දුප්පත්කම දේශපාලන ව්‍යාපාරයක්?


සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා කළ ප්‍රකාශයක් 2025 ඔක්තෝබර් 21 වැනිදා මාධ්‍යවල පළවී තිබුණි. ඇමැතිවරයා හෙළි කර තිබුණේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ලක්ෂ පනස් දෙකක් වන මුළු පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ හතළිස් තුනක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයැදුම්කර ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවේ පවතින යාචක මානසිකත්වයේ ප්‍රතිඵලයක් බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි. මෙම අයැදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ ආධාර ලබාගැනීම පිළිබඳ සැබෑ අවශ්‍යතාවට අනුව නොවන බවත්, හුදෙක් රජයෙන් දෙන ආධාර ලබා ගැනීම සඳහා පමණක් බවත්ය. මේ ආකාරයට රජයේ ආධාර බලාපොරොත්තුවීම පුද්ගලයන් තුළ පවතින මානසික, ආර්ථික දරිද්‍රතාව පිළිබිඹු කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමැතිවරයා කර ඇති මෙම ප්‍රකාශය, ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික හා සමාජ පැවැත්ම පිළිබඳවත්, ඔවුන් හුරුපුරුදු වී ඇති සිතුම් පැතුම් සහ ආකල්ප පිළිබඳවත් බරපතළ ප්‍රකාශයක් බව සඳහන් කළ හැකිය. ඇමැතිවරයා පෙන්වා දී ඇති පරිදි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අස්වැසුම සඳහා ඉල්ලු‍ම් කර නැත්තේ සමස්ත ජනසංඛ්‍යාවෙන් ඉතා සුළු කොටසකි. එනම් පවුල් ලක්ෂ නවයක ප්‍රමාණයකි. අස්වැසුම සඳහා අයැදුම්කර නැති පිරිසෙන් කුමන ප්‍රමාණයක් බදු ගෙවන්නේ ද යන්න හඳුනාගත නොහැකිය. අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පවුල් ලක්ෂ හතළිස් තුන තුළ බදු ගෙවන පවුල් සිටින්නේ යැයි සිතිය නොහැකිය. ඉන් අදහස් වන්නේ අස්වැසුම අයැදුම් කර නැති ලක්ෂ නවයක් වූ පවුල් අතුරින් බදු ගෙවන පවුල්වල වියදමින් අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් කිරීමට සිදුව ඇති බවයි.

සමෘද්ධි සහනාධාර ක්‍රමය වෙනුවට අස්වැසුම හඳුන්වා දීමෙන් පසුව ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස මහජනතාවට සමාජ සුබසාධක මණ්ඩලය විසින් දැනුම් දෙනු ලැබීය. එසේ වුව ද එම අවස්ථාවේ දී අඩුම තරමින් ඒ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ ලබමින් සිටි සමස්ත පිරිසම හෝ අයැදුම්පත් ඉදිරිපත් කළේ නැත. ඊට හේතු වූයේ යම් යම් පිරිස් විසින් අයැදුම්පත් ඉදිරිපත් නොකරන ලෙස ප්‍රචාරයක් ගෙන යෑමය. රජය සමෘද්ධි ප්‍රතිලාභ කපා හැරීමට කටයුතු කරන බැවින් අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස ප්‍රචාරය කර තිබුණි. අවසානයේ දී අයැදුම්පත් බාර ගැනීම අවසන් කරන දිනය කිහිප වතාවක් කල් දැමීමෙන් සහ අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙසට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පසුව පමණක් අස්වැසුම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කෙරිණි.

කොවිඩ් වසංගතය ආරම්භ වීමට පෙර 2019 වසර දක්වාම ඒ ඒ කාලවල පැවැති ආණ්ඩුවලට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට හැකිවිය. 1980 දශකයේ දී පැවැති මට්ටමට වඩා 2019 වසරේ දී දරිද්‍රතා අනුපාතය දෙගුණයකින් අඩුවී තිබුණි. එම වසරේ දරිද්‍රතා අනුපාතය සියයට දාහතරක් විය. එසේ වුව ද කොවිඩ් සහ ඉන් පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරිද්‍රතා මට්ටම විශාල ලෙස ඉහළ ගියේය. දෛනික සේවාවල නියුතු සහ ස්වයං රැකියා කරන පිරිස්වලට රැකියා අහිමිවීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාපාර කටයුතු බිඳ වැටීම, විදේශ රැකියා කරන පිරිස් ආපසු පැමිණීම සහ විදේශ රැකියාවලට යන පිරිස් අඩුවීම ආදී හේතු මත පවුල්වලට ලැබුණු ආදායම අඩුවීමටත් දරිද්‍රතා මට්ටම වැඩිවීමටත් හේතුවිය. 2023 වසරේ දරිද්‍රතා අනුපාතය සියයට තිස් එකක් විය.

ලෝක බැංකු වාර්තා අනුව 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාවට පහළින් ආදායම් ලබන, එනම් දරිද්‍රතාවට මුහුණ දී සිටින ජන සංඛ්‍යාව මුළු ජන සංඛ්‍යාවෙන් සියයට විසිහතරයි දශම පහකි. ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ ඉදිරි වර්ෂවලදී එය සියයට විස්සක මට්ටමට අඩුවීමට ඉඩ ඇති බවත්, තවත් කාලයක් යනතුරු රටේ දරිද්‍රතා මට්ටම ඒ හා සමාන මට්ටමක පැවැතිය හැකි බවත්ය. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවලට කොවිඩ් වසංගතයෙන් පසු එවැනි තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. එසේ වුව ද එම රටවල් ආර්ථික අර්බුදයකට මුහුණ නොදීම නිසා දරිද්‍රතාවයෙන් අත්මිදීමට අපට වඩා ඉක්මනින් එම රටවලට හැකිවී ඇත.

2023 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරන ලද විස්තීරණ ණය ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස්වලට සහන ලබාදීම සඳහා අවසර ලැබී තිබේ. අඩු ආදායම්ලාභීන් තෝරා ගැනීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රමවේද විධිමත් විය බවත්, සහනාධාර ඉලක්ක ගත පිරිස්වලට සෘජුවම ලැබිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වී තිබේ. අස්වැසුම ප්‍රතිලාභීන්, ආදායම් මට්ටම අනුව කොටස් හතරකට වර්ග කරනු ලැබේ. ඒ යටතේ වැඩිම ආර්ථික පීඩාවකට ලක්ව ඇති පවුල් සඳහා මාසිකව රුපියල් 17,500ක ප්‍රතිලාභයක් හිමිවේ. එම පවුල්වල ආබාධිත, වකුගඩු රෝගාබාධිත සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිටිත් නම් ඒ වෙනුවෙන් දෙන දීමනා ද එම පවුලේ ඊට අදාළ සාමාජිකයන්ට වෙනම ගෙවනු ලැබේ. ඒ අනුව, රැකියාවල නියුතු පිරිස්වල ආදායම් මට්ටමට සාපේක්ෂව දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වලට ද  සැලකිය යුතු ආදායමක් හිමිවන බව පෙනී යයි.

රටේ මුළු පවුල් ලක්ෂ පනස් දෙක අතුරින් පවුල් ලක්ෂ හතළිස් තුනක්ම අස්වැසුම ඉල්ලු‍ම් කිරීම සඳහා හේතුවී ඇත්තේ ඒ තුළින් එම පවුල්වලට ලැබෙන ඉහළ ආර්ථික ප්‍රතිලාභ‍ය. දරිද්‍රතාව සඳහා හේතුවී ඇති කරුණු අතර නූගත්කම, උදාසීනකම, ආකල්පමය පසු බැස්ම ආදිය ප්‍රධාන වේ. ඒ අතරම සුරාව, සූදුව වැනි කරුණු ද සමහර පවුල්වල දරිද්‍රතාව කෙරෙහි බලපා තිබේ. එවැනි තත්වයක් තුළ කිසිදු රැකියාවක නිරත නොවී, කිසිදු බැඳීමකින් සහ වගකීමකින් තොරව තමන්ට මුදල් ලැබෙන්නේ නම් එය ඉල්ලු‍ම් නොකරන්නේ කවරෙක් ද? මුළු ජන සංඛ්‍යාවෙන් බහුතර පවුල් ප්‍රමාණයක් අස්වැසුම ඉල්ලු‍ම් කිරීම සඳහා හේතු වී ඇත්තේ එම තත්වයයි. එය යාචක මානසිකත්වය ලෙස හැඳින්විය හැකිද? එසේ නොමැති නම් සහනාධාර සඳහා ලබා දී ඇති ඉහළ මුල්‍යමය වටිනාකම හේතුවෙන් ඇතිවන සමාජයීය පෙළැඹවීමක් නිසා ඇති වන්නේ ද යන්න පරීක්ෂා කළ යුතුව තිබේ.

ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල දී බොහෝ විට අවධාරණය කළේ මේ දක්වා ආණ්ඩු කළ පාලකයන් විසින් මහජනතාවට විවිධ ප්‍රතිලාභ ලබා දීම මගින් ඔවුන් යැපුම් මානසිකත්වයකට ගොදුරු කර ඇති බවය. රටේ පරිහානියට හේතු වී ඇත්තේ ඡන්දය ලබා ගැනීම සඳහා රාජ්‍ය සම්පත් එලෙස විනාශ කර දැමීම බව ද එම බලවේගයේ නායකයෝ පෙන්වා දුන්හ. එබැවින් ජාතික ජනබලවේග රජයක් යටතේ මිනිසුන්ට නොමිලයේ මාළු ලබාදීම වෙනුවට බිලී පිති ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය. දැන් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙම ආණ්ඩුවට අවස්ථාව ලැබී ඇත. එසේ වුව ද සිදුව ඇත්තේ මීට පෙර කිසිම ආණ්ඩුවක් යටතේ සිදු නොවූ ආකාරයෙන් මුළු ජන සංඛ්‍යාවෙන් බහුතර පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ ඉල්ලු‍ම් කිරීමයි.

