”අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය.”
”මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය ඔහුය”
”විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ඔහුය.”
මෙවන් සාහිත්‍යමය නිර්වචනවලට පාත්‍ර වු ළමයා නිර්වචනයකට සීමා කළ නොහැකිය. 1989 නොවැම්බර් මස 20 වැනි දිනදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට අනුව ඉතාමත් සරලම අදහස නම් ”නීතිය මඟින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු මනුෂ්‍යයන් ළමුන්ය”.යනුවෙනි.
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් කියා සිටියේ දරුවා යනු වැඩිහිටියන්ගේ කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. දරුවාගේ මනස සුදු පැහැති කඩදාසියක් වැනිය. මුල් කාලයේදී එය ඉතා පිරිසුදුය. මෙහි මුල්ම සටහන තබන්නේ මව, පියා සහ සහෝදර සහෝදරියන්ය. රුසියාවේ නායක ලෙනින් කියා සිටියේ දරුවන්ට දිය යුත්තේ හොදම දෙය බවයි. චීනයේ මාවෝ සේතුං කියා සිටින්නේ ලෝකයේ උත්තම චරිතය දරුවා බවය.
වසරක දින 365 අතරින් ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් වෙන් වූ දිනය ඔක්තෝබර් පළවෙනිදාය. මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් පවතියි. එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි. මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමාය. ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැක ගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමාය. එම දිනය රෝස දිනය ලෙස ඔහු නම් කර තිබුණි. තුර්කි රජය 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය. බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව පැවැත්විය. එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය.
රොමේනියාවේ ජාත්‍යන්තර ළමා දිනය සමරන්නේ ජූනි මාසයේ පළමු වැනි දිනයේය. එදිනට මෙම රටේ දරුවන්ට නොමිලයේ සත්වෝද්‍යානයට ඇතුළු වී විනෝද වීමට අවස්ථව උදා කර දී තිබේ. ආර්ජන්ටිනාව අගෝස්තු මාසයේ දෙවැනි ඉරිදා දිනය ළමා දිනය සමරන්න යොදා ගනියි. බ්‍රසිලය ඔක්තෝබර් 12 වැනි දිනත් කැමරන් රාජ්‍යය සහ කොංගෝ රාජ්‍යය දෙසැම්බර් 25 වැනිදා ළමා දිනය සමරයි. ඉන්දියාව ජවහල්ලාල් නේරුතුමාගේ ජන්ම දිනය යෙදී තිබෙන නොවැම්බර් 20 වැනිදා ළමා දිනය සමරනු ලබයි. පකිස්තානයත් මේ දිනයම තෝරා ගත් අතර ඊශ්‍රායලය විසින් ඔක්තෝබර් 19 වැනි දින ළමයින් වෙනුවෙන් තෝරා ගන්නා ලදි. ඒ අයුරින් වසරේ විවිධ දිනවල එක් එක් රටවල් ළමා දිනය සමරයි.
ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගැනී. මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය. මේ අතීත සිදුවීම් සමග සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අපි ළමා දිනය සමරන්සෑනෙමු. සෑම වර්ෂයකම යම් යම් තේමා මුල් කරගනිමින් ලෝක ළමා දින සැමරුම සංවිධනය කෙරේ. “ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” 2025 වර්ෂයේ ලෝක ළමා දිනයේ තේමාව වේ. ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව සැප්තැම්බර් මස 25වැනිදා සිට ඔක්තෝබර් 01 වැනි දින දක්වා ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීම මෙවර සිදුවූ සුවිශේෂ සිදුවීමකි. ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වුණි.
ශ්‍රී ලංකාව දියුණු සංස්කෘතික හර පද්ධතියකට හා සදාචාරාත්මක සමාජ පසුබිමකට හිමිකම් කියන රටකි. මෙරටේ පමණක් නොව මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එම වර්ගයාගේ පැවැත්ම උදෙසා තීරණාත්මක ප්‍රමුඛ සාධකය දරුවන්ය. සංස්කෘතිකමය කාරණා තුළ මෙරටේ වඩා සුවිශේෂ ස්ථානයක් දරුවන්ට හිමිව ඇත. ඒ අනුව රටේ අනාගතය දරුවෝ වෙති. මෙලොව උතුම් වස්තුව දරුවෝය. එසේම ළමා ජනගහනය අනාගත නිෂ්පාදකයන් නියෝජනය කරන්නෝය. දරුවා යනු සුවිශේෂ චරිතයකි. ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරණය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවකු නිර්මාණය කිරීමට වැදගත් වේ. හෙට ලෝකයේ අනාගතයේ වගකීම් දරන්නෝ ඔවුහුය. එහෙයින් සියල්ලට ඉහළින් දරුවෝ සිටිති. එය අවිවාදිත සනාථන සත්‍යයයි.
ළමුන්ට එරෙහි වන නොයෙක් හිංසන පීඩන විශාල ලෙස ඉහළ ගොස් ඇත. ඒ අවාසනාවන්ත තත්වය නිර්මාණය වීමට සමාජ වටපිටාවක් නිර්මාණය වීමෙහිලා තුඩු දී ඇති හේතු සාධක බොහොමයකි. ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග්‍රහ කරන්නේ මෙලෙසය. සියලුම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා ක්‍රියා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ ක්‍රෑර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතු කරගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ක්‍රියා කිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි.
අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනත අනුව මාපියන් නොමැති, භාරකරුවකු නොමැති අඩු වයසින් බාල මෙහෙවර කටයුතුවල යොදවන ළමුන් වෙනුවෙන් පෙනී සිටීමට මෙම පනතට හැකිය. 1939දී පනවන ලද ළමුන් හා තරුණ කටයුතු පනත සහ 1956 අංක 47 දරන ස්ත්‍රී, තරුණ පිරිස් හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැළැක්වීම සඳහා වන පනත තවත් මේ සඳහා පනවා ඇති පනත් ය. මෙවැනි වූ නීති පද්ධතියක් ක්‍රියාත්මක වුවද ළමා දූෂණ, අපයෝජන සහිත සමාජයක ජීවත් වීමට තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට වත්මන් සමාජයට සිදුව ඇත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත අනුව 2024 වර්ෂයේ දී දරුවන් සම්බන්ධයෙන් බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 321 කි. එකී වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනි දා දක්වා වූ කාලය තුළ ලිංගික අතවර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 580 කි. එම කාලය තුළ ළමුන් සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 8,746 ක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ දත්ත අනුව පෙනී යයි. ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් 2,746ක් ලැබී ඇත්තේ ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධ පැමිණිලි ය. ළමුන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1950ක් ලැබී ඇති අතර, යාචකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 229 ක් ලැබී තිබේ. ඒ අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 42 ක් ලැබී ඇත. ලිංගික ක්‍රියා සඳහා ළමුන් යොමු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත පෙන්වා දෙයි. ළමා විවාහ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් පසුගිය වර්ෂය තුළ වාර්තා වී ඇත. එමෙන්ම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 151ක් ලැබී ඇත.
ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය සමරනු ලබයි. කෙසේ වෙතත් මේ පිළිබඳව කතිකාවක් සමාජය තුළ කොතෙක් ගොඩනැඟුවත් ළමයින්ට එරෙහි පීඩා හිංසන සහ අපයෝජන ඉහළ යාම වළක්වාලීමට අසමත් වී තිබේ. ළමුන් පිළිබඳව කොතෙකුත් කතා කළ ද ඔවුන්ට වන හිංසා, පීඩා හා අපයෝජනයන්ට නිසි පියවරක් ගෙන තිබේද යන්න ගැටලුවකි.
(*** ශෂිකා අබේරත්න)

