තැතිගත් අවස්ථාවක මනසට රසාස්වාදයක්


කොරෝනා වසංගත තත්ත්වය ඉතාම භයානක තැනක බව අවිවාදිතය. මුළු ලෝකයම තැතිගෙන ඇති ස්වභාවයකය. එන්නත්කරණය ඉතාම සාර්ථකව කරගෙන ගිය රටවල් නැවත වටයකින් වසංගතයේ ව්‍යාප්තියක බව වාර්තා වෙයි. නැවත ලොක්ඩවුන් කරන ලද රටවල් ගණනාවකි. මතුපිටින් පෙනෙන ව්‍යුහයට හාත්පසින්ම වෙනස් අර්බුදකාරී අවකාශයක් කරා යොමුවෙමින් සිටි කාලවකවානුවකි. කිසිවකු කිසිම ආකාරයකින් කොරෝනා වයිරසයෙන් පරෙස්සම් කළ නොහැකි අතර ස්වකීය හැසිරීමෙන් පරෙස්සම්විය යුතු බව අවධාරණය කළ යුතුය.

දිනකට සිය දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන කාලවකවානුවක අප සියලු දෙනාටම බරපතළ වගකීමක් තිබේ. බිහිසුණු ත්‍රස්තවාදී ගැටුම් පැවැති කාලයේ දී හෝ දිනපතා මෙපමණ මිනිස් ජීවිත ගණනක් රටට අහිමි වූයේ නැත. තර්ජනය නැග එන අතරවාරයේ පවා ධෛර්යය සම්පන්නව නැගී සිටීම අවශ්‍යය. උපරිමයෙන් ශක්තිමත් විය යුතුව තිබේ. මුහුණු ආවරණ පැලඳීම, නිතර අත් සෝදා ගැනීම, සමාජ දුරස්ථකරණය වැනි මූලික සෞඛ්‍ය පිළිවෙත් අපහසු දේ නොවේ. එහෙත් නොසැලකිල්ල හා වගකීමක් රහිත හැසිරීම අප සියලු දෙනා අසරණ කර ඇති බව සඳහන් කළ යුතුය.

අපට ඇති ප්‍රශ්නය කොරෝනා තර්ජනය පමණක් නොවේ. ආර්ථික ප්‍රශ්න පැන නැගී තිබේ. දරුවන්ගේ අනාගතය ගැන කනස්සල්ලක් ඇත. රැකියා ස්ථානයෙහි ගැටලු ඇත. සංචරණ සීමා කිරීම මත ඇතිකරන හුදෙකලාභාවය ඉතා නරක මනෝභාවයක් ඇති කරන්නට ඉඩ තිබේ. මෙම අනපේක්ෂිත කාල වකවානුව තුළ ජන සමාජයේ මානසික මට්ටම උසස් තැනෙක පවත්වා ගැනීම ඉතාම වැදගත්ය. සැනසිල්ල අවශ්‍යම හෝරාවකි. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නිවෙස්වල සිටින ජනතාවගේ රසවින්දනය ගැන අලුත් පැත්තකින් අවධානය යොමු කළ යුතුය. රට තුළ තිබුණ පසුබිම මෙම රාමුව තේරුම් ගැනීමට උපකාරී වනු ඇත. නාට්‍යයක්, චිත්‍රපටියක් බලන්නට අවස්ථාව තිබුණි. සංගීත සංදර්ශන වැනි විනෝදාත්මක කටයුතුවල නිරතව සිටියහ. නිවසින් බැහැර ගොස් ආහාර වේලක් ගැනීමට ඉඩකඩ තිබුණි.

මනස හදන, යමක් ඉගෙන ගන්නට ඉඩ දෙන සහ රසාස්වාදය ඇති කරන පරිදි මාධ්‍ය භාවිතාව වෙනස් කිරීමට පියවර ගැනීම අවස්ථාවෝචිතය. පුවත්පත්, ගුවන් විදුලිය හා විශේෂයෙන් රූපවාහිනි නාලිකාවල වැඩසටහන් සමාලෝචනය වැඩදායකය. අනෙක් අතට නිර්මාණකරණයේ ඒකාධිකාරයක් ඇති කිරීම අනුචිතය.

ධනය ඇති ඉහළ පැලැන්තියේ පිරිස විශේෂ නාලිකාවලින් උසස් රසවින්දනයකට යොමු වී සිටී. පෞද්ගලිකව රසාස්වාදයකට අවස්ථා තිබේ. මුදල් ගෙවා ලෝකයේ සම්භාව්‍ය නිර්මාණ ලබාගත හැකිය. මැද පන්තියේ ඇතැම් පිරිසකට හා සමාජයේ පහළ ස්ථරයට ලැබෙන රසාස්වාද අවස්ථා ගැන තෘප්තිමත් විය හැකිද? පසුගිය කාලයේ කුඩා සිනමාශාලා, අලුත් චිත්‍රපට ගෙන්වන වැඩපිළිවෙළ වෙනුවෙන් ආයෝජනයක් සිදුවිය. එය ව්‍යවසායයක් පමණක් නොව අවස්ථා අහිමි පිරිසකට පිළිතුරක් විය. අලුත් තීරණ අනුව කර්මාන්තයට සීමා පනවා ඇත. එය නිර්මාණකරණය පාලනය කිරීමකි.  ආයෝජකයන් දුර්මුඛ කරන පියවරක් ද වී තිබේ.

සංස්කෘතික විවිධත්වය මනුෂ්‍ය අවශ්‍යතාවකි. වෙනත් රටක සිදුවන නිර්මාණකරණයක රසවිඳින්නට අයිතියක් තිබේ. එතැනින් ලැබෙන පිටිවහල ප්‍රබෝධනය ඇති කරයි. නිර්මාණයක විචිත්‍රභාවය පුරා ඇති කරන මනෝභාව ජීවිතයට ඉතාම වැදගත්වන අතර අලුත් සිතිවිලි ඇති කරන බව දැක්විය යුතුය. මෙවැනි තීරණාත්මක වකවානුවක මනස ලිහිල් කරන, අලුතින් හිතන්නට ඉඩ දෙන නිර්මාණ ජනතාව අතරට යා යුතුව තිබේ. සාහිත්‍යවේදීන්, නිර්මාණ ශිල්පීන් සමාජයක ඇති වන වේදනා පිරිමැද සුවපත් කරන්නෝ වෙති. සියුම් තත්සරයකින් හදවතක් සුවපත් කළ හැකිය. ප්‍රතිකාරයකට වඩා යමක් බව සඳහන් කළ යුතුය. මෙම තීරණාත්මක හෝරාවේ දී දෙස් විදෙස් නිර්මාණවේදීන්ගේ ඇසුර සමග ජනී ජනයාගේ රසාස්වාදනය ඉහළට නංවා බලාපොරොත්තු ඇති කරන තැනට පත් කරගැනීම වැඩදායක වනු ඇත.

(***)
- මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com