කිලිනොච්චියේදී යකඩ යකා බිලිගත් එකම පවුලේ තුන්දෙනා


02-page-1-nim-1   

 

කොට්ටාව මාකුඹුරේ අධිවේගී පිවිසුම අසළ පන්සල් මාවත පසුගියදා සුදුපැහැ ධජ පතාකවලින් සැරසී සිටියේ වෙසක් පෝයට සිල් සමාදම් වන්නට යන්නන්ට ආචාර කරන්න නම් නොවේ. ඒ කොඩි සුදු පැහැයෙන් දිලූණේ සංසාරගත පුරුද්දක් වගේ එකටම ජීවන ගමන ගිය ආදරණීය පවුලක් එකම දවසක එකම තැනකදී එකම විදිහට අවසන් ගමන් යාම පිළිබඳ ශෝකය කැටිකර ගනිමිනි. ඒවා ලෙල දුන්නේ ඔවුන්ගේ අවසන් ගමන ඉවසුම් නොදෙන ඥති හිත මිතුරන්ගේ කඳුළු පිසලන්නට මෙනි. එක ඇසිල්ලක අතපසු වීමක් ජීවිත හතරක් බිලිගෙන තිබුණේ අදහාගත නොහැකි, පිළිගත නොහැකි ලෙසය.

 

මේ කවුරුත් වේදනාව හදවතේ තුරුලූ කරගෙන සුසුම් හෙළුවේ පසුගියදා කිලිනොච්චිය, මාන්කුලම්හිදී සැලසුම් නොකළ වෙලාවකදී ගමන් කළ මාර්ග නඩත්තු දුම්රියක් හා දුම්රිය හරස් මග ඔස්සේ ධාවනය වූ ජීප් රථයක් ගැටීමෙන් මියගිය කොට්ටාව මාකුඹුර පන්සල පාරේ පදිංචිව සිටි එන්. ඞී. වසන්ත පෙරේරා (46), ඔහුගේ බිරිඳ වන දීප්තිකා පෙරේරා (44) හා ඔවුන් දෙපළගේ එකම දියණිය වන අට හැවිරිදි ඔනලි පෙරේරා වන එකම පවුලේ මව, පියා හා දියණිය වෙනුවෙනි. මොවුන් සමගම ඔවුන්ගේ ගමන් සගයකු ලෙස එකට ගමන් කළ සිවිල් ඉංජිනේරුවරයකු වන රෝහිත සමරවීර මහතාද වෙනුවෙනි.
දීප්තිකා යාමට සූදානම් වූයේ රාජකාරි ගමනක් වුවත් සැමියා හා එකම දියණිය නිවසේ දමා යාමට ඇයට සිත දුන්නේ නැත. තමන් යන්නේ අවසන් ගමන් බව දැන සිටියා නම් ඇය කිසිම ලෙසකින් දියණිය හා සැමියා එයට එක්කර නොගනු ඇත. එහෙත් ඉරණම ලියා තිබුණේ එලෙසට වන්නට ඇතැයි ඔවුන්ගේ අවසන් ගමනට සහභාගීවූවන් බොහෝදෙනා පැවසුවේ වේදනාවෙනි. මියගිය දීප්තිකා නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකාරවරියකි. ඇගේ සැමියා ව්‍යෘපාරිකයෙකි. ඔවුන්ගේ එකම දියණිය හත්හැවිරිදි ඔනලි පෙරේරා නාවල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි. පසුගිය විසිහත් වැනිදා දීප්තිකාත් ඇගේ සැමියා වසන්තත් දියණිය ඔනලිත් නිවසින් පිටත්වූයේ නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක කටයුත්තකටය. ඒ අමාත්‍යාංශය ලෙස සැලසුම් කළ යම් ව්‍යාපෘතියක් පිළිබඳ වැඩමුළුවක් සඳහාය. එය කිිලිනොච්චිය දිසා ලේකම්ද සමග සාකච්ඡුා කර සැලසුම් කර තිබුණකි. එය පැවැත්වීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් 28 හා 29 දෙදින තුළ මාන්කුලම්හි පිහිටි කෘෂිකර්ම මධ්‍යස්ථානයකය. එනිසා මොවුන් ගියේ විශ්වවිද්‍යාලයේ පැවැති වැඩසටහනකටය යන මතයක්ද පැවතිණ. ඒ සඳහා ඔවුන් පිටත් වූයේ විසිහත් වැනිදා උදේය. එදින උදෑසන හය හමාරට පමණ දීප්තිකා ඇතුලූ පවුලේ සැම නිවසින් පිටත්ව ගිය අතර ඔවුන්ගේ අසල්වැසියකු වන ආරියපාල මහතා පවසන පරිදි පෙරවරු දහයට එකොළහට පමණ අනුරාධපුරයේ සිට ඔහුගේ බිරිඳට පණිවුඩයක් ලබාදීම සඳහා කතා කළ දීප්තිකා වාහනය කැඩුණ නිසා පැය දෙකක් පමණ ගමන ප‍්‍රමාද විය හැකි බව පවසා තිබේ. ඒ අනුව දවහල් කාලයේ කිලිනොච්චියට යාමට නියමිතව සිටි ඔවුන් එහි ගොස් තිබුණේ සවස තුනයි හතළිස් පහට පමණය.

