එන ඡන්දෙට ජනතා හඬ හමන පැත්ත


වසර 2022 දී ඇති වූ මහජන අරගලය ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනයෙහි තීරණාත්මක සංසිද්ධියක් බව අපි දනිමු. එයින් සිදු වූ මූලික දෙය වූයේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් වී යාමය. එහෙත්, අරගලයෙන් ඇත්තටම වුණේ කුමක් ද කියා සිතන විට විශාල දෙයක් නොවූ බව මගේ අදහසයි. ඊට හේතුව, ක්‍රමයේ වෙනසක් ඇති කරන බව අරගලයේදී ප්‍රකාශ වුව ද මේ දක්වා එවැන්නක් සිදු වී නැති වීමය.

බලයේ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවට විරුද්ධව අරගලය පැමිණිය ද අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් පත් වී පිහිටුවනු ලැබුවේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවකි. උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ යෑම නිසා ජනතාව ආර්ථිකමය වශයෙන් මහත් පීඩාවකට මුහුණ දුන්නේය. එසේම, ජනතාව මත අධික බදු බරක් ද පටවා තිබේ. මේ ආණ්ඩුව යටතේත් ඒ තත්වය තවදුරටත් පවතින බව දැකිය හැකිය.

තමන්ට බලපාන පොදු ප්‍රශ්නවලදී ජනතාව නොබියව ඉදිරියට එන බව මේ මහජන අරගලය සම්බන්ධයෙන් එළැඹිය හැකි වැදගත් නිරීක්ෂණයකි. පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පැවැතියත්, එම ජනවරම දැන් ප්‍රතික්ෂේප වූ එකකි. ජනතාවගේ විශ්වාසය තවදුරටත් ඔවුන්ට නොමැති බව පැහැදිලිය. මේ සන්දර්භයේ මහ මැතිවරණයක් පැවැත්වුවහොත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට නැවත පත් විය හැකි ද යන්න සම්බන්ධයෙන් විශාල සැකයක් තිබේ. එබැවින් වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය භාවිත කර තමන්ට අවශ්‍ය අණ පනත් ආදිය ගෙන ආ හැකි වුව ද ඒ කටයුතුවලට ජනතා සහාය හා විශ්වාසය කොතරම් දුරට ලබා ගත හැකි ද යන්න ප්‍රශ්නසහගතය. පසුගිය මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි වූයේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. එය ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. එබැවින්, ජනාධිපතිවරයාට හා ඔහුගේ පක්ෂයටත් ජනතා විශ්වාසයක් තිබේ ද යන්න සැකසහිතය. මේ සියලු කාරණා සැලකීමේදී අපට පෙනෙන්නේ ජනතා විශ්වාසයක් නොමැති පාර්ලිමේන්තුවක් මගින් පාලන කටයුතු කරගෙන යන බවය.

නිදහස් හා සාධාරණ මැතිවරණ යනු ජනතාවගේ මූලික අයිතියක් වන හෙයින්, ජනාධිපතිවරණය මේ වසරේදී නියමිත වේලාවට අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුය. ජනාධිපතිවරණය නියමිත අවස්ථාවේ පවත්වන බවට ජනාධිපතිවරයා විටින් විට ප්‍රකාශ කළ ද ඒ ගැන ජනතාව අතර සැකයක් ද නිර්මාණය වී තිබේ. ඊට හේතුව, පසුගිය දිනෙක ඔහු කළ ප්‍රකාශයකි. එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අවසන් වෙන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බවය. තමන්ට අවාසිසහගත තත්වයක් පැවැතියහොත්, කෙසේ හෝ ජනාධිපතිවරණය නොපවත්වා සිටීමට ජනාධිපතිවරයා කල්පනා කරන්නේ ද යන්න ගැන සැකයක් තිබේ. ඒ සැකයට සාධාරණ හේතු කාරණා ද ඇත. පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළ ද එය පැවැත්වුවහොත් තමන්ට අවාසිදායක ප්‍රතිඵලයක් ලැබෙතැයි සිතා ඒ මැතිවරණය කල් දැමූ බව අපි දනිමු.

පළාත් පාලන ආයතන මැතිවරණයට අත් වූ ඉරණම සෙසු මැතිවරණවලටත් අත් වේවි ද යන සැකය ජනයාට තිබේ. කෙසේ වෙතත්, අප කියන්නේ, මැතිවරණ නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවය. එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එපරිදි නියමිත පරිදි මැතිවරණ පැවැත්වුවහොත්, පළමුව එන්නේ ජනාධිපතිවරණය යැයි සිතිය හැකිය. ජනාධිපතිවරයාගේ වැඩි කැමැත්ත පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට බව පෙනේ. ඊට හේතුව, ආර්ථික අර්බුදය හමුවේ යම් වැඩ කොටසක් කිරීමට ඔහුට හැකි වූ නිසා මුලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එයින් තමන්ට වැඩි වාසියක් ලැබෙතැයි ඔහු කල්පනා කරන නිසාය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අය ප්‍රචාරක කටයුතු කරන බවක් ද දැකිය හැකිය. මගේ අදහස අනුව වඩාත් වැදගත් වෙන්නේ ඔවුන්ගෙන් කවුරු ජනාධිපති ධුරයට පත් වෙන්නේ ද යන්නට වඩා ඔවුන් මේ දිනවල කරන ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වෙන බවය.

ඔවුන් කරන ප්‍රකාශ විමසා බැලීමේදී අපට පැහැදිලි වෙන්නේ, ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඔවුන් සහ ඔවුන්ගේ පක්ෂ සිටි ස්ථාවරවලට වඩා හාත්පසින්ම වෙනස් අදහස් පළ කරමින් සිටින බවය. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණය ගැන කරන පරස්පර ප්‍රකාශ ඊට දැක්විය හැකි එක් උදාහරණයකි. යුද්ධය පැවැති අවධියේදී 2002 දී ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර අවබෝධතා ගිවිසුම ඇති කරගැනීමෙන් පසු බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික යෝජනාවක් වූ අතුරු පරිපාලන ක්‍රමයට (Interim Administration) එවකදී ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විරුද්ධ විය. එහෙත්, දැන් එම පක්ෂයේ නායකයා යාපනය ප්‍රදේශයේ ජන රැලි අමතමින් කියන්නේ, සුළු ජන අයිතීන් ලබා දිය හැක්කේ ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ පමණක් බවය. එසේම, අම්පාර හා කල්මුණේ ප්‍රදේශවලට වෙනම පරිපාලන ඒකක ස්ථාපිත කළ යුතු බවට යෝජනා වූ අවස්ථාවේදී ද ජ.වි.පෙ. එයටත් විරුද්ධව කතා කළේය. එසේ වුව ද, දැන් ඔවුන් අම්පාර ප්‍රදේශයේ ජීවත් වෙන මුස්ලිම් ප්‍රජාව අමතමින් කියන්නේ, ඔවුන්ගේ අයිතීන් ලබා දීමට කටයුතු කරන බවය. ඒ ආකාරයට ඉතිහාසය අමතක කරමින් මැතිවරණ ඉලක්ක කරගෙන කතා කිරීම නුසුදුසු බව මගේ අදහසයි. එය සෑම අපේක්ෂකයකුටම අදාළ වෙන අතර, වඩාත් වැදගත් වෙන්නේ සියලු ජන වර්ග එකට ඒකරාශි කරන හා රටත් ආර්ථිකයත් ගොඩනගන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමය. එනිසා වැදගත් වෙන්නේ. මේ ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා කවුද යන්නට වඩා මේ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්නය.

විධායක ජනාධිපති ධුරය රටට නොගැළපෙන බවට බොහෝ විවේචන තිබුණ ද ජනාධිපති ධුරයෙහි සංකේතාත්මක වටිනාකමක් තිබේ. එයට හේතුව ලංකාවේ ජීවත් වෙන සියලු ජන වර්ග නියෝජනය කරමින් ජනාධිපතිවරයා මුළු රටේම ඡන්දවලින් පත් වෙන හෙයිනි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාව ඡන්දය ලබා දෙති. එබැවින්, ජනාධිපති ධුරයට පත්වෙන පුද්ගලයා රටේ සියලු ජනතාවගේ ජනාධිපතිවරයා විය යුතුය. එසේම, ඔහු හෝ ඇය හෝ සියලු ජනතාව වෙනුවෙන් කැප විය යුතුය. මගේ මතය අනුව, ලංකාවේ සුළු ජන වර්ගවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් බලය බෙදාහැරීමක් කළ යුතුය. සියලු ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි සහ රට ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය.

ජනාධිපතිවරණ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිටින්නේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ලබා දිය හැකි සහ ආරක්ෂා කළ හැකි අපේක්ෂකයකුට සහාය දිය යුතුය යන මතයේය. දෙමළ ජාතික සන්ධානය පසුගිය කලයේදී රනිල් වික්‍රමසිංහට විශාල වශයෙන් සහයෝගය දැක්වූ බව ඒ සන්ධානයේ අතීත ක්‍රියාකාරීත්වය විමසීමේදී පෙනේ. වර්තමානයේදී වුව ඒ තත්වය වෙනස් වී නැතත් රනිල් වික්‍රමසිංහගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ඒ සහාය යම් පමණකින් අඩු වී ඇති බවක් ද දැකිය හැකිය. 2019 ජනාධිපතිවරණයේදී දෙමළ ජතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය ලබා දුන්නේය. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට එස්. ශ්‍රීධරන් පත් වීමෙන් පසු පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්වයක් උද්ගත වූ බව අපි දනිමු. ඒ සන්දර්භයේ මෙවර ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයකුට සහාය දිය යුතු ද යන්න තීරණය කිරීම මතභේදාත්මක වීමට ද පිළිවන. තනි මතයකට පැමිණීම දුෂ්කර වීමට ඉඩ ඇත. මෙපරිදි ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේ මත ගැටුම් උද්ගත විය හැකි වුව ද එයින් දෙමළ ජනයා දරන අදහසට කිසිදු බලපෑමක් සිදු නොවන බව මගේ මතයයි. මන්ද, දෙමළ ජනතාව ඡන්දය දෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අපේක්ෂකයකුට නිසාය.

රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය හිමි වුව ද එය ජය ගැනීමට තරම් හේතුවක් යැයි මම නොසිතමි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනතාවගේ සහයෝගයක් ඇතැයි සිතිය නොහැකිය. එබැවින්, ජනාධිපතිවරයා එම පක්ෂය සමග එකතු වුවහොත්, ඔහුට තවත් අවාසිසහගත තත්වයක් උදා වීමට ඉඩ ඇත. ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණවලට වඩා වෙනස්ව මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රමුඛාවධානයක් ආර්ථික අර්බුදයට හිමි වෙයි. ආර්ථික අර්බුදයට තිබෙන විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් යැයි සිතීම වැරැදි බව මගේ අදහසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උදව් ගෙන ගොඩ ගිය කිසිදු රටක් නැත. ඒ ආයතනයේ ණය වැඩසටහන මගින් අපේ රට තවත් බරපතළ අර්බුදයකට ඇද දමනු ඇත. එබැවින්, අප කළ යුත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයට ආර්ථිකය හැසිරවීම නොව ඔවුන් සමග සාකච්ඡා කර අපට කළ හැකි දේවල් පමණක් කිරීමය. මේ පසුබිමේ අපේ අභිලාෂවලට ප්‍රමුඛත්වය දී මූල්‍ය අරමුදල සමග කටයුතු කළ හැකි අපේක්ෂකයකු ජනාධිපති කළ යුතුය. අයි.එම්.එෆ්. මත පමණක් රැඳී නොසිට දුර දිග කල්පනා කර රටේ ආර්ථික පදනම ගොඩනැගිය හැකි කෙනෙක් ද විය යුතුය. එසේම, ආර්ථික ප්‍රශ්නයට පමණක් ප්‍රමුඛතාව නොදී රටේ සෙසු ප්‍රශ්නවලට ද ආමන්ත්‍රණය කළ හැකි අපේක්ෂකයෙක් ජයග්‍රාහකයා විය යුතුය.

දෙමළ ඩයස්පෝරාව සම්බන්ධයෙන් වුව ද අප වෙනස්ව සිතිය යුතු බව මගේ අදහසයි. වෙනත් කිසිදු රටකට හෝ සංවිධානයකට හෝ යටත් නොවී සියලු ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන රට ගොඩනැගිය හැකි නම් වැදගත් වෙන්නේ එයයි. මා සිතන හැටියට දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන බෙහෝ දෙනෙක් ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටිති. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ විශ්වාස කළ හැකි නායකයෙකි. අපට නැති වී තිබෙන්නේත් එවැනි නායකයෙකි. ඉතිහාසය පුරාවට අපට සිටියේ කියන දේ නොකළ නායකයන්ය. එබැවින්, විශ්වාසය තැබිය හැකි නායකයකු සිටියහොත් දෙමළ ඩයස්පෝරාව පමණක් නොව වෙනත් රටවල් ද අපේ රටට සහාය ලබා දෙනු ඇත. එවිට අපට මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණීම තවදුරටත් අපහසු නොවනු ඇත.

(***)
සාකච්ඡා සටහන
උපුල් වික්‍රමසිංහ