ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර ආවොත් මොකද වෙන්නේ


 

ඉදිරියේදී එළැඹෙනු ඇත්තේ අතිශය තීරණාත්මක කාලපරිෙඡ්දයකි. ඒ ගැන විවාදයක් නැත. බස්නාහිරට සහ දකුණට හැමූ ආණ්ඩුවේ මැතිවරණ සුළඟ තව තෙමසකින් පමණ ඌවට හැමූ පසු ඒ සුළඟ සුළං කුණාටුවක් වන තරමට බලසම්පන්න වෙමින් මුළු රටම වෙළාගනු ඇත. ඒ ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇති පරිදි ලබන වසරේදී පැවැත්වීමට නියමිත මීළඟ ජනපතිවරණයත් සමගිනි. මේ සුළඟ රට කලඹන සුළිකුණාටුවක් බවට පත්ව දේශපාලන බල පෙරැුළියක් සිදුවේද නැද්ද කියා කීමට තවමත් කාලවේලා වැඩිය.

 ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන ආකාරයට එළැඹෙන වසරේ ජනවාරි මස ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් එය, ලංකාවේ පවත්වන හත්වැනි විධායක ජනාධිපතිවරණය ලෙස ඉතිහාසයගත වනු ඇත. අනෙක් අතට පිට පිට දෙවතාවක් ධුරය හෙබවූ පුද්ගලයෙකු (මහින්ද රාජපක්ෂ) අඛණ්ඩව තෙවැනි වරටත් තරග කරන මංගල අවස්ථාව බවටද එම ජනාධිපතිවරණය ඉතිහාසයට එක්වනු ඇත.

කතාව අනෙකකි.

මීළඟ ජනාධිපතිවරණය පවත්වන දිනවකවානු පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ඇතිවන්නට කල්තියාම විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම දිලිසෙන සිවිල් චරිතද අද හෙට එතැයි කියන මේ ජනාධිපතිවරණයට වැඩ අල්ලනු දක්නට ලැබිණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම ආදී දැවෙන දේශපාලන කාරණා කීපයක් සමග කරළියට පැමිණි එම පක්ෂ මෙන්ම සිවිල් චරිත ද මේ මොහාත වන විට කිසියම් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබේ. යථෝක්ත දේශපාලන අභිලාෂ කරපින්නාගෙන සංවාද පිටියට බට ඔවුන් දැන් සිටින්නේ ඒවා යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව අතීරණයකය. වෙන විදියකට කියනවා නම් වත්මන් ජනපති මහින්දට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස අභිෂේක ගන්වන්නේ කවුද යන්න පිළිබඳව බර සාකච්ඡාවකය.

2010 ජනාධිපතිවරණයේදී නිර්xපාක්ෂික පොදු අපේක්ෂක හැටියට ජෙනරල් සරත් ෆොන්සේකා අභිෂේක ගන්වන්නට එජාප, ජවිපෙ ඇතුළු ඇතැම් විපක්ෂ කණ්ඩායම් වලට හැකිවුවද 2015 දී නම් එය සිතන්න තරම් පහසු නැති බව මේ වන විට තහවුරු වී හමාරය. ඊට බලපා තිබෙන ආසන්නම එක් හේතුවක් වන්නේ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙසෙන විපක්ෂ කණ්ඩායම් සහ ප‍්‍රකට සිවිල් පුද්ගලයන්ගේ කේන්ද්‍රීය දේශපාලන සටන් පාඨයක් වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නම්වූ කොන්දේසිය ඉටුකිරීම ෆොන්සේකා විසින් ප‍්‍රසිද්ධියේම බැහැර කරනු ලැබ තිබීමය. ඔහු කියන්නේත් ජාතික හෙළ උරුමය කියනාකාරයටම විධායක ජනාධිපතිධුරය වටා ඇති මර්දනකාරී, හිතුවක්කාරී බලතල කප්පාදු කොට එය පවත්වාගෙන යෑම සුදුසු බවය. මේ අනුව ෆොන්සේකා කිසිලෙසකවත් පොදු අපේක්ෂක වෙතැයි අනුමාන කළ නොහැකිය.


