ජනාධිපති අත්සනින් දියවඩන නිලමේ පත්කරන්න ජේ.ආර්. දැගලූ හැටි


දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණය නොවැම්බර් මස 7 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙම තනතුර සඳහා තෝරාගැනීම සිදුකෙරෙන කාලය තුළ විවිධ අපහාසාත්මක ප්‍රකාශ මඩ ප්‍රචාර දියත්ව ඇතැයිද එවැනි කටයුතුවලින් වළකින්නැයිද මහානායක හිමිවරු ඉකුත් කාලයේ ඉල්ලා සිටියහ.

පවතින ආණ්ඩුවක් සෑම විටම උත්සාහ කරන්නේ දියවඩන නිලමේ තනතුරට තමන්ගේ හිතවතකු පත්කර ගැනීමටය. වත්මන් රජය එවැනි උත්සාහයක නිරතව නැතත්, අතීතයේ මෙම නිලවරණය මැතිවරණ උණුසුම හා සමාන වූ අවස්ථා ද තිබිණි.

යටත්විජිත පාලකයන් විහාර දේවාලගම් පනපත ලෙස 1931 වසරේ ගෙන ආ අංක 19 දරණ ආඥාපනත අනුව දියවඩන නිලමේවරයකුගේ ධුර කාලය වසර 10කි. ඔහු පත්වන්නේ ඡන්දයෙනි. පැරැණි උඩරට පාලන ප්‍රදේශයට අයත් විහාරස්ථානවල නායක හිමිවරුන්, මහානායක හිමිවරුන් ඇතුළු විශේෂිත පුද්ගලයන්ට දියවඩන නිලමේ පත් කිරීමේ ඡන්ද බලය හිමිය.

මහානායක මාහිමිවරුන් දෙපොළ, ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරීන් (වර්තමාන ප්‍රාදේශීය ලේකම්) උඩරට දිසාවල සියලුම දේවාලවල බස්නායක නිලමේවරුන් සහ උඩරට දිසාව තුළ පිහිටි සියලුම සිද්ධස්ථානවල භාරකරුවෝ මෙම ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබති. (විහාර දේවාලගම් පනතේ 40 වැනි වගන්තියේ ඡන්ද බල හෝ හිමිකම සඳහන් වන්නේ මේ ආකාරයටය.

‘‘පිරිමියෙක්ද, බුද්ධාගම්කාරයෙක්ද, වයසින් 21 අවුරුද්ද සම්පූර්ණ වූවෙක්ද නම් මිස එසේ නැති කිසිවකුට උපදේශක සභාවේ සාමාජික වීමට හෝ ඡන්දය දීමට අයිතියක් නැත.’’

ඒ අනුව අදට ද ප්‍රාදේශීය ලේකම් පදවි හොබවන උඩරට පළාතට අයත් කාන්තාවන්ට දියවඩන නිලමේ තේරීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම නැත. මේ වන විට දියවඩන නිලමේ තේරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ඇති පිරිස 300කට ආසන්නය. මෑත කාලයේ මෙවැනි නිලවරණවලදී ඡන්දය ලබා ගැනීමට දොළපිදේණි හා තෑගි බෙදාදීමේ සිරිතක්ද පවතී. මේ වන විට ඇතැම් තෑග්ගක වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වන බව ද පැවසේ.

1984 අගභාගය වන විට දියවඩන නිලමේ ධුරයට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රජයේ සේවකයකු පත් කරගත යුතු බවටත්, දළදා වහන්සේ අලුතෙන් අගනගරය ලෙස නම් කළ කෝට්ටේට ගෙනැවිත් වඩා හිඳුවිය යුතු බවටත් මතයක් එකල රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය. දියවඩන නිලමේ තනතුරට ජනාධිපතිවරයාට අභිමත කෙනකු ජනාධිපතිවරයා විසින් පත් කිරීමට අවශ්‍ය බවට මතයක් ඉදිරිපත් වූයේ එතෙක් දියවඩන නිලමේ තනතුර දැරූ ඇමැති නිශ්ශංක විජේරත්න මහතා එම තනතුරෙන් ඉවත්වීමෙන් පසුය. විජේරත්න මහතා දියවඩන නිලමේ තනතුරෙන් ඉවත් වූයේ කැබිනට් ඇමැතිවරයකුට එම තනතුර දැරිය නොහැකි බවට නීතියක් පැනවූ නිසාය.

1981 අංක 18 දරන එම සංශෝධනය මගින් දේශපාලනයේ නිරත අයට දියවඩන නිලමේ තනතුර ඉසිලීම තහනම් කෙරිණි. දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් කරන අපේක්ෂක අයැදුම්පත්‍රයේ ‘‘මම පාර්ලිමේන්තු හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු නොවෙමි’’ යන වගන්තියක් එසේ ඇතුළත් කෙරිණි.

