දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ උදහසට ලක් වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව පසුගිය සතියේ වාර්තා විය.
කොස්තාපල් සුමින්ද පොලිස් සේවයෙන් සමුගැනීමට හේතුවූ කාරණාව හා මුහුණ දුන් සිද්ධීන් ගැන ඔහුගෙන් විමසීමු.
ඔබේ නම?
අතපත්තු හේවාවසම් ලියනගේ දොන් සුමින්ද සමන්
පවුලේ විස්තර?
පළිතුර - බිරිඳයි, දුවලා දෙන්නයි, පුතයි.
අධ්‍යාපනය ලැබුවේ?
අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ. උසස් පෙළත් කළා.
පොලිසියට බැඳුණේ කොයි කාලෙද?
2000.07.09
කොස්තාපල් සහ පවුලේ අය |
ඇයි පොලිසියට බැදෙන්න හිතුණේ?
මගේ තාත්තා පොලිසියේ අවුරුදු 33කට වැඩිය සේවය කළා. තාත්තා සැරයන්වරයෙක් වුණේ එවකට පොලිස්පතිතුමාගේ විශේෂ උසස්වීම් යටතේ. මං පොලිසියට බැඳෙනකොට ලොකු අයියා නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණු උපදේශකවරයෙක් විදියට හිටියා. මගේ අනිත් අයියා 1999 වසරේ පොලිසියට බැඳුණේ. ඒ වසරේ උප පොලිස් පරීක්ෂකවරුන් 300ක් ගත්තා. මගේ අයියා නීති විෂයෙන් වැඩිම ලකුණු ගත්තේ. එයාට සම්මානයකුත් හම්බුණා. සී.අයි.ඞී එකේ වංචා විමර්ශන අංශයේ සේවය කළා. පවුලේ වැඩිදෙනෙක් පොලිසියේ සිටි නිසා මටත් ආසාවක් ආවා පොලිසියට යන්න.
ඔබේ සහෝදරයා සී.අයී.ඞීයෙන් ඉවත් කළ නිලධාරියෙක් කියා චෝදනාවක් තියෙනවා.?
ඒක අමූලික බොරු. මගේ අයියා දක්ෂ නිලධාරියෙක්. රහස් පොලිසියේ වංචා විමර්ශන අංශයේ සේවය කළේ. එයා එස්.ටී.එෆ් එකේ හිටියා කියලා නියෝජ්‍ය ඇමැතිතුමා කියලා තිබුණා. ඒකත් බොරු. ග‍්‍රීන්කාඞ් අයදුම්කරලා ඇමෙරිකාවේ පුරවැසිභාවය හමුවුණ නිසා නීත්‍යානුකූලව සියලූ බඩුබාහිරාදිය බාර දීලා පොලිස්පතිතුමාගෙන් නිසි අවසරය අරගෙනයි අයියා ගියේ. අයියා ගිහින් අවුරුදු 13ක් විතර වෙනවා.
අපි මාතෘකාවට එමු. ඔබ කියා තිබුණා නියෝජ්‍ය ඇමැති තර්ජනය කළා කියලා. නමුත් ඇමැති කියා තිබුණා ඔබ කැත විදියට කතා කළා කියලා. කවුද හරි?
නියෝජ්‍ය ඇමැතිතුමා මටයි බැන්නේ. මේ සියල්ල සී.සී.ටී.වී කැමරාවල සටහන් වෙලා තියෙනවා. ඒවා පරීක්ෂා කළා නම් ඇත්ත එළිවෙයි. අපේ ඕ.අයි.සී මහත්තයයි, මමයි, කොස්තාපල් මදුරංගයි නියෝජ්‍ය ඇමැතිතුමාගේ හැසිරීම ගැන එදිනම පොත්වල සටහන් දාලා තියෙනවා. ඕ.අයි.සී මහත්තයයි, මමයි පිටු පහක සටහන් දමා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ ටිකට් කඩන මල්ලිලා දෙන්නත් මේක දැක්කා. එයාලත් මුලින් මට වුණු දේ ගැන හරියට කටඋත්තර දී තිබුණා.