02-page-1-nim-2


මේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ දීප්තිකාගේ අසල්වැසි ආරියපාල මහතා පැවසුවේ මේ පැය කීපයක ප‍්‍රමාදයත් එයාලාගේ මේ ඉරණම තීන්දු කරන්නට බලපාන්නට ඇති බවයි. එසේ ප‍්‍රමාදයක් නොවන්නට ඔවුන්ට මේ කෝච්චිය හමු නොවනු ඇත. එසේ හමු නොවන්නට මෙවන් අකල් වියෝවක් දරාගන්නට ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ට සිදුනොවනු ඇත. තමන් ඇසුරු කළ පවුලකට සමුදෙන්නට බැරිව ගමක් හඬා නොවැටෙනු ඇත. මාන්කුලම්හිදී දීප්තිකාලා ගමන් ගත් වාහනය ප‍්‍රධාන පාරෙන් තමන් යා යුතු ස්ථානය එනම් කෘෂිකර්ම මධ්‍යස්ථානය පිහිටා තිබෙන අතුරු මාර්ගයට හැරවීය. ඒ වන විටත් තමන්ට ඉදිරියෙන් ගිය අනෙක් වාහනය අදාළ ස්ථානය කරා ගොස් තිබිණ. ප‍්‍රධාන පාරෙන් අතුරු පාරට හැරෙනවාත් සමගම ඔවුන්ට දුම්රිය මාර්ගය හමුවිය. එයට ගේට්ටුවක් සවිකර තිබුණද එය මේ මොහොතේ පාර හරහා වැටී තිබුණේ නැත. ඒ නිසා ගමනට බාධාවක් නැතැයි සිතූ දීප්තිකාලා ගමන් ගත් වාහනයේ රියදුරු වාහනය රේල් පාර හරහා ධාවනය කළේය.


කෘෂිකර්ම මධ්‍යස්ථානය වෙත ගොස් වාහනයෙන් බසින්නට සැරසෙන අනෙක් කණ්ඩායමට එකවරටම බෝම්බයක් පිපිරෙනවා වැනි හඬක් ඇසිණ. මේ බෝම්බ තැන තැන පිපිරෙන කාලයක් නොවේ. කවුරුත් කිසිත් සිතාගත නොහැකිව ශබ්දය ඇසුණ දෙසට හැරුණහ. ඒ ශබ්දය ඇසුණේ දුම්රිය හරස් මග දෙසිනි. කවුරුත් ඒ දෙසට දිව ගියහ. ඔවුන්ට දෑස් අදහාගත නොහැකි විය. තමන් පසුපසින් ගමන් ගත් අනෙක් සගයින් ගමන් ගත් වාහනය දුම්රියේ ගැටී තිබිණ. මොහොතකට පෙර සිනාසෙමින් ගමන් කළ තම සගයින් සීසීකඩ ලේ විලක් මැද වැටී සිටියහ. වාහනය යකඩ ගොඩක් බවට පත්ව තිබිණ. සියලූ දෙනා රෝහල් කරා ගෙන ගියද තිදෙනෙකු එම  ස්ථානයේදීම මරණය වැළඳගෙන තිබිණ. තවත් අයෙක් රෝහලට ගෙන යන අතර මියගියේය. දෙදෙනෙක් රෝහල් ගත කෙරිණ. ඔවුන් දෙදෙනාම මේ වන විටත් යාපනය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ, හෙද හෙදියන්ගේ දැඩි පරිශ‍්‍රමයන් මධ්‍යයේ ජීවිතය දැඩිව අල්ලා ගැනීමට වෙර දරති.

55


මේ අනතුර පිළිබඳව මාන්කුලම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර මරණ පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු කිලිනොච්චි හදිසි මරණ පරීක්ෂක කේ. තිලෝගමූර්ති මහතා විසින් කිලිනොච්චි රෝහලේදී සිදුකරනු ලැබිණ. පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්. ඞී. එන්. ජයවර්ධන මහතා සිදුකළේය.


මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන්,  අනතුරෙන් මියගිය දීප්තිකා පෙරේරාගේ ඥාති සහෝදරයකු වන ජගත් මාකුඹුර මහතා පැවසුවේ අක්කලා දින දෙකකට පෙර තමන්ට කතා කළ බවත් දින දෙකතුනකට රාජකාරි කටයුත්තකට කිලිනොච්චි යන බවත් ඒ ගමනට තම පවුලේ සියලූ දෙනා සහභාගී වන බවත්ය. එහෙත් අක්කලා ගමන ගිය දින සවස ඔවුන්ට අනතුරක් වූ බවට දුරකතන ඇමතුමක් ලැබුණ බවද ජගත් මහතා පැවසුවේය.


මෙහිදී මරණයට පත් හතරවැනියා කළුතර, වස්කඩුව පදිංචි සිවිල් ඉංජිනේරුවරයකු වන රෝහිත සමරවීරය. ඔහුගේ සහෝදරයකු වන සමරවීර මහතා පැවසුවේ මේ ගමන යන බව මල්ලි තමන්ට කිව්වද එතනින් එහා කිසිවක් තමන් නොදැන සිටි බවය. මරණයට පත් වසන්ත පෙරේරා මහතාගේ අසල්වැසියෙකුු වන ආරියපාල මහතා තම හිතවතාගේ හා ඔහුගේ දරු පවුලම තම දෑස් මානයෙන් ඈත්ව සදහටම සමුගෙන යාම පිළිබඳව සිහිපත් කරන්නේ දෑස් කඳුළෙන් තෙත්කර ගනිමිනි.

02-page-1-nim-3


විසිහත් වැනිදා උදේ හය හමාරට විතර මෙයාලා පිටත්වුණේ දවස් තුනකින් ආපහු එනවා කියලයි. මේක අපිට හිතාගන්නවත් බැහැ. මෙයාලා අපිත් එක්ක හරිම සමීපයි. ඔනලි දුව බයිසිකලේ පැදගෙන එහෙ මෙහේ යනවා පේනවා වගේ. මේ වෙසක් එකට එයාට කූඩුවක්  ඕනෑ කියලා මට කියලා තිබුණා. ඔය ගමන යන්න කලිනුත් මට ඒක එයා මතක් කළා. අංකල් මේ ගමන ගිහින් ආවම මට ගිය සැරේට වඩා ලස්සන වෙසක් කූඩුවක් හදලා දෙන්න කියලා මට කිව්වා. අනේ දැන් ඉතිං අපිට හදන්න වෙලා තියෙන්නේ එයාලාගේ චිතකය නේද?


මේ පිළිබඳව ප‍්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ දුම්රිය සැලසුම් කළ වේලාවකට ගමන් ගත් දුම්රියක් නොවන නිසා ඒ බව මුරකරු නොදැන සිටි නමුත් වගකීමෙන් මිදෙන්නට බැරි නිසා ඔහු අත්අඩංගුවට ගත් බවද මෙම ස්ථානයේ ගේට්ටුවක් පවතින අතර සීනු හා විදුලි සංඥා ක‍්‍රියාත්මක වන බවද ගේට්ටුව වසා නැති වුවත් මෙම අනතුර සිදුවන අවස්ථාවේ අනෙකුත් සංඥා ක‍්‍රියාත්මකවී තිබුණ බවට තොරතුරු ලැබී ඇති බවද පැවසුවේය.


සහෝදරයෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීමට තිබෙන නිසා දීප්තිකා බදාදා සවස ආපසු එන්න බලාගෙන මේ වැඩසටහනට යන බව තමන්ට පැවසූ බව ඔවුන්ගේ අසල්වැසි හිතවතියක සිහිපත් කළේ මහත් කනගාටුවෙනි. මන්ද ඔවුන් සත්තකින්ම ආපසු ආවේ බදාදා වුවත් ඒ ආවේ ඔවුන් කිසිවෙකුගේ රුව යළි දැකිය නොහැකි තත්ත්වයෙනි. ඔවුන්ගේ මෘතදේහ තැන්පත් කළ පෙට්ටි සීල් තබා තිබිණ. එහෙත් ඔවුන්ගේ මතකයන්ට සීල් තැබීමට නොහැකි නිසාම ඥාතීන් හා හිත මිතුරන්ට හැඬුම් ඇතිවීම වැළැක්විය නොහැකි විය. කාගෙත් සෝ සුසුම් මැද මේ තිදෙනා පසුගිය 30 වැනිදා මාලපල්ල පොදු සුසාන භූමියේදී අවසන් ගමනට සමුගෙන ගියහ.

m