ජොන්ස්ටන් ඇමතිතුමාටත් මටත් සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්


 

 

ප‍්‍රශ්නය - ඔබ ඡන්දෙන් පසු ජොනී ඇමැතිවරයා සමග කතා කළාද
පිළිතුර - නැහැ මට කතා කරන්නනම් ලැබුණෙ නෑ.

 

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් පුද්ගලයා වූයේ දයාසිරි ජයසේකර මහතාය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා දින 45ක කාලයකදී වයඹ පළාතේ කරන ලද ප‍්‍රචාරක කටයුතුවලින් ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 3,36,321කි.

මෙම විශිෂ්ට ප‍්‍රතිඵලය මත දයාසිරි ජයසේකර මහතා වයඹ මහ ඇමැතිවරයා වනු ඇත. දක්ෂ දේශපාලනඥයකුවූ ඔහු වයඹට අති විශාල සේවයක් කරනු ඇතැයි වැඩි දෙනාගේ බලාපාරොත්තව වී ඇත. මැතිවරණය සහ පසුකාලීන සමය පිළිබඳව ඉරිදා ලංකාදීපය ඔහු සමග සාකච්ඡුා කළේය.


ප‍්‍රශ්නය - ඡන්ද ප‍්‍රතිඵල ගැන මොකද හිතන්නෙ?
පිළිතුර ජනතාව ඉතාම නිවැරදි හා බුද්ධිමත් ලෙස තීන්දුව ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් සහෝදර ජනතාව එකට එකතුවී ගත් තීන්දුවක්, තවත් පැත්තකින් මට සිදුවූ අසාධාරණකම් වෙනුවෙන් ලැබුණු තීන්දුවක් අනෙක් පැත්තෙන් ඡන්දය මිල කළ නොහැකි බව පළාතේ ජනතාව ඔප්පු කරල පෙන්නුවා. වයඹ ජනතාව බොහෝ බුද්ධිමත් මම ඒක දන්නවා. ඡන්දය මිල කරන්න බැහැ කියන එක ඒ ඡන්දයෙන් පැහැදිලිව ඔප්පු කළා.

 


ප‍්‍රශ්නය -  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙම අපේක්ෂකයන් මනාප පොරය සඳහා විශාල සටනක් කළා. සල්ලි වීසි කළා. එසේ කරද්දි ඔබට අති විශාල මනාප සංඛ්‍යාවක් ලැබුණේ කොහොමද?
පිළිතුර - 
වසර 13ක් මම එක්සත් ජාතික පක්ෂයේ හිටියා. මගේ අම්ම තාත්තා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො. සන්ධානයට ඇවිත් දින 45ක කාලයකදී මා මේ ඡන්ද සටන මෙහෙය වූවා. පක්ෂයේ ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මා සමග හිටියා. ඊට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයො මා එක්ක හිටියා. ආසන සංවිධායකවරු මට උදව් කළා. 1997 දී ප‍්‍රාදේශීය සභාවෙ වැඩිම මනාප ගත්තත් සභාපතිකම හෝ උප සභාපතිකම දුන්නෙ නැහැ. එදා වූ මේ අසාධාරණය නිවැරැදි කිරීමට අති බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො කි‍්‍රයා කළා. දන්සල් ගැන මම කියන්නෙ නැහැ. ඒව දැන් අවසන්. ඒ ගැන කතා කරන්නත් අවශ්‍ය නැහැ. වයඹ ජනතාව තීන්දුවක් දීල තියෙනවා. ඒ තීන්දුව හැම කෙනෙක්ම පිළිගන්නවා.

 