එසේ නම් ඔය කියන පොදු අපේක්ෂක කමට සුදුසු කවුද?

මේ ප‍්‍රශ්නයට උත්තර කීපයක් තිබේ. රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ශිරානි බණ්ඩාරනායක, මාදුළුවාවේ සෝභිත හිමි යනු එවැනි පිළිතුරු කීපයකි.

ගැළපෙන පිළිතුර කුමක් වේදැයි ටක්කෙටම කිව නොහැකිය. අනිත් අතට මේ වන විටත් එජාපය තීන්දු කොට තිබෙන්නේ එළැඹෙන ජනපතිවරණය ඇතුළු ඉදිරියේදී පත්වන සෑම ජාතික මැතිවරණයකදීම පක්ෂයක් හැටියට තනිව තරග කිරීමටය. මේ අනුව 2015 දී පවත්වන ජනාධිපතිවරණයට එජාපය තරග කිරීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. ඉදිරියේ පවත්වන ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික‍්‍රමසිංහ වීමට  ද පුළුවන. මෙනයින් පැහැදිලි වන්නේ සරත් ෆොන්සේකා සහ එජාපය පොදු අපේක්ෂක සංවාදයෙන් කල්තියාම ඈත්වී සිටින බවය. කරුණු කාරණා මෙසේ පෙළගැසෙද්දී පැතිර ගිය අලූත් ආරංචියකින් කියැවුණේ ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක මීළඟ ජනපතිවරණයට බොහෝ දුරට තරග කරනු ඇතැයි කියාය. ජනතා විමුක්ති පෙරමුණ තවමත් ඒ සම්බන්ධව නිල තීරණයක් ගෙන නැති වුවද ජවිපෙ නායක අනුරට ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබෙන බවට රට ඇතුළේ මතයක් නිර්මාණය වීමට වැඩි වෙලා ගියේ නැත. අනුර මීළඟ ජනපතිවරණ සටනට සුදුසු බව දක්වමින් දයාන් ජයතිලක වැනි විචාරකයක් අදහස් දක්වා තිබෙනු පවා අපි දුටුවෙමු.
ජවිපෙ නායකත්වය වෙනස් වීමෙන් අනතුරුව එම පක්ෂය මැතිවරණ පෙරමුණේ දී සැලකිය යුතු ප‍්‍රගතියක් ලැබූ බව පසුගිය දකුණ බස්නාහිර පළාත් මැතිවරණ ප‍්‍රතිඵලවලින් පැහැදිලිවම පෙනෙන්ට තිබිණි. අනෙක් අතට සාමාන්‍ය ඡුන්ද දායකයා අතර ජවිපෙ කෙරෙහි විශ්වාසවන්ත බැඳීමක් ගොඩනැගෙන අයුරු මීට ඉහත දී වනාතමුල්ලේ දී සිදුවූ සිද්ධියට ජවිපෙ කළ මැදිහත්වීමෙන් පැහැදිළි විය. මේ සියලූ තත්ත්වයන් සැළකිල්ලට ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණට නව ජවයකින් ඉදිරියේ දී පවත්වන  ඕනෑම මැතිවරණයකට මුහුණදීමට හැකි බව පෙනේ. ඌව ඡුන්දයෙන් පසු එහි සත්‍යාසත්‍යතාව හරියටම දැනගත හැකි වනු ඇත. ජවිපෙට ලැබී තිබෙන මේ අලූත් දිස්නය එළඹෙන ජනපතිවරණයට එම පක්ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට තරම් අගයෙන් යුතු නිර්ණායකයක් වීමට ද බැරි නැත.

කෙසේ වෙතත් ජවිපෙන් මීළඟ ජනපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් එහි නායක අනුර කුමාර දිසානායක මහතා තරග කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මත පළව තිබේ. ඒ අතරින් ආචාර්ය දයාන් ජයතිලක දැකවන අදහස් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

‘මගේ අදහස කුමන තත්ත්වයක් යටතේ හෝ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් විය යුතු බවයි. එයට හේතුව වන්නේ අද මේ ආණ්ඩුවට එරෙහිව තර්කානුකූලව, සහේතුකව සහ රට ගැන ආදයරයක් කැක්කුමක් ඇතිව කථාකරන එකම පක්ෂය ජවිපෙ වීමයි. ඇත්තටම ජවිපෙ නායකත්වය මේ ආණ්ඩුවට විරුද්ධව විද්‍යාත්මක විවේචන ඉදිරිපත් කරන නායකත්වයකි. එජාපයේ සජිත් පේ‍්‍රමදාසටත් මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා වීමට  ඕනෑතරම් සුදුසුකම් තිබේ. නමුත් යථාර්ථය වන්නේ ඒ මහතාට මේ මොහොතේ එජාප අපේක්‍ෂකයා වීමට කිසිම හැකියාවක් නැති බව පෙනෙන්නට තිබීමයි. ඒ තත්ත්වය මත විපක්ෂයේ විශාල හිදැසක් තිබේ.

විපක්ෂයේ අපේක්‍ෂකයා වශයෙන් හෝ එජාප අපේක්ෂක වශයෙන් වත්මන් එජාප නායකයා මීළඟ ජනාධිපතිවරණයට තරග කළහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට පුළුවන් වෙනු ඇත. එබැවින් විකල්ප අපේක්‍ෂකයා වශයෙන් ජෙනරල් සරත් ෆොන්සේකා හෝ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගෙන් කෙනකුට ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේ. ෆොන්සේකාට ප‍්‍රමාණයටත් වඩා පොදු අපේක්‍ෂක වීමට සුදුසුකම් තිබුණද අවසන් මොහොතේදී ඔහුගේ ඉදිරිපත් වීමෙහි නීත්‍යානුකුලභාවය විමසමින් ආණ්ඩුව පෙත්සමක් ඉදිරිපත් කරන්නට පුළුවන. එවැන්නක් වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව තීන්දුවක් දිය හැකිය. එසේ වුවහොත් විපක්ෂයේ අපේක්‍ෂාවන් ලත්තැනම ලොප්වනු ඇත.

නමුත් අනුර කුමාර සම්බන්ධයෙන් මේ ප‍්‍රශ්න කිසිවක් නැත. ඒ අනුව ඔහුට පැහැදිලි, නිරවුල් ජනාධිපති අපේක්ෂකත්වයක් මතුකරගත හැකියි. එසේම ජනාධිපතිවරණයට ජවිපෙ තරග වදින්නේ නම් ඔවුන්ට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ආසන ප‍්‍රමාණයක් දිනාගැනීමට ද හැකිවනු ඇත. නමුත් මෙතනදී නොකියාම බැරි කරුණක් තිබේ. එනම් ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන අවිද්‍යාත්මක සටන් පාඨය ජවිපෙ විසින් අත්හැරිය යුතුය යන්නයි. මන්ද ලොව සිටින බොහෝ වාමාංශික නායකයන් ජනාධිපතිධුර දැරූ අය වීමය. ජනාධිපති ක‍්‍රමය වනාහි ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළ හැකි අසහාය යන්ත‍්‍රයකි. මේ යන්ත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සංශෝධන කරනු මිස අත්නොහළ යුතුය.

ආචාර්ය දයාන් ජයතිලකයන් කියන්නේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වීමට ජවිපෙ නායක අනුර කුමාරට වුවමනාවටත් වඩා සුදුසුකම් තිබෙන බවත්, විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුය යන එම පක්‍ෂය ඉදිරිපත් කරන අවිද්‍යාත්මක සටන් පාඨය හකුළා ගත යුතු බවත්ය.

ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා මේ සම්බන්ධව පළ කරන මතය මෙබඳුය.