ඒ අනුව එවකට කැබිනට් ඇමැතිවරයකු වූ නිශ්ශංක විජේරත්න මහතා දියවඩන නිලමේ ධුරයද හෙබවූ අතර, ඒ මහතාට දියවඩන නිලමේ තනතුර අතහැරීමට සිදුවිය.

ඒ වන විට රජයට සම්බන්ධ සියලුම ඉහළ නිලතලවලට පත් කිරීම සිදු කළේ විධායක ජනාධිපතිවරයාය. රාජ්‍යයේ සංකේතය වූ දළදාවේ භාරකරු වන දියවඩන නිලමේ තනතුරද ජනාධිපතිවරයාම නම් කරන පුද්ගලයකුට පැවරීමට එවකට රජයේ බලවතුන්ට වුවමනා විය. විහාර දේවාලගම් පනතට සංශෝධනයක් ගෙන එමින් දියවඩන නිලමේ තනතුරට පත් කිරීම සිදු කළ යුත්තේ ජනාධිපතිවරයා විසින්ය යන මතයක් රජය තුළින් ඉදිරිපත් විය. කැබිනට් මණ්ඩලය තුළද මෙම අදහස සාකච්ඡා කර අනුමත විය.

මෙම යෝජනාව සමාජයට අනාවරණය වෙද්දී මහා සංඝරත්නය කැළැඹීමට පත්විය. මල්වතු සහ අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් වූයේ මෙම අදහසට උන්වහන්සේලාගේ විරෝධය දැක්වීම පිණිසය. උන්වහන්සේලාගේ දැඩි විරෝධයත්, නොසතුටත් මේ සඳහා පළවිය. මෙහිදී කරුණු දැක්වූ මහ නා හිමිවරුන්, මීට පෙර සිදු කරන ලද පරිදි දළදා මාලිගාවේ පාලනය රජ සමයේ සිට සම්ප්‍රදායානුකූලව සිදුවූ පරිදිම සිදුවිය යුතු බවද, ඒ අනුව දියවඩන නිලමේ තනතුරට කෙනකු පත් කර ගැනීම ද පෙර සිරිත ලෙසම සිදුවිය යුතු බවද නිවේදනය කළහ. දළදා මැදුර සහ බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඇමැති මණ්ඩලය ප්‍රථමයෙන්ම මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්ගේ අදහස් විමසිය යුතුව තිබූ බවත්, එය බෞද්ධ ශාසනික දියුණුවට හේතු වන බවත් උන්වහන්සේලා කියා සිටියහ.

පනත සංශෝධනය කිරීමෙන් පසු ජනාධිපති ලේකම් ඩබ්ලිව්.ඇම්.පී.බී. මැණික්දිවෙල මහතා දියවඩන නිලමේ පදවියට පත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබිණ.

මෙම යෝජනාව තවදුරටත් පැතිරුණේ විපක්ෂ බලවේගවලට රජයේ කටයුතු විවේචනය කිරීමට මහඟු අවස්ථාවක් ලබාදෙමිනි. මේ පිළිබඳව ධර්මදූත බෞද්ධ පදනම සඳහන් කළේ, රටේ මුළු මහත් පරිපාලනයම අවුල් ජාලයක් බවට පත්ව තිබියදී තවදුරටත් නැති ප්‍රශ්න ඇති නොකර ජනජීවිතය අවුල් වී ඇති ප්‍රශ්න විසඳන ලෙසය. රට පුරාම ශාසනාරක්ෂක බල මණ්ඩල නිවේදන නිකුත් කළේ රජයේ තීරණයට විරුද්ධවය. පළමු රාජසිංහ රජ දවස බෞද්ධ ශාසනයට එරෙහිව අරිට්ට කී වෙන්ඩු පෙරුමාල්ගේ උපදෙස් සිහිපත් වන බවත්, ඇමැති මණ්ඩලයට දියවඩන නිලමේ තනතුර පත්කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත හිමිකර දීමට කිසිදු බලයක් නොමැති බවත් ශාසනාරක්ෂක බලමණ්ඩල නිවේදන නිකුත් කරමින් කියා සිටියහ.

අවසානයේ විහාර දේවාලගම් පනත සංශෝධනය කරමින් දියවඩන නිලමේ තනතුර පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතට ගැනීමට ගත් තීන්දුව රජය හකුළා ගත්තේය. ඒ වෙනුවට රජය ඊළඟට පෙළඹුණේ දළදා මාලිගාව නුවරින් ඉවත් කර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේට ගෙන ආ යුතුය යන තීන්දුවකටය.

