ඡන්ද ක්‍රමයේ වෙනසක් සිදුවේද?


මැතිවරණ සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන සංවාදය තුළ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් විය යුතු බවට කතාබහක් නැවත කරළියට පැමිණ තිබේ. මෙහි දී මිශ්‍ර නියෝජන ක්‍රමයක් පිළිබඳ සාකච්ජාවක් ද වේ. සාමාන්‍ය ලෝකයේ පවතින මිශ්‍ර නියෝජන ක්‍රම අනුව එහි ලක්ෂණය වන්නේ සරල බහුතරයකින් මන්ත්‍රීවරුන් තෝරා ගැනෙන ඡන්ද කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය යන ක්‍රම දෙකම ඇසුරින් නිර්මාණය කොට ගැනීමය.

මිශ්‍ර නියෝජන ක්‍රමයක් පිළිබඳව මුලින් ම අවධානය යොමු කෙරුණේ 2003 පමණ කාලයේ දී ය. ඒ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කළ පාර්ලිමේන්තුවක දී ය. ඔවුන් පෙන්වා දුන්නේ මහජනයා අතරට මෙම ක්‍රමය ගෙන යා යුතු බව ය. එහෙත් ඉන් පසු මේ ක්‍රමය පිළිබඳ වරින් වර විභාග කිරීමේ දී යම් යම් ගැටලු‍ ඇති වූ බව පෙනේ. මේ ක්‍රමය අනුව පොඩි පක්ෂවලට සාධාරණ අපේක්ෂිත ආසන සංඛ්‍යාවක් නොලැබී යාමත් ඒ ගැටලු‍ අතර දක්නට ලැබිණ. අනෙක් අතට ස්ත්‍රී නියෝජනය, තරුණ නියෝජනය ආදිය පිළිබඳ සැලකීමේ දී ද භූගෝලීය බෙදීම්වල දී ද මේ ක්‍රමය යටතේ ගැටලු‍ මතුවනු පෙනේ. එපමණක් නොව ආණ්ඩුව හා විපක්ෂය සෑදීමේ දී ද ඇතැම් විට ගැටලු‍ මතු විය හැකි ය. ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා දුර්වල විපක්ෂයක් බිහිකිරීම ද ගැටලු‍ සහගත තත්වයකි.

සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත් තැනැත්තාට බෝනස් වරමක් හිමි වේ. එය බහුතර නියෝජනයකි. ඒ අනුව බහුතරය ලබාගත් ප්‍රධාන පක්ෂයට වැඩිපුර ආසන 14 ක් පමණ හිමි කර ගැනීමේ හැකියාව පවතී. මේ ක්‍රමය තුළ උත්සාහ ගත්තේ ආණ්ඩු පිහිටුවීමේ දී මෙයින් වාසියක් ලබාගැනීමට ය. ජාතික ලැයිස්තුව ප්‍රයෝජනයට ගත්තේ මෙය ද ගැටලු‍කාරී වූ විට ය. පසුගිය කාලයේ ආණ්ඩු පිහිටවූයේ මේ ආකාරයට ය. ඒ අනුව සුළුතර ආණ්ඩුවල ප්‍රවණතාවක් දැකිය හැකි ය. 1994 මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බහුතර ඡන්ද ගණනක් ලබාගත්තත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී එය සම තත්වයට ආසන්න විය. 2015 දී ද ඒ තත්වය දක්නට ලැබිණ. 2015 දී ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වුවද ඔහු නියෝජනය කළ පක්ෂය මහමැතිවරණයේ දී බහුතර ආසන ගණනක් ලබාගැනීමට සමත් වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සිදුවීම ය. එබඳු තත්වයක දී සුළු පක්ෂ එහෙ මෙහේ මාරුවන විට යළි ගැටලු‍ ඇති වූ බව දක්නට ලැබුණි. ආණ්ඩුව පවත්වා ගැනීමට කෝටි ගණන්වලට මන්ත්‍රීවරුන් මිලදීගත් කතා ද අසන්නට ලැබුණි.

