දෙවිවරු වැනි වෛද්‍යවරු ගර්භාෂ දෙකේ දරුවන් අරන් දුන් හැටි


නිවුන් දරු උපත් පිළිබඳව අප  ඕනෑ තරම් අසා දැක ඇත්තෙමු. මව්වරුන් දන්නේද තමන්ගේ කුසේ ගර්භාෂයක් පිහිටා ඇති බවය. එහෙත් එක් මව් කුසක ගර්භාෂ දෙකක් පිහිටා එහි දරුවන් දෙදෙනකු එකවර වැඩෙනවායැයි කිවහොත් බොහෝ දෙනා මවිතවනු ඇත.

ලෝකයේ ඉතාම විරලව මෙවැනි දෑ සිදුවී ඇති බව වෛද්‍යවරු කියති.

එවැනි ගර්භාෂ දෙකක් පිහිටා දරුවන් දෙදෙනෙකු බිහිකළ මවක් පිළිබඳව පසුගියදා දඹුල්ල මූලික රෝහලෙන් වාර්තා විය. රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයටද මෙය අලූත්ම අත්දැකීමක් විය.

මව සහ පියා

මෙවැනි සිද්ධියක් පිළිබඳව ඇසූ දුටු පිරිස්ද එවැන්නක් සිදුවූයේ කෙසේ දැයි කාට එසේ උනේ දැයි සොයා බැලීමට උත්සාහ කරති. ඒ නිසාම අපි දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් ගේ අවසරය මත මෙම මව පියා සහ දරුවන් දෙදෙනා සොයා රෝහලට ගියෙමු.

අංක 05 වාට්ටුවේ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ මෙම මව තම දරු දෙදෙනා සමගම වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද ස්තුති කරමින් නිවස බලා යන්නට සූදානමින් සිටියාහුය.

දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල පදිංචි එම්.ජී. දිලීකා පි‍්‍රයදර්ශනී (20) මහත්මිය තම කුළුඳුල් දරු ප‍්‍රසූතියේදී මෙම ලොව විරල දරු ප‍්‍රසූතිය සිදුකළාය.
ඇයගේ ආදරණීය සැමියා වූයේ සමන් කුමාර මහතායි. ඔහු කුලී වැඩක් කුඩා ගොවිතැනක් සිදුකැරගෙන ජීවත්වූ ගමේ තරුණයෙකි. සමන්ටද මෙම දරු උපත පිළිබඳව එතරම් දැනුමක් නොමැතිව සිටි අතර වෛද්‍යවරුන් ඔහු දැනුවත් කරන අයුරු අපි දුටුවෙමු.

දඹුල්ල රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය මහතා මෙම දුර්ලභ තත්ත්වය පිළිබඳවත් මෙම මව දරුවා බිහි කරවාගත් ආකාරයත් අප සමග මෙසේ පැවැසීය.

‘‘මීට දින කීපයකට කලින් බොහොම විරල ගණයේ දරු ප‍්‍රසූතියක් අත් විඳින්්න පුළුවන් වුණා අපට දඹුල්ල රෝහලේදී. කාන්තාවකට සාමාන්‍යයෙන් ගර්භාෂයන් එකයි තියෙන්නේ. මේ අම්මට බොහොම විරලව පිහිටන ගර්භාෂා දෙකක් ඇති බව අපිට සොයා ගන්න පුළුවන් වුණා.

අනිත් විශේෂ කරුණ තමයි මෙවැනි ගර්භාෂ දෙකක් තිබුණම දරු ඵල අඩුවෙනවා. ඒත් මේ අම්මගේ වාසනාවකට දරු පැටවුන් දෙදෙනාම නිරෝගීව ජීවත් කැරවීමට හැකිවුණා. මේ දෙන්නම ගෑණු දරුවන් වීමත් විශේෂත්වයක්.

මේක ඉතාම විරලයි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් විරල ගණයේ අවස්ථාවක්.

සාමාන්‍යයෙන් මෙවැනි මවක් හමුවුණාම මාස ගාන එන්නට කලින් දරු ප‍්‍රසූතිය සිද්ධ වෙනවා. ඒ වගේම විවිධ සංකූලතා ඇති වෙනවා. හැබැයි වාසනාවකට එවැනි දෙයක් වුණේ නෑ.

මාස ගණන සම්පූර්ණ වී තිබුණ නිසා අපි පරීක්ෂා කරලා බලනකොට ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් අපි දුටුවා. පස්සේ අපි තීරණය කළා සිසේරියන් සැත්කමකින් දරුවන් ලබාගන්න.

ඒ අනුව අපි සැත්කම සිදුකළා. සාමාන්‍ය සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී උදරය විවෘත කිරීමේදී ගර්භාෂය තියෙනවා. එය විවෘත කරලා දරුවා හෝ නිවුන් දරුවන් එළියට බිහි කරනවා.’’ නමුත් මේ අවස්ථාවේ උදරය විවෘත කළ ගමන් පැහැදිලිවම දැක්කා ගර්භාෂ දෙකක් පිහිටා තිබෙනවා. ඒ වගේම ගර්භාෂ දෙකේම දරුවන් දෙන්නෙක් සිටින බව හඳුනා ගත්තා. අපි ඒ අනුව ගොඩක් මහන්සි වෙලා දරුවන් දෙන්නා එළියට ගත්තා. අම්මත් දරුවනුත් ඉතා හොඳ සුවසේ හිටියා.

මේ අම්මාගේ වෙන වෙන අවයවවල වෙනස්වීම් සිදුවෙනවාද කියලත් අපි නිරන්තර අවධානයෙන් හිටියා. හැබැයි ඉතාම හොඳින් ඒ සියල්ල කි‍්‍රයාත්මක වුණා.
මෙම සැත්කම සිදුකළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා මෙසේ කීවේය.

 

වෛද්‍ය කණ්ඩායම

 

‘‘ඇත්තටම මෙවැනි සැත්කමක් මම මීට පෙර සිදුකරලා තිබුණේ නැහැ. මම බලාපොරොත්තු වුණෙත් නෑ මෙවැනි සැත්කමක් ගැන. සාමාන්‍ය සැත්කමක් කරන විදිහට තමයි සූදානම් වුණේ. පසුව තමයි උදර කුහරය විවෘත කරනකොට මේ අසාමාන්‍ය දේ දැක්කේ. පසුව අපි වෛද්‍යවරුන් කණ්ඩායමක් කාර්ය මණ්ඩලයත් වැඩි අවධානයක් යොමු කරලා මෙම සැත්කම කළා. ජීවිත තුනම ගොඩ දැම්මා. දැන් ඒ අය ඉතා නිරෝගීව ඉන්නවා. අපිත් සතුටුවුණා මෙවැනි දෙයක් සිදුකිරීම පිළිබඳව.’’ මෙම අසාමාන්‍ය මෙන්ම විරලවූ දෙයකට මුහුණ පෑ මව අප සමග මෙසේ පැවැසුවාය.

‘‘මම දැනගෙන හිටියේ නැහැ. එහෙම දෙයක්. වෛද්‍යවරු සායනවලදී පරීක්ෂා කරලා කිව්වා දරුවන් දෙදෙනෙක් ඉන්න බව. ඒ නිසා මමත් අවධානයෙන් හිටියේ. මම කලින් ඇවිල්ලා රෝහලේ නැවතුනා. ඇත්තටම දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු මේ දේ හඳුනාගෙන අපිව ජීවත් කරවලා. මට දරුවන් දෙන්නා ලබා දුන්නා.

අපි කුලී වැඩ කරලා ගොවිතැන් කරලා ජීවත්වන අය. කොහොම හරි කරලා මේ දුවලා දෙන්නා හදා ගන්නවා” දරුවන් දෙදෙනාගේ පියාවන සමන් කුමාර මහතාද කියා සිටියේ තමන් දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය නිසා අද සතුටු වන බවයි.

තමන් කුලියක් ගොවිතැනක් කරලා තම කුළුඳුල් දියණියන් දෙදෙනා හදා ගන්නා බවත් පැවසීය.

දඹුල්ල මූලික රෝහල් ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසූරිය, ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වන සෙල්ව තුෂාන්, ඉන්දික සේනාරත්න, ජේ.කේ. පී. බටගල්ල, ඉන්දික වෙදගෙදර මහත්වරු, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විහාරා දසනායක, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරීත් ජයවර්ධන යන මහත්වරුන් මෙන්ම අංක 05 වාට්ටුවේ හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක්ව මෙම විරල දරු ප‍්‍රසූතිය සිදු කරන්නට ඇයට උදව් කළහ.
මෙම අයට යම්කිසි උදව්වක් කරන්නේ නම් එම්. පී.ජී. සරත් කුමාර නො. 21, ගොවි ගම්මානය, කුඹුක්කඳන්වල, ලේනව, කිඹිස්ස, දඹුල්ල යන ලිපිනය ඔවුන්ගේය.

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස