අසුබ වපුරන මිථ්‍යාව


නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේතුවෙන් අද වනවිට රට විනාශ වී ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණ කියයි. ළඟ එන ජනාධිපතිවරණ සටනේදී එම පක්ෂයේ ප්‍රධාන තේමා පාඨය වී ඇත්තේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ එම පක්ෂවලට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි වී ඇති බැවින් මෙවර වෙනසක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ පත්කර ගත යුතුය යන්නය.

කෝවිඩ් යුගයේදී මහා බ්‍රිත්‍යානය වෙනත් යුරෝපා රටවලට වඩා අතිවිශාල ආර්ථික පීඩනයකට ගොදුරු විය. කෝවිඩ් එන්නත විදගැනීම සම්බන්ධයෙන් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට එරට වැසියන්ට සිදුවිය. ඇමරිකා එක්සත් ජනපදය පශ්චාත් කෝවිඩ් යුගයේදී දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය. එසේ වුවද එම රටවල මහජනතාව මුහුණදුන් එම අර්බුදවලට හේතුව එම රටවල පවතින බලය මාරුවන පක්ෂ ක්‍රමය යැයි එරටවල වැසියන් කවදා හෝ මැසිවිලි නැගූ බවක් අසන්නට නොලැබේ. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස සැලකෙන මෙම රටවල් දෙකේ පක්ෂ දේශපාලන ක්‍රමය තවත් බොහෝ කලක් යනතුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එම රටවල ද්විපාක්ෂික ක්‍රමය මහජනතාව විසින් ඒ අයුරින්ම පවත්වාගෙන යනු ඇත.

ශ්‍රී ලංකාව කෝවිඩ් අර්බුදයට මුහුණදීමට පෙර බොහෝ අර්බුදවලට මුහුණ දුන්නේය. වරින්වර ජල ගැලීම්, කුණාටු, නියඟ, රෝගාබාධ ආදියට මුහුණ දුන්නේය. තවමත් මහජනතාවගේ මතකයෙන් ගිලිහී නොගිය අති බිහිසුණු අර්බුද දෙකක් වන්නේ සුනාමි අර්බුදය සහ කෝවිඩ් අර්බුදයයි. කෝවිඩ් අර්බුදයෙන් පසු රටට මුහුණදීමට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයටයි. මේවා ඇතිව තිබෙන්නේ මාරුවෙන් මාරුවට රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකේ අසාර්ථකභාවය නිසා යැයි කෙනකුට තර්ක කළ හැකි වුවද ඒවා පිළිගත හැකි වන්නේ ඒ සඳහා එම මතාන්තර තාර්කික බවකින් ගොඩනැගී ඇත්නම් පමණි.

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු අවස්ථාවේ සිට අද දක්වාම අඛණ්ඩව ඡන්ද බලයෙන් පාලනය මාරු කරන දකුණු ආසියාවේ එකම ප්‍රධාන රට ශ්‍රී ලංකාව වේ. විපක්ෂය මුළුමනින්ම මර්දනය කර, නායකයන් බන්ධනාගාර ගතකර පාලනය වෙනස් කළ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නොවීය. හමුදා කුමන්ත්‍රණ, ජනපති අගමැති ඝාතන ආදිය සිදු වුවද, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යෑමට හැකිවිය. එම ක්‍රමය විනාශ කිරීමට කොටි ත්‍රස්තවාදීන් වසර 30 ක් සටන් කළ ද ජනතා විමුක්ති පෙරමුණ කැරලි 02 ක් මෙහෙය වුවද රාජ්‍ය බලය පැහැර ගැනීමට ඔවුන්ට නොහැකි විය. පාලකයන් තේරීමේ ජනතාව සතු බලය අඛණ්ඩව ආරක්ෂා වී තිබේ. එසේ කැරලි ගැසූ උතුරේ දේශපාලන පක්ෂවලටත්, ජනතා විමුක්ති පෙරමුණටත් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ බොහෝ රටවලට වඩා ඉහළ තත්වයක පැවැති බවත්, අද වනවිට ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පැවැති බොහෝ රටවල් විශාල දියුණුවක් ලබා ඇති බවත්, ශ්‍රී ලංකාව ඒවා හා සසඳන කල විශාල පසුබැස්මකට ලක්ව ඇති බවත්, සමහරු ප්‍රකාශ කරති. තවත් සමහරුන්ගේ මතය වන්නේ ඉංග්‍රීසීන් නිදහස ලබාදෙන විට ශ්‍රී ලංකාව කිසිඳු ණයක් නොතිබු රටක්ව පැවැති බවත් දැන් විශාල වශයෙන් ණය ලබා ඇති රටක් බවට පත්ව ඇති බවය. මෙවැනි ප්‍රකාශවල නිවැරදිභාවය පරීක්ෂා කළහැකි වන්නේ ගතවූ වසර 76 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති වෙනස්කම් සහ වර්තමාන ආර්ථික හා සමාජ ප්‍රවණතා පරීක්ෂා කිරීමෙන් පමණකි. එසේම එම වෙනස්කම් අපේ අසල්වැසි රටවල් හා අප හට සමාන තත්වයක සිටින තුන්වැනි ලෝකයේ වෙනත් රටවල් හා සැසදීම මගිනි.

කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට නිදහසින් පසු බලයට පත් සෑම දේශපාලන පක්ෂයක්ම කටයුතු කළේය. රටපුරා අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම නිසා සෑම ප්‍රදේශයකම දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමි විය. නිදහස ලබන විට රටේ පැවැතියේ එක විශ්ව විද්‍යාලයක් පමණි. අද 18 කි. ඒ අයුරින්ම රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ද අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා බලයට පැමිණි දේශපාලන පක්ෂ කටයුතු කළේය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රට නව මාවතකට යොමු කරනු ලැබීය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය, නිදහස් වෙළෙඳ කලාප ආදිය ඔස්සේ රට ගොඩනැගූ අතර, එම සංවර්ධනය නව ගුවන් තොටුපොළ, වරාය, අධිවේගී මාර්ග ආදිය ඔස්සේ අඛණ්ඩව ගලා ගියේය.

ගතවු වසර 76 ක කාලය තුළ සිදුව ඇති ආර්ථික හා සමාජීය වෙනස්කම් මගින් අප කිසියම් හෝ දියුණුවක් ලබාගෙන ඇත්තේද යන්නත් එසේ නැත්නම් සියඹලා ගෙනැවිත් තිබුණේම නැද්ද යන්නත් පිළිබඳව අපට අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. ශ්‍රී ලංකාව පිළිබඳව සංඛ්‍යා දත්ත ප්‍රකාශයට පත්වීම ආරම්භ වුයේ 1950 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුවය. 1950 වසරේදී වාර්ෂික මරණ අනුපාතය 1000 කට 12.6 ක් විය. එහෙත් පූර්ව කෝවිඩ් අවදිය ලෙස සැලකිය හැකි 2020 දී එය 1000 කට 6 ක් විය. අපගේ මරණ අනුපාතිකය විශාල ලෙස අඩුකර ගැනීමට අපට හැකිවිය. නිදහස ලැබීමෙන් පසු පැවැති පළමු සංගණනය වන 1952 සංගණනය අනුව එම වසරේදී රටේ මහජනතාවගේ ආයු අපේක්ෂාව වසර 56.6 ක් විය. 2012 වසරේ සංඛ්‍යා දත්ත අනුව රටේ ආයු අපේක්ෂාව අවුරුදු 75.3 ක් වේ. 1953 වසරේදී ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම සියයට 69 ක් විය. 2020 දී එය සියයට 93 ක් විය. මිනිස් ජීවිතය පිළිබඳ මේ වෙනස්කම් සියල්ල දකුණු ආසියානු රටවල් හා සැසඳීමේදී අප ඉහළම මට්ටමක සිටින බව පැහැදිලිය. එසේම ලෝකයේ බොහෝ රටවල තත්වයට වඩා අප ඉහළ මට්ටමක සිටින බවද පැහැදිලි වේ. 2021 වසරේදී මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් 191 ක් අතුරින් ශ්‍රී ලංකාව 77 වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

1959 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 140ක් විය. ආර්ථික අර්බුදයෙන් පසු 2020 වසරේදී එය ඩොලර් 3474 ක් විය. රටේ ආදායම් මට්ටම මෙන්ම ජනතාවගේ ආදායම් මට්ටමද විශාල වෙනසකට බඳුන්ව ඇති බව ද එම තත්වයෙන් පැහැදිලි වේ. රටේ වැඩිම සේවා වියුක්ති මට්ටමක් පෙන්නුම් කළේ 1975 වසරේදීය. එය සියයට 19.7 ක් විය. එහෙත් 2022 වනවිට එය සියයට 4.7දක්වා පහළ වැටී තිබේ. 1950 වසරේදී රටේ මුළු අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 296.5 ක් විය. 2022 දී මුළු අපනයන ප්‍රමාණය ඩොලර් 13,106 කි.