මේ අනුව බලන විට මිශ්‍ර ක්‍රමයේ අයහපතක් නොපෙනේ. ඡන්ද කොට්ඨාස ක්‍රමයෙන් ඇති විය හැකි විකෘතිය අවම කොට ගත හැකිය. සියයට 30 ක් පමණ ඡන්ද තිබෙන පක්ෂයක් පාර්ලිමේන්තුවේ හයෙන් පහක වැනි බලයක් ගත් අවස්ථා දැකිය හැකි ය. ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ සඳහා උදාහරණයකි. පළමු වතාවට ඔහුට සියයට පනස් එකක් දක්වා යාමට අවස්ථාව ලැබිණ. ඇතැම් කාලවල උතුරු නැගෙනහිර ඡන්ද සහ දෙමළ මුස්ලිම් ඡන්ද නොසලකාම ආණ්ඩු පිහිටුවීම දක්වා රැලි නිර්මාණය වන අවස්ථා දැකිය හැකි ය. මනාප ක්‍රමය තුළ අප දුටු තවත් දෙයක් නම් මැතිවරණ අපේක්ෂකයන් විවිධ විරෝධතා මාර්ගයෙන් තම මතය ප්‍රකාශ කිරීමට උත්සාහ ගත් බව‍ ය. අවසානයේ ඒවා ප්‍රචණ්ඩ අරගල දක්වා ම වර්ධනය විය.

රටට මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් සෑම දෙනෙකුට ම රටේ දේශපාලන ක්‍රියාවලියට සහභාගී වීමටත් තමන්ගේ මත අදහස්වලට සාධාරණ ඉඩක් ලබාදීමටත්ය. එහි අරමුණ විය යුත්තේ සාධාරණ දේශපාලන ක්‍රමයක් පවත්වාගෙන යෑම ය.

මෙම ඡන්ද ක්‍රමයේ අපි තවමත් පළාත දිස්ත්‍රික්කය තුළ කොටු වී සිටිමු. දැන් මේ පවත්නා නියෝජන ක්‍රමය අනුවත් පළාත් දෙකක් එක් කොට ඡන්ද කොට්ඨාස තැනිය නොහැකි ය. දිස්ත්‍රික් දෙකක් එක් කළ හැකි වුවත් දිස්ත්‍රික්කයක කොටසක් එක් කළ හැකි නොවේ. දිස්ත්‍රික්කවල ඡන්ද පදනම විසම ය. ඒ විසමතාව ද ඡන්ද කොට්ඨාසයට බලපානු ඇත.

දැන් යෝජනා කරමින් තිබෙන්නේ සීමා නිර්ණ කොටස අනුව ඡන්ද කොට්ඨාස බෙදීමට ය. එහෙත් එහි දී ද ඡන්ද කොට්ඨාස බෙදීම පළාතෙන් පිටතට ගොස් දිස්ත්‍රික්කයෙන් පිටතට ගොස් සමාන ලෙස බෙදීමට හැකියාව නොලැබේනම් එයින් ද ඇති ප්‍රයෝජනයක් නැත. කෙසේ වෙතත් මේ වෙලාවේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන හදිසියේ කතා කිරීම පළ රහිත බව පෙනේ. මෙය හදිසියේ කළ හැක්කක් නොවේ. මූලිකව ආණ්ඩුව කොමිටියක් පත් කොට විභාග කොට එහි වාර්තාවක් ගත යුතු ය. නියෝජන ක්‍රමයක් සැකසීම යුත්තේ අද හෙට තත්වය පමණක් සලකා බලා නොවේ. එය දීර්ඝ කාලයක් පැවතිය යුත්තකි. නියෝජන ක්‍රමය රටේ දේශපාලන ක්‍රමයේ උස් පහත්වීම්වලට ඔරොත්තු දෙන එකක් විය යුතු ය.

