මන්ත්‍රීවරුන් හතරදෙනෙකු බිලිගත් කැලණියේ දේශපාලන ගැටුම


 

ඝාතනවලින් පසු ප‍්‍රදර්ශනය කර තිබූ පෝස්ටරය

 

බුදුන්වහන්සේගේ ශ‍්‍රී පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ කැලණිය මුළු ලක්වාසීන්ටම  වැදගත් ප‍්‍රදේශයකි. මැණික් පුටුවක් සඳහා නාගදීපයේ දී සටන් වැදි චූලෝදර මහෝදර දෙදෙනාගේ ආරවුල විසඳීමට දෙවැනි වර ලංකාවට වැඩි බුදුන්වහන්සේට කැලණියේ ප‍්‍රාදේශීය පාලකයා වූ මණිඅක්ඛිත නා රජුගෙන් කැලණියට වඩින ලෙස ආරාධනයක් ලැබුණු බව බෞද්ධ ඉතිහාසයේ කියැවෙයි.

ඒ අනුව බුද්ධත්වයෙන් අට වසක ඇවෑමෙක්  බුදුන්වහන්සේ කැලණියට වැඩම කළහ. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යැයි ජන වහරේ කියැවෙන්නේ කැලණිය එතරම්ම පාරිශුද්ධ ස්ථානයක් වූ නිසාය.

කැලණියේ දේශපාලනය ද පරම පාරිශුද්ධ විය යුතු වුවත් අතීතයේ සිටම කැලණියේ තිබුණේ කුරිරුකම් හා සැහැසිකම්වලින් පිරි දේශපාලනයකි. කැලණියේ වැඩිමනක් සිටියෝ මොළෙන් වැඩ කරන දේශපාලනඥයන් නොව ඇඟ පතේ ශක්තිය පෙන්වමින් අනුවන වැඩ කළ දේශපාලකයෝය.

  රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක දමා පැහෙන්නට හැර මරා දැමුණු දේශපාලන අතීතයකට කැලණිය උරුමකම් කියයි.  ඒ අතීතයේය. වර්තමානය වන විට ප‍්‍රාදේශීය සභා, නගර සභා මන්ත‍්‍රීවරයකුට පාරේ බැස යා නොහැකි වන තරමටම කැලණියේ භීෂණය වැඩි වී ගොසිනි.

 කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කැරුණේ පසුගිය වසරේ ජනවාරි පස්වැනි දාය. ඊට පසු දින කැලණියේ විශේෂ බැනරයක් ගසා තිබිණි. එහි පින්තූර තුනක් තිබුණු අතර එම ඡායාරූපවල සිටියේ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සීවලී කැලණිතිලක, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සරත්චන්ද්‍ර ඩයස් සහ, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවලය.

සීවලීගේ ඡුායාරූපයට යටින් ‘එක්කන් ගිහින් මැරුවා’ ලෙසත්, සරත්චන්ද්‍රගේ ඡුායාරූපයට යටින් ‘විඳවලා මැරෙව්වා’ ලෙසත්,  මඩවලගේ ඡුායාරූපයට යටින් ඇවිත් මැරුවා ලෙසත් සටහන් කර තිබිණි.  එම ඡුායාරූප තුනට පසු හිස් කොටුවක් තිබුණු අතර එහි වූයේ ප‍්‍රශ්නාර්ථයක් ද සමග ඊළඟට කවුද? යනුවෙනි.
මීට සතියකට පමණ පෙර කැලණිය ආසනයේ පෑලියගොඩ නගර සභාවේ තරුණ මන්ත‍්‍රීවරයකු ද වෙඩි තබා මරා දැමිණි. කැලණියේ ගසා තිබුණු පෝස්ටරයේ  හිස් කොටුවට තවත් ඡුායාරූපයක් එක් විය.

