පළාත් සභා ඡන්දය පිළිබඳව යළි සමාජයේ විවිධ පාර්ශ්වවල කතාබහට ලක්වෙමින් තිබේ. එහෙත් මා නම් කල්පනා කරන්නේ පළාත් සභාව සාමාන්‍ය බහුතර ජනතා ඡන්දයෙන් ස්වකීය නියෝජිතයන් පත් කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ක්‍රියාකාරීත්වය මත හටගත් පිළිලයක් බවය. දේශපාලන විකෘතියක් බවය.
ව්‍යවස්ථාගත ඒකාධිපතිත්වයක් පෝෂණය කරන රහසිගත ව්‍යායාමයක් බවය. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කූට ලෙස උදුරාගත් පාලක පන්තියේ දේශපාලන බල මෙහෙයුමක් බවය.
එපමණක් නොව පළාත් සභාව යනු සමානුපාතික මැතිවරණ ක්‍රමයක් මගින් සැබෑ ජනතා නියෝජිතයන්ට ප්‍රාදේශීය පාලනයට එකතු වන්නට බැරි ආකාරයට අටවන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී මර උගුලකි. කළු සල්ලිකාරයන්ට සහ අපරාධකාරයන්ට බලහත්කාරයෙන් ප්‍රාදේශීය පාලනයට කඩා වැදීමට දොරටු හැර දෙන කූට උපායකි.
පළාත් සභා අක්‍රීය වී මේ වනවිට අවුරුදු හය හතක් ගත වී තිබේ. සබරගමුව පළාත් සභාවත් නැගෙනහිර පළාත් සභාවත් අක්‍රීය වී මේ වනවිට වසර අටකටත් වැඩිය. සෙසු පළාත් සභා අක්‍රීය වී වසර හයකටත් වැඩිය. එයින් එක් ප්‍රධාන කාරණයක් නිරීක්ෂණය කළ හැකිය. එනම් මේ දිගු කාලය තුළ මේ රටේ පළාත් සභාව ක්‍රියාත්මක වී නැති බවය. පළාත් සභාව එසේ ක්‍රියාත්මක නොවුණා කියා මෙරට සමාජ දේහයට හෝ සංවර්ධන ක්‍රියාවලියට හෝ සිදු වූ හානියක් නැත. පළාත් සභාව නොමැති වීමෙන් රටේ පොදු ජනතාවට එහි අඩු පාඩුවක් දැනුණු බවක් ද පෙනෙන්නට නැත. එයින් පැහැදිලි වන්නේ පළාත් සභාව යනු ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ අමතර දෙයක් බවය.
එම නිසා අපේ රටට පළාත් සභාව ඇත්තටම අවශ්‍ය ද යන කාරණාව පිළිබඳව බුද්ධිමත්ව යෝනිසෝමනසිකාරයෙන් කල්පනා කර බලන්නට මේ ගත වූ වසර හත අට හොඳටම ප්‍රමාණවත් ය. ඒ සඳහා සුදුසු තීරණයක් ගැනීමට හොඳම කාලය මෙය ය. මේ රටේ පොදු මහ ජනතාව, ආගමික නායකයන්, දේශපාලන නායකයන්, බුද්ධිමතුන්, සියලුදෙනාම දැන් කල්පනා කර බැලිය යුත්තේ පළාත් සභාව අවශ්‍ය ද යන කාරණයයි. මේ ඊට වඩාත් සුදුසු අවස්ථාව හා කාලයයි. කැමැති නම් ඒ සඳහා නායකත්වය දීමට ආණ්ඩුවට හැකිය. විපක්ෂයට වුවත් ඒ සඳහා හැකියාව ඇත. කවරකු නායකත්වය ලබා දුන්නත් එය හොඳ හිතින් අවංක පිරිසුදු චේතනාවෙන් කළ යුතුය. වඩාත් යහපත් පළාත් පාලන ක්‍රමයක් ඇති කර ගැනීමේ අරමුණ ඒ තුළ තිබිය යුතුය. විශේෂයෙන්ම ජාතික, විජාතික හා රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම්වලට ගොදුරු නොවී පුළුල් මහජන මතයක් මේ සම්බන්ධයෙන් ඇති කිරීම වඩාත් වැදගත් වේ.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 1978 ව්‍යවස්ථාව එන තුරුම මේ රටේ ප්‍රාදේශීය පාලනය ගැටගැසී තිබුණේ ගම් සභාව සහ පළාත් ආණ්ඩු සභාව සමගය. පැරැණි ක්‍රමය යටතේ ගම් සභාවේ නියෝජිතයන් කටයුතු කළේ තඹ සතයක හෝ වැටුපක්, දීමනාවක් හෝ ගැනීමෙන් නොව ස්වෙච්ඡාවෙනි. එහි දී සිදු වූයේ තමන්ගේ ගමේ පළාතේ ප්‍රාදේශීය පාලනයට ජනතාව සහභාගී වීමය. ඔවුන් පෙනී සිටියේ දේශපාලන පක්ෂ පාට වෙනුවෙන් නොවේ. එයින් පැහැදිලි වන්නේ මීට කලකට පෙර ඉතා විධිමත් ප්‍රාදේශීය පාලනයක් මේ රටේ පැවැති බවය. එම ප්‍රාදේශීය පාලනයේ ඉහළම තත්වය මහ නගර සභාව බවට පත් වී තිබිණ. එසේ නම් ඒ යහපත් තත්වය නැති වූයේ කෙසේද? එය ඉතාම ගැඹුරින් හා විනිවිදභාවයෙන් සාකච්ජා කළ යුත්තකි.
පළාත් සභා සංකල්පය මෙරටට පැමිණියේ ජේ.ආර්. ජයවර්ධන මහතාම ඉන්දියානු විරෝධී මතයක පිහිටා සිට අවුළුවාගත් අර්බුදය නිසාය. කොටි සාමාජිකයන් පුහුණුව ලැබුවේ ඉන්දියාවේය. අවසානයේ ජේ.ආර්. සතුව පැවැතියේ අපේ තෙල් ටැංකි ටික ඇමෙරිකාවට ලබා දෙන සැලසුමකි. මේ ප්‍රශ්න උග්‍ර වීමෙන් අවසානයේ සිදුවූයේ ඉන්දියානු විරෝධී මතයකට අපේ රට ඇද දැමීමකි. එහෙත් ඉතිහාසය පරීක්ෂා කර බැලුවොත් පැහැදිලි වන්නේ අපේ රටේ යහපත් පරිසරයක් නිර්මාණය වී ඇත්තේම ඉන්දියාව සමග සමගිව කටයුතු කළ මනා සබඳතා පැවැති අවස්ථාවල දී බවය. උදාහරණයකට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයෙහි පැවැතියේ එවැනි යහපත් මනා සබඳතාවකි. එය නරක අතට පෙරළා ගත්තේ ජේ.ආර්. ජයවර්ධනය. ජේ.ආර්ගේ ආණ්ඩුවට අවශ්‍ය වූයේ බලයට පැමිණි පසු ප්‍රාදේශීය මට්ටමේ මහජන සංවිධනවලට මුහුණ නොදී සිටීමටය. ගම් සභාව අහෝසි කළේ එබැවිනි. ප්‍රාදේශීය පාලනයට අයත් අනෙක් ආයතන ද අහෝසි වීමට ඉඩ හැරියේය. ඒ වෙනුවට ජේ.ආර්ගේ ආණ්ඩුව සංවර්ධන සභාව ගෙනාවත් එය ක්‍රියාත්මක වූයේ නැත.
එපමණක් නොව අපේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවූ විලාසයෙන් අර්බුදය තවදුරටත් බලවත් වන්නට විය. එම අවධියේදී ඉන්දියාවට විරුද්ධවත් ඇමෙරිකාවට පක්ෂවත් ගත් යම් යම් තීන්දු තීරණ නිසා අවසානයේ සිදු වූයේ මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට අත පොවන්නට ඉන්දියාවට හොඳින්ම අවස්ථාව සලසා දීමය. ඉන්දියන් හමුදාව මෙරටට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එතැනින් නොනැවතුණු ඔවුහු ගුවනින් යාපනයට පරිප්පු හෙළූහ. ඉන්දියානු විරෝධියකුව සිටි ජේ.ආර්. ට අවසානයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන්නට සිදු විය. මේ තරම් දක්ෂයැයි සිතා සිටි පාලකයා අපේ ව්‍යවස්ථාවට පවා අත පොවන්නට ඉන්දියාවට ඉඩ හැරියේය. මේ කාරණය බොහෝ දෙනා අමතක කර ඇති එකකි.
කෙසේ වෙතත් මේ මැදිහත්වීමේ ප්‍රතිඵල ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නට සිදුවිය. එයින් පළාත් සභා සම්මත විය. මේ අනුව ගැඹුරින් විග්‍රහ කර බැලුවොත් දැන් අපේ ව්‍යවස්ථාව බාගයක් ශ්‍රී ලාංකික බාගයක් ඉන්දියානු සම්මිශ්‍රණයක් සහිත එකකි. එහෙත් මේ සැබෑ තත්වය අද වනතුරු කිසිවකු ගැඹුරින් සාකච්ඡාවට ලක් කරන බවක් නොපෙනේ. මේ සමස්ත අභ්‍යන්තරය තේරුම් ගැනීමේ දී පළාත් සභා යනු මහජනතාව මත පැට වූ පාපකර්මයකි. මේ කියන පළාත් සභා ක්‍රියාවට නැංවීමකින් තොරව දැන් අපි වසර හත අටක් ගත කර ඇත්තෙමු. එහෙත් එය නැතැයි කියා ඉහෙන් බහින රෝගයක් මෙරට සමාජයට වැළැඳී නැත. එසේ නම් දැන් අප කළ යුතුව ඇත්තේ නැවතත් අපේ ප්‍රාදේශීය පාලනය පිළිබඳව සිතා ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. ඒ සඳහා ප්‍රබල මහජන මතයක් ඇති කිරීමය දැන් කළ යුතු වන්නේ. එය නූල් සූත්තරවලින් තොර එකක් විය යුතුය.
සමානුපාතික ඡන්ද ක්‍රමයකට අපට යන්නට සිදුවන්නේ ද පළාත් සභා සංකල්පය නිසාය. එම ඡන්ද ක්‍රමයෙන් දොර හැර දුන්නේ කාටදැයි ආපසු හැරී බලා කල්පනා කිරීම වටී. කළු සල්ලිකාරයන්, අපරාධකාරයන්, ජාවරම්කාරයන්ට පළාත් සභාවල දොර හැරුණේ කුමන හේතු නිසාදැයි සිතා බැලීම වටී. මෙය නැවත පිරිසුදු කිරීමේ දී අලුතින් සිතා බැලිය යුතුව ඇත. අලුතින් සිතා බැලීමේ දී පළාත් සභාව තවදුරටත් අවශ්‍ය ද යන්න තීරණය කළ යුතුව ඇත.
ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. සාකච්ඡාව අවශ්‍ය වන්නේ එය කෙසේ සකස් කළ යුතුද යන්න පිළිබඳවය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් ඒ රටේ බලය විමධ්‍යගත විය යුතුය. එහෙත් බලය විමධ්‍යගත කිරීමේ දී අප තෝරා ගන්නා ඒකකය කුමක්ද? ඉන්දියාව යනු අපේ රට මෙන් හැට ගුණයකට වඩා විශාල රටකි. එහි ප්‍රාන්ත රාජ්‍ය තිබෙන බව සැබෑවකි. එහෙත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් තරම්වත් විශාල නොවේ. එසේ තිබිය දී ඉන්දියාවේ පරිපාලන සැලසුම අපේ රටට ගැළපිය හැකිද? අපේ රටේ සැකසිය යුත්තේ එහි භූමි ප්‍රමාණය, පිහිටීම්, භූ විෂමතා ආදිය සැලකිල්ලට ගෙන අපේ රටට ගැළපෙන පරිපාලන බෙදීමකි. එය තීන්දු කරගත යුත්තේ අපේ රටමය. බලය බෙදන ඒකකය කුමක්ද යන්න අපි තීරණය කළ යුත්තෙමු.
