ඒ 1985 වසරයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ වන්නේ එම වසරේය. එහි ආරම්භක සභාපතිවරයා වූයේ ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක මහතාය. සංගමයට මුලින් සිටි පොත් ප්‍රකාශකයන් ගණන 27කි.
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ප්‍රදර්ශනය ක්‍රියාවලියට අවතීර්ණ වන්නේ 1999 වසරේදීය. ජාතික පොත් ප්‍රදර්ශනය ලෙස නම් කළ එම ප්‍රදර්ශනය දින හතරකට සිමා වී ඇත. එය පවත්වා තිබෙන්නේ ජාතික කලාභවනේදීය. විද්‍යුත් මාධ්‍ය ආගමනයන් සමග පොත්පතින් ඈත් වූ පාඨක ප්‍රජාව යළි පොත පත වෙත ළං කරලීමේ අරමුණින් යුතුව පොත් ප්‍රදර්ශන ක්‍රියාවලියට මූලාරම්භය තබා තිබිණි.
මේ 2025 වසරයි. මෙවර සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වන්නේ 26 වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි.
මෙවර ප්‍රදර්ශනයේ ආරම්භක දිනය වූ සැප්තැම්බර් 27 උදෑසනින්ම පොත් ප්‍රදර්ශනය වෙත අප ගියේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අසිරිය දෑසින්ම දැක බලා ගැනීම සඳහාය.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භක දිනයේම ප්‍රදර්ශනයේ සාර්ථකත්වය පිළිබඳ අප තුළ තිබූ විශ්වාසය තහවුරු වූයේ මහා ජන ගඟක් ප්‍රදර්ශනය භූමියට ඇතුළුවීම සඳහා පෝලිම් ගැසි සිටිනු බව දැකීමෙනි. එම පෝලිමේ වැඩිහිටි තරුණ බාල ලෙස විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටියහ. අලුත් පොත පත මිලදී ගැනීම හා දැක බලා ගැනීමේ ආසාවෙනි.
මෙවරත් ප්‍රදර්ශන භූමියේ වෙළෙඳ කුටි 450කට වඩා වැඩි ගණනක් තිබෙන බව අපට දැකගන්නට හැකි විය. ඒ අතර විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි ද තිබෙන බව දක්නට ලැබිණි. ප්‍රදර්ශනයේ පළමු දිනයේම මෙතරම් විශාල ජන ගඟක් ප්‍රදර්ශන භූමියට පැමිණියා නම් ඉතිරි දින කීපයේ දී ප්‍රදර්ශනයේ ඇති වන සාර්ථකත්වය පිළිබඳ දළ අදහසක් ඇති කර ගත හැකි විය.
බණ්ඩාරනායක පරිශ්‍රය පුරා අහස නිල් පාටින් යුක්තය. එකදු කළු වැහි වලාවක් ප්‍රදර්ශන භූමියේ ඉහළින් පෙනෙන්නට නැත. මේ සතිය පුරාම මේ දීප්තිමත් අහස පෙනෙන්ට තිබුණොත් පොත් කියවන පාඨකයාට මෙන්ම ප්‍රකාශකයාටද මහත් අස්වැසිල්ලක් වනු ඇත. පසුගිය අවුරුදුවල වැස්ස නිසා කුඩා මට්ටමේ ප්‍රකාශකයන් පීඩාවට පත්වුණු හැටි අපට මතකය.
මෙවර ප්‍රදර්ශන භූමියේ බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන විශේෂ කාරණයක් නම් දැවැන්ත ගොඩනැගිලි කීපයක්ම අලුතින් ඉදිකර තිබීමය. ඒවා වායු සමීකරණය කරමින් ප්‍රකාශකයන්ට මෙන්ම පාඨකයන්ට ද කිසිම කරදරයක් ඇති නොවන ලෙස ඉදිකර තිබෙන්නේ පොත පත තේරීම යනු සැහැල්ලුවෙන් කළ යුතු කාර්යයක් සේ සලකාය. මෙම අලුත් ගොඩනැගිලි කුඩා පරිමාණයේ ප්‍රකාශකයන්ට මහත් පහසුවක් වනු නිසැකය.
පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි විශාල පිරිසෙන් කිහිපදෙනකු සමඟ අප කතා බහ කළේ ඔවුන්ගේ අදහස් දැන ගැනීමේ කැමැත්තෙනි.