ප‍්‍රශ්නය -  ඡන්ද ව්‍යාපාරයෙ යෙදී සිටියදී ඔබට ඇතිවූ බාධක මොනවාද?
පිළිතුර -
විවිධ බාධක තිබුණා. එක්සත් ජාතික පක්ෂය එම පක්ෂය දිනවීමේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කිරීමේ කි‍්‍රයාවලියක නිරතවූයේ නැහැ. ඔවුන් කරනු ලැබුවේ දයාසිරි ජයසේකර මනාපයෙන් තුන්වැනි තැනට ගෙන ඒමට කටයුතු කිරීමයි. ඒක නායකත්වයේ මෑත කාලයේ දේශපාලනයට ආ හරින්, රංජන්, රෝසි මේ හැමෝටම අවශ්‍යව තිබුණේ දයාසිරි තුන්වැනි තැනට ගෙන ඒමයි. වැදගත් දේශපාලනයක් කතා කළේ නැහැ. අකිල විරාජුත් මට චෝදනා කළා. මට මඩ ගැහුවා. සල්ලි ගත්තලූ. මොනව කිව්වත් ඔවුන් මට විශාල උදව්වක් කළා. මේ අය රැස්වීම් 8ක් කර තිබුණා. ඒ රැස්වීම් 8 ඉවර වුණාම ඒවා සංවිධානය කළ අයත් ඒ රැස්වීම්වලට සහභාගිවූ අයත් මා හමුවෙන්න ආවා. ඔවුන් බොහොම කනගාටු වුණා. ඔවුන් මට එකතු වුණා. ඒවායේ ප‍්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට පඬුවස්නුවර සියයට 9 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිවුණා. ආසනයේ ඡුන්ද සංඛ්‍යාව 4600ට අඩුවුණා.

 

 


ප‍්‍රශ්නය - ආණ්ඩු පක්ෂයෙනුත් බාධක තියෙන්න ඇති
පිළිතුර  -
ඒවගේ බාධක තිබුණේ නැහැ. මනාප සටනෙදී යම් යම් ප‍්‍රශ්න ආවා. මම ඒව ගණන් ගත්තේ නැහැ. පවුලේ සහෝදරයො දෙන්නෙක් ඉල්ලූවත් ගහ ගන්නවනේ. මම ඒ මනාප සටන දෙස බුද්ධිමත්ව බලනවා. වෛරක්කාර දේශපාලනය කරන්නෙ නැහැ. මනාප ඡන්ද ප‍්‍රතිඵල පිටවුනාට පස්සෙ මම පාඩුවෙ කුරුණෑගලින් ආවා. එක රතිඤ්ඤයක් පත්තු කළේ නැහැ. බොහොම සාමකාමී ලෙස ජයග‍්‍රහණය භුක්ති විඳිනවා.

 

 

 

ප‍්‍රශ්නය -  ඔබට විරුද්ධ වූ අය කෙරෙහි වෛරයෙන්ද?
පිළිතුර -
අනේ නැහැ. මට කිසිම වෛරයක් නැහැ. හැබැයි ඉතින් නීතිමය වශයෙන් ගතහැකි උපරිම කි‍්‍රයාමාර්ග ගන්නවා. මට මඩ ගහපුවට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නවා. මගේ නිදොස් බව ඔප්පු කරලා වන්දි ලබා ගන්නවා. කිසිම සමාදානයකට මම යන්නෙ නැහැ. ඉතාම ජරා විදියට, ඉතාම කැත, පහත් විදියට මට විරුද්ධව ඡන්ද රැස්වීම්වල බොරු ප‍්‍රකාශ කළා. මඩ පහරවල් ගැහුවා. ඒවයේ ප‍්‍රතිඵල ඔවුන්ව විඳවනවා. ඒ හැර කිසිම කෙනෙක් එක්ක මගේ වෛරයක් ක්‍රෝධයක් නැහැ.

 

 


ප‍්‍රශ්නය -  ඔබ මහ ඇමැති වෙනවානේ.
පිළිතුර - 
ඔව්. මම හිතන්නෙ අපේ ජනාධිපතිතුමා අතේ තීරණය. ඒ සඳහා ජනමතය මම හදල දීල පෙන්වල තියෙනවා. අනාගතයේ ජනාධිපතිවරණය එනවා. මම අපේ රජය සුරකිනවා. එක්සත් ජාතික පක්ෂයට නැවත කුරුණෑගලින් අවස්ථාව ලබා දෙන්නෙ නැහැ. මේ සියල්ල පිළිබඳව මගේ ලොකු වගකීමක් තියෙනවා. මහ ඇමැති වූ වහාම ඒවා ඉලක්ක කරගෙන කටයුතු කරනවා.