මගේ යෝජනාව නම් බලය බෙදීමට ගැළපෙන ඒකකය පළාත නොව දිස්ත්‍රික්කය බවයි. පළාත් වශයෙන් බෙදෙන විට රට බෙදෙන බවට අතාර්කික මතද පසුගිය කාලයේ අසන්නට ලැබිණ. පටු ජාතිවාදී ආගම්වාදී මත පතුරුවා හැරීමට ද මෙය පසුගිය කාලයේ යොදා ගත් බව පෙනිණ. එවැනි චෝදනාවලට පවා මේ දිස්ත්‍රික් බෙදීමෙන් පිළිතුරක් ලැබෙනු ඇත. බලය විමධ්‍යගත කිරීමේ බලවත්ම ඒකකය පළාත නොව දිස්ත්‍රික්කය බවට වන මතය ජනතාව තුළ තහවුරු කළ යුතුය. ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහනගර සභාවට පසු දිස්ත්‍රික් සභා ශක්තිමත් කර ඒවාට බලය ලබා දිය යුතුය. මේ අනුව බලය විමධ්‍යගත කළ හැකි ඉහළම පරිපාලන ඒකකය දිස්ත්‍රික්කය වනු ඇත. එසේ කිරීමේ දී පළාත් නියෝජනය කරන ආණ්ඩුකාරවරුන් ඉවත්විය යුතුය. ආණ්ඩුකාරයා යනු ආණ්ඩුවේ නියෝජිතයකු වන බැවිනි.
එහෙත් මේ දිස්ත්‍රික් සභාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වන විදියට කටයුතු කළ යුතුය. මගේ යෝජනාව නම් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ පැවැති විධායක කාරක සභා ක්‍රමය භාවිතයට ගැනීමය. එම විධායක කාරක සභා ක්‍රමයේ ප්‍රධාන කාරණා හතක් දක්නට ලැබේ. ස්වදේශ කටයුතු, කෘෂිකර්ම හා ඉඩම් සංවර්ධන, පළාත් පාලනය, සෞඛ්‍ය කටයුතු, කම්කරු කර්මාන්ත සහ වානිජ්‍ය, අධ්‍යාපනය සහ තැපැල් හා ප්‍රසිද්ධ වැඩ එම අංශ හතයි. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පත් වූ මහජන නියෝජිතයන් කටයුතු කළේ මේ කියන කාරක සභා හත යටතේය. අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළේ මේ කාරක සභා හතේ සභාපතිවරයාය. එය ඉතා සාර්ථක ක්‍රමයකි. එය ඒ අන්දමටම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් එයින් ප්‍රබල ආදර්ශයක් ලබාගත හැකිය.
එහෙත් පළාත් සභාවේ දී අප පත් කරගත් අමාත්‍යවරුන්ට නිවාස, පඩි නඩි ලේකම්වරුන් ලබා දෙමින් විශාල මුදලක් වියදම් කිරීමට සිදු විය. ඒ වෙනුවට දිස්ත්‍රික් සභාවට පත් වන මහජන නියෝජිතයන් විධායක කාරක සභාවක් බවට පත් කළ හැකිය. ඇතැම් විට විවිධ පක්ෂවලින් මෙම නියෝජිතයන් පත් විය හැකිය. පළාත් පාලනයේ දී දැන් අප කල්පනා කළ යුතුවන්නේ එවැනි ක්‍රමයක් ගැනය. එසේ වුවහොත් මහජනතාවගේ අයිතිවාසිකම් රැකෙන අන්දමින් කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පවා මෙම විධායක කාරක සභා ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රසාදයෙන් හා උනන්දුවෙන් සිටි බව පෙනේ.
එබඳු විධායක කාරක සභාවක් ඇතිවුවහොත් ඉන් පහළ තිබෙන ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා පාලනය කිරීමට එම සභාවට හැකි වනු ඇත. ප්‍රජාතන්තවාදය ආරක්ෂා කිරීමට ද එමගින් අවස්ථාව ලැබෙනු ඇත. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් හැකිතරම් දිස්ත්‍රික් සභාවෙන් ඈත් කළ යුතුය. ප්‍රාදේශීය පාලනයේ ගෙල සිර කිරීමට පාර්ලිමේන්තුවට ඉඩ නොතැබිය යුතුය. මගේ යෝජනාව නම් දැන් මේ පළාත් සභා සංකල්පය ඉවත් කර ඒ වෙනුවට විධායක කාරක සභා ක්‍රමයක් ඇති කිරීම වඩාත් කාලෝචිත බවය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)