නියෝජ්‍ය ඇමැතිට වැඳ සමාව ගන්නා ලෙස ආරක්ෂකයන් කී බවට මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ ඇත්තද?
ඔව් කිව්වා. පී.එස්. ඕ මහත්තයාගේ වාහනේ කොළඹ පැත්තේ ඉඳන් ඇවිත් යූටර්න් ගහලා නැවැත්තුවේ. ඊට පස්සේ නියෝජ්‍ය ඇමැතිතුමා ගාවට ගිහින් ටිකක් කතා කර කර ඉඳලා මං ගාවට ඇවිත් කිව්වා ”ඇමැතිතුමාට තරහ ගිහින් ඉන්නේ වැඳලා සමාව ගන්න” කියලා. ඒ සර් ඇමැතිගේ වාහනයේ රියදුරුටත් බැන්න පණ්ඩිතයා කියලා. මං එතකොට කිව්වා සර් ඇමැතිතුමෙක් ඇතුළේ ඉන්නවා කියලා මට රියදුරා කිව්වේ නැහැ ඒකයි මෙහෙම වුණේ කියලා. ඕකා පණ්ඩිතයා කියලා රියදුරාටත් බැන්න ඊට පස්සේ.
ඔබ අධිවේගී මගේදී මුහුණ දුන් සිද්ධිය ගැන පැමිණිලි කළාද?
මම පිටු පහක් පිරෙන්න තොරතුරු සටහන් පොතේ සටහන් කළා. අපේ ස්ථානාධිපති සහ අනෙක් කොස්තාපල්වරයත් සටහන් කර තිබුණා. අධිවේගී මාර්ග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට පහුවදා සිද්ධිය ඔක්කොම කිව්වා. එතැනදි පොතේ ලියා ගත්තේ නැහැ. ටයිප් කර ගත්තා. මං පැය 12ක් විතර එතන හිටියා.
ඔබේ වාහනය කාගේ නමින්ද ලියාපදිංචි කර තිබෙන්නේ?
හිටපු පොලිස් සැරයන්වරයකුගේ නමින්. ලීස් එකක් තිබුණු නිසා පොත ට‍්‍රාන්සර් කර ගත්තේ නෑ. එයාට ලීසිං ගෙවන්න බැරිව ඇරියස් තිබුණා. මං තමයි ඔය තත්ත්වෙට ගෙනාවේ.
ඔබ වාහනයේ වාරික නිසි ලෙස ගෙවා නෑ කියා චෝදනාවක් තියෙනවා?
මේ තොරතුරු කොහොම ගත්තද දන්නේ නෑ. අනුන්ගේ පෞද්ගලික විස්තර ලීසිං සමාගමකට හෝ රක්ෂණ සමාගමකට පුළුවන්ද පිටස්තර පුද්ගලයන්ට දෙන්න? වාහනේ ඔය තත්ත්වෙට හරි ගෙව්වේ මං තමයි. මං පුළුවන් විදියට ගෙව්වා.
වාහනය ගිනි තිබ්බට පස්සේ ඔබට ඒ වෙනුවෙන් කීයක් හම්බුණාද?
මට සත පහක්වත් හම්බුණේ නෑ. වාහනේ ලියාපදිංචි කර තියෙන්නේ වෙන කෙනකුගේ නමට. මට හම්බවෙන්නේ නැහැනේ ඒ නිසා. මමත් මේ වාහනේ ඇතුලෙම පිච්චිලා ගියා නම් මොකද වෙන්නේ? අපවාද විතරක් ඉතුරු වෙයි. ජීවත් වෙන නිසා චෝදනාවලට උත්තර දෙන්න හරි පුළුවන්.
ඔබව ලූහුබැඳ පහර දී වාහනය ගිනි තැබුවාය කියන අවස්ථාවේ ඔබ දුරකතනයේ සිටි බවට චෝදනා තිබෙනවා?
කටඋත්තර ගනිද්දි මගෙන් සැරෙන් සැරේ ඇහුවා ගියපු වෙලාව කීයද, සිද්ධිය වුණේ කීයට ද කියලා. ආසන්න වශයෙන් හතයි හතළිස් පහට ගෙදරින් ගියා කියා මා කිව්වා. හරියටම වෙලාව දන්නේ නැහැනේ. වරාමලී ටෙලි නාට්‍ය බාගයක් විතර ගියාට පස්සේ තමයි මා ගියේ. පිරිස මගේ පස්සෙන් එළවද්දි මං අම්මට කෝල් එකක් ගත්තා මට කරදරයක් කියා කියන්න. වාහනේ යන ගමන් තනි අතින් ගත්තේ. ඉතින් මට කට් කරන්නවත් බැරි වෙන්න ඇති ඒ වෙලාවේ.
ඔබේ ගෙදර ඉඳන් ඔය සිද්ධිය වුණු තැනට කොච්චර දුරද?
හරියටම දන්නේ නෑ. කිලෝමීටර හයක් වගේ ඇති.
ඉතින් කෙටි වෙලාවක් ඇතුළතනේ ඔක්කොම වෙලා තියෙන්නේ?
පොලිසිය එහෙම කියලා මේක අනිත් පැත්තට පෙරළන්න හදනවා. රෑට මං හයියෙන් යනවා. අනික මගේ පස්සෙන් වාහනයක් එළවද්දි මං ගාට ගාට යන්නද? මගේ වාහනය ගිනිතිබ්බේ නෑ, මට ගැහුවේ නෑ කියන්න විවිධ කතා මවනවා. දැන් මට කියනවා නැනෝ කාර් එකක් ගෙනත් එදා ගියපු විදියට ගිහින් පෙන්වන්න කියලා. මාව මානසිකව වට්ටන්න හදනවා.
මේ සිද්ධිය වෙලා කොච්චර දවස්ද?
දැන් මාසෙකට වැඩියි.
ඔබ තවම සේවයට වාර්තා කළේ නෑ නේද?
මං මෙඩිකල් ඉන්නේ. මට තවම සනීප නෑ. මුත‍්‍රා එක්ක ලේ ගියා. තවම පරීක්ෂණ කරනවා.
පොලිස් පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?
පරීක්ෂණ යන අතරතුර පරීක්ෂණවල තත්ත්වය දේශපාලකයන් කියනවනේ. ඉතින් කොහොමද සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ?
ඔබට කවුරු හරි බලපෑමක් කළා නේද පොලිසියෙන් අයින් වෙන්න කියලා?
ම්.. ඇත්තටම...ම්.. නෑ.. මේකයි..
ඇයි ඔබ කියන්නේ නැත්තේ? මොකක් හරි හංගනවා නේද?
ඇත්තටම මගේ ජීවිතේට ලොකු බලපෑමක් තියෙන නිසයි අයින් වුණේ. මං අවුරුදු 14 ක් කරපු රස්සාව දාලා නැත්නම් මං කීයටවත් යන්නේ නෑ. ගොඩක් අය මට කිව්වා මේකෙන් අයින් වෙන්න එපා කියලා. ඉස්සරහට මොනවත් කරනවද කියලා තවම තීරණය කරළත් නෑ. මගේ දරුවන් හා පවුලේ අය ගැන හිතලයි මං අයින් වුණේ.
ඔබ විරුද්ධ පක්ෂ දේශපාලකයොත් එක්ක ඇසුරක් තියෙනවා කියනවා? ඔබ රාජද්‍රෝහියෙක් කියලත් කියනවා?
මං කවුද, මගේ පක්ෂය මොකක්ද කියලා ඇමැති කුමාර වෙල්ගම මහත්තයාගෙන් අහන්න. අහන්න නැනෝ රාළහාමි කියන්නේ කවුද කියලා. මම මේ රජයට පක්ෂපාතී කෙනෙක්. මාව රාජද්‍රෝහියෙක් කරන්න එපා. මං රජයට විරුද්ධව කිසිදෙයක් කළේ නෑ. මට වුණු අසාධාරණය ගැන පමණයි මං කතා කළේ.
මේ සිද්ධි නිසා ඔබ ගොඩක් ජනප‍්‍රිය චරිතයක් වුණා. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
කවදාවත් නෑ. ගොවිතැනක් කරලා ජීවත්වෙනවා. දේශපාලනේට නම් එන්නේ නෑ. දේශපාලනඥයකුට දඩ කොළයක් දීලා මාව මෙච්චර අපහසුතාවට පත් වුණා. මං හිතන් ඉන්නේ ආයේ ඡුන්දයක්වත් දාන්නේ නෑ කියලා.
ඔබත් ඇමෙරිකා පුරවැසිභාවයට බලාපොරොත්තුවෙන් ළඟදි ග‍්‍රීන්කාඞ් අයදුම් කර රුපියල් ලක්ෂ තිහක් පෙන්වන්න බැරි නිසා යන්න බැරි වුණා කියලා කියනවා. ඇත්තද ඒක?
මම 2004 හෝ 2005 වසරේ වගේ ග‍්‍රීන්කාඞ් දැම්මා. ඒ එක දරුවෙක් ඉද්දි. ඒත් හම්බුණේ නෑ. ඊට පස්සේ මං දාලා නෑ. මේකත් මේ මාව අමාරුවේ දාන්න ගෙන යන කතාවක්.
ඔබ වෙනත් රටකට යන්න නේද ඉන්නේ?
අනේ නෑ. මං කොහේවත් යන්නේ නෑ.
ඔබට තියෙන බලපෑම ගැන හරියට නොකියා මග ඇරියා?
මට බලපෑමක් තියෙනවා තමයි. අවශ්‍ය වෙලාවට මං කියන්නම්. රාජකාරි හරියට කළ නිසා තමයි මෙහෙම වුණේ.
බලපෑම එන්නේ දේශපාලනඥයකුගෙන් ද? උසස් පොලිස් නිලධාරියකුගෙන් ද?
අනේ සමාවෙන්න මගෙන් ඒ ගැන තවදුරටත් අහන්න එපා. මාව අපහසුතාවට පත් කරන්න එපා.
ඇයි ඔබ කෙනා කියන්නේ නැත්තේ? කවද ද කෙනාව හෙළි කරන්නේ?
දැන් ඔන්න මං පොලිසියෙනුත් අයින් වුණා. ආයෙත් බලපෑම් කරන්න ආවොත් මං නම හෙළි කරනවා.
ආයෙත් බලපෑම් කළොත් මොකද කරන්නේ?
එහෙම වුණොත් කොට්ටෙකුත් අරන් ගිහින් මානව හිමිකම් කොමිසමේ මට නවතින්න තමයි වෙන්නේ.
ඔය බලපෑම් කරන කෙනා කියන්නේ ඔබට පොලිසියෙන් අයින් වෙන්න කියල විතරද?
තිබ්බ අඩිය පස්සට තියලා පැමිණිල්ල අස්කර ගන්න කියන්නේ. මේක ගැන අයෙත් අහන්න එපා.
මහත්තයා ද ඔබට බලපෑම් කරන්නේ?
ම්ම්... මේකයි.. අනේ සමාවෙන්න මහත්තයෝ මගෙන් අහන්න එපා. ලංකාදීප ඇතුළු මාධ්‍ය නිසා තමයි මං මෙහෙම ඉන්නේ. නැත්නම් මට මොනවා වෙලාද දන්නේ නෑ. ඒත් මෙතනදි මාව අසරණ කරන්න එපා.
ඔබ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ ඇයි?
රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුටයි රජයටයි විරුද්ධව යන නිසයි මගෙන් කටඋත්තර ගන්නේ කියලා කිව්වා. නියෝජ්‍ය ඇමැතිතුමාගේ පැමිණිල්ල ගැනයි විමර්ශනය කරන්නේ කිව්වා. එහෙම කියලා කටඋත්තර අරගෙන මාව හිරකරන්න යන නිසා සාධාරණයක් බලාපොරොත්තුවෙන් තමයි මානව හිමිකම් ගියේ.
අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
මං පැමිණිල්ලේ සාධාරණත්වයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මට කොච්චර බලපෑම් කළත් පැමිණිල්ල අයින් කරගන්නේ නෑ. මං හරියට රාජකාරිය කළා. එහෙම කරපු මට මේ වුණ දේ ගැන ගොඩක් කණගාටුයි. මට ගහපු එක්කෙනෙක් හරි හොයාගනියි කියලා මං තවම බලාපොරොත්තු වෙනවා. මං පොලිසියේ හිටියනම් මං හොයාගන්නවා කොහොම හරි.