අපට මුලින්ම හමු වූයේ නුගේගොඩ පිට ප්‍රදර්ශනයට පැමිණි චාමරය. ප්‍රදර්ශනය පිළිබඳ ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
‘‘මම අවුරුදු ගාණක ඉදන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගි වෙනවා, අවුරුද්දේ අනිත් කාලවලත් පොත් ගැන උනන්දුවෙන් ඉදලා තමයි ප්‍රදර්ශනයට ඇවිල්ලා පොත් තෝර ගන්නේ. මේ පාර ප්‍රදර්ශනයේ මම දකින විශේෂත්වය තමයි පළමුවෙනි දවසේම ලොකු පිරිසක් ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටීම. පොත පත ගැන මෙහෙම උනන්දුවක් ඇතිවීම සාධනීය දෙයක් විදියටයි මම දකින්නේ. ඩිජිටල් මාධ්‍ය ජනප්‍රිය යුගයක වැඩිහිටි තරුණ බාල හැමෝම එක මිටට මේ විදියට පොත් තෝරන්න පැමිණ සිටිම සතුටක්. මම ගොඩාක් කුටිවල ඇවිද්දා එතනදී හොඳ පාඨක පිරිසක් මම දුටුවා. ඒ අතර විදේශීය පාඨකයොත් හිටියා. ඉංග්‍රීසි පොත්වලට වගේම රුසියානු පොත්වලටත් වෙනම කුටි මම දුටුවා. පොත් ප්‍රදර්ශනයට අමතරව සාහිත්‍ය වැඩසටහන් පැවැත්වීමත් සාර්ථක දෙයක් ලෙස මම දකිනවා.
අසේල බුද්ධික පොත් ප්‍රදර්ශනයට පැමිණ තිබුණේ ජාඇළ සිටය. ඔහු ව්‍යාපාරිකයෙකි.
“2011 තමයි මුලින්ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවේ. එතන ඉඳන් විවිධ හේතු නිසා මට ප්‍රදර්ශනයට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. මගේ කාර්ය බහුලත්වය නිසා එන්න බැරිවුණත් මෙහි වටිනාකම ගැන අවබෝධයක් මට තිබෙනවා. හැමෝම තමන්ගේ දින දර්ශනයේ කාලයක් මේ සඳහා වෙන් කරගත යුතුයි. මම නවකතා වැඩිය කියවන්නේ නැහැ. ඒත් අපි දකින ලෝකයට වඩා වෙන ලෝකයක් පොත්වල තිබෙනවා. මිනිසුන්ගේ චින්තනය හදන්න පුළුවන් පොත්වලට.
කොළබිස්සේ සීවලී හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථ හිමිනමකි. උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටා තිබෙන්නේ ගම්පොළය. මේ උන්වහන්සේගේ අදහසයි.
“මම පොත් ප්‍රදර්ශනයට එන හතරවැනි පාර මේ. ප්‍රදර්ශනයේ පළමුවෙනි දවස විදියට ලොකු සෙනඟක් ඉන්නවා. නව දැනුම සොයා ගෙන යන අය විදියට මේ ප්‍රදර්ශනය අපි වගේ අයට වැදගත්. මම ගොඩාක් සාහිත්‍ය සහ දේශපාලනය සම්බන්ධ පොත් කියවන්න තමයි කැමැති. පරිවර්තන සාහිත්‍ය කෘතිවලටත් කැමැතියි.
ප්‍රදර්ශන භූමියේ ඇවිද යන අතරේ අව් රශ්මියෙන් බේරීම සඳහා අප ඇතුළු වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවටය. ජාඇළ සිට පැමිණි කේෂල්‍යා අපට මුණ ගැසෙන්නේ එහිදීය.
“අවුරුදු 4ක් තිස්සේ මම ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. මම වැඩිපුර කියවන්නේ ඉංග්‍රීසි පොත්. ඉංග්‍රීසි පොත්වල අලුතෙන් ආපු පොත් පවා මේ ප්‍රදර්ශනයෙන් මිලදී ගන්න පුළුවන්. අලුත් සිංහල පොත් හොයන පාඨකයන්ටත් මේ ප්‍රදර්ශනය වැදගත්. ගියපාර වගේම හොඳ සෙනඟක් ඉන්නවා. පොත් කියවන හැමෝම එන්න ඕන තැනක්. මම තොරතුරු තාක්‍ෂණ කම්පැණියක වැඩ කරන කෙනෙක්. රැකියාවේ තිබෙන පීඩනය සමහර වෙලාවට මගහැර ගන්නේ මේ වගේ පොත් කියවලා. කියැවීම ඇත්තටම මගේ ප්‍රධානතම විනෝදාංශයක්.