මෙම ආණ්ඩුවේ ආයු කාලයෙන් පහෙන් එකක් මේ වනවිට ගෙවී ගොස් තිබේ. තවත් ඇත්තේ වසර හතරක කාලයකි. එබැවින් මාළු වෙනුවට බිලී පිති දීමට දැන්වත් කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමේ ප්‍රතිපත්තිය විද්‍යාත්මක පිළිවෙතක් අනුව හැඩ ගස්වන ලද්දේ 1991 ආරම්භ කරන ලද ජනසවිය වැඩසටහන මගිනි. දරිද්‍රතාව පිටු දැකීම සඳහා පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ද සිදුවිය යුතු බවත්, ඒ අනුව පෝෂණය සඳහා සහනාධාර සපයන අතර, අඩු ආදායම්ලාභීන් ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමත් එම වැඩසටහනේ අන්තර්ගතව තිබුණි. ජනසවිය වැඩසටහන, සමෘද්ධි ව්‍යාපාරය බවට වෙනස් කිරීමේ දී ප්‍රතිලාභීන්ට නිශ්චිත කාලසීමාවකින් පසු තමන්ගේම ආදායම් මාර්ග ඇති කරදීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කළ නමුදු පසු කාලයේ දී එයට දේශපාලනය මැදිහත් විය. ප්‍රතිලාභීන් තෝරා ගැනීම  දේශපාලනය පදනම් කරගෙන සිදු කිරීමත්, ප්‍රතිලාභ අඛණ්ඩව ලැබෙන තත්වයක් ඇති කිරීමත් නිසා එය දරිද්‍රතාව පිටුදැකීමේ ව්‍යාපාරයකට වඩා දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබුණි.

දරිද්‍රතා ප්‍රතිලාභ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී එය දේශපාලනය පදනම් කර නොගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇත. අස්වැසුම යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සමෘද්ධි වැඩසටහනට සම්බන්ධ ආයතනවලින් සහ එම නිලධාරීන්ගෙන් ඉවත් කරනු ලැබීය. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමාජ සුබසාධක මණ්ඩලය විසින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ ප්‍රතිලාභ ලබාදීම සිදු කරනු ලබයි. එම සංවිධාන ව්‍යුහය යටතේ දරිද්‍රතාව පිටුදැකීම නැවත වරක් විද්‍යාත්මක පදනමකින් සිදු කිරීම සදහා අවකාශ සැලසී තිබේ. දේශපාලනයෙන් තොරව නිශ්චිත කාලසීමාවක දී දරිද්‍රතාව අඩු කිරීමට හැකි උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා අවස්ථාවක් සැලසී ඇත. කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ ආදායම් උත්පාදන මාර්ග ඇති කිරීම වෙනුවට දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට සහ අවම මූලික පහසුකම් සහතික කිරීමට සිදු විය.

එහෙත් දැන් තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. සෘණ ආර්ථික වර්ධන කාලපරිච්ඡේදය අවසන් වී ආර්ථික වර්ධන වේගය ධන මට්ටමකට පත්ව තිබේ. උද්ධමනය අඩුවී විනිමය අනුපාතය ආර්ථික අර්බුදය අවස්ථාවේ පැවැති තත්වයට වඩා හොඳ තත්වයකට පත්වී ඇත. ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපාර කටයුතු අලු‍තින් ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. මීට පෙර අඩු ආදායම්ලාභීන්ට කිසියම් ප්‍රමාණයක සුබසාධක ප්‍රතිලාභ ලබාදීම පිළිබඳව සමාජයීය වශයෙන් ප්‍රතිවිරෝධතා පැන නැඟු‍ණේ නැත. කෙසේ වුව ද ඔවුන්ට ඉහළ ප්‍රතිලාභ දෙමින්, රටේ අනෙක් පිරිස්වල බදු බර ඉහළ දමන විට ඇතිවන ප්‍රතිවිරෝධතා පිළිබඳව ද සැලකිල්ල යොමු කළ යුතුව ඇත. මෙම සියලු‍ කරුණු සැලකිල්ලට ගෙන දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහන් සඳහා නව ප්‍රවේශයක් ඇති කර ගැනීම පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතුව තිබේ.

 

(***)