළි එජාපයට එක්වන්නට කරන ආරාධනාවකි. සජබ නායකත්වයට එය කෙසේ දැනෙනු ඇත්ද? සමගි සාකච්ඡා කෙරෙන්නේ එවැනි වටපිටාවකි.
(*** එම්.එස්.එම්.අයුබ්)