ශ්‍රී ජයවර්ධනපුර රාජධානියේ දියවන්නා ඔයට ඔබ්බෙන් සුදුසු භූමි භාගයක දළදා මන්දිරය ඉදිකොට දළදාව එහි තැන්පත් කළ යුතු බවට යෝජනාවක් 1984 ඔක්තෝබරය වන විට එජාප ආණ්ඩුවෙන් මතුවිය. ඒ වන විට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ගොඩනගා රටේ නිල අගනුවර ශ්‍රී ජයවර්ධනපුරය ලෙස වෙනස් කරන්නටත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා පියවර ගෙන තිබුණේය. ගාලු මුවදොර පාර්ලිමේන්තුව වෙනුවට දර්ශනීය අලුත් පාර්ලිමේන්තුවක්ද දියවන්නා ඔය මැද අලුතෙන් ඉදිකෙරිණි. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අලුතෙන් ඉදිකර තිබුණේ ද පිටකෝට්ටේය. ආණ්ඩුවේ බලවතුන්ට වුවමනා වූයේ රාජ්‍යයේ සංකේතය වන දළදා වහන්සේද ශ්‍රී ජයවර්ධනපුරයටම ගෙනත් තැන්පත් කරගන්නටය. මේ පිළිබඳ හාහූවකින් එකල දේශපාලන ලෝකය උණුසුම් වී ගියේය. රජයට විවිධ විවේචන එල්ල විය. ‘‘දළදා වහන්සේ ජයවර්ධනපුරට ගෙන ඒම’’ මැයෙන් 1984 සැප්තැම්බර් 7 වැනිදා සිකුරාදා ඇත්ත පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් විය.

‘‘ආයේත් පටලැවිල්ලක්... දළදා වහන්සේ මහනුවරින් ශ්‍රී ජයවර්ධනපුර රාජධානියට වැඩම කරවා එහි තැන්පත් කරවීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් නිසා මේ පටලැවිල්ල ඇතිවී තිබේ. එකල මහ රජ්ජුරුවන් රජකම් කරන රාජධානියේ දළදා මැදුරු ඉදිවිය. මෙකල අප රටේ රජකම් කරන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. අනුරපුරය ගොඩනැගුවේ අනුර නම් සෙනෙවියකු බව කියති. අපේ ඇස් පනාපිටම ශ්‍රී ජයවර්ධනපුරය ඉදිකළේ ජයවර්ධන රජතුමා විසිනි. ඒ අනුව දැන් දළදාව ශ්‍රී ජයවර්ධනපුර රාජධානියට වැඩම කළ යුතුය. දැනට ඉදිරිපත්ව ඇති යෝජනාවක සඳහන් වන්නේ ශ්‍රී ජයවර්ධනපුර රාජධානියේ දියවන්නාවට ඔබ්බෙන් සුදුසු භූමි භාගයක දළදා මන්දිරය ඉදිකොට එහි දළදාව තැන්පත් කළ යුතු බවය. ඇත්ත පුවත්පතේ කතුවැකියේ එසේ සඳහන් විය.

දේශපාලනික වශයෙන් කවර අදහස් පළ වුවද ඓතිහාසික  අතින් බැලූ විට මහනුවරට පෙර දළදාව තැන්පත් කර තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේය. පස්වැනි බුවනෙක බාහු රජු සමයේ කෝට්ටේ මාහැඟි දළදා මන්දිරයක් වූ බව දාඨාවංශයේද දැක්වේ. පසුව දළදාව සීතාවකට ගෙනගියේ පෘතුගීසි ආක්‍රමණ නිසාය. සීතාවකින් පසු මහනුවර මෙරට අගනුවර වූ පසු දළදාව මහනුවරට ගෙනගොස් තැන්පත් කෙරිණි. එනිසා මහනුවරට සේම කෝට්ටේට ද දළදා වහන්සේගේ අයිතිවාසිකමක් ඇත.

1984දී දියවඩන නිලමේ පත් කරන  බලතල ද ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට යන බවට පළවූ ආරංචියත් සමගම ජනාධිපතිවරයාට සමීප බොහෝ දෙනෙක් තමන්ගේ හිතවතකු එම තනතුරට පත්කර ගැනීමේ තරගයක නිරත වූහ. ජනාධිපතිවරයාට සමීප ඥාති ඇමැතිවරයකු තම අමාත්‍යාංශයේ ලේකම්වරයකු එම තනතුරට පත් කර ගැනීමට ද උනන්දු විය. කලින් දියවඩන නිලමේ ධුරය හෙබවූ අධිකරණ ඇමැති නිශ්ශංක විජේරත්න මහතාගේ පුත් නිරන්ජන් විජේරත්න මහතා ද, කතානායක ඊ. ඇල්. සේනානායකගේ පුත් බන්දුල සේනානායකද මහාධිකරණයේ හිටපු රෙජිස්ටාර් ගොඩ්වින් නුගවෙල හා රත්වත්තේ පරපුරේ අයකු ද දියවඩන නිලමේ තනතුර ලබා ගැනීම සඳහා උනන්දු වූහ.

