පළාත් සභා ඡන්දෙන් වෙනසකට ආරම්භයක්


ආණ්ඩුව රට තුළත් ජාත්‍යන්තරයේත් හොඳටම අනාථව ඇති බවට විපක්ෂය විග‍්‍රහ කරද්දී ජනතාවට අධික ජීවන බර විරැකියාව තිබියදී නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව ඝාතන හා ළමා අපචාරවලින් සමාජය කිළිටි වෙද්දී ළඟ එන පළාත් සභා 03 ක මැතිවරණ ගැන අනුරාධපුර  දිස්ති‍්‍රක්  එජාප    මන්තී‍්‍ර පී. හැරිසන් මහතා කරන විග‍්‍රහයකි මේ. ප‍්‍රශ්නය: එජාපය ඇතුළු විපක්ෂය මේ ආණ්ඩුවට දැවැන්ත චෝදනා රැසක් එල්ල කරමින් සිටිනවා. ජීවන බර වැඩියි. පඩි වැඩි කරන්නෙ නෑ. සහන නෑ. රැකියා නෑ. නීතිය ක‍්‍රියාත්මක වීමේ ස්වාධීන බව නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ, ජාත්‍යන්තරය තුළ රට අනාථ කළා. ණය බර අහසට නැගලා ආදී චෝදනා මැද රටත් ජනතාවත් ආණ්ඩුවත් අර්බුදයක සිටියදී එක පාරටම පළාත් සභා තුනක් විසුරුවන්න ආණ්ඩුව ක‍්‍රියා කිරීම ගැන එජාපය කම්පනයට පත් වුණේ නැද්ද? පිළිතුර: අපි කම්පනයට පත්වෙන්නෙ මොකටද වසර 18ක් මේ රට පාලනය කරපු මේ ආණ්ඩුවට රටේ ප‍්‍රශ්න විසඳා ගන්න බැරි වුණාම ඒ අයයි කම්පනයට පත් විය යුත්තේ. මේ ආණ්ඩුව යටතේ රටට සිදුවූ එකම දේ රණවිරුවන් ජීවිත පුදා ත‍්‍රස්තවාදය මර්දනය කිරීම විතරයි. හොරකම ඇරෙන්න මේ ආණ්ඩුවට අබමල් රේණුවක සේවයක් රටට කරන්න පුළුවන් වුණාදැයි හිතල බලන්න. අපි මේ ආණ්ඩුවේ නොහැකියාව ගැන දැක්වූ සියලූ චෝදනා ඉතා නිවැරදි බව රටම පිළිගන්නවා. අද මේ රට දෙපයින්  නොවෙයි හොම්බෙන් යන්නේ. 1948 ඉඳලා මේ රට ගත් ණය මෙන් දෙගුණයක් 2005 සිට මේ දක්වා මෙයාලා අර ගත්තා. අදත් ණය ගැනීමෙන් තොරව රට පාලනය කරන්න මොවුන්ට බෑ. එජාපය ණය අරන් මහවැලිය හැදුවාට මේ අය දැන් ණය ගන්නේ රට හදන්න නොවෙයි. ඔවුන් ගත්ත ණය හා පොලී ගෙවන්නයි. එහෙව් වැඩ බැරි පාලකයො ඉන්න රටකට අනාගතයක් තියේවිද? අනික කෘෂිකර්මයේ දියුණුවක් නෑ. බෝඞ් විතරයි. නිෂ්පාදනය ඉහළ දැමීමත් නෑ. දේශීය දේශීය කියලා කයිවරු ගැහුවාට අල්පෙනෙත්තත් රටිනුයි ගේන්නේ. රැකියා උත්පාදනයක් නෑ. යුද්දෙ නිම වුණාමත් ආයෝජකයෝ එන්නේ නැත්තේ මේ රට උතුරු කොරියාව කියුබාව වගේ ලෝකය තුළ හුදකලා වූ මානව හිමිකම් කඩන නීතියක් ක‍්‍රියාත්මක නොවන බලය පිටුපසම යන ඒකාධිපති රටක් ලෙස ඔවුන් හිතන නිසයි. අනික මේ රට තුළ අද හොරකම ඝාතන අපචාර උතුරලා. ආණ්ඩුවේ ඇතැම් අය ගසා කෑම්වලින් හම්බ කරපු රු. ලක්ෂ 11,000ක් ගිය වසරේදී පමණක් ස්විස් බැංකුවේ නැම්පත් කර තිබෙනවා. ජනතාවට අනාගතයක් නෑ. පවුල් කීපයක් සුරසැප විඳිනවා. මේ ක‍්‍රමයට ජනතාව කැමතිද නැත්නම් තමන්ගේ අනාගතය වෙනුවෙන් වෙනසක් කරනවද කියලා ජනතාව දැන් තීන්දු කළ යුතු වෙනවා. ළඟම හෙංචයියන් ආණ්ඩුවේ ආයතනවල පුරවලා. ඔවුන්ට කරන්න වැඩක් නෑ. අනික වැරදි කරන කාටවත් මේ ආණ්ඩුව තුළ දඬුවම් නෑ. ඊට හේතුව ආණ්ඩුවේ ඉහළම සිට පහළ දක්වා සියලූ දෙනාම වැරදි කිරීමයි. හොඳටම නාගන්න ආණ්ඩුව පළාත් සභා 03 විසුරවලා සියලූ බලය දාලා දිනාගෙන රට තුළ හා ජාත්‍යන්තරයේ ඇති සියලූ කුණු වහගන්නයි ආණ්ඩුව බලන්නේ. ඒත්  අතීසාරයට අමුඩ ගහලා නවත්තන්න බැරි බව ජනතාව මෙවර මැතිවරණයේදී ආණ්ඩුවට කියාදේවි.   ප‍්‍රශ්නය: උතුරුමැද නැගෙනහිර ඇතුලූ පළාත් සභාවල ආණ්ඩු පක්ෂය මැතිවරණ එපායයි ජනාධිපතිට ලිපි පවා බාර දුන්නා කියන්නේ ඇත්තද? පිළිතුර: ඔව්. මේ පළාත් සභාවල නිල කාලය ඉවර වෙන්න තව වසර 1 1/2ක් තියෙනවා. කලින් ඡන්දවලට යාමෙන් ජනතාවට වෙන සෙත මොකක්ද? ජනතාව ඉල්ලූවේ වගාවට ජලය, ජීවන බර සහන, රැකියා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නීතිය හරිහැටි ක‍්‍රියාත්මක හා හොරකමින් තොර සමාජයක් බිහි කරන්න කියලයි. ඒත් ආණ්ඩුව ජනතාවට කියන්නේ කෑම නෙවෙයි ඡන්ද කාපල්ලා කියලයි. ජනපතිට ලිපි ලියලා සන්ධානයේ අයම කිව්වෙ ඡන්ද තියන්න එපා. නියඟයෙන් හා ජීවන බරෙන් ඔවුන් අනාථවෙලා ඉන්නේ කියලයි. ඒත් බල ව්‍යාපෘතිය අනුව පාලකයන් මේක විසිරෙව්වා. හිටපු පළාත් සභාව පළාත්වලට කරපු සේවයක් නැති බව යටිහිත් දන්න නිසාත් ඔවුන් මා කී ලිපිය ලිව්වා වෙන්න පුළුවනි.   ප‍්‍රශ්නය: ඒත් එජාපය තුළ කැරලිකරුවන් පිරිසක් දිගින් දිගටම අරගල කිරීමේ වාසිය ආණ්ඩුවට ලබාගැනීමට මේ ඡන්දය පවත්වනවා වෙන්න බැරිද? පිළිතුර: එජාපය තුළ සුළු අරගලයක් තිබුණත් ජනතාවට දැන් ඒවා වැඩක් නෑ. මේ ආණ්ඩුව තිත්තවෙලා විකල්පයක් සොයමිනුයි ජනතාව ඉන්නේ. ඒ නිසා එජාපයේ කවුරුත් දැන්වත් අරගල නවතලා ජනතාව ගැන සිතිය යුතුයි. ගම්වල අය කියන්නෙම පක්ෂයේ ප‍්‍රශ්නය ඉවර කරන්න කියලයි. ඡුන්දවලින් එජාප නායකයා නියෝජ්‍ය නායකයා සාධාරණව පත්වුණා. දැන් ප‍්‍රශ්න තියෙන්න විධියක් නෑ. මේ ඡන්දවලට එජාපය එකාවගේ කරගහල ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වෙනවා. එහෙම නොකළොත් ජනතාව අපට ගහවි. ඒත් අද මේ ආණ්ඩුව ඇතුලේ කොච්චර අය ගහ මරා ගන්නවද? අද පාලකයන්ට එරෙහිව ආණ්ඩුවේම මන්ත‍්‍රීවරු 60ක් විතර ලොකු විරෝධතාවක ඉන්නේ. ඒවා වෙලාවට එලියට පනීවි. ඒ නිසා මේ පළාත් සභාවේදී වෙනසකට මුල පිරීම ජනතාවගේ වගකීමයි.   ප‍්‍රශ්නය: මේ ආණ්ඩුව හා මේ පළාත් සභාවලට ජනතාව ඡන්දය නොදිය යුත්තේ ඇයි? යන පැනය  ඔබ මතුකළත් මෙතෙක් පැවැති සියලූ මැතිවරණ ආණ්ඩුව ජය ගත්තේ එජාපය ඇතුලේ විපක්ෂය මෙවැනිම චෝදනා කරද්දී නේද? පිළිතුර: ජනතාවට දේශීයත්වය දේශපේ‍්‍රමය පොවලා වල්මත් කරලා ආණ්ඩුව මෙතෙක් ඡන්ද දිනුවේ. තමන් රැවටුණා කියලා ජනතාවට තේරුම් ගියේ ඡන්ද ඉවර වුණාමයි. ජනතාව දැන් යළි රවටන්න බෑ. අනික මේ අය ජනතාව නොමග යවන බොරු පොරොන්දු දෙනවා. ගියවර පළාත් සභා ඡන්දයට ලබා දුන් පොරොන්දුවලින් 99%ක් අමතක කරපු හැටි සොයා බලන්නැයි මම ජනතාවට කියනවා. නිදසුනකට උතුරුමැද මහ ඇමැති ගනිමු. හතරවැනි වතාවටයි එයාට මේ බලය ඉල්ලන්නේ. ගමනක යළි ඇරඹුම” කියලා ඔහු මෙවර පෝස්ටර් ගහන්න වසර 17ක් තමන් කළ සේවයක් නැති බව ඔහුම පිළිගන්නා නිසාද කියලා අපි අහනවා. මේ පළාතේ අධ්‍යාපනය කෘෂිකර්මය සෞඛ්‍ය ඇතුළු සියලූ දේ මෙයාලා විනාශ කළා. පළාත් සභාවේ සන්ධානයේ අය සාමූහිකව කරපු එකම වැඬේ ජනතා මුදල් ගසා කෑමයි. පාර්ලිමේන්තුව අවට ගෙවල් කීයක් අයිතිද නැව් කීයක් තියෙනවද කියල අප මෙයාලගෙන් අහනවා. ජනාධිපති විමර්ශන ඒකකය විවිධ අවස්ථාවල මෙයාලගෙ ගසාකෑම් එළි කළත් ඒවා යට ගියා. එහෙම පිරිසක් යළි පත් කළොත් ජනතාවට බුදු සරණයි. ගියවර පොරොන්දු වුණේ වැව් අමුණු බන්දලා ජලය රැකලා ගොවිතැනට නිසි පහසුකම් හා කෘෂි නිෂ්පාදනවලට නිසි වටිනාකම් දෙන බවයි. අද කෘෂිකර්මයට තියා ජනතාවට බොන්නවත් වතුර නෑ. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙනවා. මේ අයට ගාණක් නෑ, දැන් ලංකාවේ අඩුම අධ්‍යාපන මට්ටම තියෙන්නේ උතුරුමැදයි. මේ රටේ විභාග ගැන සිසු දරුවන් මව්පියන් කාටවත් විශ්වාස නෑ. විභාග ආරවුල් පටන් ගත්තේ උතුරුමැදින්. දැන් ඉසෙඞ් අගය වැරදියට ගණන් හදලා සිසුන් ලක්ෂ ගණනකට අසාධාරණයක් කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එහි වගකීම බාරගෙන වැරදි නිවැරදි කරන්න ආණ්ඩුව සූදානම් නෑ. අන්තිමට වරද කළේ විභාගයට ගිය සිසුන්ද කියල අපි අහනවා. එහෙම සන්ධානයටද යළි බලය දිය යුත්තේ.   ප‍්‍රශ්නය: ඒත් මේ ආණ්ඩුව යටතේ ”දැයට කිරුළ” හරහා අනුරාධපුරයට දශ ලක්ෂ 23,000ක් වැය කළා. පූජා භූමිය පිළිසකර කිරීම. ගොවිතැනට යටිතල හා නව වාරිමාර්ග එනම් මොරගහකන්ද වැනි දේ හරහා විශාල සේවයක් සිදුකළේ නැද්ද? පිළිතුර: දැයට කිරුළ මහා මුදල් විනාශ්‍යට රු. දශලක්ෂ 23,000ක් යට කළා. ඒත් මිනිස්සු 500කට සෙතක් වුණාද? නාස්තිය දුෂණය හා සෝබනය විතරයි එතැන තිබුණේ. ගෙවල් 50ක් හැදුවා. ඒවාට ලයිට් වැසිකිළි හා වතුරවත් බහුතරයකට දීලා නෑ. මාධ්‍ය සංදර්ශනයක් ”දැයට කිරුළ” කියන්නේ. ඒ භූමියේ තිබූ වටිනා ගස් ටික කැපුවා. හරකෙකුට කන්න අද එතන තණකොළත් නෑ. ඇති කරපු පොදු යටිතල ආපසු ගලවාගෙන ගියා. ඒත් එජාපය එදා ගම්උදාව කරපු හැම තැනකම ඒ ප‍්‍රදේශයටම විශාල සංවර්ධනයක් ගෙනාවා. පණ්ඩුලගම 84 ගම් උදාවේ ගොඩනැගිලිවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රාදේශීය සභාව හා තවත් රජයේ කාර්යාල පිහිටුවා තිබෙනවා. 93දී මිහින්තලේ ගම්උදාව ගොඩනැගිලිවල රජරට විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙනවා. මිහින්තලේට රේල් පාරත් හැදුවා. ඒත් දැයට කිරුළ කියන්නේ සංදර්ශනයක් හා ගසා කෑමක් විතරයි.   ප‍්‍රශ්නය: උතුරුමැද ඇතුළු මේ රටේ ජීවනාලිය ගොවියා හා කෘෂි කර්මාන්තයයි. ඒත් අද රටපුරා ගොවිතැන ජලය නැතිකම තුළ අනාථයි. ජලය හිඟ වුණේ නියඟය නිසා නොව ආණ්ඩුවේ ජල කළමනාකරණයේ දුබලකම නිසා බවට එජාපය තර්ක කරන්නේ කවර පදනමකින්ද? පිළිතුර: මේ ආණ්ඩුව දේශීයත්වය ජාත්‍යාලය කියලා මිනිස්සු රැවටුවාට  ආණ්ඩුවේ හදවත්වල එහෙම එකක් නෑ. මේ රටයි උතුරු මැදටයි විශාලම සේවය කළේ එජාපයයි. එජාපය එදා මහවැලිය හදනකොට අද මේ ආණ්ඩුවේ අය කියපු කතා ජනතාවට මතකයි. අපි මහවැලිය කඩිනම් නොකළා නම් අද මේ රටේ කෘෂිකර්මයට ජලය හා 60%ක විදුලියක් නෑ, උතුරු මැදට කන්න දෙක වගා කරන්න ලැබුණේ මහවැලියෙනුයි. රජරට ප‍්‍රධාන වැව් ජලයෙන් පිරෙව්වේ මහවැලියයි. ඊට පස්සේ මුල් වතාවටයි. රජරට යල කන්නය මෙවර විනාශ වුණේ. ඒකට ප‍්‍රධාන හේතුව නියඟය නොවෙයි. රජරටට හැමදාම නියඟය එනවා. ඒත් මීට මාස 05කට පෙර වැව් උතුරන්න ආපු වැස්සෙන් පිරුණු ජලය නිසිලෙස කළමනාකරණය කර ගන්න මේ ආණ්ඩුවට මොළේ  තිබුණේ නෑ. ඒකයි වුණේ. ගොවියා හා ජලය ගැන පපුවේ කැක්කුමක් ඇති මිනිස්සු මේ ඇමැතිකම් නොදැරීම ඊට හේතුවයි. ජනතාවගේ හා ගොවියාගේ දේ ගසාකෑම විනා ඔවුන්ට සේවය කරන්න මේ අයට අවශ්‍ය නෑ. මොවුන් ගොවි විශ‍්‍රාම වැටුපත් උලාකෑවා. ජනතාව රටවලා ඡන්ද අරන් මේ අය හැදෙනවා විතරයි. 94 දී හිටපු තත්ත්වයයි අද මෙයාල ඉන්න තත්ත්වයයි ගැන හිතල බලන්න කියල මම ජනතාවට කියනවා. එදා මෝටර් සයිකලයක් නොතිබූ අයට දැන් නැව් අයිතියි. නැව් අයිති උතුරුමැද පළාත් සභාවේ අය කවුද කියලා මම ආණ්ඩුවෙන් අහනවා. මේ ආණ්ඩුවේ ඇමැති පුතෙක් පත්තරේක කියලා තිබුණා එයාගෙ වාහනේ රු. ලක්ෂ 400ක් වෙනවා කියලා. එයාට සිකියුරිටි 06 දෙනෙක් ඉන්නවා කියලත් තිබුණා. ජනතාවට එදාවේල කන්න නොදී මේ ආණ්ඩුවේ අය කරන මේ ගසා කෑමට එකඟ නම් යළිත් මේ අයම පත් කරන්න කියල මම ජනතාවට කියනවා. හොරකමට අමතරව අද ළමා අපචාර 750ක් අන්තිම මාස 05ට සිදුවී තිබෙනවා. ඒ සියල්ල පිටුපස ඉන්නේ ආණ්ඩුවේ සමහර දේශපාලකයන්. මේ ආණ්ඩුවේ වැරදි කරන අයට කිසිම දඬුවමක් නැති නිසයි ඔවුන් රටත් ජනතා මුදලූත් ළමා පරපුරත් විනාශ කරමින් සාරය උරා බොන්නේ. නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළ දමමින් හිතෙන හිතෙන විදියට අද මිනී මරන්නෙත් අතුරුදහන් කරන්නෙත් ඒකයි. මේ රටට මේ විදියට තවත් ඉදිරියට යන්න දීලා රටත් ජනතාවත් තමන් විසින්ම විනාශ වෙනවද නැතිනම් මේ පළාත් සභා තුළින් වෙනසකට මුල පුරනවද කියලා ජනතාව තීන්දු කළ යුතු වෙනවා.
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග