ජාතික ජනබලවේගය ආණ්ඩුව ශ්‍රී ලංකාව පිළිබඳව එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට මෙවර ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධයෙන් කටයුතු කළේ මෙතෙක් පැවැති ආණ්ඩු කටයුතු කළ ආකාරයට වඩා වෙනස් ආකාරයකටය.
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු එම පාලන කාලයේ දී ඉදිරිපත් කරන ලද යෝජනා ප්‍රතික්ෂේප කළා සේම මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වීම වැළැක්වීමට ද උත්සාහ කළේය. ඒ යෝජනා පිළිබඳ ඡන්ද විමසීම්වල දී තමන්ගේ පැත්තට ඡන්දය දෙන්නට විවිධ රටවල් පොළඹවා ගන්නට ද උත්සාහ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් යහපාලනය යැයි කියාගත් ආණ්ඩුව පැවති කාලයේ 2015 දී හා 2017 දී ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා දෙකක් සම්මත විය. එම ආණ්ඩුව ඒ දෙකටම සම අනුග්‍රහය දැක්වීය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදී ද කළේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් නොඉල්ලා එය සම්මත කර ගන්නට එය ඉදිරිපත් කළ රටවලට ඉඩ දීමය. මේ පිළිබඳව ආණ්ඩුව පැවසුවේ පරාජය කරන්නට නොහැකි යෝජනාවක් පරාජය කරන්නට කාලය, ශ්‍රමය හා සම්පත් වැය නොකළ යුතු බවය.
එය බොහෝ දුරට පිළිගත හැකි තර්කයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2009 සිට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ දහයකට වඩා වැඩි යෝජනාවලින් ශ්‍රී ලංකාවට පක්ෂව වැඩි ඡන්ද ලැබී තිබුණේ ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන ලද 2009 යෝජනාවට පමණි. ඊට පක්ෂව ඡන්ද 29 ක්ද විරුද්ධව ඡන්ද 12ක්ද ලැබුණු අතර රටවල් 4ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එම යෝජනාව මගින් රජයේ හමුදා හා කොටි සංවිධානය අතර පැවැති යුද්ධයේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයට සහතිකයක් දී තිබිණි. ඒ මෙම යෝජනාව සම්මත වූ දිනට දින තුනකට පෙර (2009 මැයි 26වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවක එ.ජා. මහ ලේකම් වූ බෑන් කී මූන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය අගය කිරීම මගිනි.
එම ඒකාබද්ධ නිවේදනයේ අවසාන ඡේදයේ දී මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව එ.ජා. මහ ලේකම්වරයා අවධාරණය කර තිබූ අතර එම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබිණි. යුද්ධය අවසාන වූ පසු මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය වූයේ ද ශ්‍රී ලංකාවේ එවැනි වගවීමේ ක්‍රියාවලියකි. 2009 යෝජනාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වූයේ ඒ අනුවය. එහෙත් එවැනි වගවීමේ ක්‍රියාවලියක් කිසිදා ආරම්භ නොවීය.
2012 සිට ඇමෙරිකාව ප්‍රමුඛව රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන්නට පෙළැඹුණේ ඒ අනුවය. ඔවුන් අවධාරණය කළේ එවැනි වගවීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඒ සඳහා කිසිවක් නොකළ හෙයින් නවනීදම් පිල්ලෙයි මානව හිමිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ 2014 වසරේ දී ඇගේ කාර්යාල මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා යෝජනාවක් මානව හිමිකම් කොමිසම විසින් සම්මත කෙරිණි. එම පරීක්ෂණයේ වාර්තාව 2015 වසරේ දී නිකුත් වූ අතර සාමාන්‍ය වැසියන් ඝාතනය, පැහැරගෙන යාම, ළමයින් යුද්ධයට යොදා ගැනීම වැනි අපරාධ සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවලට මෙන්ම කොටි සංවිධානයට ද එමගින් චෝදනා කර තිබිණි.
එහෙත් වැරැදි කළවුන්ට එරෙහිව නඩු විභාගයක් එමගින් සිදු නොවීය. ඒ සඳහා 2015 දී මානව හිමිකම් කවුන්සිලයේ දී තවත් යෝජනාවක් සම්මත විය. එමගින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වූ වගවීමේ යාන්ත්‍රණයක් වශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල විනිශ්චයකාරවරුන් ඇතුළත් දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට අදහස් කෙරිණි. එම යෝජනාවට මෛත්‍රී, රනිල් ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දුන්නේය.
