බුදුදහමේ ඇත්ත සොයා ගිය හැටි


පිටිදුවේ සිරිධම්ම හිමියන් නිවන් දකින ලදැයි ඉරිදා ලංකාදීපය සමග ප‍්‍රකාශ කිරීමත් සමග රටේ පැවති කතාබහ නව මගකට පිවිසියේය. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් යැයි ප‍්‍රකාශ කිරීම බොරුවක් යැයි පවසමින් මේ පිළිබඳ සංචාදයකට එන ලෙස රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ ඉදිරිපත් වූහ. අපට ද බොහෝ දෙනා කතා කළහ. මේ සියලූ කාරණා අනුව යමින් අපි යළිත් පිටිදුවේ සිරිධම්ම හිමියන් හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියන් සමග සාකච්ඡා කළෙමු.


 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ නිවන් අවබෝධ කරගත් බව ප‍්‍රසිද්ධියේ රටටම ප‍්‍රකාශ කළා. මොනවා අපේක්ෂාවෙන්ද මෙහෙම ප‍්‍රකාශයක් කළේ.
පිළිතුර:
දැන් ඔය ගොඩක් අය කියනවා මම නිවන් දැක්ක බව කිවුවේ මොකක් හරි ලාභ ප‍්‍රයෝජනයක් ගන්න කියලා. සමහරු කියනවා ප‍්‍රසිද්ධියක් ගන්න කියනවා. මම මහණවෙලා අවුරුදු 13කටත් වැඩියි. ප‍්‍රසිද්ධ මාධ්‍යයේ ධර්ම දේශනා කරන්න පටන් අරන් අවුරුදු දහයකට වැඩියි. ලංකාවේ විවිධ පළාත්වලත්, පිටරටවලත් දේශනා පවත්වලා අපට පැහැදිච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර විශාල ධනවතුන් රජයේ මැති ඇමතිවරු මේ සියලූ දෙනා ඉන්නවා. මා නිවන් දැක්ක බව ප‍්‍රසිද්ධ වෙන්න හිතාගෙන කිව්ව නම් මට ලැබුණෙ ඒක නොවෙයි. අපකීර්තියක්. ලෝකයේ හැමදාම වුණේ මේකයි. කවුරුහරි ධර්මාවබෝධය කළා කවුවාම ඒ උතුමන් පිස්සෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක් විදිහට හංවඩු ගැහුවා. ඇත්තටම මං සැපට ඉන්න  ඕනෙ නම් කරන්න තිබුණු ඥානවන්තම වැඬේ තමයි සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් මේ පන්සලත් හදාගෙන දායකයන්ගේ යුතුකම් ඉෂ්ඨ කරගෙන රාජ්‍ය තන්ත‍්‍රයට පක්ෂයට විපක්ෂයට උපදෙස් දීගෙන ඉන්න. මා මහණ වුණේ ජීවිතේ මොකක්දෝ දෙයක් හොයන්න. මට කෙටි කලක් යනකොට ආරාම යාන වාහන මේ හැමදේම මිනිස්සු පූජා කළා. නමුත් මම මේ සියල්ලේ අවසානයකට යන්න ක‍්‍රම සෙවුවා.

මම පුංචි කාලේ ඉඳලම ත‍්‍රිපිටකය කියවලා ගවේෂණය කළා. පැවිදි වෙලත් එහෙම කළා. ඇත්තටම මට  ඕනෑ වුණේ බුදු දහමේ ඇත්ත සොයන්න. ඇයි අපට සංසාරෙන් ගැලවෙන්න බැරි කියලා මා කල්පනා කළා. එහෙම හිතද්දී ජීවිතේ එක්තරා පරිවර්තනයක් වුණා. සතිපට්ඨාන සූත‍්‍රය මට වචනයෙන් වචනය කටපාඩමින් කියන්න පුළුවන්. මම ඒවා කරලා බැලූවා. මට තේරුණා ඒවා එහෙම කළාට එහෙමම නොවන බව. දම්සක් පැවතුම් සූත‍්‍රය ඒ විදිහටම කළා. තදුරටත් හිතද්දී මගේ හිතේ මමත්වයත් තේරුම් ගියා. මා ලෞකික දේවල් නඩත්තු කරගන්න වෑයම් කරන බව කීර්තිය රැුක ගන්න සටන් කරන බව මේ සියල්ල අවබෝධයෙන් දැකලා සසර නිමාවක් දුටුවා. මම ඇත්තටම ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ තව දහස් ගාණක් මේ සත්‍ය හොයන අය ඉන්නවා කියා ශ‍්‍රාවකයො ඉන්නවා එක එක අය නිවන කියලා විවිධ දේ කියනවා. එක මහත්තයෙක් කියනවා තදනින්දත් නිවනයි කියලයි. සමාජයේ නිවන හොයන පිරිසට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ඒ අය ගොඩගන්න  ඕනෑ. ඒ අයට යහපත පෙන්වන්න  ඕනෑ. මෙතැනදී මා කළ යුත්තේ සඟවාගෙන සිටීම නොව ප‍්‍රකාශ කිරීමයි.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ පැවිදි වුණේ තරුණ කාලෙදී. ඒ කුමක් හෝ හේතුවක් නිසා කලකිරිලද?
පිළිතුර:
මා කුඩා කාලේ ඉඳන්ම ධර්මයට ගොඩක් කැමති කෙනෙක්. මට වයස අවුරුදු 3-4 ඉඳලම මා හිටියෙ ගෙදරට වඩා පන්සලේ. පන්සලේ තිබුණු සියලූම ත‍්‍රිපිටක පොත් ජාතක පොත් කියෙවුවා. බේරතුඩුවේ ඤාණවිසුද්ධි නායක හැමුදුරුවෝ මාගේ ගුරු හාමුදරුවො. උන්වහන්සේ ගාල්ල විජයානන්ද විහාරයේ නායක හාමුදුරුවෝ. සා/පෙළ විභාගයෙන් මට ඞී හයයි සී දෙකයි. මට විදුහල්පතිතුමා කිව්වා විද්‍යාව හදාරන්න කියලා. පස්සේ ගමේ පාසලෙන් ඉවත්ව රිච්මන්ඞ් විද්‍යාලයට ගිහින් විද්‍යාව හැදෑරුවා. පස්සේ කැලණණිය වි.වි ක්ෂ‍්‍රද්‍ර ජීව විද්‍යාව හැදෑරුවා. දහම්පොත් වැඩිපුර කියවද්දී වි.වි අවසන් වසරෙදී 2000 නොවැ: 12 පෝය දවසේ මම මහණ වුණා. මගේ පැවිද්දට හේතුව සසර කලකිරීමක් නෙමෙයි. මට කිසිම කලකිරීමක් තිබුණේ නෑ. දෛවෝපගත සිද්ධියක් පැවිදිවෙලාත් මම මොකක්දෝ දෙයක් හෙවුවා. මට ඒක වචනයෙන් කියන්න බැරි දෙයක්.

 

 


ප‍්‍රශ්නය: පිටිදුවේ හාමුදුරුවෝ නිවන් දැක්ක යන ප‍්‍රකාශය ඇසීමත් සමග බොහෝ දෙනා ඔබවහන්සේට පිස්සු හැදිලා කිවුවා. මෙසේ කී අය දෙස ඔබ වහන්සේත් දකින විදියකුත් ඇතිනේ...?
පිළිතුර:
මට පිස්සු හැදිලා කියන එක එයාලාගේ දැක්මනේ. මට ඒ අය ගැන විශ්ලේෂණය කරල වැඩක් නෑ. මම මා ගැන බලාගත්තම ඉවරයිනෙ.
දීඝනිකායෙ බ‍්‍රහ්මජාල කියල සූත‍්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවො පාරෙ යනවා, එහෙම යද්දී උන්වහන්සේට මිනිස්සු පිරිසක් බනිනවා. ඒ වෙලාවේ භික්ෂුවක් ඇවිත් කියනවා අන්න ඔබවහන්සේට බනිනවා කියලා. එවෙලේ බුදුරජාණන් වහන්සේ හරි ඒ අය බනින එක ඒ අයගෙ වැඩක්. ඒක මට ප‍්‍රශ්නයක් නෑ. ඒ නිසා ඔබ ප‍්‍රශ්නයක් කර ගන්න එපා කියලා කියනවා. මට කියන්න තියෙන්නෙත් ඒකම තමයි මහත්තයෝ.

 

 


ප‍්‍රශ්නය: සුදුස්සෙක් ඉදිරිපත් වුණොත් නිවන් ලැබූ බව ඔප්පු කරන්න සූදානම් බවට අභියෝගයක් ඔබවහන්සේ ගේනවා. රහත්වරු මේ වගේ අභියෝග භාරගන්නවාද?
පිළිතුර:
මම නිවන් දැක්ක බව කියන්නේ අවුරුදු දෙක තුනක් තිස්සේ ඉඳන්. එහෙම කියද්දී විශාල පිරිසක් ඒකට විරුද්ධ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. යමෙක් මාර්ග අවබෝධ කළාට පස්සේ ඒ අවබෝධ කළ කෙනා ඒ බව කියන්න යම් වෑයමක් දරනවා. එහෙම නැතුව මට කාත් එක්කවත් වාද කරන්න පිස්සුවක් නෑ. ධම්මපදයේද තියනවා ජය කියන එක වෛරය ඇතිකරනවා, පරාජය කියන එක දුක ඇති කරවනවා කියලා. ඥානවන්තයා ජය-පරාජය දෙකේම නොබැඳී ඉවත් වෙනවා. මාගේ සිත තියන තැන එතනයි. සච්චක බුදුහාමුදුරුවන්ට නොයෙක් දේ කිවුවා. ඒ වෙලාව බුදු රජාණන් වහන්සේ නිහඩව හිටිය නම් මිනිස්සු කියනවා ඔබ වහන්සේගේ අවබෝධයෙන් කිසිම වැඩක් නෑ කියලා. මම කියන දේත් වැරදිය මා බොරුකාරයෙක්ය පිස්සෙක්ය මිත්‍යා දෘෂ්ඨිකයෙක්ය කාගෙන් හෝ මුදල් ගත්තෙක්ද විවිධ අභූත චෝදනා තියනවනේ. ඉතින් මට කළ හැකි එකම දෙය මා අවබෝධකරගත් ධර්මය මෙහෙමයි මෙහෙමයි කියලා පැහැදිලි කිරීම පමණයි. අභියෝගය කියන වචනය ග‍්‍රහණය කර ගැනීමේ ස්වාභාවයේ ගැටලූවක් ඔතන තියනවා. අභියෝගය කියන වචනයේ ද්වේශය වෛරය තියනවා කියලා සමහර හාමුදුරුවරු ප‍්‍රකාශ කරලා තිබුණා. බත් පිඟානක් දීලා ‘මේ බත් කාපන්’ කියලා ටෝන් එකෙන් ග‍්‍රහණය වෙන ආකාරය වෙනස් වෙනවා. ඔය අභියෝගය කියන වචනයත් එහෙමයි.

 

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ සමඟ මුලින්ම සංවාදයකට ඉදිරිපත් වුණේ ගිහි පක්ෂයේ කිහිප දෙනෙක්. ඔබ වහන්සේ ඔවුන්ට ලිපි යවා දන්නා තිබුණේ සිංහයන් සමග සිංහයන් ගැටෙනවා මිස කබරගොයන් හා මෙවැනි දේට නොඑන බවයි. මේ ප‍්‍රකාශය ඔවුන් දැඩි හෑල්ලූවට පත් කිරීමේ අරමුණින් කරපු දේවල්නේ...?
පිළිතුර:
ඔය කියන කෙනා එක ලියුමක කියනවා එයාට සත්‍යාවබෝධ කළ භික්ෂූන් වහන්සේලා ඉන්නවා කියලා. එහෙමනම් එයා ඒ අය එක්කගෙන එන්න එපායැ. ආයෙ කියනවා නෑ එහෙම අය නෑ... මම තනියම එනවා කියලා. ඔයා එක දවසක එකක් කියනවා තව දවසක තව එකක් කියනවා. ඉතින් මම ඔයාට කබරගොයා කියන එකේ වරදක් තියනවද? ඒක ප‍්‍රතිපත්තියක්, සෘජු අදහසක් තියෙන්න  ඕන වාදෙන් පැරදුනාම අර හාමුදුරුවන් ළඟට යවලා මට ධර්ම විනය උගන්වනවා කියලා මෙයා කියනවා. ඉතින් එහෙම පැරදිලා යන්නේ මොකටද? කෙලින්ම උන්වහන්සේලා හමුවුණානම් හරිනෙ. පස්සේ එයාම කියනවා මට එහෙම අය නෑ කියලා. ඉතින් කබරගොයා වගේනෙ.

 

 


ප‍්‍රශ්නය: රහත්වෙලා නම් අතහැරීමක් තියෙන්න එපායැ. ඒ වුණාට අපට නම් පේන්නෙ ඔබ වහන්සේගේ නමට බොහෝ දේවල් තියෙන බවක්?
පිළිතුර:
මගේ නමට හුඟක් දේවල් තියනවා. ළමයි බර ගාණක් ඉන්නවා කියනවා. මිත්‍යා දෘෂ්ඨිකයෙක් කියනවා. මහායානිකයෙක් කියනවා. හොරෙක් කියනවා. තක්කඩියෙක් කියනවා. රහතෙක් කියනවා. එක එක්කෙනා එක එක දේවල් කියනවා. මේ සේරම මගේ නමට දැන් තියන දේවල්.

 

 


ප‍්‍රශ්නය: මම බලාපොරොත්තු වුණේ ඔය පිළිතුර නෙවෙයි. ඔබ වහන්සේ නමට තියන දේපල මිල මුදල් ගැන?
පිළිතුර:
මගේ බැංකු පොත්වල රුපියල් විසිදාහක් තිස්දාහක් දැන් ගිහින් බැලූවොත් තියෙනවා. අද සමාජයේ හැටියට යාන වාහන ගනිද්දී වුණත් නමකට නැතුව ගහකට ගන්නද මහත්තයෝ. අපේ ආශ‍්‍රමයේ බෝගහේ නමට වාහනයක් රෙජිස්ටර් කරන් පුළුවන්ද. බෑ නෙ. රහතෙක් වුණත් කවුරු වුණත් රටේ පවතින නීතියක් තියනවා. ඒ නීතියට අනුගතව කටයුතු කරන්න  ඕනෙ. අද බුද්ධ කාලෙ වගේ නෙවෙයි සමාජය වෙනස්. අපි ඒ නීති රීතිවලට ඉන්න  ඕනෙ. මම ධර්මාවබෝධය කළා කියලා බුද්ධකාලේ හැටියට ඉන්න උත්සාහ කරනවා නම් අවබෝධයක් නැති අනුකරණයක් කරන හොර රහතෙක්, ඇත්ත රහතෙක් නොමෙයි. ඔය ප‍්‍රශ්න ඇහුවට කමක් නෑ. හොඳ ප‍්‍රශ්න. මම පිටරටකට යන්න පාස්පෝට් එකක් නැතිව මම රහතෙක් මට පාස්පෝට් නැතුව රට යන්න දෙන්න කියලා කියන්න. කවදාවත් එහෙම වෙන්නෙ නෑ. අවබෝධය පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. ආශ‍්‍රමයේ සියළු දේ සාංඝික දේපල.  ඕනෑම කෙනෙක් එන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පරිහරණය කරන්න වුවත් දෙන්න බැරිකමක් නෑ. මට වාහනයක් අවශ්‍ය කරන්නේ ගමනක් යන්න. ඒ වාහන මගෙ නමට තියනවා. ඒවා කාගේ නමටද ලියන්න  ඕන කියලා කියන්නකො.

 

 


ප‍්‍රශ්නය: ඔබ වහන්සේ කරන ලද සමහර ප‍්‍රකාශ දිහා බැලූවම කේන්තියකින් ඉන්න බවත් පේනවා. රහත් වුණාම කේන්තිත් යනවද? සැරවීමත් රහත්වරුන්ගේ ලක්‍ෂණයක්ද?
පිළිතුර:
රහත් කෙනෙකුට සැරෙන් කතා කරන්න බරිද? බැරිනම් වැඩක් නෑනෙ. සෝවාන් ලාභී මාර්ග ඵල ලාභී රහතන් වහන්සේලා ලෙඞ්ඩුද? මම සූත‍්‍රයක් කියන්නම් අංගුත්තර නිකායෙ අට්ඨක නිපාතයෙ.

මුගලන් මහ තෙරුන් වහන්සේ උපෝසථ විනය කර්මය කරන්න හදන වෙලාවක එක පවුකාර භික්ෂුවකට කියනවා මේ භික්ෂුව සංඝයා අතරින් දැන් ඉවත් වෙන්න කියලා. එතකොට ඒ භික්ෂුව අයින් වෙන්නෙ නෑ. මුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂුව අතින් අල්ලගෙන ගිහින් එළියට දාලා දොර වහනවා. ඊට පස්සේ උපෝසථය කරනවා. ඔහොම බැලූවම මුගලන් මහ තෙරුන් වහන්සේ රහතෙක්ද?

අද හිතාගෙන ඉන්න රහතුන් නිවන් ලබපු අය අංශභාග රෝගීන් කියලා. වරද තියෙන්නෙ ඔතනයි.
රහතුන්ට සිංහ නාද කරන්නත් පුළුවන්. සිංහ නාදයක් හිමින් කරන්නේ නෑනෙ. මම අහන්නෙ මම ඇත්තටම නිවන් අවබෝධ කරලා නම් මට මනුෂ්‍යයෙකට බනින්න බැරිද කියලා. බනින්න බැරි නම් මගෙන් වැඩක් නෑනෙ. නිකන් ගහක් වගේනෙ. කාගෙ හරි වරදක් දැක්කම මේක වැරදියි මේක වෙන්න  ඕන මෙහෙමයි කියලා පැහැදිලි කරන්න.

බුදු හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා වැරදි කළහම මෝඝ පුරුෂ කියලා බැනලා තියනවා මොකක්ද තේරුම් මෝඩ මිනිහා කියන එක. සියලූ දේ මිනිසුන්ට ධර්ම ඥානය පිළිබඳ නොවැටහෙහි. මේ ප‍්‍රශ්න මිස වෙන කිසිවක් නොවෙයි.

 

 


ප‍්‍රශ්නය: එක්තරා හිමිනමක් ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡුාවකට එක්වෙමින් ඔබ වහන්සේගේ ධර්මදේශනාවට රුපියල් දාහක් එම විහාරයෙන් ලබා දීම නිසා ඒ මුදල මදි යැයි ගෝරනාඩු කළ බව පවසා තිබුණා. අද රහත් කියන්නේ එදා මේ විදියට සල්ලි ගැන ලෝබ බැඳල හිටපු හාමුදුරුවෝ නේද?
පිළිතුර:
මම ඔය සිදුවීම වෙනකොට වැඩහිටියෙ ගාල්ලෙ. 2004 අවුරුද්දෙනෙ. මට වාහනයක් තිබුණෙත් නෑ. මම ධර්ම දේශනාවකට වඩිද්දී වාහනයක් කුලියට අරගෙන ගියේ. අපි මේ බව දැනුවත් කරල ධර්ම දේශනාවට වඩින්නේ. වාහනේ කුලිය ගෙවන්න කියලා ඔය කියන හාමුදුරුවෝ වාහනේ කුලිය ගෙවන්නේ නැතුව වාහනේ රියදුරු මහත්තයා සමග මොකද්දෝ ගැටුමක් ඇති කරගෙන. මම ඒකට සම්බන්ධ නෑ. මම මේ සිද්ධිය දන්නෙත් වාහනේදි ඔය රියදුරු මහත්තයා කිවුවම.

මම ඔය සිද්ධියේ විත්තිකාරයා කියල නිකමට හිතමුකො. අංගුලිමාල පැවිදි වෙන්න කලින් මිනීමරුවෙක්. පැවිදි වුණාට පස්සෙත් මිනිස්සු උන්වහන්සේට ගැහුවා. පාත්තර බින්ඳා. ඔළුව පැලූවා. ඇයි...? දැන් මහණ වෙලා හිටියට කලින් අපේ සහෝදරයෝ අපේ ඥාතීන් හිතවතුන් විනාශ කළා කියලා. නමුත් උන්වහන්සේ රහතෙක්. අම්බපාලි මෙහෙණිය කලින් ගණිකාවක්. නමුත් ඇය සියල්ල තේරුම් අරන් පැවිදි වුණා. අද මට එහෙම උන්වහන්සෙලාට තමයි එදා අංගුලිමාල අම්බපාලි වගේ අයත් රහත් නෑ කියලා කිවුවෙ. දැන් 2014. ඔය ධර්ම දේශනාව තිබුණේ 2004 අවුරුද්දේ. මහා පරණ දෙයක්. අපි අද ජීවත් වෙමු ඊයේ ජීවත් නොවී.

 

 


ප‍්‍රශ්නය: ඉරිදා ලංකාදීප (පසුගිය සතිය)  සාකච්ඡාවකදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප‍්‍රකාශ කර තිබුණා රහත් භාවය කෙනෙක් ප‍්‍රකාශ කරන්නේ හේතු පහක් නිසා බව. එයින් හේතු හතරක් උන්වහන්සේ සඳහන් කළා. උමතු භාවය, අධි මානය, ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාව, මෝඩකම ආදී වශයෙන්. ඔබවහන්සේ මින් කුමන කොටසට අයත්ද?
පිළිතුර: (සිනා)
මම අහන්නේ උන්වහන්සේ මේක කිවුවේ කුමක් අපේක්ෂාවෙන්ද කියලායි. ත‍්‍රිපිටකයේ දෙපළක රහත් බව ප‍්‍රකාශ කිරීම ගැන සඳහන් වෙනවා. පරිවාර පාලියේ උපාලි පඤ්යේ කරුණු පහක් තියෙනවා.

උපාලි මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, රහත් භාවය ප‍්‍රකාශ කිරීම පිළිබඳව. එවේලේ උන්වහන්සේ ප‍්‍රකාශ කරනවා ‘උපාලි රහත් බව ප‍්‍රකාශ කිරිම් පසෙකි. කවර පසෙක්ද, නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් රහත් බව පළ කෙරෙයි. ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත් බව ප‍්‍රකාශ කෙරෙයි. උමතුවෙන් සිත් පෙරළීමෙන් රහත් බව පළ කෙරෙයි. අධිමානයෙන් රහත් බව පළ කෙරෙයි, විද්‍යමාන වූ රහත් බව පළ කෙරෙයි.’

අංගුත්තර නිකායේ පක්‍ද්චක නිපාතයේ අඤ්ඤඛ්‍යාකරණ සූත‍්‍රයේත් රහත් බව ප‍්‍රකාශ කිරීමේ පස්දෙනා ගැන සඳහන්. එහි ඔබ සඳහන් කළ කරුණු හතර තියෙනවා. අර හාමුදුරුවෝ සඟවපු කාරණාව තමයි පස්වැන්න. මොකක්ද ඒ, ‘මනා හේතුයෙන්ම අර්හත්වය පළ කෙරෙයි’. අර හාමුදුරුවෝ මොන කපටිකමක්ද බලන්න කරලා තියෙන්නේ. පහක් තියන තැන හතරක් කියලා එකක් සඟවපු එක කිවුවොත් උන්වහන්සේට අවාසියි. උන්වහන්සේ ධර්මය තම ආත්ම සුඛ විහරණය සඳහා යොදාගෙන. මා එයට විරුද්ධයි. බුද්ධ වචනය තම යහපත පිණිස විකෘති නොකළ යුතුයි.

 

 


ප‍්‍රශ්නය: ශාස්ත‍්‍රපති හෑගොඩ විපස්සි හිමියන් අභියෝගයට සූදානම් බව ප‍්‍රකාශ කර තිබුණා. ඔබවහන්සේ සූදානම්ද?
පිළිතුර:
උන්වහන්සේ කැමති  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක මම සූදානම්. ධර්මය එළිවිය යුතුයි. එය නොවැසිය යුතුයි. මඩ ගහන්නේ නැතුව ධර්ම සංවාදයකට එන්න. අද රූපවාහිනී මාධ්‍ය තියනවා. ඒ මාධ්‍යයකට කළ හැකියි. එතකොට රටේම, ලෝකෙම ජනතාවට දැක බලා ගන්න පුළුවන්. හැබැයි ඇවිත් බොරු කියන්න බෑ. එහෙම වුණොත් මම හේතු කාරණා සහිතව ඔප්පු කරනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා බලාගන්න පුළුවන්.