එකල හිස්වූ මන්ත්‍රී ධුර සඳහා මැතිවරණයක් නොපවත්වා ජනාධිපතිවරයාට වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීමේ බලතල තිබිණ. මෙම ක්‍රමය සමාජයේ පතළ වූයේ ‘‘චිට්’’ මන්ත්‍රීවරුන් ලෙසය. මේ ක්‍රමයටම ජනාධිපතිවරයා දියවඩන නිලමේ ධුරයද තමන්ට අභිමත අයකු ‘‘චිට්’’ ක්‍රමයෙන් පත්කිරීමට සූදානම් වෙමින් ඇතැයි එකල විපක්ෂය මතයක් ගෙන ගියේය.

ජයවර්ධන ජනාධිපතිවරයා පවා පවසා තිබුණේ ආණ්ඩුවට අවශ්‍ය පුද්ගලයකු දියවඩන නිලමේ ධුරයට පත්කර ගැනීමට නිදහස තිබිය යුතු බවය. මේ නිසා ‘‘චිට්’’ ක්‍රමයෙන් දියවඩන නිලමේ පත්කර ගැනීමට විරෝධය පළකර මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාට සංදේශයක් ද යැවීය. මහානායක මාහිමිවරුන් එම සංදේශයෙන් පෙන්වා දී තිබුණේ දියවඩන නිලමේ තෝරා ගැනීම පැවත ආ ක්‍රමයටම සිදුවිය යුතු බවය. මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් සහ එම පාර්ශ්ව දෙකේ කාරක සංඝ සභාව ද සියලුම බස්නායක නිලමේවරුන්ද එක හඬින් පවසා සිටියේ, පෙර සිරිත අනුවම දියවඩන නිලමේ තනතුර ඡන්දයෙන් පත්කර ගත යුතු බවය. එවැනි ඡන්දයක් නොමැතිව ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ලිපියකින් දියවඩන නිලමේවරයකු පත් කරනවාට එම පාර්ශ්ව දැඩිව විරෝධය පළ කළහ. මෙම සිද්ධිය නිසා විපක්ෂ දේශපාලනයන් ප්‍රකාශ කළේ, ‘‘දියවඩන නිලමේ’’ වෙනුවට ‘‘ජයවඩන නිලමේ’’ කෙනකු පත්කර ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවටය.

යළිත් එවැනි උත්සාහයක් ගැන ඇමැතිවරුන් අතර කතාබහට ලක්වුණේ 2012 වසරේදී එවකට රජය මල්වතු මහනාහිමියන් සමග විරසක වූ පසුය. මාලිගාව ඉදිරිපිට මෝටර් රථ තරග පැවැත්වීමට රජයේ බලගතු පාර්ශ්වයක් තීරණය කළ පසු මහ නා හිමිවරුන්ගේ විරෝධය පළවිය. මෙම විරෝධය පුවත්පත්වල පවා උණුසුම් වාද විවාදවලට ලක්වූ පසු ආණ්ඩුවේ බලවතුන් පිරිසකගේ කතාබහට ලක්ව තිබුණේ මහ නාහිමියන්ගේ තේජස අඩු කිරීමේ හොඳම ක්‍රියාමාර්ගය නම් දළදාව මහනුවර තැන්පත් කිරීමට පෙර තැන්පත් කර තිබූ කෝට්ටේට යළි ගෙන ඒම බවය. කැබිනට් රැස්වීමක් අවසන් වූ පසු මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර තිබිණ. එහි සිටි ඇමැතිවරයකු එදා අප සමග පැවසුවේ, එසේ වුවහොත් දේශපාලන ලෝකය පමණක් නොව, රටම උණුසුම් වන තත්වයක් ඉන් උදාවනු ඇති බවය.

බලයේ උච්ඡම තැනට නැග සිටි ආණ්ඩුවක පාලනයේ ඉහළම තැන වන කැබිනට්ටුව තුළ සිදුවූ එම සාකච්ඡාව ඉටුවූයේ නම් සමාජය හෙල්ලුම් කවන සිද්ධියක් වනු ඇති මුත් එකල පාලක පක්ෂය සූදානම්ව සිටියේ එවැන්නක් වුවත් සිදුකර නායක තෙරුන්නාන්සේට පාඩමක් ඉගැන්වීමටය. දින කිහිපයකට පසු එම කතාබහ ද යටපත් වී ගියේය.

(*** ප්‍රේමකීර්ති රණතුංග)