එහෙත් වසරක් යන්නටත් පෙර එනම් 2016 ජනවාරි මස තමන්ම සම අනුග්‍රාහකත්වය දුන් යෝජනාවට පිටුපා මෙම කාරණයේදී විදේශ මැදිහත්වීමකට තමන් එකඟ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඉන් මසකට පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද වගවීමේ යාන්ත්‍රණයකට විදේශ විනිශ්චයකාරවරුන් සහභාගි කර ගැනීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැතැයි කීවේය.
එසේ නම් ආණ්ඩුව මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දුන්නේ ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නැතිවද යන ප්‍රශ්නය මතුවේ. ඊටත් වඩා නොවැටහෙන කරුණ නම් එම නායකයෝම එම යෝජනාවම පදනම් කරගෙන 2017 වසරේදී මානව හිමිකම් කවුන්සිලයට තවත් යෝජනාවක් ඉදිරිපත් වූ විට ඊට ද සම අනුග්‍රාහකත්වය දුන්හ. මෙහිදී ඔවුනට යළිත් තම රටේ ව්‍යවස්ථාව අමතක වූයේය. මේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශාරදයන් යැයි කියා ගන්නා නායකයන් කටයුතු කළ ආකාරයයි.
පැවති ආණ්ඩු මෙසේ ගැටුම්කාරී හා පරස්පර විරෝධී ආකාරයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව නඩු අසා දඬුවම් කිරීමේ වගකීම සිය සාමාජික රටවලට දෙන්නට 2021දී මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළේය. මානව හිමිකම් පිළිබඳ චෝදනාවට ලක්වූවන්ට එරෙහිව තම තමන්ගේ රටවලදීම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් වඩා විශ්වාසදායි ලෙස චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව සංචාරක හා දේපළ තහංචි පණවන ලෙසත් එම වසරේ සිය වාර්තාව ඉදිරිපත් කරමින් එවක මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ සාමාජික රටවලින් ඉල්ලා සිටියාය.
එම ඉල්ලීම නිසාම දැයි පැහැදිලි නැතත් 2023 ජනවාරි මාසයේ දී කැනඩාව මෙරට ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක හා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සිවු දෙනාට එරෙහිව සංචාරක හා දේපළ තහංචි පැනවීය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ සිවිල් හා ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව තමන් එ.ජා. සංවිධානය හා ඇමෙරිකාවේ එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ ආණ්ඩුවලින් සහ යුරෝපා සංගමයෙන් හැටකට වඩා වැඩි තහංචි සංඛ්‍යාවක් ඉල්ලා ඇතැයි පසුගිය දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සත්‍යය හා සාධාරණත්වය සඳහා වූ ව්‍යාපෘතිය නම් සංවිධානයද ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකාවේ චූදිත පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිචෙල් බැචලේ කළ ඉල්ලීමෙන් පසු 2021 රැස්වූ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව සම්මත කළේය. එම යෝජනාව අනුව මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. ඉදිරියේදී වෙනත් රටවල් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය නම් මෙම ව්‍යාපෘතිය මගින් රැස් කරන සාක්ෂි ඒ සඳහා යොදා ගත හැකිය. මේ වසරේ යෝජනාව මගින් මානව හිමිකම් කවුන්සිලය එම ව්‍යාපෘතියේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස 2021 දී මානව හිමිකම් කවුන්සිලය සාමාජික රටවලින් ඉල්ලා සිටි විට එය අගය කළ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ගැටලුව නම් සාමාජික රටවල් එසේ ක්‍රියාමාර්ග ගනු ඇතිද යන්නයි යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. දැන් එය මානව හිමිකම් කවුන්සිලයද කියයි.
ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි සටහන් 105,000ක් පමණ රැස් කර තිබුණද එමෙන්ම ඒවා චූදිතයන්ට එරෙහිව පාවිච්චි කර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මානව හිමිකම් කවුන්සිලය සාමාජික රටවලින් ඉල්ලා සිටිය ද පසුගිය සිවු වසර තුළ කිසිදු රටක් කිසිදු පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවක් දැනගන්නට නැතැයි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාම සිය වාර්තාවේ සඳහන් කර ඇත.
එසේම පුද්ගලයන් ඉලක්ක කර විවිධ රටවලින් සංචාරක හා දේපළ තහංචි පැනවුවද එය සාධාරණත්වය ඉටු කිරීම සඳහා වූ නඩු පැවරීම්වලට විකල්පයක් නොවේ යැයිද එම වාර්තාවේ සඳහන්ය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) පිළිගෙන නැති බවත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ අධිකරණය (ICJ) වෙත කිසිදු පැමිණිල්ලක් කර නැති බවත් එය වැඩිදුරටත් පවසයි.
මේ සියල්ලෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක බවද? ජාතික ජනබලවේගය ආණ්ඩුව පසුගිය වසරේ මෙන්ම මේ වසරේද මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ප්‍රතික්ෂේප කර එය පරාජය කිරීමටද උත්සාහ නොකර ඇත්තේ එවැනි පසුබිමකය.
මේ තත්වයත් සමග මෙරට දෙමළ නායකයන් ජාත්‍යන්තරය වෙතින් අපේක්ෂා කළ කිසිවක් ඉටු නොවන තත්වයක් උදාවී ඇත. ඔවුහු යුද්ධයේදී තම ජන කොට්ඨාසයට සිදුවූ අසාධාරණයන්ට හිලව් වශයෙන් මානව හිමිකම් කවුන්සිලය මෙරට දේශපාලනඥයන්ට හා හමුදා නිලධාරීන්ට දඬුවම් දෙනු ඇතැයි අපේක්ෂා කළහ. එහෙත් මානව හිමිකම් කවුන්සිලය එය සිය සාමාජික රටවලට පවරා ඇත. එම සාමාජික රටවලට ඒ සඳහා වුවමනාවක් ඇති බවක් නොපෙනෙන බව දැන් එම කවුසිලයම පවසයි.
අනෙක් අතට මධ්‍යම ආණ්ඩුවට ඇඟිලි නොගැසිය හැකි අන්දමේ බලය බෙදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට ඉන්දියාව සහය වනු ඇතැයි දෙමළ නායකයෝ සිතූහ. එහෙත් සිදුවන්නේ වෙනත් දෙයකි. 1980 ගණන්වල පැවැති භූ - දේශපාලනික බල තුලනය අනුව කලාපයේ තමන්ගේ යහපත ගැන සිතා ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කර 1987 දී ඉන්දු -ලංකා ගිවිසුම මගින් මේ රටේ පළාත් සභා පිහිටුවීමට කටයුතු කළේය. එහෙත් 1991 දී සෝවියට් සංගමය විසිරී ගොස් ඉන්දියාව ඇමරිකාවේ මිතුරකු බවට පත් වීමෙන් පසු ඉන්දියාවේ භූ-දේශපාලනික අරමුණු වෙනස් වී ඇත. මේ නිසා ඉන්දියාව තවදුරටත් ඉන්දු ලංකා ගිවිසුම ගැන එතරම් උනන්දුවක් නොදක්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම යටතේ ඒකාබද්ධව පැවැති උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කරන්නට ශ්‍රී ලංකාවට බල කරන්නැයි ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය 2017 දී එවක ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයිෂංකර් මහතාගෙන් ඉල්ලා සිටි විට ඔහු පවසා තිබුණේ දැන් තත්වය වෙනස් වී ඇති නිසා පවතින තත්වය යටතේ තම අයිතීන් දිනාගැනීමට කටයුතු කරන ලෙසය.
එසේම 1987 සිට වසර 36ක්ම ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නායකයන් හමුවන වාරයක් පාසා ඉන්දියාව 13 වැනි සංශෝධනය පූර්වික වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කළද 2023 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පසුගිය වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් ඉන්දියාවේ දී එරට අගමැති නරේන්ද්‍ර මෝදි සමග නිකුත් කළ ඒකාබද්ධ නිවේදනවල එය සඳහන් වූයේ නැත.
(*** එම්.එස්.එම්. අයුබ්)

