‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රටට සිදුව ඇති හානිය පිළිබඳව තවමත් සම්පූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර නැති බව පෙනේ. මැති ඇමැතිවරුන් සහ විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇති නමුදු සම්පූර්ණ හානිය පිළිබඳව ඇස්තමේන්තු කරන ලද නිල දත්ත රජය විසින් මේ දක්වා ඉදිරිපත් කර නැත.
එබැවින් සිදුව ඇති හානිය සහ එහි ප්‍රමාණය පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකිය. 2025 සහ 2026 වසරවල ආර්ථික වර්ධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මෙම ව්‍යසනයෙන් ඇති වීමට ඉඩ තිබේ. කෝවිඩ් ව්‍යසනයෙන් සහ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටින් වාර්තා වූ ඍණ ආර්ථික වර්ධනය අවසන් ව 2024 වසරේ දී ධන ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව වාර්තා කළේය. එම වසරේ දී ආර්ථිකය සියයට පහකින් වර්ධනය විය.
2024 වසර හා සසදන විට 2025 වසරේ පළමුවැනි සහ දෙවැනි කාර්තුවල දී ආර්ථික වර්ධනයේ යම් පසුබෑමක් පෙන්නුම් කළ ද එම කාර්තු දෙකේදීම සැලකිය යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගෙන තිබේ. 2025 පළමු කාර්තුවේ දී සියයට 4.8 කින් ද, දෙවැනි කාර්තුවේ දී සියයට 4.9 කින් ද මෙරට ආර්ථිකය වර්ධනය විය. තුන්වැනි කාර්තුවට අදාළ සංඛ්‍යා දත්ත තවමත් ප්‍රකාශයට පත් වී නැති නමුදු සියයට හතරකට වැඩි ආර්ථික වර්ධනයක් එම කාර්තුව තුළදී අත්කර ඇතැයි අපේක්ෂා කළ හැකිය.‘දිට්වා’ සුළි කුණාටුවේ හානිය බලපානු ලබන්නේ 2025 වසරේ හතරවැනි කාර්තුවට අදාළවය. සිදුව ඇති හානිය මෙන්ම සමහර නිෂ්පාදන අංශ තවමත් පෙර පැවැති තත්වයට පත්ව නැති නිසා එම කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සැලකිය යුතු මට්මකින් අඩුවීමට ඉඩ තිබේ. ලෝක බැංකුව මීට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව පුරෝකථනය කර තිබුණේ මෙම වසරේ දී සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇති බවයි. එසේ වුව ද හතරවැනි කාර්තුවට අදාළව සිදු වීමට ඉඩ ඇති වෙනස්කම් නිසා එම පුරෝකථනයට අනුව ආර්ථික වර්ධන වේගය පවතිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
සුළි කුණාටුව හේතු නොවුණ ද සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් අයිඑම්එෆ් සමග ඇති කර ගෙන ඇති ගිවිසුමේ සඳහන් ඉලක්ක 2025 වසරේ දී සම්පූර්ණ කර ගැනීමට හැකිවේද යන ප්‍රශ්නය දැනටමත් පැන නැගී ඇත. එම ගිවිසුමට අනුව මෙම වසර අවසානයේ දී ඩොලර් බිලියන 7.4 නිල විදේශ සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් රැස් කර ගත යුතුව ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විදේශ සංචිත අඩුවීමක් පසුගිය කාලය තුළ වාර්තා වී තිබුණ ද වසර අවසන් වීමට පෙර නිල සංචිත ප්‍රමාණය පිළිබඳ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකිවන බවයි. 2025 මාර්තු මාසය වනවිට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6531 දක්වා ඉහළ නැඟ තිබුණ ද සැප්තැම්බර් වනවිට එය ඩොලර් මිලියන 6244 දක්වා අඩු විය. නොවැම්බර් මාසයේ දී එය ඩොලර් මිලියන 6,033 දක්වා අඩුවිය. අයිඑම්එෆ් ණය වාරිකයේ ඊළඟ කොටස දෙසැම්බර් මාසයට පෙර ලැබීම, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් ලැබීම ආදි හේතු නිසා වසර අවසානයේ දී ඉලක්ක ගත තත්වයට ළඟා වීමට හැකි වෙතැයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. එසේ වුව ද ඉහත තත්වයෙන් පැහැදිලි වනුයේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතක මට්ටමට ගෙන ඒම සඳහා වුව ද ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් අලුතින් සංචිතවලට එකතු කළ යුතුව ඇති බවයි.
රටට මුහුණ දීමට සිදුවූ ව්‍යසනය හේතුවෙන් විදේශ රටවලින් ද, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ද සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාවක පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ඇතිව තිබෙන හානිය පිළිබඳව එම අරමුදලේ අවධානය යොමු වී ඇති බවයි. ඊට අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකාවට කෙසේ සහාය විය හැකිද යන්න පිළිබඳව අරමුදල තීරණයක් ගනු ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 200 ක හදිසි ආපදා ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති බවත් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. අයිඑම්එෆ් ඊළඟ ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දෙන දිනය සහ ඇතිව තිබෙන නව තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පිළිබඳව එම ආයතනය ඉදිරි කාලය තුළ දී තීරණය කරනු ඇතැයි සිතිය හැකිය. කෙසේ වුව ද නිල සංචිත ප්‍රමාණයේ දැනට සිදුව ඇති පහළ යෑමට සාපේක්ෂව නැවත යථා තත්වයට පත්වීමට එම අරමුදලෙන් ලැබෙන ආධාර ප්‍රමාණය පමණක් හේතු වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
ආපදා තත්වය මග හරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහ විදේශ රටවලින් සැලකිය යුතු ආධාර ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව පෙනේ. එසේ වුව ද සමහර රටවලින් ලබා දීමට තීරණය කර ඇති ආධාර ප්‍රමාණය පිළිබඳව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ ඇතැම් රටවල් ශ්‍රී ලංකාව හිඟන්නකුගේ තත්වයට දමා කටයුතු කර ඇති බවයි. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය ආපදා ආධාර ලෙස ඩොලර් මිලියන 1 ක් ද, බ්‍රිතාන්‍යය ඩොලර් මිලියන 1.2 ක් ද ,චීනය ඩොලර් මිලියන 1 ක් ද ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. ඒ අතර අසල්වැසි කුඩා රටක් වූ මාලදිවයින එක් දිනක් තුළ ඩොලර් මිලියනය ඉක්මවා යන ආධාර මුදල් එකතු කර ඇති බවට ද වාර්තා විය. ඩොලර් මිලියනයක් යනු රුපියල් මිලියන තුන්දහකට ආසන්න මුදල් ප්‍රමාණයකි. ඉහත රටවල් ජනතාවට සහන සැලසීම සඳහා වූ ක්ෂණිකව ලබා දී ඇති සහන පරිත්‍යාග වශයෙන් එම අරමුදල් සැලකිය හැකිය. රජය ප්‍රතිසංස්කරණ සඳහා නිශ්චිත සැලසුමක් සකස් කර අවසන් වූ විට ඊට ආධාර කිරීම සඳහා ජාත්‍යන්තර ආයතන සහ රටවලින් නව අරමුදල් ලබාදෙනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය.
මේ වනවිට ආපදාවට ලක් වූ ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාවට සහන සැලසීම සඳහා වූ යෝජනාවලියක් රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. නිවාස පිරිසුදු කර ගැනීම සඳහා එක් නිවෙසකට රුපියල් 25,000 ක මුදලක්, ගෘහ භාණ්ඩ ආදිය මිලදී ගැනීම සඳහා රුපියල් 50,000 ක මුදලක්, නිවෙසක් තනා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනහක් දක්වා වූ මුදලක්, ඉඩමක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනහක් දක්වා වූ මුදලක්, ආපදාවට පත් වූ පාසල් සිසුන් සඳහා රුපියල් 6,500 ක මුදලක් ආදි වශයෙන් සහන සැලසීමට රජය කටයුතු කර ඇත. ඒ සඳහා වන අතිරේක වැය ඇස්තමේන්තුවක් ද සම්මත කර ගෙන තිබේ.
2025 වසරේ අයවැය ලේඛනයෙන් වෙන් කර තිබෙන ප්‍රාග්ධන වියදම්වලින් සහ සමහර පුනරාවර්තන වියදම්වලින් ඒ සඳහා අරමුදල් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඊට හේතුව 2025 අයවැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඉතා විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වියදම් කර නොතිබීමයි. අයවැය මගින් වෙන් කර ඇති මුදල්වලින් වැඩිම මුදල් ප්‍රමාණයක් වැය කර නැති මුදල් වර්ෂය ලෙස 2025 වසර වාර්තාගත වීමට ද සමහර විට ඉඩ තිබේ. එසේ වුව ද පශ්චාත් ව්‍යසන ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා එම අරමුදල් යොදා ගැනීමෙන් අයවැයෙන් වෙන් කර ඇති අරමුදල් උපයෝජනය නොකිරීම පිළිබඳව ගැටලුවට ද විසඳුමක් ලැබෙනු ඇත.
විවිධ ප්‍රදේශවල ආපදා තත්වය පිළිබඳව දැනට ලැබී ඇති තොරතුරුවලින් පැහැදිලි වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කාර්මාන්ත ශාලා, නිෂ්පාදන ආයතන සහ කෘෂිකාර්මික කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී ඇති බවයි. ඒ අතරම පාසල්, රජයේ කාර්යාල, මහාමාර්ග, පාලම්, දුම්රිය මාර්ග ආදිය ද විනාශයට පත්ව තිබේ. ඒවා යථාතත්වයට පත් කිරීම සඳහා අති විශාල අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. නිෂ්පාදන කටයුතු සහ යටිතල පහසුකම් යථා තත්වයට පත් නොකරන තුරු එය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවේ. ආර්ථිකය යථා තත්වයට පත් කර නිෂ්පාදන අංශ සහ යටිතල පහසුකම් පෙර පැවැති තත්වයට ගෙන එන තුරු ආර්ථික වර්ධනයේ පහළ වැටීමක් අපේක්ෂා කිරීමට ද සිදුවේ.
ආපදාවට පත් වූ පුද්ගලයන්ට සහන සැලසීමත්, විනාශයට පත් වූ දේපළ, නිෂ්පාදන අංශ සහ යටිතල පහසුකම් ඉතා කඩිනමින් යථා තත්වයට පත් කිරීමත් ව්‍යසනයට මුහුණදීම සඳහා ගනු ලබන පියවරවල මූලික අවස්ථා පමණි. ඊට අමතරව එවැනි ආපදා යළි ඇති නොවීම සඳහා වූ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම, ආපදාවල බලපෑම අවම කිරීම සඳහා කටයුතු යෙදීම, එවැනි ආපදා සිදුවන අවස්ථාවක දී ක්ෂණිකව අනුගමනය කළ යුතු ප්‍රතිචාර ක්‍රම නිර්ණය කිරීම, ඒ සඳහා වූ ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම හා නව ආයතන ගොඩ නැගීම, දේශගුණික විපර්යාස සහ ඒවායේ බලපෑම අවම කරගැනීම සඳහා වූ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව නිසි යාන්ත්‍රණ සැකසීම ආදිය ඊට අදාළ මැදි හා දිගු කාලීන වැඩපිළිවෙළක අඩංගු විය යුතු වේ. ඉතා ඉක්මනින් ඒ සඳහා වූ සැලසුමක් සකස් කිරීම, ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීම සහ නිශ්චිත කාල රාමුවක් තුළ ඒවා ගොඩනැගීම ආදිය සඳහා ඉතා කඩිනමින් කටයුතු කළ යුතුව ඇත.
මෙම අවස්ථාවේ දී රජයේ මෙන්ම අදාළ සියලු පාර්ශ්වවල අවධානය යොමු විය යුතුව ඇත්තේ ආපදාවක දී රටටත් ජනතාවටත් සිදුවන හානිය අවම කර ගැනීම පිළිබඳවය. ස්වාභාවික විපත් අපට අවශ්‍ය අන්දමට වළක්වා ගත හැකි යැයි අපේක්ෂා කළ නොහැකිය. එසේ වුව ද අප මේ දක්වා මුහුණ දී ඇති ස්වාභාවික විපත්වල දී මෙන්ම ස්වාභාවික නොවන විපත්වලදී ද ලබන ලද අත්දැකීම් ඔස්සේ ඒ සඳහා වන අනාගත සැලසුම් සහ ක්‍රියා මාර්ග සකසා ගැනීමට අවස්ථාව සැලසී තිබේ. නිශ්චිත සහ ඉතා විධිමත් ක්‍රියාපිළිවෙත් ඇතිකර ගැනීමෙන් එවැනි ආපදා රටේ ආර්ථිකය කෙරෙහි ඇති කරන බලපෑම අවම කර ගැනීමට ද හැකියාව ලැබේ.
(***)


