ආණ්ඩුවට කැරකෙන පාරාවළලු


ජනමාධ්‍ය මර්දනය කරන්නට ආණ්ඩුව කටයුතු කරන බවට බරපතළ චෝදනාවක් නැඟී  තිබේ. ඒ පිළිබඳව විපක්ෂ දේශපාලනඥයෝ කතා කරති. ජනමාධ්‍යවේදීහු ඒ ගැන ලියති. කාටුන් ශිල්පිහු කාටුන් අඳිති.

පසුගිය නොවැම්බර් මාසයේ ද ආණ්ඩුවට එරෙහිව මෙම චෝදනාව එල්ල විය. ඒ සිංහල පුවත්පතක පළවූ පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසිය එම පුවත්පතේ කර්තෘවරයා රහස් පොලිස් මූලස්ථානයට කැඳවීම නිසාය.

ඒ පිළිබඳව ජනමාධ්‍ය ප්‍රජාව වෙතින් හා විරුද්ධ පක්ෂවලින් විරෝධය එල්ල වූ අතර එම කර්තෘවරයාද රහස් පොලිසියට ගියේ නැත. කෙසේ වෙතත් එම ප්‍රශ්නය දින කිහිපයකින් අවසන් විය. මෙවර ආණ්ඩුවට එල්ල වන චෝදනාව පෙරට වඩා තරමක් බැරූරුම් බවක් පෙනෙන්නට තිබේ.

මෙවර චෝදනාව එල්ල වන්නට පටන් ගත්තේ රූපවාහිනී නාලිකාවකින් විකාශය වූ ඇතැම් කරුණු පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පොලීසිය ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමත් සමගය. මෙම රූපවාහිනී නාලිකාවෙන් විකාශය කරන ඇතැම් පුවත් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බොහෝ පිරිස් පවා පොලීසිය විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන්  මෙවැනි ඉල්ලීමක් කිරීම නරක පූර්වාදර්ශයක් ලෙස සලකති.

ජනමාධ්‍යයක පළ කෙරෙන හෝ විකාශය කෙරෙන  හෝ කාරණයක් සම්බන්ධයෙන් වෙනත් වචනවලින් කියන්නේ නම් ජනමාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට පොලීසියට අයිතියක් නැතැයි ඔවුහු ප්‍රකාශ කරති. එසේම පොලීසිය කියන ආකාරයට ජනමාධ්‍යයක පළ කෙරෙන හෝ විකාශය කෙරෙන හෝ දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට බලයක් තිබේ ද යන්න ඔවුන් නගන තවත් ප්‍රශ්නයකි.

මෙය මතභේදකාරී කාරණයකි. ජනමාධ්‍යයක් ආණ්ඩුවේ කටයුත්තක් හෝ ආණ්ඩුවේ නායකයකුගේ අදහසක් හෝ ආණ්ඩුවේ සැලස්මක් විවේචනය කිරීම කොහෙත්ම නීති විරෝධී නොවේ. ඇතැම් විට එය ජනමාධ්‍යයේ වගකීමක් ද වේ. එම විවේචනය දේශපාලනය කෝණයකින් ප්‍රශ්න දෙස බලන්නකුට වුවද නොපිළිගත හැකි විය හැකිය. එසේ නොපිළිගත හැකි නිසා එය නීති විරෝධි වන්නේ නැත. එහෙයින්  පොදුවේ ගත් කල ජනමාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට පොලීසියට බලයක් නැතැයි තර්ක කළ හැකිය.

එහෙත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට හා නිදහසට සීමා පමුණුවන නීති මේ රටේ තිබේ. ඒවා උල්ලංඝනය කෙරෙන බවට පොලීසියට පැමිණිල්ලක් කෙරේ නම් පොලීසිය ඒ ගැන සොයා බැලිය යුතුය.

