‘‘රෑ දොළහ හමාරට විතර විශාල ශබ්ද තුනක් එක්ක පස් කන්ද ආවා“
“රෑ දොළහ හමාරට විතර අපි නින්දේ ඉන්න කොට විශාල ශබ්ද තුනක් එක්ක පස් කන්ද කඩා ගෙන වැටුණා“ අලවතුගොඩ රඹුකේඇල මුදුනකඩේ ප්‍රදේශයේ සිදු වූ නාය යෑම සම්බන්ධයෙන් එය ඇසින් දුටුවකු වන ඩබ්ලිව්.එම්. නලීර් මහතා කීය.
මෙම නාය යෑම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එසේ කීය.
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වූ මෙම විශාල නායයෑම හේතුවෙන් පස් කන්දට යට වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම අද සිට නවතා දැමීමට මෙහෙයුම් කණ්ඩායම් තීරණය කර තිබේ.
පසුගිය සිකුරාදා අළුයම සිදු වූ මෙම නාය යෑම හේතුවෙන් නිවාස 15 ක් පමණ සම්පූර්ණයෙන් යටවී ඇති අතර එම නිවෙස්වල සිටි සියලුම දෙනා පස් කන්දට යටවී අතුරුදහන්ව සිටිති. මුල් දිනයේ අරුදහන් වු පුද්ගලයින් ගණන 43 ක් ලෙස වාර්තා වූ නමුත් අද වන විට ගණන් බලා ඇති ආකාරයට අතුරුදහන් වූ මුළු ගණන පුද්ගලයින් 29 ක් ලෙස සඳහන් වන බවත් එයින් මෘත ශරීර 12 ක් සොයා ගත් බවත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති. මෙම මෘත ශරීර සෙවීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වය ලබා දී තිබිණ.
මෙම ප්‍රදේශය කිලෝ මීටර්යකට වඩා වැඩිි දුරකට මෙම නාය ගලා ගෙන ගොස් ඇති අතර බොහෝ පිරිසක් මෙම පස් අතර හිර වී ගසා ගෙන ගොස් තිබේ. අති විශාල පස් කන්දක් ගොඩ ගසා තිබීම මත මෙම අතුරුදහන් වූවන් සෙවීම දුෂ්කර වී ඇති බව නිලධාරින් සඳහන් කරති.
මෙම සිදු වීම සම්බන්ධයෙන් ප්‍රෙදේශයේ පදිංචිකරුවන් සහ අවට පදිංචිකරුවන් පවසන්නේ මෙවන්අදහස්.
මෙම නායයෑම සිදු වන අවස්ථාවේ ඒ අසලම නිවසක පදිංචිව සිටි ජීවිතය බේරා ගත් ඩබ්ලිව්.එම් නලීර් මහතා තව දුරටත් මෙසේ කීය.
“ සිකුරාදා රාත්‍රී දොළහ හමාරට විතර ලොකු ශබ්ද තුනක් එක්ක පස් කන්දක් කඩා ගෙන වැටිලා අපේ ගමේ විශාල පිරිසකගේ ජීවිත අහිමි වුණා.මේ පැත්තේ තිබ්බ සේරම ගෙවල් යට වුණා. සම්පූර්ණයෙන් ගෙවල් 12 ක් විනාශ වුණා සාමාන්‍ය වශයෙන් තවත් ගෙවල් 13 ක් විතර හානි වුණා. ඔක්කොම ගෙවල් 25 ක් විතර නැති වුණා.අපට කිසිම දෙයක් කර ගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නේ.
මෙහිදි අපට හමුවූ මෙම ගමේ පදිංචි මොහමඩ් සියාම් මෙසේ කීය.
“මම අවුරුදු හැට ගාණක්ම මෙහේ තමයි ඉන්නේ.අපේ ජීවිත කාලයටම මේ වගේ දෙයක් වුනේ නෑ.පොඩි පොඩි කඳු පාත් වුණාට වෙන මොනවත් වුනේ නෑ.මේකේ උඩ තිබ්බේ ලොකු ලොකු ගෙවල්. කන්ද උඩ ඉඳල උල්පත් වතුර ඇවිල්ල තමයි මේ විපත වුණේ. අපි දැනට 12 ක් විතර හොයා ගෙන භූමදානය කළා. ඔක්කොම 29 ක් විතර අතුරුදහන් වෙලා ඉන්නව කියලයි කියන්නේ.“
මෙම නායයෑම සිදු වූ ස්ථානය අසල පදිංචි එස්.පූපදි මහත්මිය මෙසේ කීය.
සිකුරාදා පාන්දර තමයි මේ ශබ්දය ඇහුණේ. උදේ පාන්දර බලන කොට එක ගෙයක්වත් ගන්න දෙයක් නෑ.ඔක්කොම පස් කන්ද ඇතුළේ. පොඩි ළමයෙක්වත් දකින්න නෑ.වැස්ස නිසා බලන්නවත් හොයන්නවත් බැරි තත්වයක් තිබුණේ. මේක උහුලා ගන්න බැරි අවස්ථාවක්.‘‘
අසල ගම්මානයේ පදිංචි වසන්ත කුමාර මහතා මෙසේ කීය.
‘‘මම මේ ගම්මානයේ වැඩ කරපු කෙනෙක්.අපේ සහෝදරයෝ වගේ හිටපු පිරිසක්.දැන් ගත්ත පිරිස හැර අනෙක් අය ගන්න පුළුවන්කමක් නෑ ගොඩක් යටයි මේ අය යට වෙලා තියෙන්නේ. මේක ඇත්තටම හිතා ගන්න බැරි විදිහට සිද්ධ වෙච්ච දෙයක්. මේ ස්ථානයේ මෙහෙම දෙයක් වෙයි කියල හිතන්නත් බෑ. අපිත් නිතරම මෙතැනින් ගමන් කරනවා කවදාවත් මෙහෙම දෙයක් වෙයි කියල හිතන්න බෑ.‘‘යැයි කීය.
මෙම නාය යෑම හේතුවෙන් අවතැන් වූ විශාල පිරිසත් විහාරස්ථානයේ සදහ මුස්ලිම් දේවස්ථානවල රැඳී සිටින අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමද මේ වන විට සිදු වෙමින් පවතී.
මේ වන විට මෙම ස්ථානය නැරඹීම සඳහා අති විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිට පැමිණෙමින් සිටින බවත් මෙම ස්ථානය සහ අවට ප්‍ර දේශ අවදානම් තත්වයේ පවතින බැවින් මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණීමෙන් හැකිතාක් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
- මොහොමඩ් ආසික්





