දුප්පතාට අතදෙන අත්වැලක්


ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩනයට පත් කණ්ඩායම ලෙස අඩු ආදායම්ලාභීන් නම් කළ හැකිය. ආදායම් මාර්ග ඇහිරී යාම, දෛනික වියදම වැඩි වීම, ඔවුන්ට ලැබුණු සහනාධාර අඩු වීම වැනි කරුණු හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ දුප්පත්කම රට තුළ කැපී පෙනෙන සමාජ ගැටලුවක් බවට පත් විය.

1990 දශකයෙන් පසුව ලෝකයේ බොහෝ රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා යොදාගත් සාර්ථක මෙන්ම ජනප්‍රිය ක්‍රමයක් ලෙස අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගෙන ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් හැඳින්විය හැකිය. මෙහිදී කුඩා ණය, ඉතිරිකිරීමේ අවස්ථා, රක්ෂණ ක්‍රම, ලීසිං පහසුකම් හා මූල්‍ය නොවන උපදේශන සේවා ලබා දෙමින් ඔවුන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම හා එමගින් ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම අරමුණු කරගනී. බැංකු හා අනෙකුත් විධිමත් මූල්‍ය ආයතන වෙත තම ණය අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් අඩු පොලී අනුපාත යටතේ ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍යය දුප්පත්කම අවම කිරීමට යොදාගත හැකි හොඳම මෙවලමක් ලෙස බොහෝ රටවල් සාර්ථක ලෙස යොදාගෙන ඇත. ඒ සඳහා වැඩි වශයෙන් කාන්තාවන් යොමු වීම ද දක්නට ලැබෙන විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව තුළ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් දුප්පතුන් ඉලක්ක කරගෙන ලබාදුන් ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් කෙටි කාලීනව ජනප්‍රිය විය. රට තුළ ලබාගෙන ඇති ක්ෂුද්‍ර ණය ප්‍රමාණය රුපියල් මිලියන 84,000ක් ලෙස වාර්තා වී ඇත. ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම අඩු ආදායම්ලාභීන් අතර ප්‍රචලිත වීමත් සමග එමගින් දරිද්‍රතාව අවම කිරීමට සිදු කරන බලපෑම පිළිබඳ අවධානය යොමු විය. දරිද්‍රතාව අවම කිරීම වෙනුවට අඩු ආදායම්ලාභීන් ණය උගුලකට ඇද දැමීමට හේතු වී ඇති බව ද, ඒ සඳහා වැඩි වශයෙන් කාන්තාවන් හසුව ඇති බව ද මෑත කාලීනව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත එල්ලව ඇති ප්‍රබල චෝදනාවකි. ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභීන්ගේ ණය ආපසු ගෙවීමට නොහැකි වීම හා ඉහළ යන ජීවන වියදම හේතුවෙන් දෛනික පරිභෝජනය සඳහා නැවත නැවතත් ණය ලබා ගැනීමට සිදු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ණය උගුලකට හසුව දැඩි පීඩනයකට පත්ව සිටිති.

මේ සඳහා හේතු වී ඇති ප්‍රධාන කරුණු කිහිපයකි. මෑත වසරවල රටේ පොලී අනුපාත හා උද්ධමනය පිළිබඳ ඇති වූ වෙනස්කම් සමග සමහර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන අධික පොලී අනුපාත හා ගාස්තු අය කරන බවට චෝදනා එල්ල විය. ක්ෂද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28ක් පමණ අර්බුදයට මුහුණ දී සිටිති. ඉන් ලක්ෂ 24 පමණ කාන්තාවන් වීමද සුවිශේෂීය. කුඩා ණය මුදල් ග්‍රාමීය ජනතාවට ලබා දී තිබුණ ද ඒ සඳහා සියයට 38ක් සියයට 48 ක් වැනි ඉහළ පොලී අනුපාතික අය කිරීම නිසා කාන්තාවෝ දැඩි අර්බුදයකට හසුව සිටිති. මේ නිසා ණය ගැනුම්කරුවෝ තම ණය ආපසු ගෙවීමේ අරගලයකට මුහුණ දී සිටිති. ඉහළ යන පොලී අනුපාත හමුවේ ඔවුන්ට ගෙවීමට ඇති වාරික මුදල වැඩි වීමත් සමග ණය ගෙවීමට වෙනත් ආයතනවලින් ණය ලබා ගැනීමෙන් ණයගැතිභාවය ඉහළ යාම දැඩි ගැටලුවක් බවට පත්ව ඇත. ණය ලබා දුන් ආයතන විසින් ණය පැහැර හැරීම පිළිබඳව නඩු දැමීම, ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් කිරීම හා ඔවුන් සතු භාණ්ඩ පැහැර ගැනීම හේතුවෙන් මෙම තත්වය තවත් උග්‍ර විය. ණය ගෙවා ගැනීමට නොහැකි වීම, එමගින් ලද අපහාසය දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ආදියට පෙළැඹීමේ ගැටලුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව පැහැදිලි වී ඇත.

අඩු ආදායම්ලාභීන් අතර ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිකම බොහෝ ණය වැඩසටහන්වල අසාර්ථකතාවට මෙන්ම ගැටලු නිර්මාණය වීමට ද හේතු විය. ණය ලබාගත් සමහර ණය ගැනුම්කරුවන් ඔවුන් ලබා ගන්නා ණය පිළිබඳ පවත්නා නියාමන හා කොන්දේසි සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැති අතර, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමග වැරැදි වැටහීම් හා ආරවුල් ඇති කරගනිමින් සිටී. එමෙන්ම, ලබා ගන්නා ණය නිවැරැදි අයුරින් ආදායම් ඉපැයීමට යොදා ගැනීමටත්, මුදල් කළමනාකරණය කරගැනීමටත් ඔවුන් තුළ ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම ද, ඒ සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දෙන පුහුණුව හා උපදේශනය ප්‍රමාණවත් නොවීම ද මෙම වැඩසටහන්වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත් කර නොහැකිවීමට හේතු විය.

හුදෙක් ලාබ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන විටින් විට ඇති වූ සමහර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රට තුළ අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම වෙනුවට ඔවුන් තවත් අගාධයට තල්ලු කරමින් සිටී. මෙනිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය පිළිබඳ විධිමත් නියාමනයක අවශ්‍යතාව දැඩි ලෙස දැනෙමින් පවතී. 2016 ජුලි 15 වැනි දින සිට බලාත්මක වූ 2016 අංක 16 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා දීම, නියාමනය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක වුව ද, ඒ යටතේ ලියාපදිංචි වී ඇත්තේ ඉතා සීමිත ආයතන සංඛ්‍යාවක් පමණි. වර්තමානයේ 15,000කට වඩා අධික ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සංඛ්‍යාවක් අධීක්ෂණයකින් හෝ නියාමයකින් තොරව තම මූල්‍ය සේවා සඳහා අඩු ආදායම්ලාභීන් වෙත යොමු වීම මෙම ගැටලුව සඳහා මූලිකම හේතුව බව පෙනී යයි.

මෑත කාලයේ රට තුළ මෙම අර්බුදය නිර්මාණය කිරීම සඳහා මූලිකව ඇත්තේ ප්‍රධාන මූල්‍ය සමාගම් 6ක් වීමද ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය හා නියාමනය යටතේ පැවතීමද අවධානය යොමු විය යුතු කරුණකි. මෙම ආයතන මගින් ලබා දී ඇති ණය ප්‍රමාණය මුළු ණය වලින් සියයට 80කි. එනම් රුපියල් මිලියන 84000න් රුපියල්  මිලියන 67000 ක් වීමෙන් මෙම අර්බුදය මූලිකව ආයතන කිහිපයක් වටා නිර්මාණය වූ එකක් බව පැහැදිලිය.

රටේ මූල්‍ය ස්ථාවරත්වයට බාධා පැමිණවිය හැකි මෙම අර්බුදය විසඳීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය සඳහාම වෙන් වූ අධීක්ෂණ ආයතනයක අවශ්‍යතාව මේ වන විට දැඩිව පවතී. ඒ සඳහා පනතක් සම්මත කරගැනීමට රජය මෑත කාලීනව කටයුතු කර තිබීම වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. ක්ෂුද්‍ර මූල්‍යය සඳහාම වෙන් වූ ආයතනයක් යටතේ බලපත්‍ර ලබා දීම සිදු කළ යුතුය. දැනට ක්‍රියාත්මක වන සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන එහි ලියාපදිංචි කළ යුතු අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය හා ණය ලබා දීම පිළිබඳව විටින් විට අධීක්ෂණයට හා ඇගැයීමකට ලක් කළ යුතුය. අධික ලාබ ඉපැයීමේ පරමාර්ථයෙන් පමණක් ක්‍රියාත්මක වන ආයතන වෙතින් ණය ලබා ගැනීමෙන් අඩු ආදායම්ලාභීන්ට මුහුණ දීමට වන ගැටලු නිරාකරණය සඳහා එය මහත් පිටිවහලක් වනු ඇත.

ක්ෂුද්‍ර මූල්‍යය වෙත යොමු වන ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය වන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම අර්බුදය සඳහා වන අනෙක් විසඳුම වෙයි. ණය පොලී අනුපාතික හා ආයතන කොන්දේසි පිළිබඳව නිවැරැදි අවබෝධය ඔවුනට ලබා දීමෙන් මෙවන් අර්බුද වළක්වා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන්වල එක් අංගයක් ලෙස අඩු ආදායම්ලාභීන්ට මූල්‍ය හා මූල්‍ය කළමනාකරණ දැනුම වර්ධනය වන ආකාරයේ උපදේශන සේවා හා සාක්ෂරතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. එමගින් ඔවුන්ට නිවැරැදි ණය ආයතන තෝරා ගැනීමටත්, ලබා ගන්නා ණය ඵලදායීව යොදා ගැනීමටත් අවස්ථාව උදා වනු ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයකට අප මුහුණ දී සිටිය ද ලෝකයේ බොහෝ රටවල් දරිද්‍රතාව අවම කරගැනීමට ප්‍රබල අවියක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යය යොදාගෙන ඇති බව අප අමතක නොකළ යුතුය. 2006 වසරේදී මොහොමඩ් යුනුස් නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ ද බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකුවෙහි ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන ඔස්සේ කළ සමාජ මෙහෙවර උදෙසාය. ක්ෂුද්‍ර මූල්‍ය සේවා නිසි අධීක්ෂණයක් යටතේ සමාජ සුබසාධනය කෙරෙහි යොදා ගැනීමට හැකි නම් එය මෙරට අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමට ඇති වඩාත් සාර්ථකම මෙවලම වනු නොඅනුමානය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ
මහාචාර්ය ප්‍රසංශා කුමාරි ජයසූරිය