සාමාන්‍යයෙන් මෙම කාරණයේ දී පොලීසිය කටයුතු කරන්නේ නීතිය අනුවම නොව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය අනුවය. ඇතැම් විට ආණ්ඩුවේ  ප්‍රධානීන්ගේ උපදෙස් අනුවය. එහෙයින් එවැනි අවස්ථාවල දී ආණ්ඩුවේ මැදිහත් වීමක් තිබුණත් නැතත් ජනමාධ්‍ය නිදහස වළලන්නට කටයුතු කරන බවට ආණ්ඩුවට චෝදනා එල්ල වීම සාමාන්‍ය දෙයකි. බොහෝ විට එය සාධාරණය.

වර්තමාන ප්‍රශ්නයේදී ද ආණ්ඩුවේ බලපෑමෙන් තොරව ස්වාධීනව කටයුතු කළේ ද යන ප්‍රශ්නය මතුවේ. මන්දයත් පොලීසිය විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීමට ගැළපෙන අයුරින් ආණ්ඩුවේ නායකයන්, විශේෂයෙන්ම ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් ප්‍රකාශ කරන හෙයිනි.

චෝදනාවට ලක්වී ඇති රූපවාහිනි නාලිකාව තහනම් කෙරෙනු ඇති බවටත් එහි විකාශන අනුමැතිය අවලංගු කෙරෙනු ඇති බවටත් විවිධ කට කතා පැතිර යද්දී අමාත්‍ය ජයතිස්ස මහතා පසුගිය දිනෙක රැස්වීමක් අමතමින් යම් රූපවාහිනී නාලිකාවක් මහජන සෞඛ්‍යයට හා මහජන ආරක්ෂාවට අදාළව ව්‍යාජ පුවත්  විකාශය කරන්නේ නම් එය එම නාලිකාවට දී ඇති විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවත් එවැනි අවස්ථාවක එම බලපත්‍රය අහෝසි කරන්නට ඇමැතිවරයාට බලය ඇති බවත් සඳහන් කළේය.

ඇතැම් රූපවාහිනී නාලිකා මහජන සෞඛ්‍යයට හා මහජන ආරක්ෂාවට බලපාන ආකාරයෙන් පුවත් විකාශය කිරීම පිළිබඳව උදාහරණ කිහිපයක් ද ඔහු එහිදී ගෙන හැර දැක්වීය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වූ එක් චෝදනාවක් වූයේ ඔහු ඉමියුනෝග්ලොබියුලින් නම් ඖෂධයේ නමින් වෙනත් දියරයක් ගෙන්වා රෝගීන්ට එන්නත් කිරීමට සැලස්වීය යන්නයි. වත්මන් ආණ්ඩුව ද එම ඖෂධය ගෙන්වා රෝහල්වලට දී ඇති බව පසුගිය ජූනි මාසයේදී ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. මෙය රට තුළ ආන්දෝලනයක් ඇති කළේය.

හිටපු පාලකයන් ඉමියුනෝග්ලොබියුලින් යන නමින් රට තුළට ගෙන්වනු ලබන සෑම ඖෂධයක්ම බාල, ශරීරයට අහිතකර දෙයක් නොවන බවත් ඉමියුනෝග්ලොබියුලින් යනු අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් එවිට සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මෙය මහජන සෞඛ්‍යයට අහිතකර අන්දමින් පුවත් වාර්තා කිරීම පිළිබඳ උදාහරණයක් වශයෙන් ඇමැතිවරයා ජනමාධ්‍ය මර්දනය පිළිබඳ අලුත්ම චෝදනාවට පිළිතුරු වශයෙන් ගෙන හැර දැක්වීය.

දැනට සති කිහිපයකට පෙර රෝහල්වල දී රෝගීන් දෙදෙනකු මිය යාමත් සමග සෞඛ්‍ය බලධාරීහු මේ සම්බන්ධයෙන් සැක කර ඉන්දියාවේ නිෂ්පාදිත ඔන්ඩෑන් සෙට්‍රෝන් නම් ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර පරීක්ෂණ ආරම්භ කළහ. මෙහිදීද ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ සෞඛ්‍ය නිලධාරීහු ශ්‍රී ලංකාවට බාල ඖෂධ ගෙන්වා ඇති බවය. මෙයද ජනමාධ්‍ය මහජන සෞඛ්‍යයට අහිතකර අයුරින් බලපාන අන්දමට පුවත් වාර්තා කිරීම පිළිබඳ උදාහරණයක් ලෙස ගෙන හැර දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා මෙම රෝගීන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සැකකර මෙම ඖෂධය තාවකාලික පදනමින් භාවිතයෙන් ඉවත් කළා විනා එම ඖෂධ නුසුදුසු තත්වයේ තිබෙන බවට නිගමනයට පැමිණ නැති බවත් කීවේය.

ජනමාධ්‍ය මහජන ආරක්ෂාවට අදාළව වැරැදි පුවත් වාර්තා කිරීම සම්බන්ධයෙන් උදාහරණ වශයෙන් ඇමැතිවරයා සඳහන් කළේ පසුගිය නොවැම්බර් අගදී මෙරට විශාල විනාශයක් ඇති කළ දිට්වා සුළි කුණාටුව පිළිබඳව ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයයි. නොවැම්බර් 27 වැනිදා ඇති වූ දිට්වා සුළි කුණාටුව පිළිබඳව නොවැම්බර් 12 වැනිදා වනවිට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබුණ ද හානිය අවම කර ගැනීම සඳහා ආණ්ඩුව කිසිත් නොකළ හෙයින් රට තුළ විශාල විනාශයක් ඇති වූ බව ඇතැම් දේශපාලනඥයන් හා ජනමාධ්‍ය කියා සිටිය දී එය සත්‍යයක් නොවන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වායුගෝලයේ ඇතිවිය හැකි කැළඹිලි ස්වභාවය ගැන නොවැම්බර් 12 වැනිදා සිට කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවුවද එය දිට්වා සුළි කුණාටුව ගැන නොව වෙනත් කාලගුණික සංසිද්ධියක් ගැන බවත් එම සංසිද්ධිය නොවැම්බර් 18 වැනිදා පහවගිය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඉන්පසු නොවැම්බර් 20 වැනිදා යළිත් කාලගුණ බලධාරීන් තවත් කැළඹිල්ලක් පිළිබඳ අනතුරු ඇඟවූ බවත් එයද දිට්වා නොව සෙන්යාර් නම් වූ වෙනත් සුළි කුණාටුවක් බවත් එය බලපෑවේ ශ්‍රී ලංකාව අවට දකුණු ආසියාවේ තායිලන්තය, මලයාසියාව හා ඉන්දුනීසියාවට බවත් 27 වැනිදා ඇති වූ දිට්වා සුළි කුණාටුව පිළිබඳව මූලික අනතුරු ඇඟවීම් කරනු ලැබුවේ නොවැම්බර් 25 වැනිදා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ජනමාධ්‍ය කළේ මහජන ආරක්ෂාව පිළිබඳව ව්‍යාජ පුවත් වාර්තා කිරීම බවත් මෙවැනි පුවත් වාර්තා කරන රූපවාහිනී නාලිකාවල බලපත්‍ර අවලංගු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම නාලිකාවට එරෙහි ක්‍රියාමාර්ගවලට විරුද්ධව බොහෝ දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් අදහස් ප්‍රකාශ කළද එම නාලිකාවට එරෙහිව ඇමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කළේ එම නාලිකාව පමණි.

ජාතික ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ජනමාධ්‍ය මර්දනය පිළිබඳ චෝදනාවක් ඉකුත් නොවැම්බර් මාසයේ ද එල්ල විය. ඒ එතරම් බරපතළ නොවන පුවතක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසිය සිංහල පුවත්පතක කර්තෘවරයා රහස් පොලිස් මූලස්ථානයට කැඳවීමට අදාළවය. ජනමාධ්‍යවේදීන් වෙතින් හා විපක්ෂ දේශපාලනඥයන් වෙතින් එම කැඳවුමට එරෙහිව එල්ල වූ දැඩි විරෝධය හමුවේ රහස් පොලිසිය ද එම ප්‍රශ්නය අත්හළ බවක් පසුව පෙනී ගියේය.

ජනමාධ්‍ය හා පවතින ආණ්ඩුව අතර මෙසේ ගැටුම් ඇතිවන වාරයක් පාසා කාරණා තුනක් ඉස්මතුවී පෙනේ. මර්දනයට දැඩිව විරෝධය දැක් වූ දේශපාලන පක්ෂ පවා බලයට පත්වී මර්දනයට යොමුවීම හෝ මර්දනකාරී පියවර වෙතට තල්ලු වී යාම පළමුවැන්නයි. අතීතයේ දී ඉතිහාසයේ දරුණුම ජනමාධ්‍ය මර්දනය ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂ පවා මර්දනයට එරෙහිව හඬ නැගීම දෙවැන්නයි. මර්දනයට එරෙහි වන ජනමාධ්‍ය තම කර්මාන්තය තුළ සිදුවන බරපතළ ආචාර ධර්ම කඩවීම් හමුවේ නිහඬතාවක් ආරක්ෂා කිරීම තුන්වැන්නයි.

ජාතික ජනබලවේගය හා එහි ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ බලයට පත්වීමට පෙර ජනමාධ්‍ය මර්දනයට දැඩි සේ විරුද්ධ වූ පක්ෂයයි. එහෙත් සාධාරණ හෝ අසාධාරණ හේතු මත එම පක්ෂය ද බලයට පත්වීමෙන් පසු කෙවිට අතට ගන්නා බවට තර්ජනය කරයි.

අනෙක් අතට අප මීට පෙරද ​ෙපන්වා දුන් පරිදි මෙතෙක් බලයේ සිටි පක්ෂවලට ආධාර දුන් දේශපාලන පක්ෂවලට ජනමාධ්‍ය මර්දනය පිළිබඳව කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේද යන ප්‍රශ්නය මතුවේ. අප පසුකර ඇත්තේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, ජනමාධ්‍ය ආයතන ගිනි තැබූ අතීතයකි. එසේම දැඩි මර්දන නීති පැනවූ කාලයකි. එම පක්ෂවලට එසේ සදාචාරාමය අයිතියක් නැති වුවද අද ජනමාධ්‍ය වෙනුවෙන් හඬ නගන්නට සිදුව ඇත්තේ ඔවුනටය. එය එක් අතකින් අගය කළ යුතු එහෙත් හාස්‍ය ජනක තත්වයකි.

රජය හා ජනමාධ්‍ය අතර මෙම ගැටුමට පිළියමක් වශයෙන් ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් පත් කරන්නට ආණ්ඩුව පියවර ගත යුතු යැයි බොහෝ ජනමාධ්‍යවේදීහු කියා සිටිති. එහෙත් එය කළ යුත්තේ ආණ්ඩුව නම් එය කොතරම් දුරට ස්වාධීන වනු ඇත් ද යන ප්‍රශ්නය මතුවේ. අනෙක් අතට ජනමාධ්‍ය කර්මාන්තයෙන්ම ජනමාධ්‍ය ආචාර ධර්ම රැක ගැනීම සඳහා පිහිටුවනු ලැබූ ආයතනවලට ද බොහෝ ජනමාධ්‍යවේදීන් ගරු කරන්නේ නැත. අවශ්‍යව ඇත්තේ මේ අන්ත දෙකට පිළියම් යෙදිය හැකි විසඳුමකි.

(*** එම්.එස්.එම්. අයුබ්)