සමන්ති මීරියගල්ල ප්‍රදර්ශනයට පැමිණ තිබුණේ කඩුවෙල සිටය. ඇය ප්‍රදර්ශනය පිළිබඳ දරන්නේ මෙවන් අදහසකි.
“පසුගිය අවුරුදු වගේම ලොකු පිරිසක් ප්‍රදර්ශනයට පැමිණ තිබෙන බව පේනවා. ඒත් මේ පොත් ගන්න තරමට කියවනවාද කියන සැකය තියෙනවා. ඒත් වෙනදාට වඩා පොත් අලෙවි වන බවක් දුටුවා. පොඩි දරුවන්ට වැඩිහිටියන් වැඩිපුර පොත් අරන් දෙන ප්‍රවණතාවක් මම දුටුවා. තාක්‍ෂණික මෙවලම්වලට හුරුවෙලා ඉන්න දරුවන්ව එයින් මුදාගන්න ඒක ලොකු අත්වැලක් වේවි. ළමා සාහිත්‍යයට උනන්දු කෙනෙක් විදියට එහි වැදගත්කම මම දකිනවා. පුංචි කාලේ කියවන්න ඉගෙන ගන්න අපි ලොකු වුණාම ඉගෙන ගන්න කියවනවා. දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේක හොඳ අවස්ථාවක්. ගෙදර සාහිත්‍යමය පරිසරයක් හදන්න වැඩිහිටියන්ට මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
තාරක විපුලගුණ ප්‍රදර්ශනයට පැමිණ තිබුණේ මාතර සිටය. ඔහුගේ සාහිත්‍ය පිපාසාව කොතරම්ද යත් ප්‍රදර්ශනය ඇරැඹුණු පළමු දිනයේම දුර නොබලා ඔහු පැමිණ තිබිණි.
“මේ ප්‍රදර්ශනයේ වැදගත්කම විදියට මම දකින්නේ පාඨකයන්ට වට්ටම් සහිතව පොතපත මිලදී ගන්න අවස්ථාව ලැබීමයි. ලංකාවේම සිටින සියලුම ප්‍රකාශකයන් එකට එකතුවන නිසා පුළුල් තෝරා ගැනීමක් පාඨකයන්ට කරන්න පුළුවන්. ඒ වගේම පොත් විකුණන අයටත් මේ ප්‍රදර්ශනය වැදගත්. මම කුඩා කාලයේ ආවට පස්සේ විටින් විට ප්‍රදර්ශනයට සහභාගී වුණා. මම කියවන්න වගේම ලියන්නත් ආස කෙනෙක්. එහෙම කෙනෙකුට මේ අවස්ථාව සතුටක්.
ප්‍රදර්ශන භූමියේ කව්පොත් සල්පිල අසල දී මට මුණ ගැසුණේ ආචාර්ය …භාග්‍යා අබේසිංහ, ශ්‍රී ලංකා වෘත්තීය උපදේශකයන්ගේ සංගමයේ සභාපතිනිය වන ඇය ප්‍රදර්ශනයේ වටිනාකම මෙසේ පැහැදිලි කළාය.
“මගේ විෂය සහ පොත් අතර සම්බන්ධයක් තියෙනවා. මගේ දේශනවලදීත් මං කවියක් උදාහරණයට ගන්නවා. කවිපොත් සල්පිලට මම හැමදාම එනවා. පාසල් කාලේ වගේම විශ්වවිද්‍යාල කාලයේත් ප්‍රදර්ශනයට ආවා. මේ වගේ පිරිසක් දකින්නට ලැබීම සතුටක්. මං ආස කරන කතුවරුන් දකින්න ලැබීමත් සතුටක්.
ප්‍රදර්ශනයට පැමිණෙන සෑම කෙනෙකුගෙන්ම පුංචි හෝ අදහසක් විමසිය හැකි නම් කොතරම් දේවල් දැන කියා ගත හැකිදැයි මට සිතුණි. එහෙත් එය ප්‍රායෝගික නොවන බව මම දනිමි. උදේ සිට සවස් වන තුරුම පොත් ප්‍රදර්ශන භූමියේ ඔබ මොබ සැරි සැරූ මම තාවකාලික සමුදීමක් දී එතනින් නික්ම ආවෙමි.
(*** සටහන - අමිල චින්තක ගමගේ)

