පළාත් සභා ගමන් මග කොයිබටද?


පළාත් සභා ආයතන ක්‍රියාත්මක නොවීම හා ඒවායෙහි මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් විවාදාත්මක සාකච්ඡාවක් උද්ගතව තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණ ආකෘතිය පාලන ව්‍යුහ තුනක් අනුසාරයෙන් ගොඩ නැගී ඇත. මධ්‍යම ආණ්ඩුවේ පාලන ව්‍යුහය, 1987 දී බලාත්මක කෙරුණු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් පළාත් සභා ව්‍යුහය සහ පළාත් පාලන ආයතන ව්‍යුහය යනු ඒවා ය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය මේතාක් සිදු වූයේ මෙම පාලන ව්‍යුහ මධ්‍ය කොටගෙන ය. එහෙත් ඉන් එක් කොටසක් වන, පළාත් සභා මේ වෙනවිට අක්‍රීය වී ඇත. මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය තෝරා පත් කර ගැනීම සඳහාත් පළාත් සභා හා පළාත් පාලන ආයතන සකස් කිරීම සඳහාත් සමානුපාතික නියෝජන ක්‍රමය පදනම් වූ වෙන් වෙන් මැතිවරණ පැවැත්වේ.

වසර 2014 න් පසු පළාත් සභා මැතිවරණ පවත්වා නැත. ඊට ඉවහල් වූ හේතු විමසා බැලීම වැදගත් ය. මේ වනවිට කිසිදු පළාත් සභාවක් ඒවායෙහි ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල මගින් පාලනය සිදු නොවේ. පළාත් සභා පූර්ණ වශයෙන් අක්‍රීය තත්වයක නොපවතින බව එයින් අදහස් වන්නේ නැත. ඒ, ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පළාත් සභා මේ අවස්ථාව වනවිටත් ක්‍රියාත්මක වන නිසා ය. පළාත් සභාවක වසර පහක නිල කාලය අවසන් වූ පසු මැතිවරණ පැවැත්වීම අනිවාර්ය වන අතර යම් ගැටලු‍කාරී තත්වයක් හේතුවෙන් 2014 සිට මේ දක්වා පළාත් සභා මැතිවරණ පවත්වා නැත.

මෙපරිදි පළාත් සභා අක්‍රීය වී තිබීම ගැන රට අභ්‍යන්තරයේ මතු නොව ජාත්‍යන්තර තලයේත් අවධානය යොමු ව ඇති බවක් දැකිය හැකි ය. ඊට දැක්විය හැකි ආසන්නතම උදාහරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්න කර තිබීම සහ අප්‍රසාදය පළ කර තිබීම ය. එමගින් ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමේ ආයතන ව්‍යුහය දුර්වල වීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සාවධාන වෙයි. ඉන්දියාවත් දිගින් දිගටම පළාත් සභා ක්‍රමය බිඳවැටී තිබීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරයි. මෙනයින් පළාත් සභා ක්‍රමය අක්‍රීය වී තිබීම හා මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු‍කාරී තත්වයක් උද්ගතව ඇත.

සමානුපාතික නියෝජන ක්‍රමය පිළිබඳව කාලයක් තිස්සේ විවේචන එල්ල විය. ඒවායෙන් මතු කළ කේන්ද්‍රීය තර්කය වූයේ මෙම නියෝජන ක්‍රමය මගින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයකින් අපේක්ෂා කරන අරමුණු සාක්ෂාත් කරගත නොහැකි බව ය. වෙසෙසින්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත් වුව ද බොහෝ ඡන්ද කොට්ඨාසවලට අනන්‍ය වූ මහජන නියෝජිතයන් පත් නොවන බවට ප්‍රබල විවේචනයක් එල්ල වේ. පළාත් සභා මැතිවරණයක දී මැතිවරණ දිස්ත්‍රික්කයක් ඡන්ද කොට්ඨාසයක් වශයෙන් සලකන හෙයින් බොහෝවිට තමන්ගේ මැතිවරණ බලප්‍රදේශය නියෝජනය කරන අපේක්ෂකයන් පත් නොවීම මෙම නියෝජන ක්‍රමයේ පැවැති ප්‍රධාන දුර්වලතාවක් විය. එමෙන් ම යම් පළාත් සභාවකට තරග කරන අපේක්ෂකයකුට මැතිවරණ දිස්ත්‍රික්කය ආවරණය වන සේ ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු හෙයින් අධික වියදමක් ද දැරීමට සිදු වේ. මනාප ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ඇති වන තරගය සමානුපාතික නියෝජන ක්‍රමයේ තවත් එක් විවේචනයකි. විශාල මුදලක් වැය කළ හැකි අපේක්ෂකයන්ට ජනතා නියෝජිතයන් වශයෙන් තේරී පත්වීමට ඇති හැකියාව එම විවේචනයෙහි තවත් දිගුවකි.

සමානුපාතික නියෝජන ක්‍රමයට අදාළව කාලයක් තිස්සේ ඉදිරිපත් වූ මේ විවේචන හමුවේ එම නියෝජන ක්‍රමය අවම තරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මැතිවරණවලට අදාළව සංශෝධනය විය යුතුය යන මතය ශක්තිමත් විය. කාන්තා නියෝජනය ශක්තිමත් කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් විණි. මේ සන්දර්භයේ පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රම වෙනස් කිරීම අරබයා යෝජනා ඉදිරිපත් විය. එම යෝජනා 2017 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර ඒ අනුව යමින් සංශෝධිත නව මැතිවරණ ක්‍රමය යටතේ පළමු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2018 දී පැවැත්විණි. එහෙත් පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ නීති කෘත්‍ය ප්‍රශ්නකාරී විය.

පළාත් සභා මැතිවරණ සඳහා මේ දක්වා අදාළ වූයේ 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනතයි. විටින් විට මේ පනත සංශෝධනය කෙරිණි. පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතුය යන සාකච්ඡාව තීව්‍ර වූයෙන් මේ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් 2017 දී සංශෝධනයක් ගෙන එන ලදී. 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත නමින් එය හැඳින්විණි. මේ පනන මගින් සමානුපාතික හා කේවල නියෝජන ක්‍රම ඇතුළත් මිශ්‍ර නියෝජන ක්‍රමයක් පළාත් සභා මැතිවරණ සඳහා හඳුන්වා දුන්නේ ය. ඒ අනුව යම් පළාත් සභාවක් සඳහා තෝරා පත් කරගනු ලබන සභිකයන්ගෙන් සියයට 50 ක් කේවල නියෝජන ක්‍රමයෙන් පත් කර ගැනීමට මෙම පනතෙන් විධිවිධාන සැලසිණි. ඉතිරි සියයට 50 සමානුපාතික ලැයිස්තුව යටතේ තේරී පත් වේ. ඊට අමතරව සියයට 25 කාන්තා නියෝජනය අනිවාර්යය කෙරිණි.

මෙම පනතින් හඳුන්වා දුන් මේ නව නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එතෙක් පැවැති මැතිවරණ කොට්ඨාස ක්‍රමය සුදුසු නොවූයෙන් අලු‍තින් මැතිවරණ සීමා නිර්ණය කිරීම අවශ්‍ය විය. ඒ අරබයා පනතෙන් ද ප්‍රතිපාදන සලසා තිබූ අතර ඒ අනුව මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාවක් ද පත් කෙරිණි. නව පනතේ සඳහන් මිශ්‍ර නියෝජන ක්‍රමයට ගැළපෙන අයුරින් අලු‍තින් මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීමත් ඒවයෙහි සීමා දැක්වීමත් ඒ ඒ පළාත්වලින් තෝරා පත් කර ගත යුතු සභිකයන් තෝරා ගැනීමට අදාළ නිර්ණය කිරීමත් එම කොමිසමට පැවරුණු ප්‍රධාන කර්තව්‍යයන් ය. ඒ ඒ පළාත්වල ජන අනුපාතය හා භූමි ප්‍රදේශ ව්‍යාප්තිය යන පදනම් එහිදී සලකා බැලිය යුතු බව දැක්විණි. මෙය ඉතා දුෂ්කර කල්ගත වන සහ විශේෂඥයන්ගේ අදහස් ලබා ගත යුතු ක්‍රියාවලියක් විය.

එබැවින් පනත සම්මත වූ පමණින් ඒ යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි විය. ඒ අරබයා සීමා නිර්ණය කොමිෂන් සභාව සීමා නිර්ණය කටයුතු අවසන් කර එහි වාර්තාව විෂය භාර අමාත්‍යවරයාට බාර දුන් පසු අදාළ අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු විය. එසේම එකී වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසු පමණක් මෙම නව මිශ්‍ර නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබේ. එහෙත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැති හෙයින් ද එය නොයෙක් නීතිමය ගැටලු‍වලට මුහුණ දී ඇති හෙයින් ද පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි තත්වයක් උද්ගතව ඇත.