කැලණිතිස්ස රජු මහ රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක දමා පුළුස්සා මරා දැමුණු පසු එයින් කම්පා වී මහා සාගරය ගොඩ ගැලූ බව ඉතිහාසයේ සඳහන් වුවත් කැලණියේ දිගින් දිගටම වන අපරාධ හමුවේ කිසිවකු කම්පාවන බවක් පෙනෙන්නට නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපති වී සිටි සමයේ කැලණියේ  ආසන සංවිධායක ලෙස ශ‍්‍රීපති සූරියආරච්චි මහතා පත් කරනු ලැබීය. ඒ 2003 දී පමණය. එවකට පැවැතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි. 2001 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ඡුන්ද 27174ක් ගෙන කැලණිය ජයග‍්‍රහණය කරද්දී පොදුජන එක්සත් පෙරමුණ ලබා ගත්තේ ඡුන්ද 23419කි.

ශ‍්‍රීපති සූරියආරච්චි මහතා කැලණියේ ආසන සංවිධායක වීමත් සමග ප‍්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් සමග එක්ව කැලණිය ඡුන්ද පදනම ශක්තිමත් කළේය. 2004 වසරේ පැවැති  මහ ඡන්දයේ දී සන්ධාන ආණ්ඩුව කැලණිය ආසනය ජයග‍්‍රහණය කළ අතර එජාපය කැලණියෙන්  පරාජය විය.
ඉන් පසු 2005 දී පැවැති ජනාධිපතිවරණයේ දී  මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ කටයුත්තේ පෙරමුණ ගෙන සිටියවුන් අතර කැලණිය ආසන සංවිධායක ශ‍්‍රීපති සූරියආරච්චි මහතා කැපී පෙනෙන චරිතයක් විය.

කෙසේ වෙතත් වසර කිහිපයක ඇවෑමෙන් ශ‍්‍රීපති සූරියආරච්චි සහ ජනපති අතර විරසකයක් ඇති වූ අතර 2007 දී ඔහු ද පක්ෂයෙන් නෙරැුපිණි. ඊට කෙටි කලකට පසු ඔහු රිය අනතුරකින් මිය ගියේය.

ශ‍්‍රීපති සූරියආරච්චිගේ නික්ම යෑමත් සමඟ කැලණියේ ආසන සංවිධායක ලෙස පත් කැරුණේ මර්වින් සිල්වා මහතාය. ඔහු ඒ වන විට කම්කරු නියෝජ්‍ය ඇමැති පදවිය දරමින් සිටියේය.  මර්වින් සිල්වා කැලණියට එනවිට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ සීවලී කැලණිතිස්ස මහතාය.

සීවලී ඇමැති මර්වින් සමඟ සුහදව කටයුතු කරගෙන ගියේය. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සෙසු මන්ත‍්‍රීවරු ද ඇමැති මර්වින් සිල්වා සමග සාමාන්‍ය පරිදි ගනුදෙනු කරගෙන ගියහ.මේ අතර 2008 දී පැවැති නැගෙනහිර පළාත් ඡන්ද කටයුතු සඳහා ඇමැති මර්වින් සිල්වා සමග  කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සීවලී කැලණිතිලක මහතා ද නැගෙනහිරට ගියේය.  එම කටයුතු නිමවී නැවත එමින් සිටිය දී මර්වින් සිල්වා සහ සීවලී කැලණිතිලක සිටි රථය අනතුරට පත්වී සීවලී මිය ගිය බව වාර්තා විය. අනතුරෙන් වෙනත් කිසිවකුට බරපතල තුවාල සිදු නොවූ අතර සීවලී පමණක් මිය ගොස් තිබිණි.

එය තරමක් ආන්දෝලනාත්මක වූ අතර කැලණියේ වැඩි දෙනෙක් කීවේ සීවලීගේ මරණය සැක සහිත බවයි. පවුලේ ඇතැම් ඥාතීන් පැවසුවේ මරණය ගැන සැකයක් නැති බවයි. කෙසේ වෙතත් ඔහුගේ දේහය මිහිදන් නොකෙරුණු අතර දේහය පුළුස්සනු ලැබීය. දැන් කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කියනුයේ සීවලීගේ මරණය සැක සහිත නමුත් දේහය භූමදානය නොකර පිළිස්සූ නිසා ඔහුට සැබෑවටම වූ දෙය සොයා ගැනීමට බැරි බවයි.

සීවලීගේ මරණයෙන් පසු කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති වූයේ ප‍්‍රසන්න රණවීර මහතාය.

කැලණියේ ගුවන් පාලම විවෘත කළේ ද මේ වක වානුවේය. ඊට පෙර, හිටපු ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ද සහභාගීවීමට නියමිතව සිටි නිරීක්ෂණ චාරිකාවක් වාර්තා කිරීමට ගිය රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියකුට ඇමැති මර්වින්ගෙන් බාධා එල්ල වූ අතර වීඩියෝ පටය තමන්ට දෙන්නැයි ඇමැති මර්වින් ඉල්ලීය. කැමරාවේ වීඩියෝ පටය ගැනීමට වට වූ පිරිස අතර ළඟින්ම සිටියේ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතාය. වීඩියෝ පටය ලබා දෙන්නැයි ඔහු මාධ්‍යවේදියාට කියනු අයුරු වෙනත් මාධ්‍යවේදියකුගේ කැමරාවේ හොඳින් සටහන් වී තිබිණි.

කැලණියේ පිරිසක් මාධ්‍ය ආයතනයකට පහර දුන් බවට වාර්තා වුයේ ඉන් පසුවය. ඒ අතර ඇමැති මර්වින්ගේ හිතවතුන් මෙන්ම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් සිටි බවට ද චෝදනා එල්ල විය.

2009 වසර ද කැලණියට වඩාත් වැදගත් විය. ඒ පළාත් සභා මැතිවරණය පැවැති හෙයිනි. පළාත් සභා මැතිවරණයේ දී කැලණිය ආසනය නියෝජනය කරමින් ප‍්‍රධාන දෙදෙනෙක් ඉදිරිපත් වූහ. සිසිර ජයකොඩි ඉන් එක් අපේක්ෂකයෙකි. කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ලංකා විජිත කුමාර ඇතුළු කිහිප දෙනකුගේ පමණක් සහාය සිසිර ජයකොඩිට හිමි විය. මැතිවරණය ළං වෙත්ම කැලණියේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීරගේ සහාය ද සිසිර ජයකොඩිට හිමිවිය.

ඊට ටික කාලයකට පසු ප‍්‍රසන්න රණවීරගේ නිවසට ප‍්‍රහාරයක් එල්ල වූ අතර එය ඇමැති මර්වින්ට හිතවත් පිරිසක් විසින් කරවන ලදැයි කියැවිණ  ඒ වන විට ඇමැති මර්වින් හා කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති අතර නෝක්කාඩුවක් ඇති වී තිබිණි.

එම ප‍්‍රහාරයෙන් පසු ප‍්‍රසන්න රණවීර ඇමැති මර්වින් විවේචනය කරන ප‍්‍රතිපත්තියකට පැමිණ සිටියේය. නමුත් ගත වූයේ ටික දිනකි. ප‍්‍රසන්න රණවීර නැවතත් මර්වින් සිල්වා සමග සුහද විය.

2010 වසර රටට වැදගත් වසරක් වූ අතර එය කැලණියට ද එසේම විය. ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූයේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. ජනපතිවරණය සමයේ ෆොන්සේකා කැලණි පංසලට ආ අතර ඒ අසළ රැුස්වූ පිරිසක් ෆොන්සේකාට හූ තැබූහ. ඔහුගේ ගමනට හරස් කැපීය.

ජනපතිවරණයෙන් පසු එළඹියේ මහ මැතිවරණයයි. කැලණිය ආසනයෙන් මහ මැතිවරණයට අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. ඒ ඇමැති මර්වින් සිල්වා සහ පළාත් සභා මන්ත‍්‍රී සිසිර කුමාර මහතාය.

කැලණිය ප‍්‍රාදේශීය සභාපති ප‍්‍රසන්න රණවීර ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලකයන් වැඩි දෙනෙක් සිටියේ ඇමැති මර්වින් සමගය.  ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ලංකා විජිත කුමාර, නන්දසිරි ඇතුළු කිහිප දෙනෙක් පමණක් සිසිර ජයකොඩිට සහාය දුන්හ.

කැලණියේ දේශපාලනයේ දී බාධා ආවේ විපක්ෂයට පමණක් නොවේ. ආණ්ඩු පක්ෂයට ද එවැනි බාධා මතු විය. සිසිර ජයකොඩිට රැස්වීම් පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නැත. කොහේ හෝ රැුස්වීමක් පැවැත්වී නම් ඊට බාධා පැමිණියේය. සිසිර ජයකොඩි ගුරුවරයෙක් ද වෙයි.

දිගින් දිගටම කැලණියේ දේශපාලන රැස්වීම් පැවැත්වීමට බාධා පැමිණි නිසා සිසිරගේ ආධාරකරුවෝ උපහාර උළෙලක් සංවිධානය කළහ. ඊට වැඩි වශයෙන් එක් වූවෝ සිසිරගෙන් අධ්‍යාපනය ලැබුවෝය.  උත්සව පැවැති ශාලාව පැමිණි පිරිසෙන් පිරී ඉතිරී ගියේය. එය අවසන් වී යමින් සිටි පිරිසට මැර ප‍්‍රහාරයක් එල්ල විය.  මඟ රැුක සිටි පිරිසක් පොලූපහර දුන්හ.

සිසිර ජයකොඩිගේ හා ඔහුට සහාය දැක්වූ ලංකා විජිත කුමාරගේ කාර්යාලවලට ප‍්‍රහාර එල්ල විය. පසුව ආරංචි වූයේ ඊට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ එවකට සිටි මන්ත‍්‍රීවරුන් පිරිසක් ද සහාය දුන් බවයි.

කැලණියේ සමෘද්ධි නිලධරයකු ගස් බැන්දේ ද මේ වකවානුවේමය.  එතැන ද කැලණියේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සිටියහ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සරත්චන්ද්‍ර ඩයස් ඉන් එක් අයෙකි. ලණුව ගෙන සමෘද්ධි නිලධරයා ගැට ගැසුවේ ඔහු විසින් බව කියැවිණි. ඔහු දේශපාලකයකු සමඟ සුහදව කටයුතු කරගෙන ගියේය.
හදිසියේ අසනීප වූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සරත්චන්ද්‍ර දින ගණනාවක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා මිය ගියේය. ඔහු මිය ගියේ රෝගී තත්ත්වයක් නිසා බව පවුලේ හිතවත්හු පවසති. කැලණියේ ඇතැම්මු කියනුයේ දේශපාලන වශයෙන් ලැබුණු පීඩනය නිසා ඔහු මිය ගිය බවයි.

ඔහුගේ මරණය කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් අද සලකනුයේ දේශපාලන බිල්ලක් ලෙසය. කැලණියේ මන්ත‍්‍රීවරුනට අනුව මෑත කාලීන ඉතිහාසයේ දේශපාලනය විසින් ගිල ගත් දෙවැනි ප‍්‍රා. මන්ත‍්‍රී ඔහුය.

2011 වසර අවසානයේ කැලණියේ විෂ්ණු පෙරහරට ඔන්න මෙන්න කියා තිබිය දී දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු අතුරුදන් විය. සුදු වැන් රියකින් ඔහු පැහැරගෙන ගොස් කැලණියේ කප්පම් ගැනීම ගැන විමසා මුදා හැර ඇතැයි කියැවිණි. කැලණියේ  කඩවලින් එකතු කරන මුදල් ගන්නේ තමා නොවන බවත්, ඒවා යන්නේ වෙනත් පුද්ගලයකුට බවත් ඔහු කීවේයැයි ඒ කාලයේ මාධ්‍ය වාර්තා පළ විය.  

මේ කාලයේ කැලණියේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු විවිධ ප‍්‍රහාරවලට ලක් වූහ. එක් අවස්ථාවක කැලණියේ සභාපති ප‍්‍රසන්න රණවීර රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීය.

දිගින් දිගටම විවිධ අඩත්තේට්ටම් වෙද්දී තමනට ආරක්ෂාව දෙන්නැයි මන්ත‍්‍රීවරු පිරිසක් පොලිසියෙන් ඉල්ලීමක් කළහ.

කැලණිය බියගම පාර පුළුල් කිරීම, පරණ නුවර පාරේ කොටසක් විශාල කිරීම, ඊරියවැටිය පාර සැකසීම ආදියේ දී මැර බලය භාවිත වූ බව කැලණි වැසියෝ කියති.

කැලණියේ දේශපාලන පාතාලයට බිළි වූ ඊළඟ මන්ත‍්‍රී ලෙස වාර්තා වූයේ කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාය.  ඒ 2013 ජනවාරි 05 වැනිදාය. ඔහුගේ ඝාතනයත් සමග මුළු කැලණියේම මහා ආන්දෝලනයක් ඇති විය. පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබියදීත් එය නොදීම හා ඔහු වෙඩි වැදුණු තැනට පොලිසිය ඒම ප‍්‍රමාද වීම ගැන පොලිසියට ද චෝදනා එල්ල විය.

හසිත මඩවලගේ ඝාතනයට සැකපිට දේශපාලකයකුගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට පත් විය. දැන් ඔහු එම නඩුවේ රජයේ  සාක්කිකරුවෙකි.

මිය යන්නට පෙර හසිත මඩවල කැලණියේ දේශපාලනය ගැන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිහිපයක් කළේය.

කැලණිය ප‍්‍රදේශීය සභාවේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙසේ කීවේය.

‘කැලණියේ අහිංසක මන්ත‍්‍රීවරු අනාථ කළා. කැලණියේ බොහෝ දේ කළේ අතිගරු ජනාධිපතිතුමා බොරුවට පාවලා දීලා. මේ වෙනකොට අපිට මරණ තර්ජනය තියනවා. අපිව කුඩු දාලා අල්ලන්න කියා තිබෙනවා. රජයේ ඉඩම්වල කන්ටේනර් පාර්ක් කරනවා. ඒ කිසියම් පිරිසකට ගාන දීලා. ඇතැම් දේශපාලනඥයෝ කැලණියෙන් හම්බ කර ගත්තා.’

 

‘කැලණියේ ජනතාව ගුබ්බෑයම්වල හිටියේ නෑ. අපි හිටියේ ගෙවල්වල. අපි අනුන්ගේ ගෙවල්වල ඉඳලා නෑ. අපිට අනුන්ගේ ගෙවල්වල නින්ද යන්නෙත් නෑ. කැලණියේ නීතියක් මේ වනකම් තිබුණේ නෑ. නමුත් අපි තීරණයක් ගත්තා සියලූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් එකාවගේ ඉඳලා මොන බාධක ආවත් කැලණිය සුරකිනවා.’

කැලණියේ පැවැති උත්සවයක දී හසිත මඩවල මහතා මෙසේ කීවේය.

‘දැන් මේ වෙනකොට අපි කිහිප දෙනෙක් මරන්න කොන්ත‍්‍රාත් දීලා. වැදගත් නායකයෝ එහෙම කරන්නේ නෑ. කවුරුත් එහෙම දෙන්නේ නෑ. එක ගොන් තඩියයි එහෙම දෙන්නේ. දැන් ඒ වචන කියවෙනවා හිතේ තියෙන ආවේගෙට. ඔහුත් සමග ඉඳලම තමයි ඒ වචන හුරුවී තියෙන්නේ. නැත්නම් අපි ගම්වල හොඳ වැදගත් මිනිස්සු.’ ඔහු පසුව ඝාතනය විය.