‘‘පක්ෂයක් විදියට අප තවම ඔය පිළිබඳව නිල තීන්දුවක් අරගෙන නෑ. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අනුරකුමාර සහෝදරයා අපේක්‍ෂකයකු හැටියට තරග කරන්න ඉතාම සුදුසුයි කියලා. මම එහෙම කියන්න එක හේතුවක් තමයි, මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා ශ්‍රී.ල.නි.පය සහ එජාපය යන ප‍්‍රධාන පක්‍ෂ දෙකම කිව්වත් ඒක වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ දිනුවත්, රනිල් වික‍්‍රමසිංහ දිනුවත් ඒ කිසිකෙනෙක් මේක අහෝසි කරන්නෙ නෑ. නමුත් ජවිපෙ පැහැදිලිවම මේ රටේ ක‍්‍රියාත්මක කළේ ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපි ඒක අපේ භාවිතාවෙන්ම පෙන්නලා තියෙනවා. අන්න ඒ ප‍්‍රතිපත්තිගරුක පක්‍ෂයෙන් අනුරකුමාර සහෝදරයා ඉදිරිපත් වීම තමයි පළවැනි සුදුසුකම.
තවත් එකක් තමයි ඔහු පසුගිය අවුරුදු 14ක පාර්ලිමේන්තු කාලය ඇතුළත ඉතාමත් හොඳින් කරුණු ගෙනහැර පාමින් ජනතාවගෙ ප‍්‍රශ්න වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා.

අනිත් එක තමයි එතුමා ඇමති ධුරයක් දරපු කාලේ වුණත් ඉතාමත් නිහතමානීව වංචා දුෂණයෙන් තොරව කටයුතු කරපු කෙනෙක්. එහෙම බැලූවොත් ජවිපෙ නායකයට තියෙන මේ කිසිදු සුදුසුකමක් අනෙක් ප‍්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්ෂකයන් දෙන්නටම නෑ. ඔය කරුණු සියල්ල නිසා මා විශ්වාස කරනවා අනුර සහෝදරයා මේකට සුදුසුයි කියලා.

අනුර සහෝදරයා අපේක්‍ෂකකමට සුදුසුයි කියලා දකින අතරෙ අපි තවත් ප‍්‍රශ්න පහක් දකිනවා. රටේ ආර්ථිකය කොහොමද හදන්නෙ, ජනතාවාදී පාලනයක් කොහොමද ගේන්නෙ, රටේ ජාතික-ආගමික සමගිය හදන්නෙ කොහාමද, රට අධිරාජ්‍යවාදී බලපෑමෙන් මුදවගන්නෙ කොහොමද හා නිවහල් මිනිසෙක් හදන්නෙ කොහොමද කියන ඒවා තමයි ඒ ප‍්‍රශ්න පහ. මෙන්න මේ අභියෝග ජයගන්න එක තමයි මේ වෙලාවෙ ලංකාවේ දේශපාලනය තුළ වැදගත් වෙන්නෙ. අනුර සහෝදරයට තමයි මේවා ජයග‍්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නෙත්. මේකත් ප‍්‍රබල හේතුවක් විදියට අප දකිනවා.’’

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ තමන් සහාය දෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට බවත්, අනුර කුමාර දිසානායක පක්ෂයක අපේක්ෂකයකු මිසක් නිර්xපාක්ෂික පොදු අපේක්ෂකයකු නොවන බැවින් ඔහු මේ සඳහා සුදුසු නොවන බවත්ය. නිර්xපාක්ෂික පොදු අපේක්ෂකයකුට සමාජයේ විවිධ කොටස් මෙන්ම කණ්ඩායම් එකට එකතු කළ හැකි බැවින් එවැන්නකු මේ සඳහා වඩාත් සුදුසු බව ද ඔහු පවසයි.

නිර්-පාක්‍ෂික පොදු අපේක්ෂකයකු ගැන විශ්වාසය තබන කණ්ඩායම් වලට මාදුළුවාවේ සෝභිත හිමි, ශිරානි බණ්ඩාරනායක වැනි පුද්ගල චරිත කෙරෙහි වැඩි බරක් තැබිය හැකි වුවද ඔවුන් ඉදිරි ජනපතිවරණයට තරග වදිනු ඇතැයි කීම අපහසුය. මේ අනුව 2015 ජනාධිපතිවරණයේදී බොහෝදුරට එජාපයෙන් රනිලූත්, ජවිපෙන් අනුර කුමාරත්, ඉදිරිපත් වනු ඇතැයි අනුමාන කළ හැකිය.