 

 


ප‍්‍රශ්නය -  ඡන්දයට අවසාන කාලයේදී ඔබ කම්පියුටර් ජිල්මාට් කතාවක් කිව්වෙ ඇයි?
පිළිතුර - 
ඒක මම කියපු කතාවක් නොවෙයි. මාධ්‍යවලින් ගෙනා කතාවක්” කොම්පියුටර් ජිල්මාට් සිදුවන බවට ආරංචි තිබෙනවා. ඒ ගැන මොනවද කියන්නෙ” කියල මගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. ඇත්ත වශයෙන්ම ප‍්‍රශ්නය ආවෙ එතැනින් මම කිව්වෙ එහෙම වෙන්න විධියක් නැහැ කියලයි. රජයේ නිලධාරින් විශ්වාසයි. ඒවගේම අපේ ප‍්‍රදේශයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා බොහොම අවංක කෙළින් වැඩ කරන කෙනෙක් නිර්භීත නිලධාරියෙක්. මම ඒක ඡුන්දය කාලෙත් කිව්වා. රාජ්‍ය නිලධාරින් මුදල් ගැනීමට එක් අයෙක් කි‍්‍රයා කළ බව ආරංචියි.

 

 


ප‍්‍රශ්නය  - කවුද ඒ.
පිළිතුර - 
ඒවා සාර්ථක වූයේ නැහැ. විවිධ වරප‍්‍රසාද වරදාන දීල මොනව හරි කරගන්න බලනවනේ. ඒවා මත තමයි මා කතා කළේ. පැහැදිලිව මා කිව්වා එහෙම කරන්න බැරි බව. රාජ්‍ය නිලධාරින් මුදලට ගන්න බැරි බව මා කිව්වා. පුවත්පත්වල ගියේ වෙනත් ක‍්‍රමයක්. එවැනි අවධානමක් තිබුණ වුවත් නිලධාරින් මුදලට ගත නොහැකි බව මා කිව්වා.

 

 


ප‍්‍රශ්නය -  මීට පෙර පැවැති කුමන හෝ ඡන්දයකදී කොම්පියුටර් ජිල්මාට් වුණා කියල ඔබ හිතනවද?
පිළිතුර -
නෑ. ඒක මුළුමනින්ම බොරු කතාවක්. 2010 දිත් මා දුටු දෙයක් තියෙනවා. පෝලිම්වල විශාල කාන්තා පිරිසක් හිටියා. එදා මම වාහනේ හිටි අයට කී දෙයක් තිබුණා. අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තය දිනනවා කියලා මා කිව්වා. ජිල්මාට් කතාව කිව්වෙ සෝමවංශ අමරසිංහ මහත්තයා. 1988/1989 මිනිහෙකුට ඡුන්දයක් දාන්න නොදුන් ඔවුන් එදා ඡුන්ද පෝලිමේ හිටපු පළමු දහ දෙනාම වෙඩි තිබ්බා. ඇඟිලි කැපුවා. ඔවුන් අඩුගානෙ මිනිහෙකුට නිදහසේ දේශපාලනය කරන්න දුන්නෙ නැහැ. ඒ වගේ ඉතිහායක් තියෙන අය කොහොමද ජිල්මාට් එකක් ගැන කතා කරන්නෙ. මා කී බව කියන කතාව බොරුවක්. ජනාධිපතිතුමා දිනුවෙ සාධාරණ ඡන්දයෙන්. ඒක ජිල්මාට් එකක් නොවෙයි.

 

 


ප‍්‍රශ්නය - ඔබ තරුණ දක්ෂ දේශපාලනඥයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ඔබට හොඳ තැනක් ජනපි‍්‍රයත්වයක් තිබුණා. තව කලකදි ඔබට එහි නායකත්වයට එන්න වුවත් ඉඩ තිබුණා. වයඹට හුදකලා වූ මේ දේශපාලන පරිවර්තනයෙන් ඔබ ආපස්සට ගියා කියල හිතෙන්නෙ නැද්ද?
පිළිතුර - 
නැහැ. මගේ ගමන බොහොම ප‍්‍රවේශමෙන් ආ එකක්. ඊර්ෂ්‍යාකාරයන් විසින් මගේ ගමන අවහිර කරනු ලැබුවා. දැන් මම මහ ඇමැති වශයෙන් විශාල ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මම ජනතාවට ආදරය කරන කෙනෙක්. හොරකම් කොල්ලකෑම් කරන්නෙ නැතුව ජනතා දේපල අයථාලෙස පරිහරණය නොකර ඉතා ගෞරවණීය ලෙස දේශපාලනය කරන්න මම සූදානම් ඒක කරනවා. මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. යම් තීන්දුවකින් මෙතැනට ආවා. මට අවශ්‍ය ජනතාවට සේවයක් කිරීමයි. එක්සත් ජාතික පක්ෂයෙ ඉන්න කාලෙදිවත් මට නායකත්වයට එන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එදා මට අවශ්‍ය වූයේ එක්සත් ජාතික පක්ෂ රජයක් ගෙන ඒමයි. ඒකට ඉඩ දුන්නේ නැහැ. මට දැන් වැඩ කරන්න පුළුවන්. ජනාධිපතිතුමා ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්ය දෙනවා. දිස්ති‍්‍රක්කය නැවත නොපරිදින තත්ත්වයට ගෙන ඒමට දිවි හිමියෙන් කටයුතු කරනවා.

 

 


ප‍්‍රශ්නය  -  මනාප ඡුන්දවලින් ඔබ ඉතිහාසගත වෙනවා. ඉදිරි වසර දෙක ඇතුළතදී නැවත මහ මැතිවරණයක් පවත්වාවි. ජාතික දේශපාලනයට ඒමට බලාපොරොත්තුවක් නැද්ද?
පිළිතුර - 
මගේ බලාපොරොත්තුව මේ වසර පහතුළ වයඹ පළාතේ සංවර්ධනයට හා රජයේ ජයග‍්‍රහණයට කි‍්‍රයා කිරීමයි. 2015දී ජනාධිපතිවරණය එනවා. ඒ සඳහා දැන්ම සූදානම් විය යුතුයි. වයඹ පළාතෙන් උපරිම ජයග‍්‍රහණයක් ලබාදීම මගේ බලාපොරොත්තුවයි. දිවුරුම් දුන් දවසෙ ඉඳල මම වැඩ පටන් ගන්නවා. අවුරුද්දක් විවේකයක් නැතුව වැඩ කරනවා. ජනාධිපතිවරණයේදී ජනපතිගේ ජයග‍්‍රහණය මගේ ඉලක්කයයි. කුරුණෑගල පුත්තලම දිස්ති‍්‍රක්ක දෙක සංවර්ධනය කිරීම තවත් මූලික අරමුණක්.

 

 


ප‍්‍රශ්නය  -  මහ මැතිවරණයක් ආවොත් පාර්ලිමේන්තුවට ඒමට අදහසක් නැද්ද?
පිළිතුර - 
ජනාධිපතිතුමා මට කතා කරල අවුරුදු හතරක් පහක් වෙනවා. මා ඉන්න බලාපොරොත්තුවෙන් වැඩ කරන්නෙ. ඒ යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ජනාධිපතිතුමාගෙ තීරණය අවසන් තීරණයයි.

 

 


ප‍්‍රශ්නය -  ඔබ දිගින් දිගටම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා සමග හැප්පුණා.
පිළිතුර - 
නෑ. මේක මනාප සටනක් පමණයි. ඡන්දය ඉල්ලූවෙ ජොනී ඇමැතිවරයා නොවෙයි. එතුමාගෙ පුතා. ඔහුට  ඕනෑවී තිබුණේ පළාත් සභාවට යන්න. මහ ඇමැතිවීමට ඔහුට  ඕනෑ කමක් තිබුණේ නැහැ. දේශපාලනඥයකුගෙ පුතෙක්, සොහොයුරෙක්, ඥාතියෙක්, බිරිඳක් ඡුන්දය ඉල්ලූවම ඔහුට මහ ඇමැතිකම දෙනවා කියල එකක් නැහැ. තනතුරු දෙන්නෙත් නැහැ ඒක බොහොම පැහැදිලියි. ජොනී ඇමැතිවරයගෙ පුතාට පළාත් සභාවට එන්න අවශ්‍යතාව තිබුණා. ඒක දයාසිරි ජයසේකර හා ජොන්ස්ටන් ඇමැතිවරයා අතර සටනක් බවට පත්වී තිබුණා. ඡන්දයෙන් පසු ඇතැම් අය කිව්වා. දයාසිරිට ජොන්ස්ටන් පරාද වුණා කියලා. මෙතැන තිබූ එකම දේ මනාප සටන විතරයි.

ඇත්තම කරුණ ජොන්ස්ටන් ඇමැතිවරයගෙ පුතාට අවශ්‍ය වූයේ පළාත් සභාවට යාම පමණයි. මම හැම වෙලාවෙම කිව්වෙ පෞද්ගලික ගැටුමක්, වෛරයක් මගේ නැහැ කියලා. මනාප ප‍්‍රශ්නය නිසා යම් යම් තත්ත්ව ඇතිවුණා. ජයග‍්‍රහණයෙන් පසු මා කාගෙන්වත් පලි ගන්න ගියෙත් නැහැ. ජයග‍්‍රහණය බොහොම ගෞරවණීය ලෙස භුක්ති වින්දා.

 

 


ප‍්‍රශ්නය -  ඡන්දයෙන් පසු ඔබ ජොන්ස්ටන් ඇමැතිවරයා එක්ක කතා බහ කළාද?
පිළිතුර - 
නැහැ මට කතා කරන්න නම් ලැබුණේ නැහැ. ඡුන්ද ගණන් කරන අවස්ථාවට එතුමන්ල කවුරුවත් ඇවිත් හිටියෙත් නැහැ. මගේ හිතේ තරහක් කහටක් නැහැ. එහෙම වෙන්න කිසිම හේතුවකුත් නැහැ. දේශපාලනයට සදාකාලික හතුරො නැහැනේ.

 

 


ප‍්‍රශ්නය - ජොන්ස්ටන් ඇමැතිවරයගෙ පුතත් එක්ක සහයෝගයෙන් කටයුතු කිරීමේ සූදානමින්ද ඉන්නෙ.
පිළිතුර -
අපොයි ඔව්. අපි දෙගොල්ලන්ගෙම පරමාර්ථය එකයි. ඒ ජනාධිපතිතුමාගෙ ජයග‍්‍රහණය හා එතුමගෙ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමයි. ජොන්ස්ටන් ඇමැතිවරයා ඒ සඳහා විශාල සේවයක් කළා. ජනාධිපතිතුමා එක්ක ඔහු එදා මුළු ලංකාවෙම ගියා. ඔහු එතුමාට විශාල සේවයක් කළ කෙනෙක්. මගේ උත්සාහයත් එයමයි. ජෝන්ස්ටන් ඇමැතිවරයා දක්ෂ ඇමැති කෙනෙක්. රජය බේරාගන්න වැඩ කරනවා. අපි දෙන්නා එකතු වෙනවා කියන්නෙ ජනාධිපතිතුමාට විශාල හයියක්. අපි රණ්ඩු වෙනව කියන්නෙ ඒක පහළ මට්ටමේ දේශපාලන ප‍්‍රතිපත්තියක්. ජොන්ස්ටන් ඇමැතිතුමා බුද්ධිමත් දේශපාලනඥයෙක් එතුමා මෝඩ නැහැ. යහපත් ගමනක් යන කෙනෙක්. ඒ නිසා ප‍්‍රශ්න ඇති වෙන්නෙම නැහැ. අපිට සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්.

 

 


ප‍්‍රශ්නය -  ඔබ හිටපු නායකයා එක්ක කතා කළාද?
පිළිතුර - 
මොකටද මම කතා කරන්නෙ

 

 


ප‍්‍රශ්නය -  ඔබ වයඹ මහ ඇමැති වෙනව කියන්නෙ විශාල වගකීමක්. වයඹ සංවර්ධන වැඩ කරන්නෙ කුමන ආකාරයකටද?
පිළිතුර -
ඇත්ත වශයෙන්ම වයඹ සංවර්ධන යෝජනාවලියක් මා ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඒක පිළිගත්තා. මහින්ද චින්තනය අනුව වයඹ සංවර්ධනය කිරීමට විශාල වැඩ කොටසක් ඉටු කිරීමට තිබෙනවා. විශේෂයෙන්ම සංවර්ධනය පිළිබඳව නව ගුරුමාරු ප‍්‍රතිපත්තියක් හදනවා අධ්‍යාපන ප‍්‍රශ්න විසඳන්න තියෙනවා. මීට අමතරව ව්‍යාපෘති 300ක් ආරම්භ කරනවා. පෞද්ගලික කර්මාන්ත ශාලා ආරම්භ කරනවා. ඒ සඳහා හඳුනාගත් ව්‍යාපෘති 300ක් තෝරාගෙන තිබෙනවා. පොල් අතු සෙවිලි කළ පාසල් තිස් හතරම වහාම සංවර්ධනය කරනවා. විශාල වැඩ කොටසක් හැම අංශයකම කෙරෙනවා. සෞඛ්‍ය, ප‍්‍රවාහන මේ හැම එකකම කළ යුතු වැඩ කොටස් තිබෙනවා. ඒ සඳහා එකමුතුව ප‍්‍රශ්න හදා ගන්නෙ නැතුව වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

 


ප‍්‍රශ්නය -  වයඹට බලපාන ප‍්‍රධානම ගැටලූව කුමක්ද?
පිළිතුර - 
බීමට ගන්නා ජලය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. නිකවැරටිය, යාපහුව, ගල්ගමුව ප‍්‍රදෛ්ශවල වල් අලි ප‍්‍රශ්නය බොහොම බරපතලයි. විශේෂයෙන් සෞඛ්‍ය ප‍්‍රශ්න ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ප‍්‍රශ්න තියෙනවා.

 

 


ප‍්‍රශ්නය  -  ඔබ මහ මෙරක් තරම් වූ ප‍්‍රශ්න විසඳීමට බලාපොරොත්තුව සිටින පාටයි. ඒත් මේ හැම දේටම සල්ලි අවශ්‍යයි. සල්ලි කෝ.
පිළිතුර - 
සල්ලි තියෙනවා. සල්ලි හොයා ගන්නත් පුළුවන්. මධ්‍යම රජයෙන් දුන් මුදල් පසුගිය වකවානුවල පාවිච්චි නොකළ අවස්ථා තිබුණා. හොඳ නිලධාරි ටිකක් දාගෙන මෙම මුදල් වියදම් කිරීමට පියවර ගන්නවා. විදේශ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවට සල්ලි තියෙනවා. සල්ලි නැතුවා නොවේ. මුදල් හොයන ව්‍යාපෘති ආරම්භ කරනවා. ඒ සඳහා වෙනමම ඒකකයක් පිහිටුවනවා. සල්ලි තියෙනවා. සල්ලිවලින් වැඩ නොගන්න එකයි ප‍්‍රශ්නය.

 

 


ප‍්‍රශ්නය -  පසුගිය කාලවල පළාත් සභාවෙ නියම කළමනාකරණයක් නොවූ බව ද කියන්නෙ.
පිළිතුර - 
මුදල් පාවිච්චි නොකළ තැන් මා හඳුනාගෙන තියෙනවා. ඇතැම් අවස්ථාවල ඒ මුදල් ආපසු භාණ්ඩාගාරයට ගියා. ඒ මුදල් වියදම් කිරීමට සුදුසු ශක්තිමත් යාන්ත‍්‍රණයක් අවශ්‍යයි.

 

 


ප‍්‍රශ්නය -  එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකම් ඔබේ කකුලෙන් ඇද්දා. මහ අමැති වූ පසු රජයේ පාර්ශ්වයෙන් කකුලෙන් ඇදීම් නැතිවේවිද?
පිළිතුර - 
මම වසර ගණනාවක් අඳුරන ඇමැතිවරු ඉන්නෙ. ඉතාම ළඟින් හිටි අය ඉන්නවා. ළඟින් දේශපාලනය කළ අය ඉන්නවා. මේ අය මට උදව් කරනවා. මධ්‍යම රජය හා පළාත් සභා අතර අන්‍යොන්‍ය විශ්වාසයත්, බැඳීමක් නොමැතිව කටයුතු කළ නොහැකියි. මට තියෙන්නෙ ඒ විශ්වාසය. එහෙම නැතිව පළාත් සභාවක කටයුතු කරගෙන යන්න බැහැ මම ඒ හිතවත්කම් ඇතිව ආපු කෙනෙක්. මට තියෙන්නෙ පැයක දෙකක සාකච්ඡුාවක් කරල තීන්දු තීරණ ගන්න එක විතරයි. කවුරු හරි මගේ කකුලෙන් අදිනවා කියන්නෙ ජනාධිපතිට විරුද්ධවීමයි. වයඹ ජයග‍්‍රහණයට යන ගමනට කවුරුවත් බාධා කරන්නේ නැහැ. එහෙම කරන්නෙ රජය වැට්ටවීමයි.

 

 


ප‍්‍රශ්නය -  ඔබ හොඳ ඡන්ද ව්‍යාපාරයක් කළා. මැතිවරණයට කොයි තරම් මුදලක් වියදම් කළාද?
පිළිතුර - 
මම එතරම් සල්ලි වියදම් කළේ නැහැ. දවසකට රැස්වීම් 40 ක් පැවැත්වුවා. උදේ 9.00ට පටන් ගන්නව. රාති‍්‍ර 11.00, 12.00 වන තුරු කතා කරනවා. එක දවසක් පහුවදා එළිවෙන්න උදේ 5.00 වනතුරු රැස්වීම්වලට සහභාගි වුණා. ඒවෙලාවෙත් සෙනඟ 400ක් විතර හිටියා. අනිත් අය උදේ රැකියාවලට යනවා. මම ජනතාව ගෙදරට ගෙන්නුවෙ නැහැ. මම ජනතාව ළඟට ගියා. දින 45ට ගම්මාන 3000ක් පමණ රැස්වීම් කළා. තව දින තිබුණා නම් ඉතිරි ගම්මාන ටිකටත් යනවා.

 

 


ප‍්‍රශ්නය -  බලයට ආවම හුඟ දෙනකුට මන්තී‍්‍රවරයට ළං වෙන්නවත් බැහැ. ආරූඪ කරගත් මහන් තත්ත්වයක් ඔළුවට ගන්නවා. මන්තී‍්‍රතුමා හරිම බිසි” කියන තත්ත්වයට පත්වෙනවා. ඔබටත් එහෙම වේවිද?
පිළිතුර - 
නැහැ. කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. මම ජනතාවට ආදරය කරන කෙනෙක්. දුප්පත් මිනිස්සුන්ට ආදරය කරන කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයෙ සිටියදිත් මම ජනතාවට ආදරෙයි. හිතවත්. මහන්තත්ත්වකමක් මට නැහැ. ඔළුව ඉදිමෙන්නෙත් නැහැ. දේශපාලනයට ආවෙ ජනතාව නිසා පැය 24ම මම ඔවුන් වෙනුවෙන් කැප වෙනවා.

 

 


ප‍්‍රශ්නය -  ඔබ මුදල් අරගෙන රජයට ආවා කියල චෝදනා තියෙනවා.
පිළිතුර - 
ඒ චෝදනා කළේ එක්සත් ජාතික පක්ෂයෙ හරින්, රංජන්, අකිල යන මන්තී‍්‍රවරු ජනතාව ඒවා නොපිළිගත්ත නිසා තමයි මනාප අංක 1ට මාව පත් කළේ. මේවා කියන්න කියන්න මට ඡන්ද වැඩිවුණා.

 

 


ප‍්‍රශ්නය -  ඔබට ඒ කතා ආශිර්වාදයක් වුණා කියලද කියන්නෙ.
පිළිතුර - 
ඔව්. මේ ආත්මෙ ඵලදෙන කර්ම කියන්නෙ  ඕවට තමයි.

 

 


ප‍්‍රශ්නය -  ඔබ එක්සත් ජාතික පක්ෂයෙ හතර දෙනකුට පමණක් ඇඟිල්ල දික් කරන්නෙ ඇයි?
පිළිතුර - 
අනිත් අය මට බොරු චෝදනා කළේ නැහැ. මගේ තාත්තගෙ රැුකියාව, ගමේ ජීවත්වූ හැටි, මගේ දුප්පත්කම ගැන කියල මට මඩ ගැහුවා. දැන්වත් ඔය කතා නවත්වලා ඔවුන් සත්‍ය තේරුම් අරගෙන දේශපාලනය කළොත්, අනාගතයක් තියේවි. මට කියන්න  ඕන තරම් දේවල් තිබුණා. මඩ කප්පරක් ගහන්න තිබුණා අනුන්ගෙ ලණු කාලා දේශපාලනය කිරීම නතර කරනවා නම් ඔවුන්ට යහපතක් වේවි.

 

 

සාකච්ඡා - දයාසීලී ලියනගේ