පසුගිය 76 වසරක කාලය තුළ පාලන බලය හිමි දේශපාලන පක්ෂ වරින්වර මාරු වුවද, නිදහස ලබන අවස්ථාවේ පැවැති තත්වයට වඩා ඉතා ඉහළ තත්වයක් අද වනවිට ළඟාකර ගෙන ඇති බව එම තොරතුරු වලින් පැහැදිලි වේ. එසේ වුවද එම තත්වය ළඟාකර ගන්නා ලද්දේ රට වෙනත් ප්‍රශ්නවලට ද මුහුණ දී සිටි යුගයකදී බව පෙනී යනු ඇත. නිදහසින් පසු 2009 වසර දක්වා කාලය තුළ වසර 30 ක් රට ජනවාර්ගික අර්බුදය හේතුවෙන් සිවිල් යුද්ධයකට ගොදුරු වී සිටියේය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල හේතුවෙන් රටට මිනිස් ජීවිත ද, සම්පත් ද විශාල ප්‍රමාණයක් අහිමි විය. 1987 න් පසු කාලපරිච්ඡේදය තුළ උතුරේදී එල්ටීටීඊ ත්‍රස්තවාදයටද, දකුණේදී ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට ද රටට මුහුණදීමට සිදුවිය. ඉන් වසර කීපයකට පසු සුනාමියට ද, ඉන් වසර කීපයකට පසු කෝවිඩ් ව්‍යවසනයටද, අද වනවිට ආර්ථික අර්බුදයට ද මුහුණදීමට සිදුවිය. මේ සියල්ල තිබියදී දකුණු ආසියාවේ සියලු‍ම රටවල් අභිබවා යන ආකාරයේ ආර්ථික වර්ධනයක් ද සංවර්ධනයක් ද ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

වසර 76 ක් තුළ රටේ සංවර්ධනයක් සිදුවී නැතැයි ද එයට හේතුවී ඇත්තේ පක්ෂ දෙකක් පමණක් රට පාලනය කිරීම යැයි ද ප්‍රකාශ කරන පක්ෂවලට එසේ ප්‍රකාශ කිරීමට අයිතියක් තිබේද යන්නද අප විසින් පරීක්ෂා කළ යුතුව ඇත. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර වසර දෙකක් ඉක්ම යන්නට පෙර පැවැත් වූ ප්‍රථම මැතිවරණය වූ 1970 මැතිවරණයේදී එම පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට ගෙන ඒමට කටයුතු කළේය. මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා බලයට පත්කිරීම සඳහා ජේ.ආර්. සමග ගිවිසුම් ගතව සිටි බවයි.

1989 දී ඡන්දය දුන් අයගේ අත්කපා දැමීමට තර්ජනය කර තිබුණ ද එම පක්ෂය ආර්. ප්‍රේමදාස මහතා බලයට ගෙන ඒම සඳහා උර දුන්නේය. ඉන්පසු වරින්වර ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට සහාය දීමේ ප්‍රතිපත්තියකට එම පක්ෂය පිවිස තිබිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන්ට බලයට පත්වීම සඳහා වරින් වර ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් ආකාරය යළි මතක් කළ යුතුව නැත. එම ඉතිහාසය පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ 1970 සිට 2019 දක්වා වසර 49 ක කාල පරිච්ඡේදයක් ජනතා විමුක්ති පෙරමුණ එම පක්ෂ දෙකෙන් එකක් බලයට පත්කිරීම සඳහා කටයුතු කර ඇති බවය. ඒ අනුව රටේ ආර්ථිකය අද පවත්නා අර්බුදයට මුහුණදී ඇත්තේ බලයට පත්වූ දේශපාලන පක්ෂවල අසාර්ථකත්වය යැයි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනාව සත්‍යයක් නම් එහි වැඩිම වගකීමක් පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව ඉන් පැහැදිලි වේ.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර