බඩු හිඟ නැති අග හිඟ අඩු අවුරුද්දක්


එළඹෙන සිංහල අලු‍ත් අවුරුද්ද රටේ බහුතරයක් ජනතාවට කවරාකාර හැඟීමක් ඇති කරනු ඇත්ද යන්න පිළිබඳව දැන්ම යමක් ප්‍රකාශ කිරීමට තවමත් කල් මදිය. එහෙත් වසර දෙකකට පෙර 2022 අප්‍රේල් මාසයේ දී මහජනතාවට සිංහල අලු‍ත් අවුරුද්ද සැමරීම සඳහා ඉඩක් නොලැබුණි. එයට හේතු වූයේ සිංහල අලු‍ත් අවුරුද්දට සූදානම්වීම හෝ සැමරීම වෙනුවට අවධානය යොමුකළ යුතු තවත් බොහෝ දේවල් මතුව තිබූ හෙයිනි. වාහනයට තෙල් ටිකක් සොයා ගැනීම පිළිබඳව ද, ඉවීමට ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීම පිළිබඳව ද, ඖෂධ සහ අනෙකුත් අවශ්‍යතා මිලදී ගන්නේ කෙසේද? යන්න විසඳා ගැනීමට ද ඔවුන්ට සිදුව තිබූණි. මේ යුගයේ ජාතික සහ ආගමික උත්සව සියල්ලම සැමරීමට සිදු වූයේ එවැනි පසුබිමකය. 2019 කෝවිඩ් වසංගතයෙන් ඇරඹුණු එම අවාසනාවන්ත තත්වය වසර හතරක් පුරාම අඛණ්ඩව පැවතුණි.

සෑහෙන කලකට පසු මේ වසරේ දී පසුගිය වසර හතරටම වඩා ඉහළ මට්ටමකින් සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්ද සැමරීමට මහජනතාව සූදානම් වන බවක් පෙනේ. කොටුව, මහරගම, කිරිබත්ගොඩ වැනි වැඩිපුර ජනතාව එකතු වන නගරවල මේ වසරේ දී කවර කලෙකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහ සෙනගක් එකතුව සිටින ආකාරය පසුගිය සති අන්තයේ දී දැක ගැනීමට හැකිවිය. අතුරු සිදුරු නැතිව රැස් කකා සිටි මහජනතාව අතරින් අවුරුදු සැමරීමට තිබූ උනන්දුව ද වෙළෙඳසැල් විවෘත කිරීමට පෙර ඒ අසල රැස්ව සිටි මහජනතාවගෙන් පිළිඹිබු වූ ආකාරය පෙනෙන්නට තිබුණි.

රට තුළ දුක් අඳෝනා නැගීමකින් තොරව සතුට සහ විනෝදය වෙනුවෙන් මහජනතාව යොමුවනු දැකීම ඉවසීමට නොහැකි පිරිසට එවැනි අවස්ථා ඇහේ කටු අනින තත්වයක් ඇති කිරීම ස්වාභාවිකය. කවදත් මිනිසුන් සතුටුවීම නොඉවසන පිරිසක් දැක ගන්නට ලැබේ. එසේ  වුව ද මෙවර සිංහල සහ හින්දු අලු‍ත් අවුරුද්ද නැගී එන දේශපාලන උණුසුමත් සමග මුසුවීම හේතුවෙන් මහජනතාව අවුරුදු සැමරීම ඉවසනු නොහැකිව ඒ පිළිබඳව විවිධාකාරයෙන් වාගාලාප ඉදිරිපත් කරන පිරිස් දැකගන්නට ලැබේ. සමාජ මාධ්‍යවල සෑහෙන දුරකට සංසරණය වූ එක පෝස්ටුවකින් ඉල්ලා සිටින්නේ අනුන්ගෙන් මුදල් ඉල්ලා පවත්වන අවුරුදු උත්සව නතර කරන ලෙසය. කවදත් අවුරුදු උත්සව පැවැත්වෙන්නේ ඒ ඒ ගම්වල සිටින සියලු‍ දෙනාම හැකි තරමින් දායකත්වය ලබා දෙන පදනම මතය. අවුරුදු උදාවීමට බොහෝ කලකට පෙරම එවැනි පෝස්ටු ප්‍රදර්ශනය කිරීමෙන් පැහැදිලි වන්නේ අවුරුදු උත්සව පැවැත්වීම පවා නොඉවසන පිරිසක් බිහිව සිටින බවය.

මාර්තු මාසයට අදාළ උද්ධමනය පිළිබඳ තොරතුරු පසුගිය දා ප්‍රකාශයට පත්විය. ඒ අනුව රටේ උද්ධමන අනුපාතය පෙබරවාරි මාසයේ දී සියයට 5.9 සිට සියයට 0.9 දක්වා අඩු වී තිබේ. ඒ අතරම ආහාරමය භාණ්ඩවල උද්ධමන අනුපාතිකය සියයට 3.5 සිට සියයට 3.8  දක්වා වැඩි වී තිබේ. ආහාරමය නොවන භාණ්ඩවල උද්ධමනය සියයට 7 ක සිට සියයට 0.5 දක්වා පහළ වැටී තිබේ. අරගල අවදියේ දී ලොව උද්ධමන වේගය ඉහළම රටවල් පහ අතරට වාර්තාවක් තබමින් එකතු වූ ශ්‍රී ලංකාව වසර දෙකකට පසු කැපී පෙනෙන වෙනස්කම් අත්කර ගනිමින් සිටී. සෑම වසරකදීම අලු‍ත් අවුරුදු සමයේ එළවළු මිල විශාල ලෙස ඉහළ යන නමුදු මේ වනවිට දැනට සති කිහිපයකට පෙර තිබූ ඉහළ මිල මට්ටම් වෙනුවට අඩු මිලකට එළවළු ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි වී තිබේ. ඩොලරයේ අගය අඩුවී රුපියලේ අගය වැඩිවීමත් සමග ඉදිරියේ දී තවත් බොහෝ භාණ්ඩවල මිල ගණන් අඩුවේ යැයි අපේක්ෂා කළ හැකිය. එසේ වුව ද පැන නගින ප්‍රශ්නය වන්නේ භාණ්ඩ මිල අඩු වුව ද ඒවා මිල දී ගැනීමට මහජනතාවට ශක්තියක් තිබෙන්නේ ද යන්නයි.

රජයට පෙර මෙන් රජයේ වියදම් වැඩි කිරීමට හෝ මහජනතාවට සහන සැලසීමට හෝ හැකියාවක් නැත. එයට හේතුව ඒ දෙකම පිළිබඳව සීමා පනවා දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යෑමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අත්සන් කර තිබීමයි. එම ගිවිසුමෙන් පිට පැනීමට කිසිදු ඉඩක් ශ්‍රී ලංකාවට නොලැබේ. බංකොලොත්භාවය ප්‍රකාශ කළ රට තවමත් ඉන් මිදී නැත. රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන්ම පෙර පැවැති තත්වයට පත්කර ගත හැකි වන්නේ බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීමෙන් පසුවය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුව නියම කරගෙන ඇති කාල සීමාව තුළ කටයුතු කිරීමට රජයට සිදුවේ. එවැනි තත්වයක් තුළ මීට පෙර මැතිවරණ කාලවල දී විවිධ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ඡන්දය අරමුණු කරගත් සහන සැලසීමේ කටයුතු පවත්වාගෙන යෑමට රජයට නොහැකිය.

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින අර්බුදය හේතුවෙන් ආර්ථික පීඩනය වැඩියෙන්ම බලපාන දුගී, ආබාධිත සහ රෝගී පිරිස්වලට සෘජුවම ලැබෙන සේ සහන සැලසීමට IMF ගිවිසුම මගින් අවස්ථාව සලසා තිබේ. ඒ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට, අස්වැසුම සහන වැඩි කිරීමට සහ ආර්ථික පීඩනයට ගොදුරු වූ අනෙක් පිරිස්වලට සහන සැලසීම සඳහා හැකියාව ඇත. ඒ ආකාරයට සහන සැලසීමෙන් එක අතකින් පීඩාවට පත් කොටස්වලට සෘජුවම සහන සැලසෙයි. ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ යයි. අනෙක් අතට ඒ ආකාරයට ආර්ථිකය තුළට මුදල් ගලා යාම හේතුවෙන් රටේ සමස්ත භාණ්ඩ හා සේවා ඉල්ලු‍ම ඉහළ ගොස් නිෂ්පාදන මට්ටම ද ඉහළ යයි.

ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයට පෙර පැවැත්වීමට නියමිතව ඇති බැවින් රජය විසින් කෙරෙන සෑම යෝජනාවක්ම මැතිවරණ ඇසින් දැකීමට ඇතැම් පිරිස් සූදානම් වන බව පෙනේ. පාසල්වල ප්‍රාථමික පන්ති සඳහා දිවා ආහාරය සැපයීම පිළිබඳ ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය සහ වෙනත් මාර්ග ඔස්සේ දක්වන විවේචන මගින් එම තත්වය අවබෝධ කර ගැනීමට මහජනතාවට අවස්ථාවක් ලැබී ඇතැයි සිතිය හැකිය. මීට පෙර ඇතැම් පිරිස් සහ සංවිධාන විසින් රටේ ළමා මන්දපෝෂණ පිළිබඳ මොරගෑ ආකාරය බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. ළමා මන්දපෝෂණය පිටු දැකීම, පාසල් ළමයින්ට පෝෂණීය ආහාර වේලක් ලබාදීම, හොඳ ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීම ආදිය අරමුණ කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.

පාසල් පෙළපොත් නොමිලේ ලබාදීම, පාසල් නිල ඇඳුම් නොමිලේ ලබාදීම සහ පාසල් දිවා ආහාරය නොමිලේ ලබාදීම හැඳින්විය හැක්කේ රටේ පාසල් අධ්‍යාපනය කෙරෙහි ඉතා යහපත් ආකාරයෙන් බලපෑ සහන ප්‍රතිපත්ති ලෙසය. එම සහන හේතුවෙන් පාසල් අවදියේ මුල සිටම ප්‍රශ්නයක්ව පැවැති පාසල් හැරයාම සහ පාසල් පැමිණීම දුර්වලවීම යන ගැටලුවලට විසඳුම් ලැබී ඇත. පාසල් හැරයාම අඩුවී පැමිණීම ඉහළ ගියේය. කෙසේ වුවද පසු කාලයේ දී පාසල් දිවා ආහාරය නැවතුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටික දිනකට පෙර එය නැවත ආරම්භ කරනු ලැබීය. ඒ සඳහා ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ලැබී තිබේ. එසේ වුවද ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රචාරය කරනුයේ පාසල් දිවා ආහාරය ලබාදීම මැතිවරණ අල්ලස් දීමක් ලෙසිනි.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී රටේ අපනයනය ඉහළ ගියේය. විදේශ ප්‍රේෂණ ඉහළ ගියේය. ඒ අතරම කොළඹ කොටස් වෙළෙඳපොළට ඇදී එන විදේශ ආයෝජන ද ඉහළ ගියේය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස රුපියලේ අගය ඉහළ ගොස් ඩොලරයේ අගය පහළ වැටෙමින් පවතී. ලෝකයේ ප්‍රබල මුදල් ඒකක බොහොමයකට අදාළව ද රුපියලේ වටිනාකම ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති ගිවිසුම අනුව මූල්‍ය වෙළෙඳ පොළේ ඩොලරයේ අගය සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ශ්‍රී ලංකා රජයට හෝ මහබැංකුවට නොහැකිය. එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළයෑම කෙරෙහි හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ලැබීම් ඉහළ ගොස් තිබීමයි.

සමහරුන්ට මෙය ඉවසීමට නොහැකිය. ඩොලරයේ මිළ අඩුවී ඇතත්, බඩු මිල අඩුවී නැති බවද ඩොලරයේ මිල අඩුවීමට හේතු වී ඇත්තේ ණය නොගෙවීම බවද ණය ගෙවීම පටන් ගත් පසු මෙම තත්වය සම්පූර්ණයෙන් වෙනස් වන බව ද ඔවුහු ප්‍රකාශ කර සිටිති. ඩොලරයේ අගය අඩුවීමට පටන් ගත්තේ ඉතා මෑතකදීය. නව මිල ගණන්වලට භාණ්ඩ මිලදී ගෙන රටට ගෙන ඒම සඳහා තවත් කාලයක් ගතවේ. ආනයනය කර ගබඩා කර ඇති භාණ්ඩවල මිල අඩුවීමක් සිදු නොවේ. 2022 අප්‍රේල්වල දී ශ්‍රී ලංකාව ඒ වනවිට ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම නතර කරන බව ප්‍රකාශ කළ ද ඉන්පසු ලබාගත් ණය ආපසු ගෙවීම් සිදුකරනු ලබයි. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම නතර කළේ නැත. ඒවාද අඛණ්ඩව ආපසු ගෙවනු ලැබේ. ණය ගෙවීම දැන්ම ආපසු ඇරඹෙන්නේ නැත. ඒ සඳහා වසර 6 ක පමණ ගෙවීම් අත්හිටුවීමේ කාලයක් ලැබෙනු ඇත. කුහක පිරිස් විසින් දක්වන දේ සැබෑවක් නොවන බව ඉන් පැහැදිලි වේ.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ගිය වසරට සහ ඊට පෙර වසරට වඩා ඉහළින් සැමරීමට මහජනතාව සූදානම් වන බව ඇස්වලින් දැක ප්‍රත්‍යක්ෂ කරගත හැකි සත්‍යයක් බවට පත්ව ඇත. කෝවිඩ් හමුවේ නවතා දමා තිබු ඉතා වැදගත් සහ ආදරණීය අවස්ථා යළි ළඟාකර ගැනීමට පසුගිය වසරේ දී හැකියාව ලැබී ඒවා ඉතා උත්කර්ෂවත්ව සැමරීමට මේ වසරේදී හැකිවී තිබේ. දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක්වී බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටකට වසර දෙකක් යන්නට පෙර මෙවැනි තත්වයකට පත්වීමට හැකිවීම හැඳින්විය හැක්කේ ආශ්චර්යක් වශයෙන් නොවේද?

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර