අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පිළිබඳව මේ දිනවල ඇතිව තිබෙන සංවාදය බොහෝ දෙනකුගේ අවධානයට යොමුවී ඇති බව පෙනේ.
එම සංවාදයට හේතු වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ජනාධිපති අපේක්ෂකයකු වන නන්දන ගුණතිලක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ජනමාධ්‍යවල සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වීමයි. නන්දන ගුණතිලක මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ සාමාජිකයකුව සිටි බවත්, ජාතික ජන බලවේග රජයේ මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා එම අවධියේ එකී කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවත්, ඊට අදාළ අත්සන් ලේඛන තමන් සතුව ඇති බවත්ය. මේ පිළිබඳව සුනිල් වටගල මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ නන්දන ගුණතිලක මහතාගේ එම ප්‍රකාශය අසත්‍ය බවත්, රංග දිසානායක මහතා ලෙස නන්දන ගුණතිලක මහතා විසින් හඳුනාගෙන ඇත්තේ සමහර විට වෙනත් පුද්ගලයකු විය හැකි බවත්, එම අවධියේ නීති කමිටුවේ අත්සන් ගැනීමක් සිදු නොවූ බවත්ය.
කෙසේ වුවද මේ දක්වාම නන්දන ගුණතිලක මහතාගේ එම ප්‍රකාශය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හෝ රජය විසින් හෝ නිල ප්‍රකාශයක් සිදුකර නැත. එසේම රංග දිසානායක මහතා විසින් ද මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර නැත. සුනිල් වටගල මහතා තම ප්‍රකාශය කරමින් කියා සිටියේ රංග දිසානායක මහතා මේ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද යන්න තමා නොදන්නා බවය. නන්දන ගුණතිලක මහතා තම ෆේස්බුක් ගිණුමේ “මාව උසාවි ගෙන එනු...!!! වඩා පහසුයි” යනුවෙන් සටහනක් තබා ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙන් විය යුතුය.
මෙම රජය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නීති විධිවිධාන යටතේ විවිධ පියවර ගනිමින් සිටින බව පෙනේ. රටේ යහපත් පාලන ව්‍යුහයක් ඇති කිරීම සඳහාත්, අල්ලස හෝ දූෂණය රටින් තුරන් කිරීම සඳහාත් එම කොමිසමට ප්‍රම්‍රඛතම කාර්යභාරයක් සහ වගකීමක් පැවරී තිබේ. එබැවින් එවැනි කොමිසමක ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, එහි වගකීම පැවරී ඇති නිලධාරීන් පිළිබඳවත් විශ්වාසය සහ අපක්ෂපාතී බව මහජනතාව තුළ තහවුරු කිරීමක් රජය කළ යුතුව ඇත. මෙම කරුණට අදාළව මාධ්‍ය ඔස්සේ ඉදිරිපත්ව ඇති තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ සැබෑ තත්වය වටහා ගැනීමට මහජනතාව වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම එම කොමිසමේ මෙන්ම රජයේ ද වගකීමක් වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ රටේ අල්ලස් හා දූෂණ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම කොමිසමට විශාල වගකීමක් සහ ස්වාධීනත්වයක් හිමිකර දෙමිනි. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සුදුසුකම් පිළිබඳව මෙන්ම අපක්ෂපාතීත්වය තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය විධිවිධාන පනවා තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පිළිබඳව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ දක්වා ඇත. අධ්‍යක්ෂ ජනරාල් තනතුර දරන අවස්ථාවේදී හෝ ඊට පෙර හෝ කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයකුව සිටියේ නම් එම තනතුරට ඔහු සුදුසු නොවන බව එම පනතේ 19-2 “උ” වගන්තියේ සඳහන් වේ. පසුගිය දිනවල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රවී සෙනෙවිරත්න මහතාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ශානි අබේසේකර මහතාත් පත් කිරීම පිළිබඳව මෙවැනිම චෝදනාවක් ආණ්ඩුවට එල්ල විය.
රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ආරක්ෂක සේවා සාමූහිකයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ බවත්, ඔවුන් එම පක්ෂය වෙනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලට ද සහභාගි වූ බවත් සඳහන් කරමින් විවිධ පාර්ශ්ව විසින් දැඩිව චෝදනා එල්ල කරන ලදී. කෙසේ වුවද අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට පුද්ගලයන් පත් කරනුයේ ජනාධිපතිවරයා විසිනි. මීට පෙර ඇතැම් අවස්ථාවලදී ද දේශපාලනයේ නිරත වූ පුද්ගලයන් අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට පත් කර තිබේ. එසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු පත් කිරීම තුළ එම දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන සේවා අපක්ෂපාතීව ඉටුකළ හැකිවේ ද යන ප්‍රශ්නය පැන නගී. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඔහුගේ විදේශ සංචාරයකදී රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි සඳහන් කරමින් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා ඊට සහභාගී වන ආකාරය මාධ්‍යවලින් දැක ගැනීමට හැකි විය. එවැනි අවස්ථාවලින් මහජනතාවට හැඟී යන්නේ යම් පුද්ගලයකුට චෝදනා නැගීම දේශපාලනමය ස්වරූපයකින් සිදුවනවාද යන ප්‍රශ්නයයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම සම්බන්ධයෙන් පවතින්නේ ඉහත සඳහන් නිලධාරීන් දෙදෙනා පත් කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි. ඊට හේතුව මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති ව්‍යවස්ථාදායක සභාවේ කාර්යයක් වීමත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර හෝ වර්තමානයේ දේශපාලන පක්ෂ සාමාජිකයකු නොවිය යුතු බවට සඳහන්ව තිබීමත් හේතුවෙනි. මේ පිළිබඳව ප්‍රකාශයක් කළ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර තිබුණේ රංග දිසානායක මහතා එම තනතුරට පත්කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ද සාමාජිකත්වය දරන ව්‍යවස්ථාදායක සභාවෙන් බවයි.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන වරුණ රාජපක්ෂ මහතා තම යූටියුබ් නාලිකාව ඔස්සේ මෙම පත් කිරීමට අදාළව තොරතුරු රැසක් එළිකර තිබුණි. එම තොරතුරු බොහෝ දෙනකු විමතියට සහ භීතියට පත් කරවන ආකාරයේ ඒවා බව ප්‍රකාශ කළ යුතුව ඇත. වරුණ රාජපක්ෂ මහතාට අනුව ව්‍යවස්ථාදායක සභාව එම තනතුර සඳහා අයැදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා අපේක්ෂකයන් හය දෙනකු පමණ ඉදිරිපත් වී ඇති අතර ඉන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මාධව තෙන්නකොන් මහතාය. රංග දිසානායක මහතාට ලැබී ඇත්තේ දෙවැනි ස්ථානයයි. ව්‍යවස්ථාදායක සභාවේදී මතුවී ඇති ප්‍රශ්නයක් වන්නේ එම තනතුර සඳහා නඩු මෙහෙයවීම (Prosecuting) පිළිබඳ වසර 15 ක පළපුරුද්දක් තිබිය යුතු බවයි. රංග දිසානායක මහතාට නඩු විනිශ්චය කිරීමේ පළපුරුද්දක් පවතින නමුත් නඩු මෙහෙයවීම පිළිබඳව පළපුරුද්දක් නැති බව ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයන්ගේ අවධානය යොමුවී ඇත.
අපේක්ෂකයන්ගේ ඉල්ලුම්පත්වල ඔවුන් පිළිබඳව විමසිය හැකි පුද්ගලයන් දෙදෙනකුගේ නම් අපේක්ෂකයන් සඳහන් කළ යුතු විය. රංග දිසානායක මහතාගේ අයැදුම්පතේ ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ උතුරුමැද සහ සබරගමුව පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ නම් දෙක වීම ව්‍යවස්ථාදායක සභාව හමුවේ පැනනැගී ඇති තවත් ප්‍රශ්නයක් විය. එසේ වුවද සභානායක බිමල් රත්නායක මහතා එහිදී පෙන්වා දී ඇත්තේ එම දෙදෙනාගේ නම් රංග දිසානායක මහතාගේ අයැදුම්පතේ සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එම තනතුරුවලට පත්වීමට පෙර බවය. වරුණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ ඉන් එක් තැනැත්තියකගේ සැමියා ජනතා විමුක්ති පෙරමුණේ හිතවතකු බව සහ එම පවුලේ සාමාජිකයන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් බවය. කෙසේ වුවද අවසානයේදී තෝරාගත යුතු සාමාජිකයා පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් පැවැත්වී ඇති අතර මාධව තෙන්නකෝන් මහතා පත් කිරීම සඳහා ඡන්ද 5ක් ද, රංග දිසානායක මහතා පත් කිරීම සඳහා ඡන්ද 04ක් ද ලැබීම හේතුවෙන් මාධව කෙන්නකෝන් මහතා පත් කිරීමට තීරණය වී ඇති නමුත්, දෙදෙනාගේම නම් යැවිය යුතු යැයි සමහර සාමාජිකයන් ප්‍රකාශ කිරීම නිසා තීරණයකින් තොරව එදින රැස්වීම අවසන් වී ඇත.
මේ සම්බන්ධයෙන් පැවැති ඊළඟ රැස්වීමේදී ඡන්ද විමසීමක් දෙවැනි වරට ද පවත්වා ඇති අතර එහිදී රංග දිසානායක මහතාට ඡන්ද 05ක් ද, මාධව තෙන්නකෝන් මහතාට ඡන්ද 04ක් ද ලැබී තිබේ. රංග දිසානායක මහතාට ඡන්දය දුන් ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයකු තමන් රංග දිසානායක මහතාට දෙවැනිවර ඡන්දය දුන්නේ වැරැදීමකින් බවත්, එබැවින් තමා දුන් ඡන්දය ඉවත් කරගන්නා බවත් එදිනම කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. එසේ වුවද ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන ලද පරිදි රංග දිසානායක මහතා එම තනතුරට පත් කර තිබේ. මාධ්‍යවේදී වරුණ රාජපක්ෂ මහතා හෙළිකර ඇති මෙම තොරතුරු, විශේෂයෙන්ම නඩු මෙහෙයවීමේ පළපුරුද්ද, නිර්දේශ කර ඇති අයගේ දේශපාලන පසුබිම මෙන්ම වැඩිම ලකුණු ලබාගත් අනුපිළිවෙළ ආදියෙන් ප්‍රකාශ වන්නේ අපක්ෂපාතීත්වය සහ සුදුසුකම් පිළිබඳව නොසලකා හැරීමක් සිදුවී ඇති බව නොවේද යන ප්‍රශ්නය පැන නගී.
මෙම තොරතුරු සත්‍ය නම් ඉන් පැහැදිලි වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම පිළිබඳව ගැටලු සහගත තත්වයක් පවතින බවයි. නීතිය අපක්ෂපාතී විය යුතුවා මෙන්ම අපක්ෂපාතී බව මහජනතාවට දැන ගැනීමට ද ඉඩ සැලසිය යුතුය. එබැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් මාධ්‍යවල සංවාදයට ලක්වී ඇති කරුණුවල සැබෑ තත්වය පිළිබඳව ප්‍රකාශයක් රජය නිකුත් කිරීම කාලෝචිත වනු ඇත.
2023 වසරේදී ‘දූෂණ විරෝධී පනත’ සම්මත කරගනු ලැබුවේ ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගත් සම්මුතියේ එකඟතා ක්‍රියාත්මක කිරීමක් ලෙස බව, වගකිව යුතු සියලු දෙනා මතක තබාගත යුතු ඉතා වැදගත් කරුණකි. එම පනත යටතේ අලුතින් පිහිටු වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පනතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක නොවීම අයිඑම්එෆ් සමග ඇතිකරගත් එකඟතා ගිවිසුම බිඳ වැටීමටත්, එයින් නැවත වරක් ආර්ථික අර්බුදයක් ඇතිවීමටත් ඉඩ ඇති බව මතක තබාගෙන කටයුතු කිරීමත් රජයේ වගකීමකි.
(***)