මෙම ගැටලු‍වට 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුවටත් ඉන්පසු බලයට පත් වූ ආණ්ඩුවටත් මුහුණ දීමට සිදු විය. එම ආණ්ඩු මෙම සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට උත්සාහ ගත්ත ද විවිධ ප්‍රායෝගික ගැටලු‍ හේතුවෙන් එය කිරීමට නොහැකි විය. 2018 වසර වනවිට සියලු‍ පළාත් සභාවල නිල කාලය අවසන් වී තිබිණි. ඒවා ඉබේ විසිරීමට ලක් වී තිබුණ ද එවක ජනාධිපතිවරයාට එම මැතිවරණ කැඳවීමේ හැකියාවක් නොතිබිණ. එබැවින් සිදු වූයේ දැනට පළාත් සභා අක්‍රීය තත්වයේ පසුවන්නේය යන පදනම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 එල් හා එම් වගන්ති ප්‍රකාරව කටයුතු කිරීම ය. එම වගන්තිවල දැක්වෙන්නේ පළාත් සභා අක්‍රීයව පවතින විට ඒවායෙහි පරිපාලන බලතල තමා වෙත පවරා ගැනීමට හෝ පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඒවායෙහි පරිපාලන කටයුතු කරගෙන යෑමට හෝ ජනාධිපතිවරයාට බලය තිබෙන බව ය.

දැන් සිදුවෙමින් තිබෙන්නේ එයයි. සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතු අවසන් වී නැති බැවින් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි ය. එනයින් එම මැතිවරණ පැවැත්වීම කල් යමින් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සලකන කල්හි මෙය සුබදායක තත්වයක් ලෙස සැලකිය නොහැකි ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය උදෙසා විවිධ ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දීමේ දී සලකා බලන ප්‍රධාන නිර්ණායක අතර මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතිය හා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ප්‍රමුඛ වේ. එබැවින් මැතිවරණ කලට වේලාවට පැවැත්වීම ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙහි අනිවාර්යය අංගයක් සේම රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සමග ද බැඳී පවතින බව සිහි තබා ගත යුතු ය.

අලු‍ත් නියෝජන ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි නම් කළ හැක්කේ කුමක් ද යන්න ගැන සාවධාන වීම ද වැදගත් ය. මැතිවරණ කොමිෂන් සභාව අනුව මේ සම්බන්ධයෙන් ගත හැක්කේ ක්‍රියාමාර්ග දෙකක් පමණි. පළමුවැන්න හැකි ඉක්මනින් සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම ය. එයින් 2017 දී හඳුන්වා දුන් මිශ්‍ර නියෝජන ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමට හැකි ය. දෙවැනි ක්‍රමය අනුව පැරැණි ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන අයුරින් පළාත් සභා පනතට නව සංශෝධනයක් ගෙනා යුතු ය. එවැනි සංශෝධන පනතක් ගෙනැවිත් සම්මත කිරීම දුෂ්කර ව්‍යායාමයක් යැයි මම නොසිතමි. පැරැණි සාමනුපාතික මැතිවරණ ක්‍රමයේ තිබූ අඩුපාඩු නිවැරැදි කරමින් 2017 දී නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දී තිබිය දී යළිත් පැරණි ඡන්ද ක්‍රමය ඔස්සේ මේ මැතිවරණය පැවැත්වීම කොතෙක් දුරට යුක්ති යුක්ත ද යන ප්‍රශ්නය මතු වේ.

ඇතැම් අය තර්ක කරන්නේ තවදුරටත් පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකළ යුතු හෙයින් මේ අවස්ථාවේ පමණක් පැරැණි ඡන්ද ක්‍රමය යටතේ මේ මැතිවරණය පවත්වා නැවත පළාත් සභා සක්‍රීය කළ පසු කඩිනමින් සීමා නීර්ණය කටයුතු අවසන් කර ඉදිරියට පැවැත්වෙන පළාත් සභා මැතිවරණ සඳහා 2017 දී හඳුන්වා දුන් මිශ්‍ර නියෝජන ක්‍රමය අදාළ කර ගත යුතු බව ය. මේ උභතෝකෝටියට වත්මන් රජයත් මුහුණ දී සිටියි. මේ සම්බන්ධයෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ගැනීමේ වගකීම රජය වෙත පැවරී තිබේ. විශේෂයෙන් ම රට මුහුණ දී සිටින ආර්ථික ගැටලු‍ හා මානව හිමිකම් ප්‍රශ්න තවදුරටත් තීව්‍රවීම වැළැක්වීම උදෙසාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුළත මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහාත් පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ මෙම මැතිවරණය පැවැත්වීමට රජයට බලපෑම් එල්ල වෙමින් තිබෙන බවක් දැකිය හැකි ය.

(*** සාකච්ජා සටහන - උපුල් වික්‍රමසිංහ)