අනිත් එක නියෝජ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මං මගේ රස්සාවෙන් සදහටම අයින් වෙනවා. ඔබතුමා පුළුවන්නම් මේ පරීක්ෂණ ඉවර වෙනකම් නියෝජ්‍ය ඇමැතිකමෙන් ඉවත්වෙලා පෙන්වන්න. එතකොට අපි දෙන්නම සාමාන්‍ය මිනිස්සුනේ. පරීක්ෂණ යම් පමණකට හරි සාධාරණයක් වෙයිනේ. මගෙන් කටඋත්තර ගන්න නිලධාරීන් ආවේ මොනවගේ වාහනයක ද කියලා හැමෝම දන්නවා.
‘බ‍්‍රහස්පතින්දා දවල් පොලිසියෙන් නැනෝ කැබ් එකකුයි රියදුරකුයි අරගෙන ඇවිත් මගේ ගෙදර ගේට්ටුව ළඟ ඉඳන් සිද්ධියවුණු තැනට යනවා කියලා ගියා. ඊට පස්සේ ආයේ ඇවිත් ගේ ළඟ ඉඳන්ම ගියා. ඒකට මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මටත් ඕනෑ මට මේක කරපු අය අල්ලගන්න.
ආයෙත් රෑ දොඩම්ගොඩ ඕඅයිසී මහත්තයා නැනෝ කැබ් එකක ආවා. ඒක ඇතුලෙ සාමාන්‍ය ඇඳුම් ඇඳගත් තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් වීඩියෝ කැමරාවක් අතේ තියාගෙන හිටියේ. පොලිසියෙන් ආවා කියා ආරංචි වෙලා 50ක් විතර ගමේ අය ගෙවල් ළඟට ඇවිත් හිටියේ.
වාහනයේ එක්කෙනෙක් දුරකතන ඇමතුමක් අරගෙන කියලා තියෙනවා මෙයා ගෙදර හිටියේ නෑ. දැන් හම්බවුණේ. දැන් අරගෙන එන්න හදන්නේ කියලා. ඒක ගමේ කෙනකුට ඇහිලා මට කිව්වා මම තවම බෙහෙත් කරනවා. මහ රෑ මට ආරක්‍ෂාවකුත් නෑ. මං ඒ නිසා බෑ කිව්වා යන්න. ඊට පස්සේ ඕඅයිසී මහත්තයා කිව්වා එහෙනම් පරීක්‍ෂණයට සහයෝගය දෙන්න බෑ කියා ප‍්‍රකාශයක් දෙන්න කියලා. මං කිව්වා සහයෝගය දෙන්න බැරිකමක් නෙමේ. මගේ ආරක්‍ෂාව ගැනයි ප‍්‍රශ්නෙ තියෙන්නේ කියලා. ඊට පස්සේ මගෙන් කටඋත්තරයක් අරගෙන ගියා.
ඒ ආරංචියට ගමේ විශාල පිරිසක් සහ මාධ්‍යය මා හොයාගෙන ආවා.
මං දැන් මිරිහානට යන්න හදන්නේ. නැත්නම් හිතයි මං සහයෝගය දෙන්නෙ නෑ කියලා. මගේ දුව මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියන්න ඉන්නවා. දරුවන්ගේ මානසිකත්වයත් හොඳ තත්ත්වයක නෑ. මට මගේ ළමයි නැති කරගන්න බෑ. මමයි පැමිණිල්ල කළේ. අනේ මහත්තයෝ මුං මාව මරන්න හදනවද දන්නේ නෑ. (සුමින්ද හඬාවැටෙයි) මං හරියට වැඩ කළා පොලිසියේ. මට කරන්න පුළුවන් උපරිම දේ කළා. එහෙම කරලා මට මෙච්චරයි ඉතුරු වුණේ. (ඔහු දිගින් දිගටම හඬා වැටෙයි.)