දැනට යෝජනා වී ඇති පරිදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ මහමැතිවරණය පැවැත්වීමට යම් කාලයක් ගතවනු ඇත. පාර්ලිමේන්තුවේ ආසන 225 තෝරා ගැනීමට මේ යෝජිත ක්‍රමය අනුව කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් 160 ක් ද සමානුපාතික ක්‍රමයට 65 ක් ද තෝරා ගැනීමට යෝජනා වී ඇතත් එයින් සිතන තරමේ සාර්ථකත්වයක් ළඟා කරගැනීමට හැකි යැයි සිතිය නොහැකි ය. එවැනි ක්‍රමයක් වෙත යාමට අදහස් කරන්නේ නම් හොඳ සැලැස්මක් සහිතව කල් අරගෙන එය කළ යුතු ය. සමාජය සමග පුළුල් සාකච්ඡාවක් නොකර මැතිවරණ ක්‍රමයක් හදිසියේ වෙනස් කරන්නට යාම පල රහිත ය. උඩින් පල්ලෙන් අටවන එවැනි මැතිවරණ ක්‍රමවල දී සිදුවන්නේ විවිධ ගැටීම් සමග වැඩ කරන්නට ය. මීට පෙර පවා එවැනි තත්ව නිසා ඇතිවූ ගැටුම් අපි දැක ඇත්තෙමු.

72 ආණ්ඩු ක්‍රමයෙන් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය වෙනුවෙන් ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ කතා කළේ පැය අටකට අඩු කාලයකි. ඒ හැරෙන්නට ඒ පිළිබඳ මහජන අදහසක් ඇතිවන විදියේ පරිසරයක් නිර්මාණය වූයේ නැත. ඒ නිසාම විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ අද දක්වාම ඇත්තේ ගැටලු‍කාරී අදහස් බව පැහැදිලි ය. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම යන මාතෘකාව බලයට එන්නට උත්සාහ ගන්නා බොහෝ දෙනාගේ සටන් පාඨයක් ව තිබේ.

මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත මේ කාලයේ ද මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන සාකච්ජාව කරළියට එන්නේ සටන් පාඨයක් ලෙස එය යොදාගන්නට ඇති හැකියාව නිසා වන්නට ද පිළිවන. අලු‍ත් ක්‍රමයක් ඇති කිරීමට යන බවට ජනතාව අතර මතයක් නිර්මාණය කරන්නට එමගින් උත්සාහ ගන්නවා විය හැකි ය. එහෙත් මැතිවරණ ක්‍රමයේ එබඳු සංශෝධනයක් මැතිවරණයට පෙර කිරීමට හැකිවේ ද යන්න අවිශ්වාස සහගත ය.

මැතිවරණ ක්‍රමය සංශෝධනයකට නම් එය ආවාට ගියාට කළ නොහැකි ය. ඒ සඳහා තුනෙන් දෙකේ බලයක් සහ ජනමත විචාරණයකට යාම අවශ්‍ය වේ. මන්ද ජනතා පරමාධිපත්‍ය අයිතිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාව සකස් වී ඇති ක්‍රමය දැනට පවතින ඡන්ද ක්‍රමය වන නිසා ය. ජනතාව මහජන නියෝජිතයන් දැනට තෝරාගන්නේ මේ පවත්නා ක්‍රමය අනුව ය. එය වෙනස් වන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනතා අදහස් විමසීමෙන් පසුව ය. එහෙත් මේ පවත්නා තත්වය අනුව ආණ්ඩුවට තුනෙන් දෙකක් ලබාගත හැකි වේවි ද යන්න සැක සහිත ය. වත්මන් ජනාධිපතිවරයා පත්වන විට ඔහුට ලැබුණේ ඡන්ද එකසිය තිස් ගණනකි. අනෙක් අතින් ජනාධිපතිවරණයට පෙර ජනමත විචාරණයක් පැවැත්වීමෙන් එය ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සම්බන්ධ වෙන මතයක් බවට පත්වීමට පුළුවන.

මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳ අවශ්‍යතාව දේශපාලන ක්ෂේත්‍රයේ කලක සිට පැනනැගුණු එකක් බව අපි දනිමු. එහෙත් ගැටලු‍ව ඇත්තේ මේ වෙලාවේ මේ සාකච්ජාව කරළියට ගෙන ඒම ය. එවිට සමාජය තුළ ඇති වන්නේ සැකයකි. මේ වෙනස සඳහා විශේෂයෙන් අවශ්‍යතාව පැවතියේ නම් එය වත්මන් පාර්ලිමේන්තුව ආරම්භ කළ කාලයේ ම පටන් ගන්නට හැකියාව තිබුණි. එසේ නම් පහසුවෙන් තුනෙන් දෙකේ බලය ලබාගන්නට ද හැකියාව පැවතිණ. සුදුසු අවස්ථාව අපතේ හැර අන්තිම මොහොතේ මෙසේ ප්‍රයත්න දැරීම දේශපාලන විජ්ජාවකි.

යහපාලන ආණ්ඩුව කාලයේ 19 වැනි සංශෝධනය සම්මත වූ පසුව යෝජනා වී පැවතියේ මිශ්‍ර නියෝජන ක්‍රමයක් වෙත යාමට ය. 20 වැනි සංශෝධනයේ දී ද මේ ගැන වරින් වර අදහස් මතුවිය. එහි දී තිබුණු සැලසුමක් දැන් ක්‍රියාවට නගන්නේ ද පැහැදිලි නැත. සැලැස්ම කුමක් දැයි ජනතාවට තවම පැහැදිලි නැත. තවමත් නටන්නේ හැංගි හැංගී ය. මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නම් කෙටුම්පතක් ලෙස කැබිනට් මණ්ඩලය තුළ අනුමත විය යුතු ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

පවත්නා ව්‍යවස්ථාවේ හැටියට එහෙන් මෙහෙන් තාවකාලික පැලැස්තර අලවා අලු‍ත් මැතිවරණ ක්‍රමයක් සැකසිය නොහැකිය. ජනාධිපති ක්‍රමයේ පටන් ම ඊට අවශ්‍ය සංශෝධන සැලසුම් සහගතව සකස් කිරීම කළයුතු වේ. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ද පල රහිත ය. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වුව ද මගේ අදහස මේ රටට අලු‍ත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකට මේ රට යොමු කළ මාර්ගයක් එමගින් සොයා බැලිය යුතු ය. මෙබදු ප්‍රශ්නවලට උත්තර සෙවිය යුත්තේ ඒ අනුව මිස බලහත්කාරයෙන් නොවේ. එහෙත් 1972 සිටම මේ රටේ සිදුවූයේ මහජන විරෝධය දෙස බලා බලය තහවුරු කොට ගැනීම ය. ව්‍යවස්ථාව අනුව තුනෙන් දෙකේ ඡන්දයකින් ව්‍යවස්ථාවට පටහැණි නීතියක් පැනවීමට ආණ්ඩුවට හැකිනම් ව්‍යවස්ථාවෙන් ඇති වැඩේ කුමක් ද?

මේ සියල්ල අනුව පෙනෙන්නේ මේ රටේ අප කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ ජනතාව අත නොව පාලකයන් අත ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ව්‍යවස්ථාවේ අලංකාර ලෙස ලියැවී තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය නමැති කූඩුවේ සැලැස්ම සකසා ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලය පවත්වාගෙන යාමට පාලක පක්ෂයට අවස්ථාව සලසා දීමට හැකිවන පරිදි ය. ව්‍යවස්ථාව සංශෝධනය වෙනුවෙන් කතා කරන කිසිවකු ඒ වෙනුවෙන් සැබෑවට ම උනන්දු නොවන්නේ මේ නිසා ය.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)