ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් පසුගියදා අත්සන් කර තිබේ. ඒ පිළිබඳව ඇතැම් තොරතුරු ප්‍රකාශයට පත්වී ඇති නමුත් ගිවිසුම පිළිබඳව සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැත. මේ දිනවල බොහෝ ආර්ථික විද්වතුන්ගේ අවධානය යොමුවී ඇති කරුණක් වන්නේ බ්‍රික්ස් (BRICS) සංවිධානය ලෝක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන තත්වයයි.
ශ්‍රී ලංකාව පසුගිය බ්‍රික්ස් සමුළු දෙකටම සහභාගි වී ඇත්තේ ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබා නොදෙමින් බව පෙනී යයි. ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් ඇති කර ගැනීම වැනි සමීප සම්බන්ධතාවක් වර්ධනය කර ගනිද්දී බ්‍රික්ස් සංවිධානය සමග දුරස්ථභාවයක් පවත්වාගෙන යන්නේ සමහර විට ඇමරිකාව සතුටු කිරීම සඳහා විය යුතුය.
බ්‍රික්ස් සංවිධානය පිළිබඳව ලෝක අවධානය යොමුවී ඇත්තේ ජාත්‍යන්තර ආර්ථික කටයුතු කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන ආධිපත්‍යයට එරෙහිව කටයුතු කිරීමට එම සංවිධානය පෙරමුණ ගෙන සිටීම හේතුවෙනි.
තම ආර්ථික ශක්තිය අනෙක් රටවල් කෙරෙහි බලපෑම් කිරීම සඳහාත්, ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහාත්, බහුජාතික ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඔස්සේ අනෙක් රටවලට බලපෑම් කිරීමට ඇති හැකියාවටත් එරෙහිව කටයුතු කිරීම සඳහා මෙම සංවිධානය ස්ථාපිත කරනු ලැබීය. එහි මුල් සාමාජිකයන් වූයේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය යි. එනිසා එම රටවල ඉංග්‍රීසි නම්වල මුල් අකුරු ආශ්‍රය කරගෙන බ්‍රික් ලෙස එය හඳුන්වනු ලැබීය. පසුව එයට දකුණු අප්‍රිකාව ද එකතුවීම නිසා එය බ්‍රික්ස් බවට පත්විය.
2025 වන විට එම සංවිධානයේ පූර්ණ සාමාජික සංඛ්‍යාව 10 කි. බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව සහ දකුණු අප්‍රිකාව පූර්ණ සාමාජිකත්වය ලබා ගෙන ඇති එම රටවල් වේ. බ්‍රික්ස් සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා දැනට සිටින සාමාජිකයන් සියලු දෙනාගේම එකඟතාව ලබාගත යුතුය. එසේ වුව ද හවුල්කාර සාමාජිකත්වය (Partner Membership) ඕනෑම රටකට ලබාගත හැකිය. ශ්‍රී ලංකාව හවුල්කාර සාමාජිකත්වය දැනටමත් ලබාගෙන ඇත. ආජන්ටිනාව එහි පූර්ණ සාමාජිකත්වය ලබාගෙන සිටි නමුදු පසුව ඉන් ඉවත් විය. සෞදි අරාබිය පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා බව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද තවමත් එම තත්වය ලබාගෙන නැත. මුලදී සෞදි අරාබිය සාමාජිකත්වය ලබා ගැනීමට විශාල උනන්දුවක් දැක් වුව ද දැන් එම තත්වය වෙනස් වී ඇති බවක් පෙනේ.
පූර්ණ සාමාජිකත්වය ඉහත සඳහන් රටවල් කිහිපයට සීමාවී තිබුණ ද භූගෝලීය සහ ආර්ථික තත්වයන් සලකා බලන විට එය ඉතා ප්‍රබල ජාත්‍යන්තර සංවිධානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙනී යනු ඇත. ලෝකයේ ආර්ථික වශයෙන් ප්‍රබලම රටවල් වන චීනය, ඉන්දියාව, රුසියාව සහ බ්‍රසීලය වැනි රටවල් එහි සාමාජිකත්වය ලබාගෙන තිබේ. එම රටවල ජන සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට පනහක් නියෝජනය වේ. ලෝකයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතළිස් එකක් අයත් වන්නේ එම රටවලටය. ඊළඟ දශකයේ ලොව ප්‍රබලම ආර්ථිකයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන චීනය හා ඉන්දියාව එම සංවිධානයට එකතු වීමෙන් එහි ආර්ථික ප්‍රබලත්වය වටහා ගැනීමට හැකිවේ.
ඇමරිකාවේ ආර්ථික පිළිවෙත අනෙක් රටවල ආර්ථික හා සමාජ පැවැත්මට තර්ජනයක් වී ඇතැයි උපකල්පනය කිරීම බ්‍රික්ස් සංවිධානය ගොඩ නැගීමට හේතුව වී ඇතැයි සිතිය හැකිය. ඇමරිකාව එක අතකින් ලෝකයේ විශාලම ආර්ථිකය හිමි රට වේ. බොහෝ රටවල් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කිරීමෙන් විශාල ආදායමක් උපයා ගනිමින් සිටී. ඒ අතරම ඇමරිකානු ආයෝජන සහ ආධාර ද එම රටවලට ලැබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රධාන අරමුදල් සැපයුම්කරු වීම නිසා එම ආයතනවල තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී වැඩි ශක්තියක් ඇමරිකාවට හිමිවේ. මේ සියලු කරුණු ඇමරිකාව අනෙකුත් රටවල් කෙරෙහි තම ආධිපත්‍ය පැතිරවීමටත්, ලෝක වෙළෙඳපොළ කෙරෙහි බලපෑම් කිරීමටත් උපයෝගී කරගෙන ඇතැයි බ්‍රික්ස් ආරම්භක සාමාජිකයන්ගේ අදහස වී ඇත.
අනෙක් කරුණ වන්නේ ඇමරිකානු එක්සත් ජනපදය ලෝක වෙළෙඳපොළ ක්‍රමය තුළත්, ජාත්‍යන්තර ආර්ථික කටයුතුවලදීත් හිමි කරගෙන ඇති ප්‍රමුඛතාවයි. ජාත්‍යන්තර මූල්‍ය කටයුතුවලදීත් දැනට වැඩි වශයෙන් භාවිත කරනු ලබන මුදල් ඒකකය වන්නේ ඇමරිකානු ඩොලරයයි. ලෝකයේ බොහෝ රටවල් විසින් ද, බැංකු හා මූල්‍ය ආයතන විසින් ද තම සංචිත රැස් කිරීමේ දී ඒවා ඇමරිකනු ඩොලර් මගින් පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සාමාන්‍ය ව්‍යවහාරය බවට පත්වී ඇත. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ආර්ථික කටයුතු කෙරෙහි ඇමරිකාවට අනවශ්‍ය බලපෑමක් ඇති කිරීමට ඉඩ ලැබී ඇතැයි යන්න බ්‍රික්ස් මුල් සාමාජික රටවල අදහස වේ. බ්‍රික්ස් සංවිධානය ආරම්භ කරන ලද්දේ ඇමරිකාව විසින් ලෝක ආර්ථික ක්‍රමය තුළ දරන බලපෑම අඩු කර ඒ ඒ රටවලට ස්වාධීනව සහ බලපෑම්වලින් තොර ආර්ථික ක්‍රමයකට සම්බන්ධවීමට ඉඩදීම සඳහාය.
බ්‍රික්ස් සංවිධානයට තවමත් මූලස්ථානයක් නැත. එසේම කාර්යාල ක්‍රමයක් හෝ නිත්‍ය මෙහෙයුම් ක්‍රියාවලියක් ද නැත. එසේ වුව ද 2009 වසරේ දී ආරම්භ කර ගතවූ වසර 16 ක කාලය තුළ ක්‍රමයෙන් ලෝක ආර්ථිකයට බලපෑම් කරන විකල්ප ජාත්‍යන්තර සංවිධානයක් බවට එය පත්ව තිබේ. උදාහරණයක් ලෙස නව සංවර්ධන බැංකුව (New Development Bank - NDB) දැක්විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවලට විකල්පයක් ලෙස නව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් බිහි කිරීම එහි අරමුණ වේ. සියලු සාමාජික රටවල් සමාන මට්ටමකින් එයට අරමුදල් සපයන බැවින් කිසිදු රටකට එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව බලපෑම් කිරීමට ඉඩක් නොලැබේ. NDB විසින් දැනටමත් සාමාජික රටවලට අරමුදල් සැපයීම ද ආරම්භ කර තිබේ.
නව ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ආරම්භ කිරීම පිළිබඳව බ්‍රික්ස් සාමාජික රටවල් අතර සාකච්ඡා ආරම්භ වී ඇති නමුදු ඒ පිළිබඳව තවමත් පූර්ණ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇත. එසේ වුව ද ඒ සම්බන්ධයෙන් තමන්ටම අනන්‍ය වූ පිළිවෙතක් ඇති කර ගැනීමට මේ වනවිටත් හැකිවී තිබේ. ඇමරිකානු ඩොලරයට එරෙහිව ක්‍රියා කිරීම වෙනුවට තමන් එම මූල්‍ය ඒකකය කෙරෙහි ඇති කරගෙන තිබෙන රැඳියාව තමන්ගේම මුදල් ඒකක භාවිත කර ගනිමින් අඩු කර ගැනීමට මේ වනවිටත් කටයුතු කර තිබේ. සාමාජික රටවල් දෙකක් අතර ගනුදෙනුවල දී ඩොලරය භාවිත කිරීම වෙනුවට එම රටවල් දෙකේ මුදල් ඒකක ඒ සඳහා යොදා ගැනීම නව පිළිවෙත වේ. උදාහරණයක් ලෙස චීනය සහ බ්‍රසීලය අතර භාණ්ඩ හා සේවා ගනුදෙනුවල දී බ්‍රසීල මුදල් ඒකකය හෝ චීන මුදල් ඒකකය හෝ භාවිත කිරීමට හැකිය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගනුදෙනුවල දී ඉන්දියානු රුපියල්වලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීම් කිරීමට දැන් ඉඩ ලැබී තිබේ.
එම නව පිළිවෙත යටතේ කටයුතු කරන රටවලට අමුතුවෙන් ඩොලර් සොයා යෑමේ අවශ්‍යතාවක් පැන නොනගී. අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව, නිසි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යන විට රටවල් දෙකක් අතර ගනුදෙනුවල දී වෙනත් මූල්‍ය ඒකකයක පිහිට පැතීමකින් තොරව කටයුතු කළ හැකිවේ. එයට ඇමරිකාවට විරුද්ධ වීමට නොහැකි වන අතර ඇමරිකාවට විරුද්ධව යෑමක් ලෙස සැලකීමට ද ඉඩක් නොලැබේ. බ්‍රික්ස් සාමාජික රටවල් අතර භාණ්ඩ හා සේවා ගනුදෙනුවල දී දේශීය මුදල් මගින් ගෙවීම් කිරීම දැනටමත් ආරම්භ කර ඇත. එය අතිශයින් සාර්ථකව ක්‍රියාත්මක වේ.
මේ හැරෙන්නට සාමාජික රටවල නිල සංචිතය ඇමරිකානු ඩොලරයට අමතරව වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ පවත්වාගෙන යෑම පිළිබඳව ද අවධානය යොමුවී ඇත. කිසියම් රටක මුදල් ඒකක මගින් සංචිත රැස් කිරීම වෙනුවට රන් මගින් සංචිත කිරීම පිළිබඳ යෝජනාවක් බ්‍රික්ස් සාමාජික රටවල් අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. මේ දක්වා පැවැති ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමය තුළ ඩොලරයට හිමිව තිබූ වැදගත්කම එම රටවලට අහිතකර ලෙස බලපා ඇත. රුසියා - යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමග ඇමරිකාව සහ යුරෝපා රටවල් විසින් එම රටවල පැවැති රුසියානු අරමුදල් තහනම් කරනු ලැබීය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොවන ආර්ථික බාධක පැනවීමට ද ඇමරිකා සහ යුරෝපා රටවලට හැකිවී තිබේ. එයට හේතුව ඇමරිකාවේ ඩොලරයට ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය තුළ හිමිව තිබෙන ප්‍රමුඛතාවයි. එහෙත් බ්‍රික්ස් නව මූල්‍ය පිළිවෙත නිසා එවැනි ඒකපාර්ශ්වීය බලපෑම් කිරීමට නොහැකි වනු ඇත.
(***)


