කාබුල් ගුවන් තොටට පහරදුන් අයි.එස්. ත්‍රස්තයෝ


තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ දෙකකි. එයින් 90 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ ගණන 200 කට ආසන්නය.

ඇමෙරිකන් මෙරීන් සෙබළුන් සහ නාවික හමුදා වෛද්‍යවරයකු ද මියගිය පිරිස අතර සිටින බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. සැබැවින්ම එය තවත් ම්ලේච්ඡ ප්‍රහාරයක් විය. එහෙත් ප්‍රහාරය එල්ල කළේ තලේබාන් ත්‍රස්තවාදීන් නොවේ. බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන්වරුන් ද සොව පළ කර තිබේ. මේ වනවිට අවනීතිය රජයන ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි කීපයක්ම ක්‍රියාත්මක වෙයි. කාබුල් ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා හැරියේ එම ත්‍රස්ත කල්ලි අතර සිටින බිහිසුණුම ත්‍රස්ත කල්ලියයි.

පෙරේදා එනම් 26 වැනිදා ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් අලු‍යම 3.30ට ඇමෙරිකාව අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාව මෙම අනතුරු ඇඟවීම කළේ ඔවුන්ගේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු අනුවය. කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව එම අනතුරු ඇඟවීමයි. පසුගිය 15 වැනිදා තලේබාන් සංවිධානය, කාබුල් අගනුවර අත්පත් කර ගැනීමෙන් පසු, තලේබාන් පාලනයට බියෙන් පලා යන ඇෆ්ගන් වැසියන්ගෙන් කාබුල් ගුවන්තොටුපොළ අවට කලාපය පිරී පවතී. ගුවන්තොටුපොළ වට කරගත් කාබුල් අගනුවර විශාල භූමි ප්‍රදේශයක් තවමත් ඇමෙරිකානු බ්‍රිතාන්‍ය සහ විදෙස් හමුදා අණසක යටතේ පවතී.

ලබන 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විදේශිකයන් සහ තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් වැසියන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම කාබුල් ගුවන් තොටුපොළ හරහා සිදුවන අතර සියලු‍ දේ පාලනය කරන්නේ ඇමෙරිකන් සොල්දාදුවන්ය. ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇත්තේ ගුවන් තොටුපොළ තුළ කුඩා කඳවුරකය. කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් සහ තලේබාන් සංවිධානය අතර නිරන්තරයෙන් පණිවුඩ හුවමාරු සිදුවේ. ඇෆ්ගනිස්තානය හැර යන විදෙස් හමුදා සෙබළුන්ට හෝ සිවිල් වැසියන්ට හෝ තමන් බාධා නොකරන බව තලේබාන් සංවිධානය සහතිකයක් ලබා දී තිබේ. කාබුල් හමීඞ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි බුද්ධි අංශ අනතුරු ඇඟවීම් කළේ මෙවැනි තත්ත්වයක් යටතේය.

26 වැනිදා දහවල් 1.30 ට ලන්ඩනයේ සිටින බ්‍රිතාන්‍ය හමුදා කටයුතු පිළිබඳ අමාත්‍ය ජේම්ස් හෙයිපී, රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී අනාවරණය කළේ ඇෆ්ගන් ගුවන්තොටුපොළට ‘අයි.එස්.අයි.එස්.’ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට සියයට 100 ක් ඉඩ ඇති බවත්, ඇමෙරිකන් බුද්ධි අංශ ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් කර ඇති බවත්ය. 26 වැනිදා සවස 5.30 ට කාබුල් ගුවන් තොටුපොළ ඉදිරිපිට පොරකන්න වූ ඇෆ්ගන් වැසියෝ අතරේ කලබලයක් හට ගත්හ. ඒ, වෙඩි හඩ කීපයක් ද සමඟය. වෙඩි තැබීම සිදුවූයේ ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වීමට සැරසුණු ඉතාලි සී.130 හමුදා ගුවන් යානයක් ඉලක්ක කර ගනිමින් යැයි ආරක්ෂක අංශ සැක පළ කළේය. වෙඩි තැබීම්වලින් යානයේ ගමනට බාධාවක් නොවුණු අතර එය ගුවන්ගත කෙරුණි. පසුව අනාවරණය වූයේ ත්‍රස්තයන් ජනතාව අතරේ කලබලයක් ඇති කිරීමේ අරමුණින්, අහසට වෙඩි තැබූ බවය.

කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ‘බැරන්’ හෝටලය ඉදිරිපිට පිපිරීම සිදුවූයේ සවස 6.15 ටය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය. බටහිර මාධ්‍යවේදීන් නවාතැන්ගෙන සිටින්නේ ද මෙම හෝටලයේය. බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී බ්‍රිතාන්‍යයට යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන්ට අදාළ ලියකියවිලි බාර දීම සහ ඔවුන් තෝරා ගැනීම සිදුකෙරෙන්නේ මෙම හෝටලයේය. හෝටලයේ ආරක්ෂාවට යොදවා ඇත්තේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ය. බෝම්බ පිපිරීමත් සමඟ යළි වෙඩි හඬ ඇසෙන්නට විය. සවස 6.20 වෙද්දී, බෝම්බ පිපිරීමක් සිදුවුණු බව පෙන්ටගනය නිවේදනය කළ අතර එම අවස්ථාවේදී මියගිය පිරිස තලේබාන්වරුන් විසින් වාර්තා කරනු ලැබුණි.

දෙවැනි මරාගෙන මැරෙන බෝම්බය පුපුරා ගියේ රාත්‍රී 7.20 ටය. ඒ, ගුවන්තොටුපොළට පිවිසෙන ‘ඇබි ගේට්’ දොරටුව ඉදිරිපිටය. ජීවිත හානි බොහොමයක් සිදුවුණු බව පැවැසෙන්නේ මෙම පිපිරීමත් සමගය. ‘ඇබි ගේට්’ දොරටුව, බ්‍රිතාන්‍ය හමුදා ආරක්ෂාව යටතේ පවතින අතර, ඔවුන්ගේ සහායට ඇමෙරිකන් සොල්දාදුවෝ ද එක් වී සිටිති. ඇමෙරිකන් මැරීන් සොල්දාදුවන් 11 දෙනාත් නාවික හමුදා වෛද්‍යවරයාත් බිලිවූයේ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයටය.

ප්‍රහාරයේ වගකීම ‘අයි.එස්.අයි.එස්. කේ’ ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිය බාර ගත්තේය. එය කුරිරු ප්‍රහාරයක් යැයි තලේබාන් සංවිධානය ද ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ, බෝම්බ ප්‍රහාරය හෙළා දකිමිනි. ‘ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් ප්‍රහාරයෙන් මියගියා. ඇෆ්ගන් වැසියන්ද ප්‍රහාරයෙන් මියගියා. ප්‍රහාරය සිදු කළේ  ‘අයි.එස්.අයි.එස්. කේ’ කල්ලියයි. අප මේ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා’ යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජහීද් පැවැසීය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මාධ්‍ය හමුවට පැමිණියේ කනස්සල්ලෙනි. කාබුල් ගුවන් තොටුපොළ ආශ්‍රිතව සිදුවුණු මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය දැනුම්වත් කළේය. ප්‍රහාරය එල්ල කළ ‘අයි.එස්.අයි.එස්. කේ’ ත්‍රස්ත කල්ලියට අනතුරු ඇඟවීමක් කිරීමට ද බයිඩන් අමතක නොකළේය. ‘ඇමෙරිකාව ත්‍රස්තවාදයට සමාව දෙන්නේ නැහැ. මේ ප්‍රහාරයට සම්බන්ධ, ප්‍රහාරය සැලසුම් කළ කිසිවකුට යහතින් ඉන්න දෙන්නේ නැහැ. අපි නුඹලා දඩයම් කරනවා.’ යැයි  බයිඩන් පැවැසීය. බෝම්බ ප්‍රහාරය බාධාවක් වුවත්, එය බාධාවක් කොට නොගෙන ලබන 31 වැනිදාට පෙර ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම නියමිත පරිදි සිදු කරන බව ද බයිඩන් අවධාරණය කළේය.

කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළේ ‘අයි.එස්.අයි.එස්’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් පිරිසකි. තලේබාන් සංවිධානය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ දේශපාලන අංශය සහ සන්නද්ධ අංශය යනුවෙනි. මේ වනවිට ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර මෙන්ම කාබුල් අගනුවරද අත්පත් කර ගනිමින් ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවීමට සූදානම් වන්නේ මෙම ප්‍රධාන තලේබාන් සංවිධානයයි. දේශපාලන අංශයෙන් ඉදිරියට පැමිණ රජයක් පිහිටුවීමට සැරසෙන තලේබාන් නායකයන් ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවවලට අනුව ත්‍රස්තවාදීන්ය. ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට එකඟ නොවන ප්‍රචණ්ඩත්වයට යොමුවුණු තලේබාන් ත්‍රස්ත කල්ලි සිටින අතර, අල් කයිඩා සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලි ඔවුන්ට එක් වී සිටිති. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව දන්නා අතර, ඔවුන් එම ත්‍රස්ත කල්ලිද හඳුනාගෙන තිබේ.

පෙරේදා (26) කාබුල් ගුවන්තොටුපොළට පහර දුන් ‘අයි.එස්.කේ.’ ත්‍රස්ත කල්ලිය, ඇෆ්ගනිස්තානයේ ‘කොරසාන්’ පළාතෙන් බිහිවුණු සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ඉස්ලාමික් ස්ටේට් කොරසාන් ප්‍රොවින්ස්’ යන නමිනි. මොවුන් ඇෆ්ගනිස්තානයේත් අසල්වැසි පාකිස්තානයේත් ක්‍රියාත්මකය. ඇෆ්ගනිස්තානයේ තල්බාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුණුම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන්නේ මොවුන්ය මොවුන් ඇෆ්ගනිස්තානයෙන් බිහිවීම ආරම්භ වූයේ 2015 වසරේදීය. ඒ ඉරාකයේත් සිරියාවේත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත රාජ්‍යය බිහි වෙද්දීය. ප්‍රධාන ‘අයි.එස්.අයි.එස්.’ ත්‍රස්ත සංවිධානය අඩපණ වුවත්, ‘අයි.එස්.කේ.’ වැනි බිහිසුණු ත්‍රස්ත කල්ලි තවමත් හොල්මන් කරයි. ඔවුන් ලෝක සාමයට තර්ජනයකි. අද වනවිට ‘අයි.එස්.කේ.’ වැනි ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලි ලොව රටවල් රැසක ක්‍රියාත්මක වන බව විදෙස් බුද්ධි අංශ පෙන්වා දෙයි. ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට ගරු නොකරන තලේබාන් සාමාජිකයන් බොහෝ දෙනකු මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු ද ‘අයි.එස්.කේ.’ ත්‍රස්ත කල්ලිය සමඟ එක් වී සිටින බව පැවැසෙයි. බාලිකා පාසල්, රෝහල් ඉලක්ක කර ගනිමින් පහර දීම් කරන්නේ මෙම ‘අයි.එස්.කේ.’ ත්‍රස්ත කල්ලියයි. මීට වසර කීපයකට පෙර, ඇෆ්ගනිස්තානයේ විදෙස් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාතෘ රෝහලකට කඩා වැදී ගැබිනි මවුවරුන් වෙඩි තබා ඝාතනය කළේ ද මෙම ‘අයි.එස්.කේ.’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් යැයි විදෙස් පුවත් සේවා පවසා ඇත.

‘අයි.එස්.කේ.’ ත්‍රස්ත කල්ලිය ක්‍රියාත්මක වන්නේ තෙවැනි පාර්ශවයක් හරහාය. මෙම තෙවැනි පාර්ශවය ‘හක්කානි’ ත්‍රස්ත ජාලයයි. තලේබාන්වරුන්ට ආයුධ ලබා දීම සහ තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවීම කරන්නේ ද හක්කානී ජාලයයි. මේ වනවිට තලේබාන් නායකත්වය, කාබුල් අගනුවර ආරක්ෂාව පවරා ඇත්තේ හක්කානි ජාලයේ ප්‍රධානී කහීල් හක්කානිටය. මොහුගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් නියම කර තිබේ.

 

(*** ලු‍සිත ජයමාන්න - ඩේලිමේල් ඇසුරිනි)